2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

මැතිවරණ කොමිසමේ රැස්වීමෙන් එජාප - ජවිපෙ පිටව යයි

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 676

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජපන් සංචාරය නිමකොට මේ සතියේ මෙරටට පැමිණියේය. ඔහු මෙරටට පැමිණියේ තවත් විශේෂ තීරණයක් ගෙන බවද දැනගන්නට ඇත. ඒ අනුව ජනාධිපතිවරණයේදී තමන් නිර්පාක්ෂික වන බව කලින් කීවද එලෙස නිර්පාක්ෂික නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන්නට තබන ජන හමු ගණනාවකට ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. ඒවා පවත්වන ස්ථාන ගැන තවමත් තීරණයක් ගෙන නැත. එහෙත් මේ සතියේ ඔහුගේ දේශපාලන බලකොටුව ලෙස සැලකෙන පොළොන්නරැවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන දේශපාලන ගෝලයකු වන වයඹ ආණ්ඩුවේ පේෂල ජයරත්නලා සංවිධානය කළ ජන හමුවට ඔහු එක් නොවීය. එහෙත් දයාසිරි ජයසේකර - දුමින්ද දිසානායක සමඟ පේෂල ජයරත්න මෙහිදී ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් ගෝඨාභය ජනපති කළ යුත්තේ ඇයිද කියා පැහැදිලි කළේය. මේ තිදෙනාත් මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ දැන් ගෝඨාභයගේ ඡන්ද සටනේ ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරමින් සිටිති.

එහෙත් ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වූ එක් කරුණක් ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය සතියේ පසුවූයේ අපහසුතාවෙනි. ජනාධිපතිවරණය හමාර වූ සැණින් මහ මැතිවරණයක් පවත්වා නව රජයක් බිහි කිරීමට ජනාධිපතිවරණයේදී ජනවරමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටින බව එහි සඳහන් වීමය. එහෙත් මෙම ප්‍රකාශය ගැන මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකර ආදීහු අසතුටට පත්ව සිටියහ. ඔවුන්ට හිතවත් තවත් මන්ත්‍රීන් ගණනාවක් ද තදින් පාර්ලිමේන්තු ඡන්දයකට යාම ගැන විරෝධය පළකර තිබිණි. මේ බව රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාටත් දැනගන්නට ලැබුණේ ඔවුන් විරෝධය පළකළ දිනයේමය. මෙහිදී මහින්ද අමරවීරට පැහැදිලි කළේ “අපේ පක්ෂය මේ ජනාධිපතිවරණයෙන් දිනන බව නියතයි. එහෙම දිනලා අපට රනිල් අගමැති කරන්න පුළුවන්ද අපට තියෙන පාර්ලිමේන්තු ඡන්ද ගණනෙ හැටියට හදිසි ඡන්දයකට 2/3 ගන්න එක අමාරුයි. හැබැයි 113ක සරල බහුතරය හදාගන්න පුළුවනි.. අපි කරන්නේ ඒකයි” යනුවෙන් අමරවීරට කතාව විස්තර කළ මහින්ද කීවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ද 2015දී කළේ එසේම බවයි. මේ බව පාක්ෂිකයන්ට කියන්නැයි කී රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේ “මෛත්‍රී මහ මැතිවරණය ප්‍රමාද කර තිබ්බ නිසයි එදා අපිට මේ තරම් ආසන ගණනක් ගන්න හම්බවුණේ. ඒ වැඩේ අපි කරන්න හොඳ නෑ” කියායි. එවිට දයාසිරි හා අමරවීර මේ ගැන තිබූ කුකුස අයින් කරගත්හ.

එ.ජා.පයේ නිර්මාතෘ මහාමාණ්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ මුණුපරකු වන විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇතුළු එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඔහුට සහාය දීමට රහසේ තීන්දු කර තිබිණි. වසන්ත සහ තවත් ජ්‍යෙෂ්ඨයෙක් වහාම ගෝඨාගේ වේදිකාවට පැමිණීමට අවශ්‍ය බව කීවත් ඔවුන්ට නියමිත මොහොත දන්වන තෙක් නිහඬව සිටින්නැයි මහින්ද රාජපක්ෂ මහතා දන්වා තිබිණි. ඒ අතර මෙලෙස පක්ෂ මාරුව ගැන නම කියැවුණ සාගල රත්නායක මහතා මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට තදින් දායක නොවුණ ද ඔහුගේ පක්ෂ කාර්යාල සියල්ල සජිත් වෙනුවෙන් විවෘත කර ඇති බව ද සඳහන්ය.

කෙසේ හෝ පක්ෂ මාරුව සඳහා මුලින්ම සූදානම් වූයේ වසන්ත සේනානායක රාජ්‍ය ඇමැතිය. ඔහු තමන්ට තිබෙන ප්‍රශ්න ගණනාවක් ගැන සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා වෙත ලිපියක් යවමින් විමසූ නමුත් ඊට සජිත්ලාගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එනිසා ගිය බදාදා වසන්ත සේනානායක විදේශ අමාත්‍යංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ තමන්ගේ අනාගත දේශපාලන තීරණය රටට දන්වා සිටීමටයි. එහෙත් ඒ කතාව එළියට පැමිණීමත් සමඟ එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් වසන්ත සමඟ ප්‍රශ්න සමතයකට සාකච්ඡා කළහ. එහෙත් ඔහුගේ තීන්දුව පැහැදිලි බව ඔවුනට පෙනුණි. ඒ සමඟ පක්ෂයෙන් අණ ලැබුණේ වසන්ත සේනානායක මහතා දරන විදේශ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඔහු ඉවත් කිරීමටත් එ.ජා.ප සාමාජිකත්වය තහනම් කිරීමටත්ය.

ඒ තීරණය ගිය අඟහරුවාදා රාත්‍රියේ පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කළේය. කෙසේ වෙතත් පක්ෂ මාරු කිරීම් ගැන අපූරු ඉතිහාසයක් තිබෙන වසන්ත සේනානායක මහතාගේ තීරණය පසුපස ඊට සහාය දක්වන පිරිසක් සිටින බව පොහොට්ටුව ආරංචි මාර්ග කියයි.

එහෙත් පසුගිය බදාදා මාධ්‍ය සාකච්ඡාවක් තැබූ වසන්ත සේනානායක මහතා තමන් දරන කිසිම තනතුරකින් ඉවත් නොවන බවත් පුළුවන් නම් ඉවත් කර බලන ලෙසත් එ.ජා.ප.යට අභියෝග කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එ.ජා. පෙරමුණ සජීවී රෑපවාහිනී විවාදයකට එන ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කළේය. එම අභියෝගය ගැන ගෝඨාභය පාර්ශ්වය මේ සතිය වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එ.ජා.පයේ මාධ්‍ය මෙහෙයුම්කරුවන් එය තුරුම්පුවක් කරගෙන පොහොට්ටුවේ අපේක්ෂකයාට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරද්දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන් සජිත් සමඟ විවාදයකට ඕනෑම මොහොතක සූදානම් යැයි කීය. එහෙත් ඊට පෙර සජිත් ප්‍රේමදාස මහතා ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කළ යුතු යැයි නාමල් සඳහන් කර තිබිණ. එහෙත් සජිත් පාර්ශ්වය ඒ ගැන අදහස් දක්වමින් කියා තිබුණේ නාමල්ගේ මේ යෝජනාව රාජපක්ෂ පවුලේ අර්බුදයක් නිසා එළි දුටු එකක් කියායි. එහිදී විමල් වීරවංශ කීවේ සජිත්ට ගැලපෙන්නේ නාමල් මිස ගෝඨාභය නොවන බවය.

මේ සතියේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ තවත් කරුණක් වූයේ දෙමළ ජාතික සන්ධානය තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව සඳහන් කර තිබූ නිසාය. දෙමළ ජාතික සන්ධානය සහ තවත් හවුල්කාර කුඩා පක්ෂ ගණනාවක් එක්ව ප්‍රධාන ජනාධිපති ධූර අපේක්ෂකයන් වෙත කාරණා 13කින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබිණි. නමුත් එම යෝජනා මාලාවේ අඩංගු බරපතළ කාරණා නිසා ප්‍රධාන පක්ෂ කිසිවක් එයට ප්‍රතිචාර දැක්වූයේ නැත. නමුත් මහින්ද රාජපක්ෂ මහතා කීවේ මේ යෝජනා ගැන අපට කතා කරන්නටත් දෙයක් නැත කියායි. සජිත් ප්‍රේමදාස පාර්ශ්වයත් යෝජනා ගැන එම පක්ෂ සමඟ නොයෙක් වර කතා කළත් කිසිදු නිල ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

මේ ගැන දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ පක්ෂ කනස්සල්ලෙන් සිටි අතර ගිය සතියේ හදිසියේම එහි මන්ත්‍රී සුමන්තිරන් මහතා එංගලන්තයට හා ප්‍රංශයට ගොස් දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් මුණගැසුණේ මේ ගැන ඔවුන් සමඟ කතා කරන්නටයි. ඒ සාකච්ඡාවෙන් පසු ලංකාවට පැමිණි ඔහු දෙමළ සන්ධාන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ අතර පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ මේ සතියේ වාර ගණනාවක්ම මුණගැසී ඔවුන් ගත යුතු තීන්දුව ගැන කතාබහ කළෝය. සිද්ධාර්ථන් සුමන්තිරන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වූයේ ගෝඨාභය රාජපක්ෂ යනු යුදවාදී චරිතයක් නිසා රාජපක්ෂවරැන්ගෙන් ඔවුනට කිසිදු සාධාරණයක් ඉටු නොවන බවයි. එහෙත් එ.ජා.පයට ද නිකම්ම සහයක් ලබා නොදිය යුතු යැයි ඔවුහු සාකච්ඡා කළහ. ඒ ගැන මෙම ඉල්ලීම්වලට අත්සන් කළ ශිෂ්‍ය සංවිධාන හා හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් සමඟ ද කතාබහ කැරිණි. නමුත් ඒ කිසිවකු සමඟ දෙමළ සන්ධානයට එකඟත්වයකට පත්වීමට හැකියාවක් ලැබුණේ නැත. මේ සතියේ සාකච්ඡා අවසානයේ විග්නේෂ්වරන්ලා කීවේ දකුණේ සිංහල අපේක්ෂකයන්ට සහය දීමෙන් පලක් නොවන බවය.

ඔහු ගිය අඟහරැවාදා සිය පක්ෂය වන දෙමළ ජනතා සභාව හමුවී ඒ ගැන කරුණු දැක්වීය. ඒ සාකච්ඡාවේදී විග්නේෂ්වරන් මහතා කීවේ තම පක්ෂය ඇතුළු උතුරේ පක්ෂ ගණනාවක් විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි 13 සම්බන්ධව දකුණේ කිසිම පක්ෂයක් සාධනීය ප්‍රතිචාරයක් නොදක්වා උතුරේ ජනමතය අමතක කර ඇති බවකි. ඒ නිසා තම පක්ෂයේ අදහස වන්නේ දෙමළ ජනතා සභාවේ නියෝජිතයන් කිසිදු පක්ෂයකට නිල වශයෙන් සහය නොදී තමන්ගේ කැමැත්ත අනුව තීන්දුවක් ගතයුතු වගය. ඒ සමඟ පක්ෂ නායකයා ලෙස තමන් කිසිම අපේක්ෂකයකුට සහය පළ නොකරන්නේ යැයි විග්නේෂ්වරන් මහතා කීය. යට කී ලෙස මෙම ගිවිසුම සකස් කළ යාපන සරසවි ශිෂ්‍ය සංගමය සමඟ උතුරේ සියලු පක්ෂ කතා කළ නමුත් පොදු තීන්දුවකට පැමිණිය නොහැකි වූ නිසා මෙම මතය තමන් මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ යැයි ද ඔහු පැවසීය.

ඒ අතර උතුරේ කුඩා පක්ෂ නායකයකු වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඡන්දය වර්ජනය කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් අවසන් මොහොතේ උතුරේ බහුතර ජනතා බලය ඇති දෙමළ ජාතික සන්ධානය සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට පළකරන්නට අභ්‍යන්තර තීන්දුවක් ගත්තේය. එම තීරණයට හේතුව අනෙක් ප්‍රධාන අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උතුරේ ජනතාවට කිසිදු සුගතියක් අත් නොවන නිසා ඔහු පරාජයට පත් කරන්නට සහාය දීම සිය පක්ෂයේ වගකීම ලෙස සලකමිනි.

මේ සතියේ ප්‍රධාන පක්ෂ සියල්ලම සැරසුණේ තැපැල් ඡන්දය වෙනුවෙනි. රාජ්‍ය සේවයේ ලක්ෂ 15කට ආසන්න සේවකයන්ගෙන් මැතිවරණ රාජකාරිවල නියුතු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තැපැල් ඡන්දය අයදුම් කර ඇත. තැපැල් ඡන්දය දා මහනුවර රැස් වූ සජිත් ප්‍රේමදාස මහතාගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහනායක හිමිවරුන් වෙත පිළිගැන්වූහ. ඒ සමඟ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහනුවර ක්වින්ස් හෝටලයේ පැවැත් උත්සවයකදී එළිදක්වනු ලැබීය. සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම්කර තිබුණේ සජිත් සමාජ විප්ලවය නමිනි.

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වූ දාම පොහොට්ටුව හා සෙසු පක්ෂ 20ක් සමඟ නව සන්ධාන ගිවිසුම අත්සන් කිරීම කොළඹදී සිදුවිය. එම ගිවිසුම අත්සන් කිරීම සඳහා පැවති උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහත්වරු සහභාගී වීමට සිටියත් අවසන් මොහොතේ ගිය අඟහරුවාදා පැවති පක්ෂ නායකයන්ගේ හමුවේදී දයාසරි ජයසේකර සඳහන් කළේ ජනාධිපති මෛත්‍රී නිර්පාක්ෂික නායකයකු බැවින් ඔහු මෙබඳු උත්සවවලට පැමිණීමට අපේක්ෂා නොකරන වගයි. එවිට මහින්ද රාජපක්ෂ මහතා ද ඊට එක් නොවිය යුතු යැයි පොහොට්ටුවේ ඇතැමුන් කීවද ගාමිණි ලොකුගේ, බැසිල්, දිනේෂ් ඇතුළු නායකයන් සඳහන් කළේ මෛත්‍රී ජනාධිපතිතුමාගේ තීන්දුව කුමක් වුවත් මහින්ද මහතා ගෝඨාභය සමඟ ඊට එක්විය යුතුය කියායි.

ඒ සම්බන්ධ සාකච්ඡා කරන්නට තැබූ විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී ජෝන් සෙනෙවිරත්න මහතා මහින්ද අමරවීරට කීවේ එස්. බී. ඩිලාන් හා තමන් නැවත ශ්‍රී.ල.නි.පයට එන්න හදන බවත් කිසිසේත්ම ඔවුන් නැවතත් ශ්‍රීලනිපයට නොගන්නා වගත් දයාසිරි රත්නපුරයේ ජනහමුවකදී සඳහන් කළ වගයි. එහෙත් දයාසිරි එය ප්‍රතික්ෂේප කරමින් සමාව ඉල්ලා සිටියේය. පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර සන්ධාන ගිවිසුම අත්සන් කළ දා බැඳුම්කර වංචාවට තමන් සම්බන්ධ කරමින් ප්‍රකාශයන් එතැන බෙදා හැරීම වරදක්ය කියාද ඔහු කීය. එය පොහොට්ටුවේ වැඩක් නොවන බව රැස්වීමට පැමිණ සිටි බැසිල්ලා දයාසිරිට කීය. බාහිර පාර්ශ්වයක් වැඩකටයුතු අවුල් කරන්න එවැන්නක් කරන්නට ඇති බව ඔහු සඳහන් කර තිබිණි.

එ.ජා.ප.යේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අනාගත එජාප ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්වුවහොත් අගමැති තනතුරට අලුතෙන් කෙනෙක් නම් කරන වග වාර ගණනාවක් විවිධ ඉඟි පළකර තිබිණි. මේ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතුන් තරමක් අපහසුතාවට පත්ව සිටියෝය. ඒ නිසා අරලියගහ මැඳුරේ මාධ්‍ය හමුවක් කැඳවා තමන් ජනාධිපතිවරණයෙන් පසුවත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බව කියන්නට රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවිය. මෙහිදී සජිත් ජනාධිපති ලෙස පත්වන බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් කරන්නට අපේක්ෂා කරන වැඩකටයුතු ගැනත් රනිල් පැහැදිලි කළේය. එය සජිත් පිල කැළඹූ පුවතක් බවට පත්වූයේ නිමේෂයකිනි.

අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ සාක්ච්ඡාවට ගැනුණේ මේ සතියේය. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට පෙර පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිවිසුමට අදාළ තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කළේය. එහිදී ජනාධිපතිවරයා කීවේ ලෝක බැංකුව ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ගණනාවක් මෙමඟින් නොයෙක් ගැටලු ඇති බව බව පෙන්වා දී ඇති බවයි. එසේම මානව හිමිකම් ප්‍රශ්න ඇතිවීමට ද ඉඩ ඇතැයි ජනාධිපතිවරයා කීය. නමුත් මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහසට එකඟ වූයේ නැත. ඔවුන් කීවේ එවැන්නක් ඇති නොවන බවය. එසේම මෙම ගිවිසුම රටට හිතකර ඉතා වාසිදායක එකක් බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පක්ෂ ප්‍රධානීන්ගේ විශේෂ හමුවක් පසුගිය අඟහරුවාදා මැතිවරණ කොමිසමේ කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අජිත් පී. පෙරේරා, බැසිල් රාජපක්ෂ, නීතීඥ සාගර කාරියවසම්, බිමල් රත්නායක ඇතුළු ප්‍රධාන පක්ෂවල නියෝජිතයෝ එක්ව සිටියෝය. මෙහිදී ඉතා උණුසුම් මාතෘකා ගණනාවක් සාකච්ඡාවට ගැනුණි. ඉන් ප්‍රධාන මාතෘකාවක් වූ පෞද්ගලික මාධ්‍ය පාලනය සඳහා මැතිවරණ කොමිසම ක්‍රියා නොකරන්නේ මන්ද යන්න මුලින්ම ප්‍රශ්න කළේ ජ.වි.පෙ  නියෝජිත බිමල් රත්නායක මන්ත්‍රීවරයාය. “ඔබ නිතරම මාධ්‍ය ගැන කතා කරනවා. ඇයි මේ පෞද්ගලික මාධ්‍ය පාලනයකට ක්‍රියා කරන්නේ නැත්තේ...” යැයි ඔහු මුලින්ම ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේ “මන්ත්‍රීතුමා ඒකට මට නීතිමය බලයක් නැහැ. අපි කොපමණ වාර ගණනක් ඔබතුමාලට කිව්වද පාර්ලිමේන්තුවෙන් ඒකට අදාළ නීතිය පාස් කරලා දෙන්න කියලා?” කියමින් පිළිතුරු දෙද්දි බිමල් රත්නායක ඉන් පෑහීමට පත්වූයේ නැත. ඔහු තවදුරටත් ඒ ගැනම කතා කරද්දි සභාපති දේශප්‍රිය කීවේ “තමුන්නාන්සේලාගේ පක්ෂයේ මන්ත්‍රීලා හයදෙනෙක් සභාවේ හිටියා. කෝ ඉතින් කවුරුවත් අපට මේකට බලය දුන්නද? ඒ නිසා අපිට බලයක් නැති දේ කරන්න කියන්න එපා.” යනුවෙනි. සභාපති දේශප්‍රිය සමඟ එවර පැටලුණේ එ.ජා.ප.ය නියෝජනය කරන අජිත් පී. පෙරේරා අමාත්‍යවරයාය. ඔබ පාලනය කළ යුතු යැයි අජිත් කියනවිට මැ.කො. කලින් දුන් පිළිතුරම සවිස්තරාත්මකව කීය. “එහෙමනම් බොරැවට මේවා මෙතක කතා කරලා වැඩක් නැහැ. අපි යනවා යන්න” කියූ අජිත් පී. පෙරේරා පොත්පත් කිහිලි ගන්නාගෙන පිටත්ව ගියේය.
අජිත් පී. පෙරේරා පිටව ගිය පසු මහින්ද දේශප්‍රිය මහතා ඒ ගැන තවදුරටත් කරැණු දක්වන්නට විය. සමහර මාධ්‍ය ආණ්ඩුවකට සහාය දෙනවා තවත් දෙක තුනක් විපක්ෂයටත් සහය දෙනවා. අපිට තිබෙන බලතල අනුව කරන්න පුළුවන් රාජ්‍ය මාධ්‍ය ආයතන පාලනය පමණයි. එවිට බිමල් රත්නායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ “විද්‍යුත් මාධ්‍යයට ලබා දෙන තරංග සංඛ්‍යාත කියන්නේ රාජ්‍ය දේපොළක්. ඒ නිසා විද්‍යුත් මාධ්‍ය මහජන අයිතිය යටතේ තිබෙන දෙයක්” යනුවෙනි. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ “එහෙමනම් සාධාරණත්වය ලබාගන්න ඔබතුමාලා උසාවි යන්න” යැයි කියායි. එහෙත් බිමල් රත්නායක දිගින් දිගටම කීවේ සංඛ්‍යාත රාජ්‍ය දේපොළක් බැවින් එය පාලනය කරන්නම යන අදහසයි. මෙහිදී තරමක් අපහසුතාවට පත්වූ මැතිවරණ ප්‍රධානියා “ඔව්. ඔව්. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් ඔය හැමදේ ගැනම ප්‍රශ්න තිබෙනවා...” සමහර දේශපාලන පක්ෂත් රූපවාහිනී සංඛ්‍යාත අරන් වැඩි ගණනකට විකුණගත්තා” යැයි පැවසීමත් සමඟ නැගී සිටි බිමල් රත්නායක මන්ත්‍රීවරයා “මෙතන මේවා කතා කරලා වැඩක් නැහැ” කියා අජිත් පී. පෙරේරා මෙන්ම රැස්වීමෙන් පිටව ගියේය. අනතුරුව තවදුරටත් සාකච්ඡාව ගෙන ගිය සභාපති දේශප්‍රිය මහතා අපේක්ෂක සංඛ්‍යාව ඉහළ යාමෙන් ඡන්ද පත්‍රිකාව දිගුවීමත් තවත් ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් නිසාත් ඡන්ද විමසීම හමාර කරන කාලය සවස 4.00 සිට 5.00 දක්වා පැයකින් දීර්ඝ කරන බව කීය. එම යෝජනාව පක්ෂ නායකයෝ අනුමත කළහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ජනාධිපති වුවහොත් එම රජයේත් අගමැතියැයි කළ ප්‍රකාශයට සජිත් දඹුල්ලේ පැවති මහජන රැලියකදී පිළිතුරු දුන්නේ ව්‍යංගයෙනි. සජිත් එහිදී කීවේ තමන්ගේ ආණ්ඩුවක් යටතේ කෙරෙන පත්කිරීම්වලින් දැනට නිවේදනය කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම පමණක් බවයි. ඔහුට ආරක්ෂක අමාත්‍ය ධූරය පැවරීම හැර වෙනත් කිසිදු තනතුරක් ගැන තමන් තීරණයක් ගෙන නැතැයි සජිත් කියා සිටියේ රනිල් තමන් අගමැති යැයි කිවූ කතාවට පිළිතුරු ලෙස විය හැකි බව දේශපාලන විචාරක මතයයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස පක්ෂයේ නැගෙනහිර පළාතේ ප්‍රබල බල කණු දෙකක් ගැලවීමට බැසිල් රාජපක්ෂ මහතා සමත්ව සිටී. ඒ මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මහ ලේකම් හසන් අලි සහ එහි හිටපු සභාපතිවරයකු මෙන්ම අමාත්‍යවරයකු වන බසීර් සේගුදාවුඩ් යන මහත්වරුය. මේ දෙදෙනාම නැගෙනහිර පළාතේ ජනප්‍රිය සෑහෙන ඡන්ද පදනමක් ඇති දේශපාලනඥයන් දෙදෙනෙකි. එහෙත් රවුෆ් හකීම්ගේ පාලනය යටතේ පක්ෂයේ බහුතරය වෙසෙන නැගෙනහිර ජනයාට සහයක් නැතැයි කියමින් හසන් අලි සහ බසීර් පක්ෂයෙන් ඉවත්ව වෙනම දේශපාලන පක්ෂයක් සංවිධානය කිරීමේ නිරතව සිටියහ. ඔවුන් පොහොට්ටුවට එක් කරගත්තේ බැසිල් රාජපක්ෂ මහතා වාර ගණනාවක් ඔවුන් හා පැවැත්වූ සාකච්ඡාවකින් පසුවය.

ඒ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණ සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නගින බව ප්‍රකාශ කළාය. ඉදිරි සති දෙකේ චන්ද්‍රිකා සජිත් වෙනුවෙන් ජන රැලි කිහිපයක් අමතනු ඇති බව ද වාර්තා වෙයි. ශ්‍රීලනිපයට සුරැකීමේ සංවිධානය නම් සංවිධානයක් හරහා කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද (එ.ජා.පයට නොගොස්) සජිත්ට සහය දෙනු ඇතැයි දැනගන්නට තිබේ. ලබන 05 දා චන්ද්‍රිකා මැතිනිය හා කුමාර් වෙල්ගම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපය සුරුකීමේ සංවිධානය විසින් විශේෂ සමුළුවක් කැඳවීමට ද තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

රාජපක්ෂ දේශපාලන පරපුරේ සිව්වැනි පරම්පරාව ගැන මේ සතියේ මුල්වරට තොරතුරු වාර්තා විය. ඒ පසුගිය වසරේ විවාහ වූ මහින්දගේ කනිටු පුත් රෝහිත හා ඔහුගේ බිරිය ටට්යානා දෙමව්පියන් බවට පත්කරමින් ගිය බදාදා අලුයම කොළඹ නවලෝක රෝහලේදී පුත්‍රයෙක් උපන්නේය. නිර්වාන්ත නමින් නම් තබා ඇති මේ තම පරපුරේ කුළුඳුල් මුණුපුරාගේ උපත සිදු වූ බදාදා අලුයම තුන වනවිට මහින්ද - ශිරන්ති යුවල ද නාමල් - ලිමිනි රාජපක්ෂ යුවල ද රෝහල් ප්‍රසූතිකාගාරය ඉදිරියේ සිටියහ. මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන නාමල්, යෝෂිත හා රෝහිත ඉපැදුණු නවලෝක රෝහලේදීම රෝහිතගේ කුළුඳුල් පුත්‍රයා ද ඉපැදීම විශේෂයෙකි. රාජපක්ෂ පවුලේ ලොකු අයියා වන චමල් රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය යෙදී තිබුණු මෙදින රාජපක්ෂ පරපුරේ අලුත්ම සාමාජිකයා පවුලට එක්වීම ගැන මහින්ද පසුවූයේ සතුටිනි. “දැන් මම සීයා කෙනෙක්.. සීයා කියන කොට ඉබේම වයසක ගතියක් දැනෙනවා” යැයි මහින්ද තම හිතවතුන් සමඟ සතුටින් පවසනු ඇසිණි.
සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සජිත් සමාජ විප්ලවය මහතා හිමිවරුන්ට පිළිගැන්වීමෙන් පසු නිල වශයෙන් නිකුත් කිරීම මහනුවර ක්වීන්ස් හෝටලයේදී සිදුවිය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් මෙම අවස්ථාවට එක් වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරැද්ධ පාදෙණිය ද මෙයට එක්ව සිටියේය. එහෙත් ඔහු ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන උත්සවයට යෑම ගැන මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබුණේ එය නොකළ යුතු දෙයක් බවයි. එසේම සජිත්ගේ උත්සවයට යාමෙන් එම වරද ඩබල් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කීය.

මෙම උත්සවයේදී එරාන් වික්‍රමරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් කතා කළ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කතාවක් ලබා නොදීම ගැන රනිල්ගේ හිතවතුන් සිටියේ නොසතුටිනි. සජිත්ගේ සටන් විප්ලවය ගැන ආරාධිත දෙසුම පවත්වන ලද්දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි. ඔහු කීවේ තමන් දේශපාලනඥයකු නොවන බවත් පුනරුදය ව්‍යාපාරය හරහා රටට අලුත් මාවතක් විවෘත කර දෙන්නට උත්සාහ කරන්නකු බවත්ය. සජිත්ගේ සමාජ විප්ලවය හොඳ හීනයක් යැයි ද වික්ටර් අයිවන් මහතා කීය.

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු උතුරේ මහජන රැලි ගණනාවකට සහභාගී වූහ. යාපනය හා වව්නියාව ප්‍රදේශවල එම රැලි සංවිධානය කර තිබිණි. යාපනයේදී වෙනදා නැති ජනතා ප්‍රතිචාරයක් ගෝඨාභයට හා මහින්දට හිමි විය. යාපනයේ වෙසෙන සියලු හින්දු ආගමික පූජකවරයන්ගේ නායකයා වන නල්ලයි ආදී නම් පූජක තුමා මුණගැසීමට විශේෂයෙන් ගිය මහින්ද හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට ඔහු මුලින්ම ආශිර්වාද කොට ඉතා කුඩා ත්‍යාග දෙකක් පිරිනැමීය. ඒ ඉතා සුරක්ෂිතව මංජුසාවක බහා තිබූ රුද්‍රාක්ෂ ඇට මාල දෙකකි. ඉතා කුඩා ඇට මාල දෙක දේව ආශිර්වාදයෙන් සම්පූර්ණ බව පැවසූ පූජකතුමා යන යන තැන ජයග්‍රහණ හා රැකවරණ ලබාගන්නට මෙම ඇට මාල තමන් සන්තකයේ තබාගන්නා ලෙස ඉල්ලීමක් කළේය.

ඡන්ද රැස්වීම් ආමන්ත්‍රණයට සජිත් සහ ගෝඨාභය දෙදෙනාම යන්නේ ගුවනිනි. සජිත් ප්‍රේමදාස මහතා ගිය බදාදා දඹුල්ලේ සිට කුරුණෑගල රැස්වීම් ඇමතීම සඳහා කුරුණෑගලට හෙලිකොප්ටරයෙන් පැමිණියේ රාත්‍රී කාලයේය. වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව සඳහා පැමිණි ඔහු රැගත් හෙලිකොප්ටරය ක්‍රීඩාංගණයට පහත් කරද්දී එකවරම ඒ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා හෙලිකොප්ටරය ගොඩබාන්නේ නැතිව කොළඹට පැමිණියේ රැස්වීම ද අවලංගු කරමිනි. එහෙත් ඉන් පසුව සජිත් පිලේ සාමාජිකයන් ගණනාවක්ම ප්‍රකාශ කළේ හෙලිකොප්ටරය ගොඩබාන මොහොතේ විදුලිය විසන්ධි වීම සැලසුම් සහගත කුමන්ත්‍රණ ක්‍රියාවක් නිසා මේ ගැන වහා නීතිමය පරීක්ෂණයක් කරන ලෙසය.

මේ කතාව ප්‍රසිද්ධ වුවද ගෝඨාභය රාජපක්ෂ මහතාටත් මෙවැනිම භයානක අත්දැකීමකට මුහුණදීමට සිදුවිය. ඒ කතාව දන්නේ කිහිපදෙනෙකි. ගෝඨාභය රාජපක්ෂ මහතා මඩකලපුවේ පැවති ජනරැලි සඳහා සහභාගී වීමට පිටත්ව ගියේ මුදල් ගෙවා කුලියට ගන්නා ලද ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකිනි. එම ගුවන් යානය ගිය සඳුදා මඩකලපුව ගුවන් තොටුපොළට පැමිණෙන විට ප්‍රදේශයට අධික ලෙස වැසි වැටෙමින් තිබිණි. අහසේ දැඩි මීදුම් සහ වලාකුළු බහුල විය. යානය පැදවූයේ අති දක්ෂ ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකි. ධාවන පථය හෝ එහි සංඥා ආලෝක පද්ධතිය පවා දැකගත නොහැකි වුවත් රේඩාර් සබඳතාව හා පළපුරැද්ද ඇති නියමුවන් දෙදෙනා ගුවන් යානය මඩකලපු ගුවන් තොටුපොළට පහත් කළේ අනුමානයටයි. ධාවන පථය ආසන්නයටම යානය පහත් කැරිණි. මහ පොළොවට අඩි කිහිපයක් ඉහළදී නියමුවන් දෙදෙනා දුටුවේ යානය ගොඩබස්සවන්නේ ධාවන පථය දිගේ ධාවනය වන ආකාරයට නොව ධාවන පථය හරහට බවයි.
ඒ ආකාරයට යානය ගොඩ බැස්සවූයේ නම් යානය නතර වන්නේ පර්යන්ත ගොඩනැගිල්ලද කඩාගෙන ගොස් අනතුරට ලක් කරමිනි. මේ භයානක හදිසි අනතුර වහාම වටහාගත් නියමුවෝ යානයේ රෝධ ධාවන පථයේ ගෑවෙන්නට පෙර යන්තමින් යළි ඉහළට ඔසවා ගුවනට නැංවූහ. යානයේ ඉන්ධන ද හමාර වෙමින් තිබූ අතර වෙනත් ආසන්න ගුවන් තොටුපොළක් වෙත යන්නට එය ප්‍රමාණවත් වුවත් ගෝඨාභය නියමුවන්ට දැන්වූයේ යානය ඉහළට ගෙන නැවත කෙසේ හෝ නිවැරදි දිශාවෙන් ධාවන පථයට පහත් කරන ලෙසයි. ඒ අනුව මේ ශූර කපිතාන්වරු දෙදෙනා යානය ඉහළට ගෙන වට කිහිපයක් ගසා අඩි ගණනට යානය පහත් කොට සීරුවෙන් ධාවන පථය වෙත වයි 12 යානය සේන්දු කළේ අමතක නොවන අත්දැකීමක් සටහන් කරමිනි.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර
  14 පිටුවට...