2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

බැසිල් මහ ඡන්දයේ වැඩට බසී

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 363

► මහින්ද තොණ්ඩා ඩග්ලස් සමඟ ඉන්දියාවට
► ජනපති ගෝඨාභය විරෝධතාකරුවන් අතරට යයි
► ජාතික ගීය දෙමළෙන් නොගැයීම ගැන දෙමළ සන්ධානයෙන් කොක්කක්ම
► හේෂ් සේනානායකත් ජ.වි.පෙ. සන්ධානයෙන් ඡන්දයට
► විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සන්ධාන මහ ලේකම් තෝරා ගනී
► චීනයෙන් පැමිණි සිසුන් දියතලාවේ නිදහස් සැමරුමක

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පවත්වන ලද ප්‍රථම ජාතික නිදහස් දින උළෙල පසුගිය 04 දා කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදී පවත්වනු ලැබිණි. පවත්නා දේශපාලන වාතාවරණය හා කොරෝනා වසංගතය හටගෙන තිබෙන තත්ත්වය නිසා නිදහස් උළෙල ඉතාමත් චාම් ලෙස පවත්වන්නයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබිණි. රුසියාවේ භූමි හමුදා ප්‍රධානියා විශේෂ ආරාධිතයකු ලෙස නිදහස් උළෙලට එක්ව සිටියේය. අගමැති මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් ද හමුදා නායකයන් ද උත්සවයට එක්වූහ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඊට සහභාගී වූවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් මොහොතේ නිදහස් උත්සවයට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණි. වෙනදා මෙහි පැමිණි තවත් චරිතයක් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහද ඊට එක්නොවූහ. පැය තුනකට ආසන්න කාලයක් ත්‍රිවිධ හමුදා උත්මාචාර පැවැත්විණි.

නිදහස් දිනයේදී සම්ප්‍රදායික ලෙස ජනාධිපතිවරයා ජාතිය අමතා කතා කළේය. ඔහුගේ දේශනය තුළින් ස්වකීය දේශපාලන ආර්ථික දැක්ම විස්තර කෙරිණ. ජනාධිපතිවරයාගේ කතාවේදී ඔහු තමන්ගේ රාජකාරී කරගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය හෝ අධිකරණය බාධා නොකළ යුතු යැයි කීය. තමන් ක්‍රියාත්මක කරන්නේ ලැබුණු ජනවරම අනුව බවත් ඡන්දයෙන් පසුව සියලු රටවාසීන්ගේ ජනාධිපති ලෙස සේවය කරන වගත් පැවසීය. එසේම ප්‍රජාතන්ත්‍රවාදීව මාධ්‍ය නිදහසටත් මානව හිමිකම් සුරැකීමටත් කැපවන වගද ඔහු අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් දිනය වෙනුවෙන් කරන ලද කතාව සමාජයේ දැඩි අවධානයට ලක්විය. ඒ ගැන මුලින්ම ප්‍රතිචාර දක්වා තිබුණේ රාජපක්ෂ කඳවුර කවදත් දැඩි ලෙස විවේචනය කරන එජාපයේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාය. ඔහු කියා තිබුණේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ කතාව විශිෂ්ට එකක් කියායි. මංගල සමරවීර මේ බව කියා තිබුණේ ඔහු විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩ යකිනි. “ශක්තිමත් නායකයකු ලෙස ඔහු මෙම කතාවට අනුව දැන් වැඩ පටන්ගත යුතුය. ප්‍රබල නායකයකුට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඉතා දුෂ්කර තීරණ ගනිමින් ඒවා ක්‍රියාත්මක කරන්නට හැකියාව තිබිය යුතුයයි. 1948 නිදහස ලැබූ දා සිට අපේ නායකයන්ගේ අර්ථවත් හොඳ කතා අසා ඇත. දැන් ඒවා ක්‍රියාත්මක කරන්නට කාලය පැමිණ තිබේ යැයි” මංගල සිය ට්විටර් පණිවුඩය මගින් වැඩිදුරටත් කියා තිබිණි.

මංගල සමරවීරට අමතරව තවත් පාර්ශ්ව ගණනාවකගේ ප්‍රශංසාවට ලක්වූ ජනාධිපතිවරයාගේ නිදහස් දින කතාව සකස් කළ ආකාරය ගැනද කතාවක් තිබේ. මෙම කතා කෙටුම්පත ලියන්නට පටන්ගත්තේ පහුගිය මස 17 දාය. ඒ සඳහා මඟ පෙන්වීම් ලබාදෙමින් අදහස් ලබාදුන්නේ ජනාධිපතිවරයා විසින්මය. ලලිත් වීරතුංග, නිශාන්තද සිල්වා හා නාලක ගොඩහේවා කතා කෙටුම්පත සැකසුම භාරව සිටියෝය. ලොව ප්‍රකට චරිත විසින් පළකළ අදහස් උදහස් ද සැලකිල්ලට ගනිමින් එය සකස් කැරිණි. අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරියක වන කොන්ඩලීසා රයිස් ප්‍රකාශ කර තිබූ අදහස් රුසක ඡායාවන් මෙම කතාවේ අන්තර්ගත වූ බව පැවසේ.

නිදහස් දින උත්සවය චාම් ලෙස පැවැත්වීම ජනාධිපති වරයාගේ මූලික අරමුණ විය. එහිදී අපේ සංස්කෘතියේ තවත් විශේෂ ලක්ෂණයක් ඉස්මතු කෙරෙන අවස්ථාවක් අපට දැකගන්නට ලැබිණි. ඒ ජනාධිපතිවරයා උත්සව සභාවට පැමිණ එහි සිටි තම වැඩිමහල් සොයුරන් වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ආචාරකොට ගෞරව කළ ආකාරයයි. එය නිදහස් දින වැඩසටහනට ඇතුළත් නොවූ විශේෂ අංගයක් විය.

නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙරට සිටින විදේශ තානාපතිවරුන්ටත් ආණ්ඩුවේ විපක්ෂයේ මැතිඇමැතින්ටත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පසුගිය 04දා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පවත්වනු ලැබීය. ඊට අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රභූන් රුසක්ම එක්ව සිටියහ. මෙවර නිදහස් දින සැමරුමේ තවත් විශේෂ අංගයක් වූයේ කොරෝනා වසංගතය පැතිර තිබූ චීනයේ වූහාන්හි සිට මෙරටට පැමිණි සිසු සිසුවියන් විසින් දියතලාව හමුදා නිවස්නයේදී නිදහස් සමරුමක් පැවැත්වීමයි. කිසිදු රෝගා බාධයකින් තොරව නිරුපද්‍රිතව සිටින ඔවුහු ඉතා චාම් ලෙස නිදහස සැමරූහ. 
රජය දැන් ලහිලහියේ ඉදිරි මහ මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානයට මෙතෙක් විදේශගතවසිටි පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ගිය සඳුදා උදෑසන දිවයිනට පැමිණියේ මාස දෙකකට පසුවය. බැසිල් ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණෙන විට ඔහු පිළිගන්නට ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මන් යාපා, නිමල් ලංසා, සුසන්ත පුංචිනිලමේ ආදී මැති ඇමැතිවරු එක්ව සිටියෝය. ජනාධිපති ගෝඨාභය මෙන් බැසිල් ද සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිටතට පැමිණීම විශේෂයකි. පිටතට පැමිණි අවස්ථාවේ ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා අමතා බැසිල් පැවසුවේ “බලන්න ලක්ෂ්මන්, ලංකාවෙ ඉන්න කාලෙට වඩා තොරතුරු මට ඇමරිකාවෙදි ලැබුණා... මට මාතර ගැනත් විස්තර ලැබුණා. ඒ පළාතෙ මිනිස්සුන්ට ඔයා කරන කැපකිරීමට හොඳම ප්‍රතිඵල ලැබෙනව.... මිනිස්සු වෙනුවෙන් මහන්සි වුණොත් ඒක අපතෙ යන්නෙ නැහැ...” කියායි. එවිට ලක්ෂ්මන් යාපා පිළිතුරු ලෙස පැවසුවේ “මම දේශපාලන සත්වයෙක්.... මට කරන්න පුළුවන් උපරිම දේ මාතරට කළා... දේශපාලනය හැර වෙන දෙයක් මම දන්නෙත් නැහැ” යනුවෙනි. මෙහිදී පැමිණ සිටි පිරිස් සමඟ අදහස් හුවමාරු කරගත් බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය සඳහා ජනතාව බලාපොරොත්තු වන ඡන්ද ලකුණනින් මැතිවරණයට ඉදිරිපත් වන බව කීය. ජයග්‍රහණය සඳහා ඡන්ද ලකුණ ඉතාම තීරණාත්මක බවද බැසිල් ගුවන් තොටුපොළේදී සඳහන් කර ඇත. මේ නිසා ජනතාවගේ තේරීමට අනුව පක්ෂ ක්‍රියාකළ යුතු යැයි. හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු හිතවත් දේශපාලන පක්ෂ සියල්ල සමඟ සන්ධාන ගතවී ජනපතිවරණයට මෙන්ම මහ මැතිවරණයටද තරග කරන්නේ යැයි ද බැසිල් පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය දේශපාලන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාහැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබාදීම සඳහා පැහැදිලි බහුතරයකින් මහ මැතිවරණය ජයගැනීමට සැලසුම් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. සඳුදා උදෑසන කොළඹට පැමිණි බැසිල් එදින සවසම නෙළුම් මාවත කාර්යාලයට පැමිණ ඉදිරි මහමැතිවරණය සඳහා අවශ්‍ය කරන කටයුතු ආරම්භ කර තිබිණි. මෙම කටයුතු ඇරඹීමට පෙර ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ තමන් ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ නැති බවයි. ඒ සමඟ ඔහු ස්වකීය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට වූ ප්‍රචාර සියල්ලට පිළිතුරු ලැබිණි.

මහමැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය විසින් නිර්මාණය කරන නව දේශපාලන සන්ධානය සම්බන්ධ සාකච්ඡා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සතිය පුරාම පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයන්  වන රන්ජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, රවි සමරවීර, රන්ජිත් අළුවිහාරේ ආදින් මේ සඳහා එක්වසිටි අතර හවුල්කාර පක්ෂ වෙනුවෙන් චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් ආදීහු එක්වූහ. සන්ධානයේ මහලේකම් ධූරය සම්බන්ධයෙන් අර්බුදයක් ඇති බව ප්‍රකාශ විය. රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් පුද්ගලයන්ට අකමැති බවත් ඔහු සන්ධාන මහලේකම් ධූරයට රවි කරුණානායකගේ, නවීන් දිසානායක දෙදෙනාගෙන් කෙනෙකු පත්කිරීමට යෝජනා කළ බවත් කියැවිණි. එහෙත් සජිත් කණ්ඩායම ඊට එකඟ වී නැත.

සජිත් තමන්ගේ තීරණය ගිය සඳුදා කල්තබාම ප්‍රකාශ කළේ තිබෙන මතවාදවලට පිළිතුරක් ලෙසයි. ගිය සඳුදා සජිත් ප්‍රේමදාස විසින් එ.ජා.ප.යේ ආසන සංවිධායකයන්ගේ හමුවක් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2ට කැඳවා තිබිණි. එහිදී සජිත් මුලින් කීවේ ඇතැම් පුද්ගලයන් පක්ෂයේ ඇති අභ්‍යන්තර අර්බුද ගැන අසත්‍ය වාර්තා ප්‍රකාශ කරන වගයි. එවැනි විහිළුසහගත කටකතාවවලට උත්තර දීමට තමන් සූදානම් නැති බව සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබිණි. දේශපාලන ගේම් ගැසීමත් බොරු ප්‍රචාරය කිරීමත් තම ක්‍රමය නොවන්නේ යැයි සජිත් පැවසීය. එසේම කවර ප්‍රචාර තිබුණත් තමන්ගේ නායකත්වයෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කරන්නේ යැයි මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා කීය. මද්දුම බණ්ඩාර මහතා එම තනතුරට පත්වුවහොත් සන්ධානයට බහුතර බලයක් ලබාගැනීම වඩාත් පහසුවන බවද සජිත් කීය.

සජිත් විසින් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සන්ධාන ලේකම් ධූරයට නම් කළ පසු මද්දුම බණ්ඩාර මහතා සජිත් ඇතුළු කණ්ඩායම ගිය නිදහස් දිනයේද නව සන්ධානයේ නම සහ සලකුණ ගැන සාකච්ඡා කළෝය. මද්දුම බණ්ඩාර මහතා මෙහිදී දිගින් දිගටම කීවේ එක්සත් ජාතික පෙරමුණ නමින් සන්ධානය ක්‍රියාත්මක කරමු කියායි. තවත් යෝජනා ඊට විකල්ප ලෙස ඉදිරිපත් විය. එහි සලකුණ “දියමන්තිය” හෝ “හදවත” විය යුතුයැයි යෝජනා වුවද ඒ ගැන තවත් විමර්ශනය කරන්නට තීන්දු විය.

කෙසේවෙතත් රනිල් පාර්ශ්වයේ ප්‍රබලයකු වන රංගේ බණ්ඩාර මහතා සිරිකොතහිදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ සන්ධානය අලියා ලකුණින් ඡන්දයට යායුතු බවකි. එසේම රංගේ බණ්ඩාර මහතා කීවේ සන්ධානයේ නව මහ ලේකම් තෝරාපත් කරගන්නට එ.ජා.ප. නායකයා විසින් කමිටුවක් පත්කළ බවය. රවි කරුණානායක, ලක්ෂමන් කිරිඇල්ල හා නවීන් දිසානයක එහි සාමාජිකයන් බවද රංගේ සඳහන් කර තිබිණි. මෙම කමිටුව 06දා පැවති කෘත්‍යාධිකාරි සභාවට සුදුසු නමක් යෝජනා කරන්නැයි දැන්වූ බවත් ඔහු කීය. එ.ජා.පයෙන්ම කෙනෙක් මේ සඳහා පත්කළ යුතු අතර එක් නාමයෝජනාවක් පමණක් ලබාදෙන ලෙස පක්ෂ නායකත්වය කමිටුවට දැන්වූ වග රංගේ බණ්ඩාර වැඩිදුරටත් පැවසීය. මහලේකම් ධූරයට අමතරව සෙසු ඉහළ තනතුරු සඳහා ද නාමයෝජනා කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙකී කමිටුවට නියම කර ඇතැයි ඔහු වැඩිදුරටත් කීය. පක්ෂ මහලේකම් තෝරාගැනීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට පැවරෙන නමුත් එම නාමයෝජනා පක්ෂ කෘත්‍යධිකාරියේ අනුමැතියට යටත්විය යුතු යැයි රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ. ඒ නිසා නැවතත් රනිල් පිල හා සජිත් පිල අතර මතගැටුමක් හටගෙන ඇත. නව සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව තේරී පත්වන මන්ත්‍රීන් එජාප මන්ත්‍රීන් නොවන බව සජිත් පිලේ අශෝක් අබේසිංහ ඇතුළු පිරිසක් කල්තබාම ප්‍රකාශ කළෝය. මේ සියලු වාදවිවාදවලින් පෙනී යන්නේ මැතිසබය විසුරැවන තෙක්ම එජාපයේ අභ්‍යන්තර බලඅරගලය දිගටම පවතින බවකි.

ඒ අතර එජාපයේ හවුල්කාර පක්ෂයක නායකයකු වන වතුකරයේ එස්. රාධා ක්‍රිෂ්ණන් මහතා කියා තිබුණේ තමන්ටත් තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස බවය. ඔහු වතුකර ජනතාවට පොරොන්දු වූ ආකාරයට රුපියල් 1000 වැටුප ලබාදෙනු ඇති බවත් රාධා ක්‍රිෂ්ණන් මහතා කීය. තමන්ද නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ එජාපය සමඟ සන්ධානගතවන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මහ මැතිවරණය තරග කරන්නේ නම් පමණක් යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර මහ මැතිවරණය සම්බන්ධයෙන් මත ගැටුමක් හටගෙන තිබේ. මහ මැතිවරණය ඉලක්ක කරගෙන නිර්මාණය කරන අලුත් සන්ධානය සඳහා සම නායකයන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ යුතු යැයි ශ්‍රීලනිපය මුල සිටම ප්‍රකාශ කර තිබිණි. එහෙත් පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ සතියේ පැහැදිලිවම ප්‍රකාශ කළේ. නව සන්ධානයේ සම නායකයන් නොමැති බවයි. එහි සිටින්නේ එකම නායකයකු බවත් ඒ මහින්ද රාජපක්ෂ මහතා බවත් මහාචාර්ය පීරිස් කීය. ඒ අතර ඉදිරි මහමැතිවරණයේදී නාමයෝජනා ලබාදෙන ආකාරය ගැන ද දෙපක්ෂය අතර කඹ ඇදීමක් හටගෙන තිබේ. ශ්‍රීලනිපය තමන්ට සන්ධාන ගිවිසුම අනුව මැතිවරණ අපේක්ෂකයන් ගෙන් 1/3 කෝටාවක් අවශ්‍ය බව මහ ලේකම් දයාසිරි ජයසේකර වාර ගණනාවක් සඳහන් කර තිබිණි. එහෙත් එම සංඛ්‍යාව නිශ්චිත ලෙසම ලබාදෙන බවට පොහොට්ටුවෙන් ‍මේතාක් ප්‍රතිඥා ලැබී නැත. මේ ගැන අද හෙටම බැසිල් රාජපක්ෂ - දයාසිරි ජයසේකර - මහින්ද අමරවීර හා නිමල් සිරිපාල යන ජ්‍යෙෂ්ඨ නායකයන් සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වෙයි. කෙසේ හෝ නාමයෝජනා සම්බන්ධයෙන් ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර තිබෙන අර්බුදය ගැන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මෙතෙක් කිසිවක් කියා නැත. ඔහු ශ්‍රීලනිප සභාපති වුවත් ඉදිරි මහ මැතිවරණයේදී බහුතර කැමැත්ත අනුව පොහොට්ටුවෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීමට අකැමැත්තක් නැතැයි ද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ජාතික දිනයේදී දෙමළ භාෂාවෙන් ජාතික ගීය නොගැයීම ගැන දෙමළ සන්ධානය මෙන්ම මනෝගනේෂන් වැනි සෙසු පක්ෂ නායකයන්ද රජයට විරෝධය පළකර ඇත. පසුගිය එජාප පෙරමුණ රජය කාලයේ නිදහස් දිනයේ ජාතික ගීය දෙමළ බසින්ද ගායනා කළේය. එම උළෙලවලට දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු ජ්‍යෙෂඨයන්ද එක්වූහ. මෙවර උත්සවයට ඔවුන් එක්ව සිටියේ නැත. මේ ගැන තමන්ගේ අදහස් පළකළ හිටපු අමාත්‍ය මනෝගනේෂන් කීවේ මෙයින් අප රටේ දෙමළ ජනතාවට ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබඳ සහතිකය අහිමිවූ බවය. සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයීමෙන් බෙදුම්වාදය තවත් ශක්තිමත් වූ බවද ඔහු කීය. “මේකෙන් සිද්ධ වුණේ ප්‍රභාකරන්ගේ වෙනම රටක් වෙනම ජාතියක් සංකල්පය නැවත වරක් තහවුරු වීම පමණයි.” මනෝගනේෂන් වැඩිදුරටත් සඳහන් කර තිබිණි. දෙමළ සන්ධාන නායක සම්පන්දන් මහතා කීවේ මේ නිසා දෙමළ ජනතාව දැඩි වේදනාවට පත්වූ බවය. තමන් ප්‍රමුඛ දෙමළ සන්ධානය නිදහස් උළෙල වර්ජනය කළේද මේ නිසායැයි කී හෙතෙම ජාතික දින උළෙලේදී දෙමළ ජානයාට නිසි පිළිගැනීම සහ ගරැත්වය නොලැබුණ බව කියමින් මැසිවිලි නැගීය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය මේ දිනවල ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගෙන දිස්ත්‍රික් මට්ටමින් සම්මන්ත්‍රණ සංවිධානය කරමින් සිටී. පසුගියදා කොළඹ කිරුළපනේදීත් කුරුණෑගලදීත් මෙවැනි සමුළු දෙකක් පැවැත්විණි. එමගින් ජනතාව දැනුවත් කිරීම් සිදුවිය. පහුගිය ජනපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාද මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය හා එක්ව තරග කිරීමට සූදානමින් සිටින බව වාර්තා වී ඇත. පසුගිය කාලයේ විදේශගතව සිටි ඔහු දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටී. මේ හැර තවත් ප්‍රකට කලාකරුවන් හා විද්වතුන් කිහිපදෙනෙක් ද ජවිපෙ ප්‍රමුඛ සන්ධානයේ ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් වෙති.

එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ හමුවක් පසුගිය 06දා සිරිකොතදී පවත්වන්නට නියමිත විය. නමුත් පවත්නා අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය සමනය නොවීම හේතුවෙන් රැස්වීම හෙටට කල් ගියේය. කෘත්‍යාධිකාරියෙන් පහුගියදා නෙරපන ලද සාමාජිකයන්ටත් හෙට හමුවට පැමිණීමට හැකි බව පක්ෂයෙන් දන්වා ඇතැයි එජාප සජිත් හිතවාදි කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. ඒ අතරතුර රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සන්ධාන නායකත්වය භාරගත යුත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේදී වගය. එසේ නොකර ඔහුට සන්ධානයේ මහ ලේකම් පත් කරන්නට නොහැකි යැයිද රනිල් හිතවාදීහු පවසති. කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා විසින් සන්ධානයේ මහලේකම් පදවියට නම් කළ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නමට රනිල් පිල තවමත් අනුමැතිය ලබාදී නැත. එය අනුමත කිරීම හෙට කෘත්‍යාධිකාරියේදී සිදුකිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ. මෙහිදී රනිල් හිතවාදීන් වෙනත් නමක් යෝජනා කළහොත් එය උණුසුම් සටනක් වනු ඇති බව එජාප ආරංචි මාර්ග කියයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරියුමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත් විය. අගමැතිවරයා ද මෙවර එරටට ගියේ කුඩා දූත කණ්ඩායමක් සමඟ වීම විශේෂයකි. ඇමැතිවරුන් වන ඩග්ලස් දේවානන්ද, ආරැමුගම් තොණ්ඩමන් සහ මන්ත්‍රී ප්‍රසන්න රණවීර, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු මෙම දූත කණ්ඩායමට ඇතුළත් වූහ. එයින් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප්‍රථම හා දෙවැනි දින නිල කටයුතු හමාර වූ වහාම ශ්‍රී ලංකාව බලා පිටත් වූයේ කාර්යබහුලත්වය හේතුවෙනි. මෝදි අගමැතිත්, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතාත්, විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාත්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතාත් මහින්දලා වරින්වර හමුවූ ඉන්දීය නායකයන්ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේ දී ඇතිකරගත් එකඟතා සාර්ථක කර ගැනීම මෙවර නිල කතාබහවල ඉලක්ක වී තිබිණි. නවදිල්ලියේ පැවති සාකච්ඡාවලින් පසුව ඉන්දීය රජය මහින්ද රාජපක්ෂ මහතාට කුසිනාරාව, ලුම්බිණිය, තිරැපති ආදී පූජ්‍යස්ථාන ගණනාවක් වන්දනා කරන්නට ද අවශ්‍ය පහසුකම් සපයා තිබිණි.

එ.ජා.පයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ගිය බ්‍රහස්පතින්දාට යෙදී තිබුණු නමුත් එය ලබන සඳුදාට (හෙටට) කල් ගියේය. ඊට පෙර ගිය බදාදා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අතර එහිදී මහබැංකුවේ වෝහාරික විගණන වාර්තාව ගැන විවාදයක් ලබන 18/ 19 දෙදින පැවැත්වෙන බැවින් ඊට සූදානම් වන්නැයි මන්ත්‍රීන්ට දන්වනු ලැබීය. අනතුරැව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හදන සන්ධානය ගැන කතාබස් කෙරිණි. එය දැන් නිර්මාණය කරමින් සිටින අතර ලේකම් ධූරයට රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කළ බවද ප්‍රකාශ විය. අජිත් පී. පෙරේරා ඇතුළු පිරිසක් මේ ගැන අදහස් දක්වද්දී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා කීවේ සජිත් අගමැති අපේක්ෂක ලෙස නම්කළ පසු පාක්ෂිකයන් තුළ විශාල ප්‍රබෝධයක් හටගෙන ඇති බවකි. අනතුරුව සජිත් ද කතා කළේය. ඔහු සන්ධානය ගැන සිය මතය ප්‍රකාශ කරමින් තමන් එහි මහලේකම් ධූරයට රන්ජිත් මද්දුමබණ්ඩාරගේ නම යෝජනා කළ බවත් ඔහු පක්ෂ ජ්‍යෙෂ්ඨයකු නිසා කාගේත් සහාය ඇතිව ඔහු පත් කිරීම සුදුසු බවත් කීය. එම යෝජනාව මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අනුමත කළේය. එහෙත් ඒ නාමයෝජනාව එ.ජා.ප. කෘත්‍යාධිකාරියෙන් අනුමත කරගත යුතු යැයි පක්ෂ නායක රනිල් සභාවට දැන්වීය.

පොහොට්ටුව මන්ත්‍රී කණ්ඩායම ද පාර්ලිමේන්තුවේ තට්ටු ශාලා අංක 1 දී බදාදා රැස්විය. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එහි මුලසුන ගනු ලැබීය. මෙම රුස්වීමේදී සාමාන්‍ය දෛනික කටයුතු හා මන්ත්‍රීන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන අතර මහින්ද රාජපක්ෂ මහතා විමසුවේ මහමැතිවරණය සිංහල අවුරුද්දට පෙර පැවැත්විය හැකි ලෙස පාර්ලිමේන්තුව කලින් විසුරැවා හරින්නට විපක්ෂය ද තමන් සමඟ සාකච්ඡා කර ඇති බැවින් මන්ත්‍රීන් ඒ ගැන කියන්නේ කුමක්ද කියාය. මේ ගැන ඇතැම් මන්ත්‍රීන් සතුට පළ කළ නමුත් සමහරු විරුද්ධ වූහ. එහිදී මහින්ද කීවේ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තමන්ට මෙම යෝජනාව කළ බැවින් ඒ ගැන විමසූ බවයි. ඒ සම්බන්ධව සජිත් හිතවාදීන් කුමක් කියනු ඇත්දැයි මෙහිදී සාකච්ඡා වූ අතර ඇතැම් පොහොට්ටු මන්ත්‍රීන් පසුව මේ ගැන සජිත් ප්‍රමුඛ මන්ත්‍රීන්ගෙන් සිය මතය විමසූ බවද දැනගන්නට ඇතත් අවසන් තීන්දුවක් ප්‍රකාශ වී නොමැත.

ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ ස්ථානයේ විරෝධතාවන්හි නිරත වෙමින් සිටි ඩෙංගු මර්දන වැඩසටහනේ සහායකයන් සහ එච්.එන්.ඩී. සිසුන් අතරට හදිසියේම ගිය ජනාධිපතිවරයා ඔවුන් සමග කෙටි සුහද සාකච්ඡාවක නිරත වූහ. ඔවුන්ගේ ප්‍රශ්න කවරේදැයි විමසා බැලූ ජනාධිපතිවරයාට එම පිරිස් ප්‍රකාශ කළේ තමන්ගේ රුකියා පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවය. ඔවුන් දෙපිරිසේම අවශ්‍යතාව තමන් තේරුම්ගත් බව පැවසූ ජනාධිපතිවරයා මෙම දෙපිරිසම යෝජිත රජයේ රුකියා ලක්ෂයේ වැඩසටහනට ඇතුළත් කරගන්නා බවට ප්‍රතිඥා දුනි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ඔහු සිය නිලධාරීන්ටද උපදෙස් දුන්නේය.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර