2020 ජනවාරි 11 වන සෙනසුරාදා

ආණ්ඩුවේ නඩු අවුල ගැන ඇමැතිවරුන්ගෙන් පොලීසියට දොස්

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 416

අගමැති මහින්දත් රන්ජන්ට කතා කරලාලු
සජිත්ට නායකත්වය ගන්න පැය 4ක අරගලයක්
රන්ජන් සමඟ ගනුදෙනු කළ සී.අයි.ඩී. ලොක්කාගේ වැඩ තහනම්
පොතේ නීතිය නවන්නට ගිය රන්ජන් අතේ මාට්ටුයි
ඩාර්ලි පාරට බලෙන් ගිය චන්ද්‍රිකා දොට්ට
ලක්ෂ්මන් යාපා රන්මිණිතැන්න ගොඩගන්න හදයි

මේ සතියේ වඩාත් ආන්දෝලනයට ලක්වූ සිදුවීම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සිද්ධියයි. නිවෙස පරීක්ෂා කර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමක් සිදුවිය. එම කටයුත්තේ සාධාරණ අසාධාරණ බව ගැන ආණ්ඩුව තුළ මෙන්ම ආණ්ඩුවෙන් පිටතද සංවාද විසංවාද පවතී. මේවා සඳහා අණ දුන්නේ කවුද යන ප්‍රශ්නයද ආණ්ඩුවේ සමහර ප්‍රබලයෝම මතුකරති. ආණ්ඩුවේ ඇමැතිවරැන් ගණනාවක් පොලීසිය දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබුණේ ඔවුන් අදාළ නඩු කටයුතුවලදී විධිමත් නීතිමය විධිවිධාන මෙන්ම නෛතික ක්‍රියා පටිපාටියද අනුගමනය නොකළ බව කියමිනි.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව අත්අඩංගුවට ගත් ඖෂධ සංස්ථා හිටපු සභාපතිවරයාට බරපතළ චෝදනා එල්ල කර තිබුණත් ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර උසාවි වරෙන්තුවක් ලබා නොගත්තේ මන්දැයි අධිකරණය ප්‍රශ්න කර තිබිණි. මෙවැනි තාක්ෂණික දෝෂ නිසා නඩු කටයුතු අවුල් වීම ගැන ආණ්ඩුවේ මැති ඇමැතින් මෙන්ම වගකිවයුතු නිලධාරීන්ද ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්විය. ඒ බව සමාජ මාධ්‍ය ජාලාවලින් කෙරෙන ප්‍රකාශ ඔස්සේ හඳුනාගත හැක.

රන්ජන් රාමනායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ගිනි අවි සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් දුරකතන සංවාද ඇතුළත් සී.ඩී. තැටිවල තිබී රන්ජන් පසුගිය කාලයේ සිදුකළැයි පවසන දුරකතන සංවාද රාශියක් හමුවී ඇත. ඒවා මෙරට ආන්දෝලනාත්මක නඩු හබවලට සම්බන්ධ ඒවා මෙන්ම ඔහුගේ පෞද්ගලික චර්යාවට සම්බන්ධ බව දැනට සමාජ මාධ්‍ය ජාලාවල ඇතුළත් යට කී සංවාද ශ්‍රවණය කරන විට පැහැදිලි වෙයි. විනිශ්චයකාරවරුන් සමඟ රන්ජන් කළැයි කියන සංවාද මෙන්ම එවකට රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර සමඟ කළ බව කියන නඩුහබ ගැන කරන ලද කතාද බෙහෙවින් ප්‍රශ්න සහගතය. මේවා ගැන ප්‍රකාශ ගණනාවක් නිකුත් කළ ආණ්ඩුවේ මැති ඇමැතින් වන උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, ජානක වක්කුඹුර ආදීන් කියා සිටියේ පසුගිය රජය කාලයේ ඇතැම් වගකිවයුත්තන් නීතිය නැවූ බවට තම පක්ෂය දේශපාලන වේදිකාවල කරන ලද ප්‍රකාශ දැන් සත්‍යයක් බවට පත්ව ඇත කියාය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ නිසා බරපතළ ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටී. ඔහුට එරෙහිව දැනටමත් මෙරට ඉහළ අධිකරණ ගණනාවක උසාවියට අපහාස කිරීමේ නඩු ගණනක් පවතී. එහෙත් රන්ජන් සිතන්නේ මෙම සිදුවීමෙන් තමන්ට දේශපාලනමය වාසියක් සිදුවූ බවකි. ඒ බව ඔහු එ.ජා.ප.යේ සහෝදර මන්ත්‍රීන් සමඟද ප්‍රකාශ කර තිබුණේ උසාවියෙන් නිදහස ලැබූ දිනයේමය.

ඔහු මාධ්‍ය භාවිතයේදී මෙන්ම මහජන සම්බන්ධතා පැවැත්වීමේදීත් විශේෂයෙන් දුරකතන සංවාදවලදී අමුතු වැඩ කරන්නට ගියේය. එහෙත් රන්ජන්ගේ ඒ අමුතු වැඩ දැන් මහා විශාල සමාජ ප්‍රශ්නයක් නිර්මාණය කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගාල්ලට මාරු කර සිටි හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළේය. ඔහු ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහාකර ලෙස මාරුකර යවා සිටියේය. එම මාරැවට එරෙහිව ශානි අබේසේකර මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කර තිබිණි.

පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයාගේ රාජාසන කතාව ගැන පාර්ලිමේන්තු විවාදය සඳහා මැතිසබය රැස්වූනමුත් එදින සභාවේ ප්‍රබල ලෙස සාකච්ඡා වූයේ රන්ජන්ගේ දුරකතන සංවාදයක් ගැනයි. මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට අදාළව පැවති දුරකතන සංවාදයක රන්ජන් හා හිටපු අගමැති රනිල්ගේ ද හඬවල් ඇතුළත් නිසා ඒ ගැන වහා පරීක්ෂා කරන්නැයි කතානායක කරුට කීය. එහෙත් ඊට පිළිතුරු දුන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමන් කුමන්ත්‍රණකාරයකු නොවන බවත් සී,ඩී. සංවාදවල ප්‍රශ්න තිබේ නම් ඒවා කතානායකට භාරදිය යුතු බවත්ය. මේවා සමාජයේ ප්‍රසිද්ධි නොකර තමන්ගෙන් අවශ්‍ය විමසීම් කළ හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එහෙත් පසුගිය රජය කාලයේ නඩු හබ නිසා වින්දිතයන් බවට පත්වූ උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස්ද තවත් බොහෝ මන්ත්‍රීන්ද මේ සී.ඩී. සංවාද ගැන පාර්ලිමේන්තු විවාදයක්, ජනාධිපති කොමිසමක් හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු යැයි ඉල්ලා සිටි‍යෝය. විශේෂයෙන්ම අධිකරණ විනිසුරැවරුන් සමඟ කළ සංවාද ගැන විමර්ශනයක් කර ඔවුන් ලබාදුන් නඩු තීන්දු නැවත විමර්ශනය කළ යුතු යැයිද යෝජනා කර තිබිණි.

රන්ජන් රාමනායක රටපුරා පුවත් මවද්දී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රන්ජන්ගේ හඬපට මාධ්‍යයට නිකුත් වූ ආකාරය ගැන ඔහු දන්නා තොරතුරු මාධ්‍යයට කීය. ඔහු කියන පරිදි ඒ ගැන තොරතුරු දැනගෙන පොලීසියට ඔත්තුව දුන් පුද්ගලයා සතුව එම හඬපට තොගයේ පිටපත් පැවති බවත් ඔහු විසින්ම ඒවා සමාජ මාධ්‍ය ජාලාවෙත මුදාහැර ඇති බවත් වාර්තා විය.

උදය ගම්මන්පිල මාධ්‍යයට කරන ලද හෙළිදරව්ව අනුව රන්ජන් රාමනායක තමන්ගේ ජංගම දුරකතනයට ලැබෙන සහ ඔහු ලබාදෙන සියලුම, ඇමතුම් පටිගත කරන ඇප් එකක් පවත්වාගෙන ගොස් තිබේ. දුරකතනයේ දත්ත ගබඩාවල ඉඩකඩ මදිවූ විට එම දත්ත සී.ඩී. තැටිවලට ඇතුළත් කොට තබා ගැනීම රන්ජන්ගේ ප්‍රතිපත්තිය වී තිබිණි. දුරකතනයෙන් සී.ඩී.වලට මෙම සාකච්ඡා පටිගත කළ තැනැත්තා සතුවද රන්ජන්ගේ සියලු සංවාදවල පිටපත් තිබී ඇත. ඔහු විසින් මෙම තොරතුරු පසුව මාධ්‍යයට මුදාහැර ඇත්තේ ඒවා ප්‍රසිද්ධ වීමෙන් පසුව යැයි ගම්මන්පිල මන්ත්‍රීවරයා කීය. පොලිසිය විසින් රන්ජන්ගේ සී.ටී. තැටි තොගය අත්අඩංගුවට ගන්නාතුරු ඒ ගැන කිසිදු ප්‍රචාරයක් සිදු නොවූ බවද ගම්මන්පිල මහතා කීය.

කෙසේ හෝ දැන් මෙම සී.ඩී. තැටි තොගයම ඇත්තේ පොලීසිය සතුවය. ඒ ගැන පොලීසිය විධිමත් කටහඬ පරීක්ෂාවක් සිදුකොට අවශ්‍ය පියවර ගතයුතු බව ආණ්ඩුවේ අදහසයි. මෙම සංවාදවලට සම්බන්ධ වූ තැනැත්තන් ගැනද ඊළඟට පියවර ගතයුතු බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන්වා තිබේ. මේ ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂනායක හමුවේදීද සාකච්ඡා කර ඇත. ගිය අඟහරුවාදා අරලියගහ මැඳුරේදී එම හමුව පැවැත්විණි. උදය ගම්මන්පිල හා ප්‍රසන්න රණතුංග යන මහත්වරු රන්ජන්ගේ හඬපට ගැන දීර්ඝ වශයෙන් කරුණු සඳහන් කළහ. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීවේ මෙම කාරණය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සිතාගත නොහැකි බවයි.

එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු වන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්නගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. එම උත්සවය සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රාණි බණ්ඩාර, රවි සමරවීර, තලතා අතුකෝරාළ ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ රැසක්ම එක්ව සිටියහ. එහෙත් ආණ්ඩුව නියෝජනය කරමින් ප්‍රබල චරිත කිසිවක් මංගල උත්සවයේදී දක්නට නොලැබිණි. පක්ෂ ජ්‍යෙෂ්ඨයන් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයාත්, කරු ජයසූරිය මහතාත් සමඟ අසුන්ගෙන සිටි අතර සජිත් ප්‍රේමදාස මහතා මේසයෙන් මේසයට යමින් පක්ෂ හිතවතුන් හා මැති ඇමැතින් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටියේය. එහි සිටි සියලුදෙනා පාහේ කතා කළේ රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධිය ගැනයි. බොහෝ දෙනෙක් රන්ජන්ගේ ක්‍රියාව ගැන අප්‍රසාදයෙන් අදහස් දැක්වූ අතර රන්ජන් කළ දේ හොඳ වැඩක් නොවන බවද ප්‍රකාශ කළෝය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන වැඩි යමක් කියන්නට ගියේ නැත. එමෙන්ම පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් එහි සිටියද මේ දිනවල එජාපයේ පවත්නා අර්බුදය ගැන වචනයක්වත් කතා නොකිරීමද විශේෂත්වයකි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද හිටිඅඩියේ පුවත් මවන්නට සමත්ය. ඇය මෙවර පුවත් මැව්වේ ශ්‍රී ල.නි.ප. මූලස්ථානයේ පැවති පක්ෂයේ ආසන සංවිධායකයන්ගේ රැස්වීමකට අනාරාධිතවම පැමිණීමෙනි. අනාරාධිතව චන්ද්‍රිකා පැමිණීම නිසා එහි සිටි සංවිධායකයන් බෙහෙවින් කලබලයට පත්වූ අතර රැස්වීමට පැමිණ එහි මුලසුන ගැනීමට නියමිත වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට සහභාගි වූයේද නැත. නව වසර වෙනුවෙන් කැවුම් කිරිබත් මේසයක්ද ශ්‍රීල.නි.ප. මූලස්ථානයේ සංවිධානය කර තිබිණි. අනාරාධිතව පැමිණි චන්ද්‍රිකා රැස්වීම් ශාලාවට පැමිණ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රිනී ආරියවතී ගලප්පත්ති මහත්මිය සමඟ කතාබස් කළාය. පළාතේ දේශපාලනය හා ඉදිරි මහ මැතිවරණය ගැන චන්ද්‍රිකා ඇයට තම අදහස් ප්‍රකාශ කළ බව වාර්තාවෙයි. කෙසේ වෙතත් එහි සිටි ඇතැම් සංවිධායකයන් හිටපු පක්ෂ නායිකාවට දැඩි ලෙස විරෝධය දක්වමින් මහහඬින් කෑ ගසා ඇත. ඇය පසුගිය ඡන්දයේදී එ.ජා.ප. අපේක්ෂකයා දිනවන්නට වැඩ කිරීම සම්බන්ධව ඔවුහු ඇයට දොස් කීහ. ඇතැමුන් චන්ද්‍රිකා සිටින තැනකවත් තමන් නොසිටින බව කියමින් නැගිට ගොස් තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සහ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර කියා තිබුණේ හිටපු ජනපතිනිය පක්ෂ මූලස්ථානයට පැමිණීම තමන්ට ගැටලුවක් නොවන බවයි. එහෙත් කළින් ඇය ගත් තීන්දු නිසා පාක්ෂිකයන්ගෙන් ඇයට විරෝධය සාමාන්‍ය තත්ත්වයක් යැයි දයාසිරි ජයසේකර වැඩිදුරටත් කියා තිබුණි. කෙසේ හෝ මෙම රුස්වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාට සහ පක්ෂ මහලේකම්ට ඇතැම් සංවිධායකයන් විසින් යෝජනාවක් ලබාදුන්නේ හිටපු ජනපතිනියට අනාරාධිතව කිසිසේත්ම ශ්‍රී ල.නි.ප. මූලස්ථානයට පැමිණීම තහනම් කරන ලෙස කියමිනි.

පොහොට්ටුව නියෝජිතයන් සහ සෙසු හවුල්කාර පක්ෂවල ප්‍රධානීන් පසුගිය අඟහරුවාදා සවස මුණගැසුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්විය. මුලින්ම සාකච්ඡා වූයේ ඉදිරි මහ මැතිවරණය ගැනයි. යූ.එන්.පී.ය ආණ්ඩුවේ කටයුතුවලට සහාය ලබාදෙන බව කියමින් මහ මැතිවරණය කල් දමා ගැනීමට උත්සාහ දරමින් සිටින බව මෙහිදී විමල් වීරවංශ මහතා කීය. නමුත් මහින්ද රාජපක්ෂ මහතා එම අදහස ප්‍රතික්ෂේප කරමින් කීවේ සජිත්ලා කියන හැටියට තමන් ආණ්ඩු කරන්නේ නැති බවත් මාර්තු මැතිසබය විසුරුවා අප්‍රේල් අග ඡන්දය පවත්වන බවත්ය. එය ස්ථීර යැයිද මහින්ද රාජපක්ෂ මහතා කීය.

අනතුරුව ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය ගැන ප්‍රශ්න සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මහ ඡන්දයට තරග කරන්නට ගත් තීන්දුව මෙහිදී තහවුරැ කැරිණි. එවිට ඡන්ද සලකුණ ගැන නිමල් සිරිපාල හා දයාසිරි ජයසේකර මහත්වරු ප්‍රශ්න කළහ. මහින්ද රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ තම සන්ධානය පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීම යෝග්‍ය බවකි. දයාසිරි හා නිමල් ඒ ගැන වැඩි යමක් කීවේ නැත. ඇතැමුන් පසුගිය සන්ධාන ගිවිසුම ගැන ප්‍රශ්න කරද්දීද මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කරුණු දක්වමින් දැන් රටේ ජනප්‍රියම සලකුණ පොහොට්ටුව යැයි කීය. ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට එකඟ  බව කීය. නව සන්ධානය ලියාපදිංචි කොට එහි සලකුණ ලෙස පොහොට්ටුව තෝරාගත යුතු යැයි පක්ෂනායකයෝ බොහෝ දෙනෙක් කීහ. එහෙනම් පුටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලකුණ කරමු යැයිද ඇතැමුන් යෝජනා කළද ඒ ගැන බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු තීන්දුවක් ගැනීම හොඳ යැයිද ප්‍රකාශ විය. මහ මැතිවරණයට නව ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඕනෑ යැයි වාසුදේව නානායක්කාර ප්‍රශ්න කළ අතර ගෝඨාභය ජනාධිපතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරැන් එහිදී කීවේ ජනාධිපතිවරණයට ලබාදුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයම මහ මැතිවරණයටත් වලංගු කරමු කියායි. එහි සිටි බොහෝ පක්ෂ නායකයෝ එය අනුමත කළහ. අනතුරුව පැමිණ සිටි ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා තමන් භාරයේ තිබෙන රාජ්‍ය ආයතනවලින් එක් ආයතනයක් හෝ තෝරාගෙන මහ මැතිවරණයට පෙර ආදර්ශමත් මහජන සේවාවක් සපයන කැපී පෙනෙන ආයතනයක් කරන ලෙස නියම කළේය.

අනතුරැව රැකියා ලක්ෂය සැපයීමේ ක්‍රමවේදය ගැන සාච්ඡා කැරිණි. මේ රුකියා සම්පාදනය සිදුවන්නේ අ.පො.ස. සා.පෙළ අසමත් අයට යැයි පක්ෂ නායකයන්ට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැන්වූහ. එවිට දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ ආකාරයට අ.පො.ස. සා.පෙළ අසමත් අයට රජයේ රැකියා ලබාදෙන්නට ගියහොත් එයින් පෞද්ගලික අංශයේ පහළ තනතුරු සඳහා වෘත්තිකයන් සොයාගැනීමට අපහසු වනු ඇත කියායි. ජනාධිපති ගෝඨාභය එහිදී දයාසිරිට පිළිතුරු දෙමින් “යුද්දෙ කාලෙ අපි ආමි එකට සෙනඟ බඳවා ගන්නකොටත් ඔය වගේම කතාවල් සමහරු කිව්වා. නමුත් හමුදාවට කොච්චර පිරිසක් ගත්තත් පෞද්ගලික අංශයට ප්‍රශ්නයක් වුණේ නැහැ...” කීය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගිය බදාදා හදිසියේම ඔහුගේ නීතිඥවරියද සමඟ ගංගොඩවිල උසාවියට මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ තමන්ගේ දුරකතන සංවාදවලට අදාළ හඬපට මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම අත්හිටුවමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන හැටියටයි. ඒවා මාධ්‍යවල ප්‍රචාරය වන්නට පටන්ගත්තේ තමන්ගෙන් පොලීසිය අත්අඩංගුවට ගත් පසුව යැයිද රන්ජන් කීය. එහෙත් මහේස්ත්‍රාත් අධිකරණය රන්ජන්ගේ නීතිඥයන්ට කීවේ මෙම සී.ඩී. තැටි නඩු භාණ්ඩ ලෙස තවමත් අධිකරණයට ඉදිරිපත් වී නැති නිසා කළහැකි යමක් නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ද මාධ්‍ය හමුවක් තබා රන්ජන් රාමනායක සිද්ධිය ගැන එ.ජා.ප. ස්ථාවරය පැවසීය. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන බව අකිල විරාජ් මන්ත්‍රීවරයා කීය. විනය පරීක්ෂණයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා වගද හෙතෙම කීය. දැනට ප්‍රකාශයට පත්ව ඇති එක් හඬපටයක රනිල් වික්‍රමසිංහ මහතා සහ රන්ජන් අතර වන කතාබහක් ප්‍රචාරය වෙයි. තවත් හඬ පටයක රන්ජන් මෙරට ප්‍රධාන පෙළේ විදේශ මාධ්‍ය ඒජන්සියක ප්‍රබලයකු සමග කරන සාකච්ඡාවක් ප්‍රචාරය වෙයි. එම සාකච්ඡාවේදී එ.ජා.ප. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගැන රන්ජන් කරන හෙළිදරව්ව හා මත දැක්වීම එජාපය බරපතළම ප්‍රශ්නයකට තල්ලු කර තිබේ. මේ හේතු කාරණා නිසා රන්ජන්ගේ හඬපට සිද්ධිය ගැන පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් පත්කරන්නැයිද එජාපය දැනටමත් රජයෙන් ඉල්ලා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා සවස 3.00ට සිරිකොත මූලස්ථානයේදී රැස්විය. පක්ෂ නායකත්වය පිළිබඳ තීන්දුවක් ගැනීම රුස්වීමේ අරමුණ විය. රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ද එම දෙපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිහුද හමුවට එක්ව සිටියෝය. රැස්වීමේ ආරම්භයේදීම රනිල් වික්‍රමසිංහ මහතා කීවේ කරු, සජිත්, රනිල් තිදෙනා එක්වූ මණ්ඩලයක් මගින් පක්ෂය මෙහෙයැවිය යුතුය කියායි. පක්ෂයට අහිමි වූ බෞද්ධ ඡන්ද පදනම රැකගන්නට පිළිවන් කරු ජයසූරිය මහතාට යැයිද රනිල් කීය. එහෙත් සජිත් හිතවාදී මන්ත්‍රීන් ඊට එකඟ නොවීය. ඔවුන් පක්ෂ පාලනයට මණ්ඩල පිහිටුවීම ප්‍රතික්ෂේප කළහ. සරත් ෆොන්සේකා කීවේ කරු ජයසූරිය මහතාට බෞද්ධ ඡන්ද ඇතැයි කීවාට ගම්පහ නම් එවැනි තත්ත්වයක් නැති බවකි. මෙහිදී සජිත් කීවේ තමන්ට බෞද්ධ ඡන්ද ගැන ප්‍රශ්නයක් නැත කියායි.

ආවේගශීලී අදහස් දැක්වීම් රාශියක් මෙම හමුවේදී සිදුවූ අතර රන්ජිත් මද්දුම බණ්ඩාර කීවේ පක්ෂ නායකත්වය රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා රනිල් වික්‍රමසිංහ මහතා සජිත්ට නායකත්වය පැවරිය යුතු වගයි. හරින් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා, තලකා අතුකෝරාළ, සුජීව සේනසිංහ ආදීන් මේ ගැන දැඩිව අදහස් දැක්වූහ. රනිල් වෙනුවෙන් ඒ මොහොතේ කරුණු කියන්නට ආවේ නවීන් දිසානායක, වජිර අබේවර්ධන, අකිල විරාජ් ඇතුළු කිහිප දෙනෙකි. රවි කරුණානායකද කීවේ පක්ෂය නොබෙදා ජයග්‍රාහී මාවතක ගෙන යා හැකි කෙනෙක් පක්ෂය භාරගත යුතු වගයි. මෙම කතාබහ අතරතුර දැඩි ලෙස රළු පරළු වචන හුවමාරු විය. නවීන් දිසානායක හා හරීන් ප්‍රනාන්දු අතර වාග් ප්‍රහාරය බරපතල තත්ත්වයට පත්විය. පක්ෂ සමගිය ගැනද සමහරු අදහස් දැක්වූ අතර රංගේ බණ්ඩාර, සත්දිත් සමරසිංහ ආශු මාරසිංහ ආදීහුද රනිල් වෙනුවෙන් හඬ නගන්නට වූහ. මේ අවස්ථාවේ ප්‍රශ්නය උග්‍ර වනවිට රන්ජිත් මද්දුම බණ්ඩාර යෝජනා කළේ එසේ නම් මන්ත්‍රී කණ්ඩායම තුළ ඡන්දයක් විමසා තීන්දුවක් ගනිමු කියායි. එහෙත් එයින් පක්ෂය බෙදෙන බැවින් ඡන්දයකට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවීය. මෙලෙස බරපතල වාද විවාද මැද පැය හතරහමාරක් (රාත්‍රී 7.30 දක්වා) මන්ත්‍රි කණ්ඩායම් හමුව පැවැත්විණි. නමුත් නායකත්වය ගැන රනිල් වික්‍රමසිංහ මහතා තීන්දුවක් දුන්නේ නැත. ඔහු දින කිහිපයකට විදේශ ගතවන බවත් ලබන බ්‍රහස්පතින්දා නැවතත් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී නායකත්වය ගැන තීන්දුවක් ගන්නා බවත් කියා රනිල් මන්ත්‍රී හමුව හමාර කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් අතර හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා අරලිය ගහ මන්දිරයේදී සිදුවිය. ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, මන්ත්‍රී උදය ගම්මන්පිල, ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා ඇමැති මහින්ද යාපා අබේවර්ධනද රැස්වීමට පැමිණ සිටියහ. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට අගමැති හා ඇමැතිවරුන් පිළිතුරු දුන්හ. රන්ජන් රාමනායකගේ හඬපට ප්‍රශ්නය ගැන මෙහිදී මුලින්ම ප්‍රශ්න කැරිණි. ඒවා ගැන අධිකරණයත් අගවිනිසුරුතුමාත් කිසියම් පියවරක් ගත යුතු යැයි අගමැති මහින්ද මෙන්ම පැමිණ සිටි ඇමැතිවරුන් පෙන්වා දුන්හ. පසුගිය රජය කාලයේ ආණ්ඩුවේ ඇමැතිවරුන් හිටපු මාධ්‍ය ආයතන සභාපතිවරයකු හා ඇතුළු පිරිසක් විපක්ෂයේ නඩු කටයුතු මෙහෙයැවූ බවත් මෙහිදී නැවත වරක් අවධාරණය කළේය. හිටපු සංස්කෘතික ඇමැති සජිත්, සංස්කෘතික අරමුදලින් හිතුමතේ මුදල් බෙදා ඇතැයි කී අගමැතිවරයා සමහර පන්සල්වලට අනුමැතියක් නැතිව රුපියල් මිලියන 46 හා තවත් පන්සලකට රුපියල් මිලියන ගණනාවක් ගෙවන්නට පොරොන්දු වී කොටසක් ගෙවා ඇතැයිද කීය. ඒ ගැන නීතිමය පියවර ගන්නා බවද කීය.

මෙම සාකච්ඡාව අතර දිගටම රන්ජන් රාමනායකගේ සිද්ධිය ගැන විටින් විට අදහස් මතුවෙද්දී මාධ්‍ය ප්‍රධානියෙක් ප්‍රශ්න කළේ “ඔබතුමා රන්ජන්ට කතා කරල නැද්ද?” කියායි. “කතාකරල තිබෙනව. ඒ හැම මැති ඇමැතිට වගේම මම එයාගෙ උපන්දිනේට සුබ පතන්න පමණයි.” කියා මහින්ද සිනහ පහළ කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නවකවධ සිද්ධි සමඟ අලුතින් රැකියා සැපයීම ආදී රජයේ කටයුතු ගැනද මෙහිදී මැති ඇමැතිවරු කරුණු දැක්වූහ. තවත් රස කතාවක් මහින්ද අගමැතිවරයා මාධ්‍ය ප්‍රධානීන්ට කීවේ හාල් මිල ගණන් ඉහළ යාම ගැන ප්‍රශ්න කළ විටයි. “ජනාධිපති ගෝඨාභය මහත්මය දිවුරුම් දුන්න දවසෙම එක හාල්මෝල් කාරයෙක් හාල් මිල ගණන් විශාල ලෙස වැඩිකළා. ඔන්න ඔහොමයි එයාල අපට උදව් කළේ.... අගමැතිවරයා කීය. මේ ආකාරයට පැය එකහමාරක් පමණ පැවති කර්තෘ හමුව අවසාන වූයේ භෝජන සංග්‍රහයකිනි.

තොරතුරු තාක්ෂණ හා ජනසන්නිවේදන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිය අමාත්‍යංශ නිලධාරීන් සමග රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ අක්කර 235ක් තුළ කෝටි 200ක පමණ වියදමකින් ඉදිකළ ටෙලි සිනමා ගම්මානය පසුගිය කාලයේ කඩා වැටී තිබිණි. නැවතත් එම ස්ථානය පැවති තත්ත්වයට සංවර්ධනය කොට මෙරට හා විදේශීය සිනමා හා ටෙලිනාට්‍ය ශිල්පීන්ට සුදුසු පසුතල සකස් කිරීමට පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ බව කලාකරුවන්ට ද දන්වා අවශ්‍ය පියවර ගතයුතු යැයි ඔහු පෙන්වා දුනි. පැමිණ සිටි කලාකරුවන් හා ප්‍රදේශවාසී ජනතාවද මුණගැසුණ අමාත්‍යවරයා ඔවුන්ගෙන්ද මේ සඳහා යෝජනා ලබාගත්තේය.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර