2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

රවී රිෂාඩ් - හකීම් ගැන වසන්ත සේනානායකගෙන් ප්‍රශ්න හතරක්

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 427

මෛත්‍රීට ඇතුළට එන්න ඩිලාන්ට යන්න කියයි
පක්ෂ නායකයන් හමුවේ මැකො ඡන්ද පෙට්ටියක් උඩ නගී

සජිත් - රන්ජිත් වෛද්‍ය සභාව හමුවී සාකච්ඡාවක
ගෝඨාභයගේ දැන්වීමකට හමුදාපති ආවේ කොහොමදැයි පක්ෂ නායකයෝ විමසති
නිමල් - දුමින්ද - දයාසිරි - පේෂල ගෝඨාට බරටම වැඩ
එ.ජා.පයෙන් පොහොට්ටුවට යන්න හදන දෙන්නෙක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපාන අධිරාජ්‍යාගේ ඔටුනු පැළඳවීමේ උත්සවයට සහභාගි වීම සඳහා ජපානය බලා පිටත්ව ගියේය. ඔහු සමඟ තමන්ගේ පවුලේ අය සහ සමීපතමයන් 21 දෙනකුගේ දූත පිරිසක් ද මෙම ගමනට එක්වූහ. දින තුනක නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා පිටත්ව ගිය බව සඳහන් විය. ඔහු මෙම විදේශ සංචාරය පිටත්ව යෑමට පෙර එක්තරා විශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ ලබන 17දායින් පසුව නැවතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමයි. එසේ පැමිණ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් ලබන මැයි මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයට පොළොන්නරැවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කිරීම ඔහුගේ අරමුණය.

ඒ සඳහා ජනාධිපතිවරයා මැතිසබයට යා යුතු වුවත් ඔහුට පත්වීම සඳහා දැනට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූර පුරප්පාඩුවක් නැත. ඒ සඳහා ක්‍රමයක් කල්පනා කර බැලූ ජනාධිපතිවරයා බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට කතා කොට කීවේ තමන් ලබන 17දායින් පසු මැතිසබයට පැමිණීමට අපේක්ෂා කරන නිසා ඩිලාන් දරන ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියෙන් ඉවත් වන ලෙසයි. ඩිලාන් එම මන්ත්‍රී පදවිය දරන නිසා මෙයට පෙර ඔහුගේ පියාට ද ඔහු දැරූ ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් වන්නැයි දැන්වීය. කෙසේ හෝ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් පැමිණි මෙම යෝජනාවෙන් කලබලයට පත් ඩිලාන් “එතකොට සර් මම කොහොමද දේශපාලනේ කරන්නෙ. මට මොකද වෙන්නෙ?” කියා ජනාධිපතිවරයාගෙන් විමසා ඇත. “මම ඔයාට ආණ්ඩුකාරකමක් දෙනව. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාරකමයි. ඒකට ඉඩ සලසගන්න මම මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයට ඉල්ලා අස්වෙන්න දැනටමත් කියලයි තියෙන්නෙ..” කියමින් කතාව හමාර කළේය. එහෙත් ඒ ගැන මෛත්‍රී ගුණරත්නගේ ප්‍රතිචාරය පැහැදිලි නැත.

ජනාධිපතිවරයාගේ යෝජනාවෙන් පසු කරකවා අතහැරියා මෙන් වූ ඩිලාන් පෙරේරා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අමතා මේ බව දැන්වීය. මහින්ද කීවේ සුදුසු දෙයක් කරන හැටියටයි. එහෙත් දැන් ලබන ආණ්ඩුකාර පදවි අලුත් ආණ්ඩුවක් යටතේ වෙනස් විය හැකි යැයි මහින්ද අනාවැකියක් ද පළ කළේය. අනතුරුව ඩිලාන් කියා තිබුණේ තමන් මේ ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡා කරන්නට සිතා සිටින බවය.

දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයකු වන මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා කල් තබා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් තම පක්ෂය මෙවර ජනාධිපතිවරණයේ දී සහාය පළ කරන්නේ කාටද යන ස්ථාවරය මෙම 24දා (බ්‍රහස්පතින්දා) ප්‍රකාශයට පත් කරන්නේ යැයි සඳහන් කර තිබිණි. එසේම උතුරේ දෙමළ පක්ෂ සන්ධානය ද එදිනම තමන්ගේ ස්ථාවරය කියන්නේ යැයි ඔහු පැවසීය. උතුරේ රාජ්‍ය සේවකයන් බහුතරය තැපැල් ඡන්ද දායකයන් නිසා ලබන 31දා සහ 1දා තැපැල් ඡන්දය භාවිත කරන්නට පෙර ඒ ගැන ස්වකීය පක්ෂ තීන්දුව උතුරැ නැගෙනහිර ජනතාවට දන්වන වගද හෙතෙම සඳහන් කළේය. එහෙත් ටෙලෝ හා ප්ලොට් සංවිධාන දෙමළ සන්ධානයට යෝජනා කළේ ඡන්දය වර්ජනය කළ යුතු බවයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක් ගිය අඟහරුවාදා දහවල් සිදුවිය. එම හමුව සංවිධානය කළේ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාය. සජිත් සහ වෛද්‍ය සංගමය හමුවට පෙර වාර දෙකක්ම මද්දුමබණ්ඩාර මහතා සහ වෛද්‍ය සංගම් ප්‍රධානීන් මුණගැසුණෝය.

එම සාකච්ඡාවලදී සජිත් ප්‍රේමදාස මහතා සමඟ පවත්වන හමුව සඳහා අවශ්‍ය පසුබිම සකස් කෙරිණි. සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය නවීන් සොයිසා, වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුළු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සජිත් හමුවූයේ කොළඹ 7 පිහිටි අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නිල නිවෙසේදීය. ඉතා සුහදව පැවති කතාබහේදී වෛද්‍ය පාදෙණියලා කීවේ වෛද්‍ය වෘත්තියේ කටයුතු ඉතාම ස්වාධීනව කරගෙන යාමට පසුබිමක් තිබිය යුතු බවයි. එසේම පසුගිය කාලයේ එවන් පසුබිමක් නොතිබූ බවත් තම සංගමය හා දේශපාලන බලධරයන් අතර නිතර ගැටලු මතු වූ බවත් ඔවුහු පැවසූහ. වෘත්තීයමය ප්‍රශ්නවලට අමතරව තම සංවිධානය රටට හිතැති සංවිධානයක් ලෙස රාජ්‍ය සම්පත් විකිණීමට විරුද්ධ බවත් රටට එරෙහි ගිවිසුම්වලට විරෝධය දක්වන බවත් වෛද්‍ය සංගම් නියෝජිතයෝ කීහ. එවිට සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ “ඔබලා කියන දෙයයි මගේ ප්‍රතිපත්තියත්. ඒවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් බලාගන්නටත් පුළුවනි.” යැයි පැවසූ විට වෛද්‍ය සංගම් බලධරයන් කීවේ “ඔව් අප දුටුවා ඔබ යම් තැනක ඒ වගේ දෙයක් කියලා තිබුණා” කියායි. අනතුරුව අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සුහද කතාබහක යෙදෙමින් තමන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නැයි ඉල්ලීය. එහිදී දොස්තර පාදෙණියලා පැවසුවේ “අපේ සංගමය ස්වාධීන ආයතනයක්.. අපි අපේ සාමාජිකයන්ට තමන් කැමති පරිදි ඡන්දය දෙන්න අවසර දීල තිබෙනව. ඔවුන් ඒ අනුව තමන්ගෙ කැමැත්තෙ හැටියට වැඩ කරාවි..” කියමින් සාකච්ඡාව හමාර කළේය.

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු මේ දිනවල දිනකට රැස්වීම් පහ හය අමතමින් රට වටා සංචාරය කරමින් සිටිති. හම්බන්තොට, ගාල්ල, පොළොන්නරුව ආදී දිස්ත්‍රික්කවල ශ්‍රී.ල.නි.ප. පැරණි හිතවතුන් හමුවෙමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා මහින්ද වැඩි බරක් යොදවා ඇත. හම්බන්තොටදී ජනතාව අමතමින් රැස්වීම් ගණනාවක අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිවාදී ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කළේ හැකි නම් හම්බන්තොට දිස්ත්‍රික්කය, සජිත් නියෝජනය කරන තිස්සමහාරාම ආසනය හෝ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කර පෙන්වන ලෙසය. හම්බන්තොට දිස්ත්‍රික්කය නාමල්ටත්, තිස්සමහාරාමය චමල්ටත්, ලුණුගම්වෙහෙර සිය පාක්ෂිකයකුටත් ඔහු පරදින බවට මහින්ද අනාවැකියක් පළ කළේය.

ඒ අතර නාමල් රාජපක්ෂ මහන්ත්‍රීවරයාට මහින්ද හා බැසිල් බාරදී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ මැතිවරණ සංවිධාන කටයුතුය. පසුගිය දෙසතිය තිස්සේ නාමල් රැඳී සිටියේ යාපනයේය. ඔහු ගමින් ගම යමින් ඩග්ලස් දේවානන්දලා මෙන්ම සිය පක්ෂ හිතවතුන් සමඟ උතුරේ ජනතාව නගන ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ඔවුන් දැනුවත් කිරීමක නිරතව සිටී. ප්‍රභාකරන් උපන් ගම වන වැල්වෙටිතුරේ මෙන්ම ඔහු වාසය කළ පුදුකුඩුඉරිප්පුවලද කුඩා ජනහමු තබමින් නාමල් කීවේ තම පාලනයක් යටතේ උතුර සංවර්ධනය කරන බවත් සැක බිය නැතිව සාමයෙන් ජනතාවට ඉන්නට අවකාශ සලසන බවත්ය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගිය අඟහරුවාදා සියලු පක්ෂ නායකයන් සිය කාර්යාලයට කැඳවා තිබිණි. මේ රුස්වීම සඳහා එ.ජා.පයෙන් අජිත් පී. පෙරේරා, රවි කරුණානායක, තිස්ස අත්තනායක යන මහත්වරු එක්ව සිටියහ. පොහොට්ටුවෙන් බැසිල් රාජපක්ෂ හා නීතිඥ සාගර කාරියවසම් මහත්වරු ද ජ.වි.පෙ. වෙනුවෙන් බිමල් රත්නායක හා නීතිඥ සුනිල් වටගල මහත්වරු ද සෙසු පක්ෂ රැසක නියෝජිතයෝ ද එක්ව සිටියහ. මහින්ද දේශප්‍රිය මහතා මුලින්ම විස්තර කළේ මෙවර හඳුන්වා දීමට යන නව ඡන්ද පෙට්ටිය ගැනයි. අපේක්ෂක සංඛ්‍යාව ඉහළ යාම නිසා වෙනදා ඡන්ද පත්‍රිකා 700ක් පමණ දැමූ මහ ඡන්ද පෙට්ටියට මෙවර දැමිය හැක්කේ පත්‍රිකා 400ක් පමණ යැයි කී හෙතෙම ඒ නිසා කොරුගේටඩ් කාර්ඩ්බෝඩ්වලින් සකස් කළ බර අඩු ශක්තිමත් ඡන්ද පෙට්ටි සකස් කරන්නට පියවර ගෙන ඇතැයි සඳහන් කළේය. එසේ සකස් කළ ආදර්ශ ඡන්ද පෙට්ටියක් එම සභාව හමුවට ගෙන ආ සභාපතිවරයා මේ ඡන්ද පෙට්ටිය ඉතාම සවි ශක්තිමත් යැයි පෙන්වන්නට ඡන්ද පෙට්ටිය බිම තබා ඒ මත වාඩිවිය. “මම කිලෝ 80ක් බර කෙනෙක්. දැන් බලන්න මම මේ ඡන්ද පෙට්ටිය උඩ වාඩිවුණා. ඒ බරටත් පෙට්ටිය ඔරොත්තු දෙනවා” යැයි සියල්ලන්ගේ සිනා හඬ මධ්‍යයේ මහින්ද දේශප්‍රිය මහතා කීය.

එම ඡන්ද පෙට්ටි කතාවෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පොහොට්ටුවේ මැතිවරණ දැන්වීමක් ගැන ප්‍රශ්නයක් මතු කළේය. “සභාපතිතුමනි.. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්මයා පෙනී සිටින ප්‍රචාරක දැන්වීමක් පොහොට්ටුවෙන් පළ කරල තිබෙනව... ඒක ඡන්ද නීතියට විරුද්ධයි.” කියන විටම ඒ ගැන කරුණු දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේ “මම මේක දැනගත්ත ගමන්ම බැසිල් රාජපක්ෂ මහත්මයට ඒ ගැන දැන්නුව. ඒක වැරදි බවත් කිව්ව. ඉන්පසු ඔහු මට කිව්වෙ මේ දැන්වීම තමන්ගේ පක්ෂය විසින් පළ කළ දැන්වීමක් නොවෙයි” කියලයි. සභාපතිවරයා එසේ කියන විට එහි සිටි බැසිල් රාජපක්ෂ මහතා ද පැවසුවේ “ඔව් ඔව් ඒක හරි.. අපේක්ෂකයා පළ කළ දැන්වීමක් නෙවෙයි ඒක. වෙනත් පිරිසක් දාපු එකක්. ඒ නිසා පක්ෂයට නම් ඒ දැන්වීමේ වගකීම භාරගන්න බැහැ..” කියායි. ඒ සමඟ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ සියලුම පක්ෂ මැතිවරණ නීතිය තදින්ම අනුගමනය කළ යුතු බවකි. මෙහිදී මැතිවරණ ප්‍රධානියා ජනපතිවරණයේ මාධ්‍ය හැසිරීම ගැන ද කරුණු දැක්වූ අතර ඇතැම් මාධ්‍ය තමන් විසින් ලබාදී ඇති උපමානවලට අනුගත නොවී පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බව පෙනේ යැයිද කීය. එනිසා අදාළ මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීත්වය පිළිබඳව ලේබල් කිරීමට සිදුවන්නේ යැයි පැවසීය. මෙය නොසලකා කටයුතු කරන මාධ්‍ය ආයතනවලට දඬුවම් කළ හැකි බව දන්වමින් ලියි යැවීමට තීන්දු කළේ යැයි මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කමිටුව ස්වකීය අවසන් වාර්තාව ගිය බදාදා මැතිසබයේදී සභාගත කරනු ලැබීය. මෙහිදී ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන බරපතළම චෝදනාව එල්ල කර ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන්ටයි. එසේම මහජන මන්ත්‍රී ධූරයක් දරමින් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම නීති විරෝධී නිසා හිස්බුල්ලා මහතාට එරෙහිව නඩු පවරන ලෙසද ඔහුගේ සිවිල් අයිතීන් අහෝසි කරන ලෙසද කමිටුව නිර්දේශ කර ඇත. ඒ හැර ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති ලෙසත් අගමැතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම් හා පොලිස්පතිත් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ගණනාවකුත් මේ ගැන වගකිවයුත්තන් ලෙස කමිටු වාර්තාව මගින් හඳුන්වා දී තිබේ.

කමිටු වාර්තාව නිකුත් වන්නටත් පෙරම එහි විශ්වසනීයභාවය ගැන ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ප්‍රශ්න කළේය. ප්‍රහාරක සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ බවට කරුණු ඉදිරිපත්ව ඇති ඇමැති රවුෆ් හකීම් මහතා එහි සාමාජිකයකුව සිටීම ගැන විපක්ෂය තදින්ම විරෝධය පළ කර තිබිණි. බෝම්බ ප්‍රහාරකයන් සැඟව සිටි දෙමටගොඩ නිවෙසේ හිමිකරු මොහොමඩ් ඊබ්‍රාහිම් ජ.වි.පෙ. ජාතික ලැයිස්තු අපේක්ෂකයකුව සිටි නිසා ඔහුගේ පක්ෂයේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා කමිටු සාමාජිකත්වය දැරීම යුක්තිසහගත නොවන බවද විපක්ෂය දැඩි ලෙස චෝදනා කළේය. කෙසේ වෙතත් සහරාන් සමඟ තමන් සාකච්ඡා කරන ඡායාරෑපයක් මාධ්‍ය හමුවේ ප්‍රචාරය වීමෙන් රවුෆ් හකීම් අමාත්‍යවරයා දැඩි ලෙස කලබල වී සිටියේය. ඔහු මල්වතු මහ නාහිමියන්ද මුණගැසී තමන් මෙහිදී නිර්දෝෂ යැයි කියමින් පසුව මාධ්‍යයට පැවසුවේ තමන්ට ලැබෙන සිංහල ඡන්ද නැති කිරීමට විපක්ෂය කළ කුමන්ත්‍රණයක් අනුව මෙය සිදුවූ බවය. තමන් නැගෙනහිරට 2015 දී ගිය ගමනකදී මේ තැනැත්තා තමන් සහභාගි වූ සාකච්ඡාවකට පැමිණ ඇතත් ඔහු ගැන තමන් හරිහැටි දැන සිටියේ නැතැයි ද හකීම් මහතා කීය. නමුත් විපක්ෂ මන්ත්‍රීන් ගණනාවක්ම පැවසුවේ සහරාන් හා හකීම්ලා එදින ජාතික ලැයිස්තු මන්ත්‍රීන් පත් කරන ආකාරය ගැන සාකච්චා කළ බවය. එවන් හමුවකට තමන් නොදන්නා අය කැඳවන්නේ ඇයිදැයි උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීහු ගණනාවක්ම ප්‍රශ්න කළහ.

අනුර කුමාර දිසානායක, රොහාන් පල්ලෙවත්ත හා ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් එක් මතයකට පැමිණ පොදුවේ එක් අපේක්ෂකයකුට සහාය දීමට කළ සාකච්ඡා අසාර්ථක වී තිබේ. විශේෂයෙන් රොහාන් පල්ලෙවත්ත සහ මහේෂ් සේනානායක යන මහත්වරු මේ එකතුවට මුලින් සාකච්ඡා කළද පසුව එයට අකැමැති වූහ. මේ සියලු දෙනාගේ අරමුණ ජනාධිපතිවරණ ජයග්‍රහණය කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණයෙන් අසුනක් දිනාගෙන මැතිසබයට පත්වීම නිසා ඊට ඇති හොඳම මග ජනතා විමුක්ති පෙරමුණ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම බව ජ.වි.පෙ. ප්‍රකාශ කළ ද මේ දෙදෙනාම තමන්ට විශාල ජන පදනමක් ඇත යන විශ්වාසයෙන් මෙම එකඟතාවෙන් බැහැරව ඇත. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කොට ඡන්ද සටනට බැස සිටී.

පක්ෂ මාරු කතා නැවතත් අසන්නට ලැබේ. එ.ජා.පයේ දැනට සිටින ප්‍රබල චරිත දෙකක් ළඟදීම පොහොට්ටුවට එක්වනු ඇතැයි ආරංචි පැතිර යමින් තිබේ. එහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවත් සජිත්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන තමන් තුළ බියක් හා කලකිරීමක් ඇතිවූ නිසා ඉන් ඉවත් වන බව රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේය. සජිත් වෙත ලිපියක් යවමින් ප්‍රශ්න ගණනාවක් මතුකළ සේනානායක මහතා මාධ්‍ය හමුවක් තබමින් තමන්ගේ කලකිරීම ප්‍රසිද්ධියේම පැවසීය. මෙම ලිපිය මගින් වසන්ත මතු කළ ප්‍රශ්න 4 කි. ඉන් පළමුවැන්න අනාගතයේ එ.ජා.පය ජයගතහොත් ඔබේ අගමැති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහද යන්නයි. රවි කරුණානායක හා රිෂාඩ් බදුයුදීන් ද සජිත් රජයක් හැදුවොත් ඇමැතිවරුන් ලෙස පත් කරන්නේදැයි ඔහු නැවතත් විමසයි. එසේම රවුෆ් හකීම් හා පාස්කු ප්‍රහාරකයන් අතර සබඳතා රටට හෙළිදරව් වී ඇති නිසා ඔහු සජිත්ගේ ඡන්ද ප්‍රචාරක වැඩවලට සම්බන්ධ කර ගන්නේද යන්නත් වසන්ත සේනානායක ප්‍රශ්න කර ඇත. මේ ආකාරයට දැඩිව සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කළ වසන්ත මාධ්‍ය හමුවේ කීවේ තමන් මේ දේශපාලනය ගැන කලකිරී සිටින නිසා බොහෝවිට දේශපාලනයෙන් සමුගැනීම ගැන සිතා බලන බවයි. ඒ අතර වසන්ත සේනානායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දුරකතන ඇමතුමක් ලබා දී සාකච්ඡා කළ බව සඳහන් වෙයි. මේ හැර රජයේ ඉහළම ප්‍රබල ඇමැති ධූරයක් දරන දකුණේ ප්‍රකට පවුලක අමාත්‍යවරයකු ද කොයි මොහොතක හෝ පොහොට්ටුවට එක්වනු ඇතැයි කියැවේ. ඒ ගැන බැසිල් රාජපක්ෂ මහතා මේ වන විටත් අදාළ සාකච්ඡා හමාර කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ගණනාවක් සහ ප්‍රාදේශීය සභා කොට්ඨාස සංවිධායකයන් ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සඳහා ඔහුගේ ඡන්ද වේදිකාවට පැමිණ සිටිති. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ලෙස කාලයක් කටයුතු කළ සාමාජිකයන් විසින් පිහිටුවාගෙන තිබෙන රතු තරුව සංවිධානයේ සහයෝගයත් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී අන්ජාන් උම්මා මහත්මිය මෙන්ම බස්නාහිර හා උතුරුමැද පළාත් සභාවල හිටපු ජ.වි.පෙ. මන්ත්‍රීන් ගණනාවක් රතු තරුව සංවිධානයේ සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ගිය සිකුරාදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවිය. ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන් ද දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පක්ෂ නායකයන් ද පොහොට්ටුව හා ශ්‍රී.ල.නි.ප. සාමාජිකයෝ ගණනාවක් ද මේ අවස්ථාවට එක්වූහ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සමාජයේ ගොවි, කම්කරු, කාන්තා, ධීවර, රණවිරු, ශිෂ්‍ය හා වැඩ කරන පන්තියේ ජනතාවටත් සාමාන්‍ය ජනතාව උදෙසාත් ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙන්නට යන ගෝඨාභයගේ සංවර්ධන දැක්ම හෙළිදරව් කර තිබේ.

ශ්‍රී.ල.නි.ප.ය හා පොහොට්ටුව අතර ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය හා කුමාර් වෙල්ගම මහතා එක්ව වෙනම සංවිධානයක් සකස් කොට ශ්‍රී.ල.නි.ප.ය සුරුකීමට ක්‍රියා කරන බව කීවත් තවමත් එහි කටයුතු මාධ්‍ය නිවේදනවලට පමණක් සීමා වී ඇත. හිටපු ජනාධිපතිනිය ද එංගලන්තයේය. නමුත් ඒ ගැන තැකීමක් නැති ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨයන් වන නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, පේෂල ජයරත්න ඇතුළු ප්‍රබලයෝ රැසක්ම දැන් පොහොට්ටුවේ ජයග්‍රහණය උදෙසා දිවා රාත්‍රී නොබලා පක්ෂ සංවිධාන කටයුතු කරමින් සිටිති. මේ අය බැසිල් මහින්ද ගෝඨා සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ශ්‍රී.ල.නි.පයේ සංවිධාන කටයුතු දියත් කර තිබේ. නිමල්, දයාසිරි, දුමින්ද, පේෂල වැනි අය ඉතා කැපවීමෙන් ස්වකීය අපේක්ෂකයාගේ ජයග්‍රහණය උදෙසා ක්‍රියා කිරීම ගැන විජේරාම මාවත විපක්ෂ නායක නිල නිවෙසේ පැවති පොහොට්ටුව මන්ත්‍රීන්ගේ හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස ප්‍රශංසා කළේය.

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය බ්‍රහස්පතින්දා එළි දැක්විය. අසනීප තත්ත්වයක් යටතේ රෝහල්ගතව සිටි ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයට එක්විය. තමන් ජනාධිපති ධූරයට පත් වුවහොත් ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ක්‍රියා කරන බව සේනානායක මහතා ප්‍රකාශ කළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කර ඇතැයි රටේ ඇතැමුන් මතයක් ගෙන ගිය ද ජනාධිපතිවරයා සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ලෙසත් විධායකයේ ප්‍රධානියා ලෙසත් ක්‍රියා කරන බැවින් ඔහුට ඇති බලතල ප්‍රමාණවත් යැයි පැවසීය. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උළෙලට හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු විද්වතුන් රැසක්ම එක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව සිටින අරුමුගම් තොණ්ඩමන් හා ඩග්ලස් දේවානන්ද යන මහත්වරු තමන්ගේ ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ ව්‍යාපාරය දියත් කළහ. මෙහිදී වතුකර ජනතාව ඇමතූ තොණ්ඩමන් මහතා මැතිවරණයේ ජයග්‍රාහකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු 70෴ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත් ප්‍රකාශ කළේය. ඩග්ලස් දේවානන්ද මහතා උතුරේ ජනතාව අමතමින් කීවේ දෙමළ ජාතික සන්ධානය උතුරේ ක්‍රියා කරන්නේ ජනතාව රවටන්නට බවයි. ඔවුන් උතුරේ ජනයාගේ සුබසිද්ධියට මෙතෙක් කිසිවක් කර නැතැයි ද ඔහු සඳහන් කළේය. ඔවුන් ජනාධිපති ධූර අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර ඇති යෝජනා 13 අරමුණ දෙමළ ජනයාගේ සුබසිද්ධිය නොව තමන්ගේ පැවැත්ම යැයිද කීය. තමන් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ උතුරට මෙයට වඩා විශාල මෙහෙවරක් කළේ යැයි දේවානන්ද මහතා කීය. ඒ අතර උතුරේ සහ නැගෙනහිර ජනරැලි ඇමතීමට එහි ගිය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එරාවුර්හි පැවති ඡන්ද රැස්වීමක සඳහන් කළේ මෙවර තම සන්ධානය පිහිටුවන්නේ තනි සිංහල ආණ්ඩුවක් බවයි. එහි රටට හිතැති සුළු ජාතික පක්ෂ සිටින බවද පැවසූ ඔහු රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම් හා සම්පන්දන්ලාගේ සහාය නොමැතිව ආණ්ඩු හදන්නට බැරි බවට වන මතය මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා බොරු කරන බව ද කීය.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර