2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ඒජාපෙය් සන්ධාන අවුල දිගටම

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 230

පොහොට්ටු ශ්‍රීලනිප සන්ධානය ඇරඹෙයි
රනිල් වික්‍රමසිංහ දින හතරකට ඉන්දියාවට
මෛත්‍රීගේ සභාපති ධුරයට රජ රටින්ම විරෝධතා
පක්ෂ ලාංඡනය ගැන අකිල - රන්ජිත් මත දෙකක
යුද හමුදාපතින්ගේ වීසා ප්‍රශ්නයට එජාපය හා පොහොට්ටුව තනි මතයක
රෝහණ විජේවීරගේ පුතා අගමැති නිවසේ

යෝජිත මහමැතිවරණයට පෙර නව දේශපාලන සන්ධාන ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබාදී තිබූ කාලය පසුගිය 17 වැනි සඳුදා හමාරවිය. අලුතෙන් ලියාපදිංචි වීම සඳහා පක්ෂ හා සන්ධාන 30ක් නාමයෝජනා ඉදිරිපත්කොට තිබිණි. එයින් ප්‍රධානම දේශපාලන බලවේගයවන්නේ ශ්‍රීලනිපය යන පොදුජන පෙරමුණ (පොහොට්ටුව) එක්ව නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයයි. එහි නායකත්වය හිටපු ජනාධිපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබේ. සභාපතිත්වය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය. ලේකම් ධූරයට පත්වූයේ බැසිල් රාජපක්ෂ මහතාය. සෙසු පක්ෂ නායකයන්ට ද සන්ධානයේ ඉහළ තනතුරු හිමිව තිබේ. මෙම සන්ධානය ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලිපි ලේඛන භාර දුන්නේ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සහ ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා විසිනි. දෙපක්ෂය එක්ව මහ මැතිවරණය ජයග්‍රහණය සඳහා නව ගමනක් ආරම්භ කළ බව සන්ධානය ලියාපදිංචියෙන් පසු දයාසිරි ජයසේකර හා සාගර කාරියවසම් මහත්වරු ප්‍රකාශ කළහ.

එහෙත් මෙම සන්ධානයේ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් ගත් තීන්දුව ගැන පොහොට්ටුවේ තද පාක්ෂිකයන්ගේ සතුටක් නැත. සන්ධානය ලියාපදිංචි කළදාට පහුවදා උදෑසනින්ම ඒ ගැන සිය විරෝධය පළ කළේ පොළොන්නරුවේ පොහොට්ටු නායක ඇමැති රොෂාන් රණසිංහය. ඔහු මේ පත්වීම ගැන තමන්ගේ දැඩි අසතුට පළකරමින් කතා කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙබඳු දේට හොඳට හුරුව සිටින නායකයකු බැවින් ඔහු රොෂාන්ට කීවේ දේශපාලනයේදී තමන් කැමැති දේ මෙන්ම අකමැති දේද ඉවසන්නට පුරුදු විය යුතුය කියායි. එසේ නොකර දේශපාලනයක් කරන්නට අසීරුයැයි කී රාජපක්ෂ මහතා සන්ධානයේ මෙහෙයුම් බලතලවලින් වැඩි කොටස් තම පක්ෂය සතු වන නිසා ඒ ගැන බිය නොවන්නැයි ද රොෂාන්ලා කරගෙන යන ආකාරයට පොළොන්නරුවේ ඡන්දය කරගෙන යන්නැයි ද අගමැතිවරයා රොෂාන්ට උපදෙස් දුන්නේය. ප්‍රසන්න රණතුංග, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු තවත් ප්‍රබලයන් රැසක්ද මෙම පත්වීමට සිය විරෝධය පළකළ ද ආණ්ඩුවේ ප්‍රධානින් ඔවුන් අස්වසමින් ඡන්දයේ 2/3 මන්ත්‍රින් සම්බන්ධ ඉලක්කයන් තබාගෙන සිටින නිසා කාගේත් සහය අවශ්‍ය බව අවධාරණය කළේය.

යුද හමුදාපති හා ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාවට ඇතුළු වීමට වීසා බලපත්‍ර ලබානොදෙන බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ බරපතළ දේශපාලන ප්‍රශ්නයක් හට ගත්තේය. අමෙරිකන් විරෝධය නැග ආ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාත් විදේශ අමාත්‍යවරයා වන දිනේෂ් ගුණවර්ධනට උපදෙස් දුන්නේ අමෙරිකානු තානාපතිනිය විදේශ අමාත්‍යාංශයට කැඳවා මේ ගැන රජයේ විරෝධය දන්වා සිටින ලෙසය.

ඒ අතර ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීවේ තමන් කිසිදු අවස්ථාවක අමෙරිකාවට යෑමට එරටින් වීසා ඉල්ලා නොමැති බවකි. කෙසේ හෝ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ට්විටර් පණිවුඩය නිකුත් වන තෙක්ම කොළඹ සිටින අමෙරිකානු තානාපතිනිය මෙම කාරණය නොදැන සිටි බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචිමාර්ග කියයි. අමෙරිකානු රජයේ ට්‍රම්ප් රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය ඇතැම් විට තරමක් හිතුවක්කාර ලෙස හැසිරෙයි. ජනාධිපති ට්‍රම්ප් සිය විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී එරට සම්ප්‍රදායික විදේශ ප්‍රතිපත්ති මෙහෙයුම්කරුවන් නොතකා හැර ක්‍රියාකරන්නකු ලෙස ප්‍රකටය. ඔහු වෙනුවෙන් කටයුතු කරන්නේ වෙනම විශ්වාස වන්තයන් පිරිසකි. “පොම්පියෝ” රාජ්‍ය ලේකම්වරයා ද එබඳු විශ්වාසවන්තයෙකු නිසා ඔහුගේ පණිවුඩය පහසුවෙන් බැහැර කළ නොහැකි වී තිබේ.

කෙසේ වෙතත් මේ සතියේ කොළඹට පැමිණි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධව වගකියන සභිකයන් දෙදෙනකු වන ඒමි බේරා සහ ජෝර්ජ් හෝල්ඩිං මහත්වරුන් හමුවූ ජනාධිපති අගමැති හා විදේශ අමාත්‍යවරයා මේ සිද්ධිය ගැන ඔවුන්ටත් කරුණු දැක්වීය. නිශ්චිතව තහවුරු නොකළ චෝදනා සහ කට කතා මත මෙබඳු තීන්දු නොගත යුතු යැයි එහිදී අවධාරණය කැරිණි. ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස පෙනීසිටින යැස්මින් සූකා මහත්මියගේ පදනම් විරහිත වාර්තාවක් නිසා මෙම තීරණය ට්‍රම්ප් පාලනය විසින් ගත්බව රජයේ මතයයි. කෙසේ වෙතත් ආණ්ඩුව වෙත අමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද M.C.C ගිවිසුම අත්සන් නොකිරීම මෙන්ම උතුරැ මුහුදේ කුඩා දූපතක රුසියාවට න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීමට පැවරීමට යන්නේය යන ආරංචිය ද අමෙරිකන් විරෝධයට බල පෑ ආසන්න හේතු බව දැනගන්නට තිබේ. කෙසේ හෝ මේ සතියේ කොළඹට පැමිණි අමෙරිකානු කොංග්‍රස් සභිකයන් දෙදෙනා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයාකු වන මිලින්ද මොරගොඩ මහතාද මුණගැසුණාහ. ඔහු සමඟ වූ හමුවට ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ද එක්විය. එහිදී ද පවත්නා ප්‍රශ්න සම්බන්ධව මිලින්ද හා ලලිත් අමෙරිකානු කොංග්‍රස් සභිකයන්ට යථාර්ථය පහදා දුන්හ.

එක්සත් ජාතික පක්ෂ සන්ධානය සම්බන්ධයෙන් මේ සතියේත් සාකච්ඡා වට ගණනාවක්ම පැවැත් විණි. එජාපය ප්‍රමුඛ සන්ධානය මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ කවර ලාංඡනයකින්ද යන්න විසඳාගන්නට තිබුණ ප්‍රශ්නයයි. පක්ෂ නායක රනිල් සජිත්ගේ සමගි ජාතික බලවේගයට දන්වා තිබුණේ එජාපයේ අලියා ලකුණ ඔවුනට ලබාදිය නොහැකි බවයි. ඒ අතර මැතිවරණ කොමිසම වෙත සජිත් පිල ඉදිරිපත් කර තිබූ හදවත ලාංඡනයට මැ.කො.ස. අනුමැතිය හිමි වූයේ නැත්තේ එය කොමිසමේ ලියාපදිංචි ඡන්ද සලකුණු අතර නැතැයි කියමිනි. සජිත් පිල සුබ නැකතින් තෝරා ගත් හදවත සලකුණ අත්හැරීමට ඒ අනුව තීන්දු කළ අතර මෙයට පෙර සන්ධාන දෙකකදී භාවිතා කළ හංසයා ලකුණින් තරග කළ යුතු යැයි යෝජනා විය. මෙම ප්‍රශ්නය සමතයකට සජිත් හිතවාදීන් හා රනිල් හිතවාදීන් 10 දෙනකු පත්කැරිණි. මේ දහදෙනාගේ කමිටුව ගිය අඟහරුවාදා පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී හමුවක් පැවැත්විය.

මෙම හමුව සඳහා දෙපක්ෂයේ මන්ත්‍රින් 10 දෙනා පැමිණි පසු ප්‍රබල වාද විවාදවලින් තොරව හංසයා ලකුණින් තරග කිරීම හැර විකල්පයක් නැතැයි රනිල් පිල මෙන්ම සජිත් පිල ද නියෝජනය කරමින් පැමිණි බොහෝ දෙනා පැවසූහ. අවසානයේ ඔවුන් හංසයා ලකුණින් මහමැතිවරණය තරග කරන්නට එකඟත්වයකට පැමිණියහ. ඒ ගැන බදාදා පැවැත්වෙන කෘත්‍යාධිකාරියට යෝජනා කර සම්මත කරගන්නා බව ගිය අඟහරුවාදා ප්‍රකාශ කළේ එජාප ජාතික සංවිධායක නවීන් දිසානායකය.

දෙපක්ෂය එකඟතාවයකට පත්වුවත් මෙම එකඟතාව අතරතුර ද වාදවිවාද නැත්තේම නොවේ. අකිල විරාජ් එජාප මහලේකම්වරයා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස නොමැතිව කරු ජයසූරිය ඉදිරිපත් කළේ නම් එජාප සන්ධානය ජයග්‍රහණය කරන බවයි. සජිත් හිතවාදීන් කලබල කර සජිත්ට අපේක්ෂකත්වය ලබාදී ඔහු තරග කර වැඩි ඡන්ද ලක්ෂ 14කින් පරාජයට පත්වූ බව අකිල සඳහන් කර තිබිණි. කරු ජයසූරිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් මැදහත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ගණනාවක් ඔහුට සහය ලබාදීමට සිටි නිසා කරු ජයග්‍රහණය කරන්නට ඉඩ තිබූ බව අකිලගේ මතය විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානය ස්ථාපිත කළ පසු ඒ ගැන මුලින්ම විවෘතව සතුට පළකළේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකරයි. ඔහු සන්ධානයේ ජාතික සංවිධායකය. දයාසිරි කීවේ මෑතදී මෙරට බිහිවූ ශක්තිමත්ම හා බලවත්ම සන්ධානය මෙය බවයි. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු හා වත්මන් ජනාධිපතිවරයාද ඇතුළු ජනාධිපතිවරුන් තිදෙනකුගේ සන්ධානයක් වන මෙයට ඉදිරියේදී චන්ද්‍රිකා මැතිනිය ද එකතු කරගෙන ජනාධිපතිවරුන් සිව් දෙනකුගේ සන්ධානයක් බවට පත් කරන්නට ද පුළුවන්යැයි දයාසිරි කීය. ඒ අතර ගිය අඟහරැවාදා සන්ධාන නායකයන්ගේ මුල්ම රුස්වීම එම සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර ආදීහු ශ්‍රීලනිපයෙන්ද බැසිල් රාජපක්ෂ ජී.එල්. පීරිස් දිනේෂ් ගුණවර්ධන ආදීහු ද එක්වූහ. සෙසු සන්ධාන නායකයන්ද පැමිණියහ. මෙහිදී දෙපක්ෂය දිර්ඝ ලෙස සාකච්ඡා කළේ ඉදිරි මහ මැතිවරණයේ උපරිම වාසිය අත්පත් කරගන්නා ආකාරය ගැනයි.

මෙම හමුව ඇරඹීමට පෙර මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා අගමැති මහින්ද හා බැසිල් රාජපක්ෂ අතර පැය ½ ක පමණ වෙනම සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ටත් ආසන සංවිධායකයන්ටත් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී විධිමත් ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් නොවන බව මෛත්‍රී මහින්දට හා බැසිල්ට කීය.

ඊට පිළිතුරු දුන් අගමැති මහින්ද කීවේ තමන් එම මුදල් කිසිදු වෙනසක් නොමැතිව වෙන් කරන්නැයි වගකිව යුතු අයට දැන්වූ බවයි. ඒ හැර වෙනස් වැදගත් දෙයක් එම පූර්ව හමුවේදී කතාබහ නොකිරිණි. සුහද අල්ලාප සල්ලාපයක් ලෙස කතාව ඇදී යද්දී මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායක රැස්වීමට යා යුතු බව පෙන්වා දුන් බැවින් තිදෙනාම රැස්වීම් ශාලාවට පැමිණියහ.

පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සතියේ දේශපාලන කටයුතු ගැන සමාලෝචනයක් සිදුකර සෙසු ප්‍රශ්න ගැන සාකච්ඡා කෙරිණි. මුලින්ම කතා කරන්නට පටන් ගත්තේ නැගෙනහිරින් පැමිණි අතාවුල්ලා මහතාය. “අගමැතිතුමනි දැන් බලන්න පසුගිය ඡන්දෙ අම්පාරේ ප්‍රතිඵලය අපේ ඡන්දදායකයන්ගේ පිහිටෙන් සන්ධානයෙ දෙන්නෙක් මන්ත්‍රිල වුණා. ඒත් මම පරාදයි. ඒ වෙලාවෙ මගේ ඡන්ද පදනම සලකා “මට ජාතික ලැයිස්තු මන්ත්‍රි පදවියක් ලබා දෙන්නැයි මම ඉල්ලුවා කෝ ඒකවත් දුන්නේ නැහැ.” යයි ලොකු මැසිවිල්ලක් නැගීය. එය අසා සිනාසුණු මහින්ද රාජපක්ෂ මහතා “මේ ඉන්නෙ පක්ෂ නායකයා එයාගෙන් තමයි හේතුව අහන්න ඕනෑ” යැයි කියමින් මෛත්‍රීපාල සිරිසේන පෙන්වීය. එවිට තරමක් අසතුටින් නැවත කතා කළ අතාවුල්ලා මහතා “ආ.. ඔව් ඔව්... මේ ලොක්කා තමා ඒක කළේ. දැන් නම් ලොක්කත් අපි එක්ක තමා” කියමින් තරමක හාස්‍ය දනවන අදහස් ප්‍රකාශ කිරීමක් කළ නමුත් හිටපු ජනපති මෛත්‍රී ඒ ගැන උත්තර බඳින්නට ගියේ නැත.

අනතුරැව තවදුරටත් සාකච්ඡාව කෙරෙද්දී එතෙක් නිහඬව සිටි මෛත්‍රීපාල හිටපු ජනපතිවරයා පළාත් සභා මැතිවරණය ගැන ප්‍රශ්න කළේය. “අගමැතිතුමනි පළාත් සභා මැතිවරණය ඉක්මනින් තිබ්බොත් හොඳයි..” කීය. තමන් ඊට එකඟ බව මහින්ද රාජපක්ෂ කීය.

එතැනදී නිමල් සිරිපාල සඳහන් කළේ පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට හෝ පැවැත්විය යුතු වගයි. ඒ සඳහා නැවතත් මැතිසබයට පනතක් ගෙන ආ යුතු යැයි නිමල් පෙන්වා දුන්නේය. එවිට පක්ෂනායකයන් ගණනාවක්ම කීවේ පළාත් සභා මැතිවරණය මහඡන්දය හමාරවූ ගමන් මනාප ක්‍රමයට පෙර පැවැත්විය යුතුය කියායි.

අනතුරුව නව සන්ධානය ගැන කතාබහ ඇතිවිය. නවසන්ධානයේ ලකුණ ගැන ප්‍රශ්න කළ විට මැතිවරණ ආඥාපනත අනුව මැතිවරණයක් උදෙසා හදන සන්ධානයකට පොදු සලකුණක් නැතැයි බැසිල් රාජපක්ෂ පෙන්වා දුන්නේය. කැමති හවුල්කාර පක්ෂයක ලාංඡනය ඡන්දය සඳහා උපයෝගී කරගත හැකියැයි ද ඔහු කීය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය මැතිවරණ තරග කරන සලකුණ ලෙස පොහොට්ටුව ලකුණ තෝරාගනු ලැබිණි. එවිට දයාසිරි ජයසේකර විමසා සිටියේ සන්ධානයේ විනය බලය තියෙන්නේ කාටද කියායි. එය පැහැදිලි කළ බැසිල් සන්ධානයේ නාමයෝජනා අත්සන් කරන්නේ පොහොට්ටුවෙන් පත්වුණ සන්ධාන මහ ලේකම් නිසා විනය බලය ද ඔහු සතු වන බව පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි සහගත දිස්ත්‍රික්කවල මහ මැතිවරණයේදී තනිව තරග කිරීම යෝග්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කීය. එසේම ඩග්ලස් දේවානන්ද හා අතාවුල්ලා යන මහත්වරුන් සන්ධාන ගතවන්නේ ද කියාත් විමසීය. ඒ ගැන පසුව කතාබහ කිරීමට ඔවුහු තීන්දු කළෝය. අනතුරුව රටේ පවත්නා පොහොර හිඟය ගැන පක්ෂ නායකයන් කරුණු මතුකළ විට අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලට ඒ මොහොතේම කතා කළේය. පොහොර සමාගම් පොහොර ප්‍රමාණවත් ලෙස නොගෙන්වීම ගැන ආටිගල මහතාගෙන් ප්‍රශ්න කළ විට ඔහු කීවේ පොහොර සමාගම්වලට පසුගිය රජය කාලයේ ලබාගත් පොහොරවලට මුදල් ගෙවා නොතිබූ නමුත් මේ සතිය වනවිට ඒ මුදල් ගෙවා හමාරකර ඇත කියාය. දැන් එළඹ තිබෙන්නේ අස්වනු නෙලන කාලයයි. ඒ නිසා දැනට පොහොර අවශ්‍ය නැත. පොහොර අවශ්‍ය වන්නේ තවත් මාස දෙකකින් බැවින් ඒ වනවිට අදාළ සමාගම් පොහොර විධිමත් ලෙස සපයනු ඇති බවත් ආටිගල මහතා පෙන්වා දුන්නේය. එම සංවාදයෙන් පසු පොහොට්ටු පක්ෂ නායකයෝ එළවළු හා හාල් මිල පාලනය ගැන ප්‍රශ්න කළහ. දැන් එළවළු මිල ගණන් තරමක් අඩු වෙමින් යන බවත් වී අස්වනු ලැබෙන බැවින් හාල් මිලද පාලනය වනු ඇති වගත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගිය බදාදා උදෑසන රැස්වුණි. එජාපය ප්‍රමුඛ නව සන්ධානය ගැන එම සාකච්ඡාව මුලදී සන්සුන් ලෙස පටන් ගත්තද ටික වේලාවක් යනවිට කෘත්‍යාධිකාරි සාමාජිකයන් ගණනාවක් හංසයා සලකුණ වෙනුවට අලියා සලකුණ අවශ්‍ය යැයි කියන්නට වූහ. රුවන් විජයවර්ධන, රංගේ බණ්ඩාර, දයාගමගේ, වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් මෙලෙස අදහස් දක්වන්නට වූහ. මේ නිසා කෘත්‍යාධිකාරිය නැවතත් උණුසුම් මුහුණු වරක් ගත්තේය. පක්ෂ ජ්‍යෙෂ්ඨයන් 10 දෙනාගේ කමිටුව හංසයා ලකුණ ගැන තීන්දුවක් ගෙන තිබියදීත් නැවත මෙලෙස අලියා ලකුණ මතුකිරීම කරන්නේ ඇයිදැයි සජිත්, රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිස ප්‍රශ්න කරන්නට වූහ.හංසයා ලකුණ සම්බන්ධයෙන් මුලින් එකඟත්වයට පත්වූ සාමාජිකයන්ද මේ අවස්ථාවේ නිහඬව සිටීම නිසා සජිත් පිල අපහසුතාවට ලක්විය. සජිත් ප්‍රේමදාස මහතා මේ අවස්ථාවේදී නැවතත් කියා තිබුණේ තමන්ද අලියා ලකුණට අකැමැති නොවන නමුත් එයින්ම ඡන්දයට ඉදිරිපත් වන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂකත්වය හා සන්ධාන නායකත්වය ද භාරගත යුතුය කියායි. එසේම ඔහු නාමයෝජනා මණ්ඩල ප්‍රධානත්වය ද දැරීම සුදුසු යැයි සජිත් කීය. එහෙත් රනිල් ඊට එකඟ වී නැත. මේ නිසා පැවති ප්‍රශ්නය තවදුරටත් ව්‍යාකූල විය.

පක්ෂ නායකයන් 10 දෙනාගේ කණ්ඩායම ගත් නව සන්ධාන ලාංඡනය ගැන වූ එකඟතාව පැය 24ක් වත් යන්නට පෙර අවලංගු කැරිණි. ඉන් අනතුරුව තීන්දු වූයේ මැතිවරණ කොමිසම හමුවී අලියා ලකුණ හෝ හංසයා ලකුණ ගැන සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමයි. ඒ සඳහා රවී කරුණානායක හා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු රනිල් පාර්ශ්වයෙන්ද සජිත් වෙනුවෙන් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාද මැතිවරණ කොමිසමට ගියහ. එහිදී හංසයා හෝ අලියා ලකුණ දෙකින් එකක් නව සන්ධානයේ පක්ෂ ලාංඡනය ලෙස යොදාගත්තොත් එම ලාංඡනය වසර 5ක් යනතෙක් එම පක්ෂයට අහිමි වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දී තිබිණි. එසේම කවර ලකුණක් තෝරා ගත්තද අදාළ පක්ෂ එම කොන්දේසියට එකඟ විය යුතු යැයි ද ඔවුන් ප්‍රකාශ කර තිබිණි. එබැවින් විශේෂයෙන් හංසයා ලකුණ හිමි පක්ෂය සමඟ මේ ගැන කතා කොට ඔවුන්ගේ එකඟත්වය ලබාගන්නා ලෙස දැන්වීය. හංසයා ලකුණ හිමි පක්ෂයේ ලේකම් ධුරය දරන්නේ රවි කරුණානායක මහතාගේ ප්‍රබල අනුග්‍රාහිකාවක් වන ශාමිලා පෙරේරා මහත්මියයි.

ඒ නිසා දැන් ප්‍රශ්නය නව මානයකට පෙරළී තිබේ. පාර්ලිමේන්තුව විසුරවන්නට තවත් හරියටම ඇත්තේ දින 10කටත් අඩු කාලයකි. ඒ දක්වා මෙම ප්‍රශ්නය නිරාකරණය වේද නොවේද යන්න ගැන දන්නේ එජාපයේ මෙම දේශපාලන නූල් සූත්තර ක්‍රියාත්මක කරන කණ්ඩායම පමණි.ඒ් අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිව්දින නිල සංචාරයකට ඉන්දියාවට ගිෙය්ය. ඔහු නැවත එන්නේ ලබව සතියේය.

ජනාධිපතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු කඩකරමින් ආණ්ඩුව ජනතාව විශාල රුවටීමකට ලක්කර ඇතැයි ජ.වි.පෙ. පවසයි. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවේ සැබෑ මුහුණුවර මහමැතිවරණයෙන් පසු බලාගනිමු යයි අනාවැකියක් ද කීවේය. “ආණ්ඩුව බලය ඉල්ලූ මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවය කියලයි. ඒත් ජාතික ආරක්ෂාවට බලපාන කිසිදු ගිවිසුමක් අහෝසි කරලා නැහැ. දැන් මේ රටට ආරක්ෂක ඇමැතිවරයෙක් නැහැ. ලේකම්වරයකු නම් ඉන්නවා. ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය භාර දෙන්න විශ්වාස කෙනෙක් නැත්ද කියලා අපි ප්‍රශ්න කරනවා.” යයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙලෙස මාධ්‍ය හමු පැවැත්ෙවන අතරතුර ජ.වි.පෙ. රට පුරා සම්මන්ත්‍රණ පවත්වමින් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේ මහමැතිවරණය ඉලක්ක කරගෙනයි. ඔවුන්ද මහඡන්දයට සන්ධානයකින් ඉදිරිපත් වීමට සැලසුම් කර තිබේ.

වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම් දිනයේ ආණ්ඩුව මැතිසබයට ඉදිරිපත් කළ හිඟ බිල්පත් ගෙවීමට අදාළ මුදල් යෝජනාව ආණ්ඩුව විසින්ම ඉල්ලා අස්කර ගන්නා ලදී. ඊට හේතුව පාර්ලිමේන්තුවේ වැඩි බලය සහිත එජාපය පාර්ලිමේන්තුවේදී මෙම මුදල් යෝජනාව පරදවා මැතිවරණයට නව ගැම්මක් ගන්නට හදන බවට කරුණු තහවුරු වීම හේතුවෙති. මේ බව හෙළිදරව් වූයේ එදින උදේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක හමුවේදීය. එ.ජා.ප.යෙන් ඊට සහභාගී වූ සජිත් ප්‍රේමදාස හා රවී කරුණානායක, මංගල සමරවීර යන මහත්වරු මෙම යෝජනාවේ ණය සීමාව ඉහළ දැමීමේ කොටස පරාජය කරන බව ආණ්ඩු පක්ෂයට නිල වශයෙන් කීය. ඊට හේතු ලෙස දැක්වූයේ මෙතරම් අමතර වියදමක් රජයට දරන්නට සිදුවූයේ අදූරදර්ශී මූල්‍ය ප්‍රතිපත්ති නිසා බවය. එසේම ණය වැඩි කර ලබාගන්නා අරමුදල් ඡන්ද කාලේ ජනතාවට දීමට භාවිත කළහැකියයි සජිත්, රවී, මංගල සැක පළ කළෝය. එහෙත් පක්ෂ නායක හමුවට කැඳවා සිටි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල එය සාවද්‍ය කරුණක් බවත් රජය දැනටමත් පියවා ඇති මුදල් රුපියල් බිලියන 221 මෙම ඇස්තමේන්තුවට ඇතුළත් බවත් නිසා අලුතෙන් ගන්නට යන්නේ බිලියන 146 පමණක් යැයි කොතෙක් කිව්වත් මංගල සහ සජිත් ඊට තදින් විරුද්ධ වූයේ තමන්ගේ හිතවතුන් ද මුදල් අමාත්‍යාංශයේ සිටින බැවින් ඔවුන් නිවැරදි තොරතුරු ලබාදී ඇතැයි කියමිනි.

මේ තත්ත්වය මහ මුදල් යෝජනාව ඉවත් කර ගන්නට ආණ්ඩු පක්ෂ නායකයන් තීන්දු කරන්නට පෙර දිනේෂ් ගුණවර්ධන කීවේ මේ මුදලින් මෙරට කොන්ත්‍රාත්කරුවන්ට බෙහෙත් සැපයුම්කරුවන්ට වෙනත් සැපයුම් හා සේවා සම්පාදකයන්ට සාමාන්‍ය කොන්ත්‍රාත්කරුවන්ට සිංහල අවුරුද්දට පෙර මුදල් ගෙවීමට අපේක්ෂා කරන බවය. එජාපයේ නව විපක්ෂනායකයා ඊට විරුද්ධ නම් තමන් යෝජනාව ඉවත් කරගන්නා බවත් දිනේෂ් කීය. ඔවුනට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා උපදෙස් දී තිබුණේ මුදල් යෝජනාව ඉවත් කරගැනීමෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාවට උත්සව සමයේ වන පාඩුවට එජාපය වගකිව යුතු බවය. එහෙත් එජාපය පසුව මාධ්‍ය හමුවක් තබා තීවේ තමා රටේ සංවර්ධන කටයුතුවලට බාධා නොකළ බවයි. ආණ්ඩුව මෙහි සම්පූර්ණ වරද තමන් පිට පැටවීම වරදක් යැයි විපක්ෂ වෙනුවෙන් රවි සහ මංගල මාධ්‍ය හමුවේ කීහ.

ජවිපෙ හිටපු නායක රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජේවීර ගිය බදාදා උදෑසන අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැහුණේය. ඔහු පැමිණියේ රෝහණ විජේවීර බිරිඳ චිත්‍රාංගනී විජේවීර ද සමඟය. මහින්ද සමඟ දීර්ඝලෙස සාකච්ඡා කළ උවිඳු හා චිත්‍රාංගනී ඔහු සමඟ උදෑසන ආහාරය ද ගත්තෝය. උවිඳු විජේවීර තමන් දේශපාලනයට පිවිසීමට ඇති කැමැත්ත මෙහිදී ප්‍රකාශ කළ බව දැනගන්නට තිබේ. ගම්පහ දිසාවෙන් උවිඳුට තරග කරන්නට මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කළ බවද සඳහන්ය. ඒ සම්බන්ධව සිතා බලන වග උවිඳු මහින්දට ප්‍රකාශ කර ඇත. ඔහු මේ ගැන විවෘතව කිසිවක් කියා නැතත් පසුගියදා මාධ්‍යයට කියා තිබුණේ තමන් සිංහල බෞද්ධ පදනම දිරිගන්වන දේශපාලනයක නිරතවන්නට කැමැත්තෙන් සිටින බවයි. රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවද තමන් ජවිපෙ සමඟ දේශපාලනය කළයුතු නැතැයි ද ඔහු කියා තිබුණි.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00