2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

සජිත්ගේ ජය සමරන්න රවීගේ නිවසේ සාදයක්

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 966

► කතානායක නිවසේ සජිත් - රවී හමුවක්

► මහින්ද රාජපක්ෂ තිස්ස අත්තනායකට දුන් අවවාදය

► ගෝඨාභය රාජපක්ෂ නීති විශාරදයන් සමඟ නාමයෝජනා පත්‍රය සකසයි

► රට ගොඩනගන්නට කපන වියදම් ගැන අනුර දිසානායකගෙන් පොරොන්දුවක්

►දයාසිරිගෙන් වෙල්ගමට සැර පිළිතුරක්

► මෛත්‍රී මහින්ද සුහදතාවෙන් යෝෂිත නැවත හමුදා සේවයට

ගත වූ මාස තුන හතරක් තිස්සේම අර්බුදයක් බවට පත්ව තිබූ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක තෝරාගැනීම පසුගිය බ්‍රහස්පතින්දා සිරිකොත මන්දිරයේදී සිදුවිය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා එ.ජා. පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කෙරෙනු ඇත. අපේක්ෂකයා තෝරාගැනීමට පෙර එ.ජා.ප.යේ සජිත් හිතවාදීන් රනිල් හිතවාදීන් යන දෙපිරිසම හිටියේ උග්‍ර මත ගැටුමකය. සජිත් පිලේ සාමාජිකයෝ විවිධ ජනහමු මාධ්‍ය හමු ආදිය පවත්වමින් තම මතය ඉදිරියට තල්ලු කළහ. සජිත් නොමැතිනම් දේශපාලනයෙන් සමුගන්නා බව කීවේ හරීන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා හර්ෂ ද සිල්වා, හේෂාන් විතානගේ ආදී මැති ඇමැතිවරුය. කෙසේ හෝ දැන් එම අර්බුදය විසඳී ඇති බව පෙනේ. පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී සති හයකට පසු එ.ජා. පෙරමුණේ අපේක්ෂකයා නම් කළ අතර අනුර දිසානායක මහතා ජ.වි.පෙන් අපේක්ෂකත්වයට නම් කොට සති 5ක් ඇවෑමෙන් එ.ජා.පයේ අපේක්ෂකයා තෝරා ගැනු ලැබීය.

අවසානයේ මේ අර්බුදය සුහදව විසඳාගන්නට රනිල් - කරු - සජිත් තිදෙනා සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වූයේ කතානායක නිල නිවසේදීය. ඒ හැම සාකච්ඡාවකදීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට මැතිවරණයකට ඉදිරිපත් වන්නට තිබෙන වැදගත්ම අවස්ථාව මෙවර බව සජිත්ට කීය. එසේම එ.ජා. පෙරමුණේ ‍ජ්‍යෙෂ්ඨයන් වන වසන්ත සහ රන්ජිත් අලුවිහාරේලාට ද කබීර් හෂීම්ට ද මේ සතියේ රනිල් කීවේ තමන් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන බවකි. ඒ අතර රනිල් පිලේ ප්‍රබලයකු වන අමාත්‍ය මලික් සමරවික්‍රම පවා දිගින් දිගටම සජිත් ඕනෑය කීම ඉතා විශේෂයකි. මලික් යනු රනිල්ගේ වසර 60ක මිතුරෙකි. රාජකීය විදුහලේ දෙක වසරේ සිට එකට උගත් ගමන් සගයෙකි. මලික් දේශපාලනයට ගෙනැවිත් පක්ෂයේ සභාපතිධූරය ලබා දී ජාතික ලැයිස්තුවෙන් මැතිසබයට පත් කළේ ද රනිල්ය. එහෙත් මලික් ද මේ සටනේදී හිටියේ සජිත් පිලේය.

සජිත් පිලේ සිටි මලික් ගිය සති අන්තයේ රනිල් සමඟ මහනුවරට ගිය අතර එහිදී ලක්ෂ්මන් කිරිඇල්ලලා සමඟ ද කතා කොට උත්සව ගණනාවකට එක් වූ රනිල් එදින රාත්‍රී භෝජනය ගත්තේ ද මලික්ගේ වටපුළුව නිවසේදීය. ඒ බව සමාජජාල මාධ්‍ය සඳහන් කර තිබිණි. එසේම හිටපු අමාත්‍ය මිත්‍රපාල මහතාගේ මරණය දැනගෙන ඔහුට අවසාන ගෞරව දක්වන්නට මිත්‍රපාලගේ නිවසට රනිල් වික්‍රමසිංහ මහතා ගියේ මලික් ද කැටිව වීම විශේෂයකි. කෙසේ වෙතත් රනිල් - සජිත් පාර්ශ්වයට දිගින් දිගටම කීවේ තමන් ඡන්ද සටනට එන්න සූදානම්ය කියායි.

සජිත් පාර්ශ්වයට රනිල්ලාගෙන් සහනයක් නොලැබෙද්දී ප්‍රබල රටවල් දෙකක තානාපති අංශ ද මේ ගැන එ.ජා.ප නායකයන්ට යම් උපදෙස් මාලාවක් ලබා දී ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි. ඒ සියලුදෙනාගේ මතය වී තිබුණේ මේ මොහොතේ සුදුසුම එ.ජා.ප අපේක්ෂකයා සජිත් බවය. එ.ජා.පෙරමු‍ණේ හවුල්කාර පක්ෂ ද එලෙසට දැඩි ප්‍රකාශ නිකුත් කළ අතර සජිත් පිල මේ සතියේ තවත් ජන රැලියක් මතුගමදී සංවිධානය කළේ සජිත්ගේ අපේක්ෂකත්වය සඳහා බලපෑම් කිරීමටයි. මෙතෙක් රනිල් පිල නියෝජනය කළ ප්‍රබලයන් දෙතුන් දෙනෙක් මතුගම රැලියට එක්වන බවද කල්තබාම ප්‍රකාශ විය. එහෙත් මතුගමදී එවැන්නක් දැකගත නොහැකි විය. නවීන් දිසානායක සජිත්ගේ වේදිකාවට එනු ඇතැයි කීව ද එය සිදුවූයේ ද නැත. ඊට පෙර දා සජිත් ප්‍රේමදාස මහතා සහ සජිත් හිතවාදීන් අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාරගේ නුගේගොඩ නිවසට රැස්වී වෙනම තීරණාත්මක හමුවක් පැවැත්වීමට තීන්දු කළේය.

කෙසේ වෙතත් එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම බ්‍රහස්පතින්දා (26 දා) පැවැත්වීම සඳහා සිරිකොතේ කටයුතු සූදානම් කැරිණි. ඒ අතර සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තිස්ස අත්තනායක මහතාට විවෘතව ආරාධනා කළේ එ.ජා.පයේ අභිමානවත් ඉදිරි ගමන සඳහා තමන් සමඟ එක්වන හැටියටයි.

සජිත්ගේ ලිඛිත ඉල්ලීමට තිස්ස අත්තනායක සාර්ථක ප්‍රතිචාරයක් දක්වමින් තමන් ඔහුට උදව් කරන්නට එන බව සජිත්ට දැන්වීය. එ.ජා.පයෙන් ඉවත් වීමෙන් පසු තිස්ස අත්තනායක මහතා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට සමීපවය. පසුගිය වසර දෙක තුන තුළ ඔහුට පැවති නඩුහබ නිසා තිස්ස නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. මෑත දිනක මංගල උත්සවයකදී “තිස්ස අත්තනායකයට මහින්ද රාජපක්ෂ මුණගැසුණි. එහිදී මහින්ද තිස්සට කීවේ තිස්ස එක්කෝ ඔයා අපිත් එක්ක එන්න.. එහෙම බැරිකමක් තියෙනව නම් ඔයාගේ පරණ යාළුවා සජිත් එක්ක යන්න. ඒත් තිස්ස ඔයා නිකම් නම් ඉන්න එපා. මොකද ඔයා හොඳ දේශපාලනඥයෙක්.” එම ඔවදන සිතට ගත් තිස්ස සජිත් සමඟ එක්වීමට තීන්දු කළේය. ඒ සමඟ පසුගිය කාලයේ එ.ජා.පයෙන් ඈත්ව සිටි ඉම්තියාස් බකීර් මාකර් හා සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් ද සජිත්ගේ සටනේ සහාය පිණිස ඔහුට එක්ව සිටිති. මේ අය වොක්ෂෝල් වීදියේ කාර්යාලයක සිට තම කටයුතු මෙහෙයවීමට සැලසුම් කර ඇත.

මෙම පසුබිමේ පසුගිය අඟහරුවාදා සන්ධ්‍යාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එ.ජා.පයේ නායකයන් අතර හමුවක් සිදුවිය. මෙම හමුව ඉතාමත් තීරණාත්මක බවට කල් තබාම ඉඟි පළවී තිබිණි. දිනෙන් දින කල් ඇදෙමින් තිබූ එ.ජා.පයේ ජනාධිපති අපේක්ෂකයා රනිල් ද කරැ ද සජිත් ද යන්න නිශ්චිතව තීන්දු කරගැනීමට සජිත් හිතවාදීන් දැඩි ප්‍රයත්නයක් දැරීමට තීන්දු කරගෙන තිබිණි. කරු ජයසූරිය මහතා කල් ඇතිවම රනිල්ට හා සජිත්ට කියා තිබුණේ අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් පක්ෂයේ බෙදීමකට ඉඩ නොතබා අපේක්ෂකයා තෝරාගත යුතු බවය. එසේම තමන් ‍ෙජ්‍යෂ්ඨයකු වන බැවින් අවශ්‍ය අවස්ථාවක තමන්ට විශ්‍රාම යා හැකි බවත් කරැ ජයසූරිය මහතා කියා තිබිණි. ඒ නිසා අඟහරුවාදා රැස්වීමේදී කළ යුතුව තිබුණේ රනිල් ද සජිත් ද යන ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීමයි. ඒ සඳහා අගමැති රනිල්, කබීර් හෂීම්, රවී කරුණානායක, රන්ජිත් මද්දුමබණ්ඩාර, නවීන් දිසානායක හා මලික් සමරවික්‍රම ආදීහු එක්ව සිටියහ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වූයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පොදු එකඟතාවකින් යුතුව එ.ජා.පෙ අපේක්ෂකයා තෝරා ගැනීම ගැනයි. පැමිණ සිටි සජිත් හිතවාදීන් තදින්ම නැවතත් රනිල්ට කීවේ ඡන්දයේදී ගෝඨාභයට සටනක් දිය හැක්කේ සජිත්ට පමණක් බැවින් හවුල්කාර පක්ෂවල ද අදහස් අනුව සජිත්ට අපේක්ෂකත්වය දෙන ලෙසයි. එවිට පක්ෂ නායක රනිල් කීවේ පක්ෂ නායකයන් කියනවා නම් තමන් එ.ජා.පයේ නායකත්වයෙන් වුවද ඉවත්ව යාමට සූදානම්ය කියායි. එහෙත් පැමිණ සිටි පක්ෂ නායකයන් සියලු දෙනා රනිල්ට කීවේ “ඔබතුමා දැන් ඉවත්ව යන්න එපා. අපි කවුරුත් එකතු වෙලා අපේ ජනාධිපති අපේක්ෂකයා දිනවන්නයි ඕන. ඒකට අගමැතිතුමාග් සහාය අත්‍යවශ්‍යමයි. මේ සටනේදී අගමැතිතුමා අපිත් එක්ක සිටිය යුතුයි” කියාය.

කෙසේ වෙතත් සජිත්ට අපේක්ෂකත්වය ලබා දීම සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතු බව රනිල්ගේ අදහස විය. ඒ ගැනද ඔහු සඳහන් කළේය. සුළු ජාතික පක්ෂවල සහාය (විශේෂයෙන්ම දෙමළ සන්ධානයේ) ලබා ගන්නවානම් පූර්ණ බලය බෙදීමකට නව අපේක්ෂකයා එකඟ විය යුතු යැයි කී රනිල් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු යැයි ද කීය. එසේම පක්ෂ නායකත්වය හා අගමැති ධූරය දිගටම තමන්ට හිමිවිය යුතුය යන්නද රනිල්ගේ යෝජනාව විය. ඒ ගැන එහි සිටි සජිත් පාර්ශවයේ සාමාජිකයන්ගේ එකඟත්වය පළවූ බව කියැවිණි. එහෙත් මේ සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කිරීමට ඔවුන් තීරණය කළ බව මුලින් දැනගන්නට තිබිණි. මේ ගැන සජිත්ගේ තීරණය අපේක්ෂාවෙන් රනිල් සිටින වග ද බදාදා උදෑසන වනවිට වාර්තා විය. සජිත්ගේ ප්‍රතිඥාවන් ලිඛිතවම තමන් වෙත ලබාගැනීම රනිල්ගේ අපේක්ෂාව බව රනිල් පිල සජිත් පිලට දන්වා තිබුණි.

එ.ජා.පයේ අපේක්ෂකයා තෝරාගැනීම සඳහා පසුබිම සැකසෙද්දී ඔවුන් ප්‍රබලම ප්‍රතිවාදියා වන පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට එරෙහිව පවරා තිබූ නඩු ගණනකින් මේ සතියේ නිදහස ලැබීය. එසේම ඔහු වෙනුවෙන් පොහොට්ටුව සංවිධානය කර තිබූ විවිධ වෘත්තිකයන්ගේ හමුවීම් මේ දිනවල කොළඹ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙයි. ඒ එක් එක් සමුළුවලට සමූපකාරීකයන් - ධීවරයන් - එළවළු වගා කරන්නන් - රණවිරු පවුල් ආදී විවිධ ක්ෂේත්‍රවල සාමාජිකයන් 6000ක් පමණ එකවර කැඳවයි. මෙම සමුළු සියල්ල ඉදිරි දින තුන හතර තුළ හමාර කෙරෙන අතර ලබන මස 05 දා ගෝඨාභයට සහාය පළකරන සියලු පක්ෂවල නායකයන් සමඟ සන්ධාන ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීන්දුව තවමත් ප්‍රකාශ වී නැත. එහෙත් පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර පැවති හමුවේදී දෙදෙනා සන්ධාන ගතවීමට එකඟත්වය පළකළ බව බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ මහක්වරුන්ට ද සෙසු පක්ෂ නායකයන්ට ද දැනුම් දුන් මහින්ද මෙම පසුබිමේ කිසිවකු ශ්‍රී.ල.නි.පය විවේචනය කිරීමෙන් වැළකිය යුතු යැයි පෙන්වා දුන්නේය. බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර මහත්වරුන් ඒ ගැන සාකච්ඡා කරනු ඇති බවක් පසුගිය දිනවල සමහරුන් තදින් කතා කළ පක්ෂ ලාංඡනය පිළිබඳ අර්බුදයක් ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමඟ කිසිවක් කතා නොකළ වගත් මහින්ද සිය පක්ෂ නායකයන්ට පවසා තිබිණි.

පසුගිය කාලයේ සේවයෙන් ඉවත් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදා ලුතිතන් යෝෂිත රාජපක්ෂ හදිසියේම සේවයේ පිහිටුවීමට අදාළ නියෝගය ගිය සඳුදා ජනාධිපතිවරයා විසින් නාවික හමුදාපතිට ලබා දී තිබුණි. ඒ අනුව ගිය බදාදා උදෑසන යෝෂිත නැවත නාවික හමුදා සේවයේ පිහිටුවනු ලැබීය. එය මෛත්‍රී - මහින්ද එකඟතාවේ සුහද ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත් ශ්‍රී.ල.නි.පයේ හිටපු නායිකා චන්ද්‍රිකා මැතිනියගේ අනුග්‍රහය ලබන හිටපු අමාත්‍ය කුමාර් වෙල්ගම මහතා තමා ශ්‍රී.ල.නි.ප ජනාධිපතිධූර අපේක්ෂකත්වය භාරගන්නට සූදානම් බවට දිගින් දිගටම ප්‍රකාශ කරන්නට යෙදුණි. ශ්‍රී.ල.නි.පයට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන්න කුමාර් වෙල්ගමගේ මතය විය. මෙලෙස වෙල්ගම මන්ත්‍රීවරයා කරන ප්‍රකාශවලින් පසු ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා වෙල්ගමට සැර පිළිතුරක් දුන්නේය. වෙල්ගම මහතාගේ අපේක්ෂක කතාව ශ්‍රී.ල.නි.ප හා පොහොට්ටුව අතර සමගිය බිඳින පිල්ලියක් යැයි දයාසිරි කීය. එය එ.ජා.පයට උදව්වක් මෙන්ම වමේ බලය බිඳින පියවරක් ලෙසට ද දයාසිරි විසින් හඳුන්වන ලදී. එසේම ශ්‍රී.ල.නි.පය එතැනට තල්ලු නොකරන්නට පොදු ජන පෙරමුණ ද වගබලාගත යුතු යැයි දයාසිරි විශේෂයෙන් මතක් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කටයුතු අතරතුර තමන්ගේ නාම යෝජනා පත්‍රය සකස් කිරීමේ වැඩකටයුතු ආරම්භ කළේය. ඒ සඳහා මේ සතියේ ගෝඨාගේ කාර්යාලයට විශේෂිත පිරිසක් කැඳවා තිබිණි. ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ නායකත්වයෙන් යුතු නීතීඥ පිරිසක් නාම යෝජනා කටයුතු පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකෙන හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත - හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග නාම යෝජනා සැලසීමේ ප්‍රධාන වගකීම දරති. ගෝඨා ද එතැන සිටිමින් අවශ්‍ය කරන ලිපි ලේඛන පරික්ෂා කරමින් සහාය විය. අද හෙටම සකස් කර හමාර කෙරෙන නාම යෝජනා පත්‍රය තවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරැන් ගණනාවක් විසින් අධීක්ෂණය කොට අනුමත කිරීම සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා තම ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළකිරීමෙන් පසුව කෘත්‍යාධිකාරී හමුවට පෙර මෙතෙක් තමන්ගේ ප්‍රතිවාදියකුව සිටි රවි කරුණානායක මහතා මුණගැසුණේය. එම හමුව සඳහා කපුකම සිදුකළේ කතානායක කරු ජයසූරිය මහතාගේ පාර්ශ්වයෙන් බව දැනගන්නට ඇත. කෙසේ හෝ කරුගේ කතානායක නිල නිවසේදී ගිය බදාදා මෙම හමුව සිදුවූ බව සඳහන්ය. සජිත්ට සහාය ලබාදීමට තමන්ගේ අකැමැත්තක් නැතැයි රවි කරුණානායක මෙහිදී පවසා තිබිණි. එහෙත් ඊට පෙර සජිත් දැනට දරන එ.ජා.පයේ නියෝජ්‍ය නායක ධූරය සහ මුදල් අමාත්‍ය ධූරයන් තමන් වෙත ලබා දෙන්නැයි රවි කරැණානායක සජිත්ගෙන් ඉල්ලීමක් කළේය.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා එයට සෘජු පිළිතුරක් ලබා දී නැත. සජිත් පවසා තිබුණේ ඒ ගැන දැන්ම තමන්ට කිසිම පිළිතුරක් ලබාදීමට හැකියාවක් නැත කියාය.

ඒ අතරතුර මතුගම පවත්වන්නට තිබූ ජනරැලිය නොපවත්වන ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙක් සජිත් ප්‍රේමදාස මහතාට යෝජනා කළෝය. ඊට හේතුව සජිත්ගේ අපේක්ෂකත්වයට පක්ෂ නායකයන් එකඟ වීම නිසා මෙම රැස්වීම ඕනෑ නැති බව කියමිනි. එහෙත් රැස්වීම තබන්නට සජිත් පිලේ තරැණ මන්ත්‍රීන්ට ඕනෑ වී තිබුණි. එ සංවිධානයට මුල් වූ අජිත් පී. පෙරේරා මහතාට ද රුස්වීම තැබීමේ වුවමනාවක් තිබිණි. කෙසේ හෝ සජිත් වෙනුවෙන් පැවති මතුගම රැලියේදී සජිත් ඉතා පැහැදිලිව කීවේ තමන් පක්ෂයේ කිසිවකු පනවන කොන්දේසිවලට යටත්ව එ.ජා.පයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොගන්නා බවකි. තමන්ට ආත්ම ගෞරවයක් හා ධෛර්යයක් ඇති බවත් තමන් පක්ෂයේ ඇතැමුන්ගේ කොන්දේසි භාරගන්නට සූදානම්ය කියා කෙරෙන මාධ්‍ය ප්‍රචාර අමූලික බොරුවක් බවත් සජිත් ප්‍රේමදාස තරයේම ප්‍රකාශ කළේය. එය සුළු මොහොතකින් රනිල් වික්‍රමසිංහ මහතාට ද වාර්තා වූ අතර රනිල් ඒ ගැන සාකච්ඡා කරන්නට තමන්ගේ හිතවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවීය.

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මහ වැසි මධ්‍යයේ වුවද ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් සභා ඇමතීම සඳහා ගමන් කරමින් සිටී. පසුගිය සතියේ ඔහු සාර්ථක රැලියන් පැවැත්වූයේ රත්නපුරයේදීය. රත්නපුරයට ගිය අනුර දිසානායකට එහිදී ස්වකීය පක්ෂ හිතවතුන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබිණි. අනුර එහිදී පැමිණ සිටි පිරිස් අමතමින් විශේෂ දෙසුමක් පැවැත්විය. තමන්ට රට පාලනය ලැබුණහොත් ජනාධිපතිවරයාගේ වියදමින් 90%ක්ම කපාහරින බව පැවසූ හෙතෙම රට පුරාම ඇති ජනාධිපති මන්දිර රටේ සංවර්ධන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා වග ද සඳහන් කළේය. එලෙසට වත්මන් රජය විකිණීමට යෝජනා කර තිබෙන රාජ්‍ය ආයතන නොවිකුණා ජාතික සංවර්ධනයට උපයෝගී කර ගැනීමේ සැලසුම තමන් සතු යැයි ද ඔහු කීය. අනුර දිසානායක මහතා ජනතාව අමතා කළ කතාවේදී ඔහු ජනාධිපති මන්දිර ගැන කියූ කතාවට සමාන කතාවක් මුලින්ම කීවේ සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු කීවේ රටේ ඇති ජනාධිපති මන්දිර අධ්‍යාපන මධ්‍යස්ථාන කරන බවය.

මේ සතියේ වාර්තා වූ උණුසුම් සාකච්ඡා හමුවීම් රාශියකි. එයින් ඉතාමත් රහසි ගතව සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ අතර වූ හමුවයි. එය ජනාධිපතිවරයාගේ පැජට් පාර නිවසේදී සිදුවූ අතර ගෝඨාභය සමඟ පැය 1 1/2½ ක් පමණ පොහොට්ටුව හා ශ්‍රී:ල:නි:පය අතර සන්ධාන ගතවීම ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී මැතිවරණ කටයුතු සංවිධාන ජනාධිපතිවරයාගේ දායකත්වය මෙන්ම ශ්‍රී:ල:නි:පයෙන් පොහොට්ටුවට එක්වන පිරිසගේ රැකවරණය ගැනද ගෝඨාභය මෛත්‍රීට සහතිකයක් ලබාදුන්නේය. දෙපක්ෂය සන්ධාන ගතවීමට අවශ්‍ය ලිපි ලේඛන කටයුතු බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ඇති බවද පැවසිණි.

සජිත් ප්‍රේමදාස මහතා එ:ජා:පෙ ජනාධිපතිධුර අපේක්ෂකත්වයට පත්වීමෙන් පසු ඔහු වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන සැකසුම සඳහා මුලින් යෝජනා වූයේ අකිල විරාජ් හා කබීර්ගේ නමයි. එහෙත් ඔවුනට මැතිවරණයේ සංවිධාන කටයුතු පවරන බැවින් ඒ සඳහා රවි කරුණානායකගේ නම සජිත් යෝජනා කළේ දෙදෙනා අතර මෙතෙක් පැවති විරසකය දුර කරමිනි. රවිගේ සහයට රාජිත හා පාඨලී ඇතුළු පිරිසක් ද ප්‍රතිපත්ති ප්‍රකාශනයට දායක වනු ඇත. එ:ජා:පෙ: සැලසුම අනුව සජිත් ප්‍රේමදාස මහතා ස්වකීය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම ලබන 03දා සිදුකෙරේ. එසේම මංගල ජනරුලිය ලබන මස 10දා ගාලුමුවදොර දී පැවැත්වීමට නියමිතය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමෙන් පසු එම ජයග්‍රහණය සැමරීම නිමිත්තෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ කොළඹ 07 නිවෙසේ සාදයක් පැවැත්විණි. ඒ සඳහා සජිත් ද එජාපයේ හා එජා පෙරමුණු පක්ෂ නායකයෝ ද මන්ත්‍රීවරැ ද ඇරුයුම් ලැබ සිටියහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක හා ජෝන් අමරතුංග ඊට එක්නොවූහ. ජෝන් අමරතුංග මහතා හේමා ප්‍රේමදාස මහත්මිය අමතා කතාකොට තමන් සජිත්ට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබිණි. ඒ අතර සාගල රත්නායක මහතා සජිත්ට සුබපතමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

මෙම සාදයේදී සජිත් පැමිණ සිටි මැතිඇමැතින් අසලට ගොස් කතාබස් කරමින් සුහදතාව පළකළ අතර බොහෝ මන්ත්‍රීන් පිරිසක් සජිත්ට යෝජනා කළේ ජනාධිපතිවරණයේදී හංසයා ලකුණින් නොව අලියා සලකුණින් තරග කරමු කියායි. එහෙත් ඒ ගැන අවසාන තීන්දුවක් ගැනුණේ නැත. 

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර