2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

දහම් සිරිසේනට මහින්ද කී රහස

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1663

► කතානායකට සුබ පතමින් සන්ධාන මහලේකම් කළ හෙළිදරව්ව!
► ජනපතිවරණ සටනට ශ්‍රීලනිපයත් සූදානම් බවට දයාසිරිගෙන් ලිපියක්
► ජ.වි.පෙ අපේක්ෂක ඉවත්වන කතාව බොරැවක්ලු
► විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව රනිල් මාලදිවයිනේදී කියයි
► සජිත් වෙනුවෙන් රට පුරා ජනරුලි
► බන්දුලගේ ගෙදරදී ගෝඨා සරසවි ඇදුරන්ට සිය අධ්‍යාපන ප්‍රතිපත්තිය පහදයි

ජනාධිපතිවරණ උණුසුම විසින් දේශපාලන ක්ෂේත්‍රය රත් කරන්නට පටන්ගෙන ඇතත් එ.ජා.පයෙන් තවමත් අපේක්ෂකයකු තෝරාගන්නට නොහැකි වීම නිසා ඡන්ද සටන තුළ දක්නට ඇත්තේ උදාසීන බවකි. එ.ජා.ප පෙරමුණේ අපේක්ෂකයා පසුගිය 31 දාට පෙර ප්‍රකාශයට පත් කළ යුතු යැයි එ.ජා.ප පසු පෙළේ හේෂා විතානගේ, අජිත් පී. පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ ආදීන් මෙන්ම චම්පික රණවක වැනි පක්ෂ නායකයන් ද කල්තබා කී නමුත් වැඩේ එදිනට සිදු නොවීය. පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවකදී තීන්දු වූයේ මේ ගැන තේරෙන එදිරිවාදිකම් නතරකොට මහජන රැලි, උද්ඝෝෂණ ආදිය නතරකොට සාකච්ඡාවෙන් ප්‍රශ්නය විසඳා ගන්නටයි. ඒ අනුව මෙම 06 වැනි සිකුරාදා සවස නැවත පක්ෂ නායකයන් හමුවෙමු යැයි රනිල් වික්‍රමසිංහ මහතා දැන්වීය. අනතුරැව ඔහු කලින් සැලසුම් කර තිබූ මාලදිවයින් සංචාරයට එක්විය. ඒ සඳහා එ.ජා.ප අපේක්ෂකත්වය ගැන සැර ප්‍රකාශ නිකුත් කළ රවුෆ් හකීම් අමාත්‍යවරයා ද වජිර අබේවර්ධන, දයා ගමගේ, අනෝමා ගමගේ ආදී දේශපාලනඥයන් ද නිලධාරීන් 13 දෙනෙක් ද එක්වී සිටියහ.

කෙසේ හෝ එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම හා කත්‍යාධිකාරිය එක්ව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතුයැයි සජිත් පිල කියද්දී පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර සඳහන් කළේ එ.ජා.ප ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය අනුව කත්‍යාධිකාරිය විසින් පත්කරන නාම යෝජනා කමිටුවක් මගින් අපේක්ෂකයා තෝරාගත යුතුය කියායි. එය පක්ෂ නීතිය හා සම්ප්‍රදාය බවද ඔහු කීය. පෙනෙන්නට තිබෙන ආකාරයට පක්ෂ නායකයාට මෙම ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන අසීමිත බලතල අනුව එලෙස එ.ජා.ප අපේක්ෂකයා තෝරාගනු ඇතැයි අපේක්ෂා කළ හැක. නමුත් සජිත් හිතවාදී මන්ත්‍රී කණ්ඩායම ඊට එකඟ නැත. ඔවුන් දිගින් දිගටම කියන්නේ පක්ෂය ජයග්‍රහණය කරවිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බැවින් ඔහු අපේක්ෂකයා කළ යුතු වගයි. මේ බව මේ සතියේ වාර ගණනාවක්ම අවධාරණය කළේ අජිත්. පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා විසිනි. කෙසේ හෝ පක්ෂ අපේක්ෂකයා තෝරාගැනීම දිනෙන් දින කල් යද්දි සජිත් හිතවාදී මන්ත්‍රීහු කුරුණෑගලදී පවත්වන්නට සැලසුම් කළ ‘සජිත් එනවා’ ජන හමුව ගිය බ්‍රහස්පතින්දා පැවැත්වූහ. එය සංවිධානය කළේ අශෝක අබේසිංහ, තුෂාර ඉඳුනිල් ආදී මන්ත්‍රීවරුය. එහෙත් එම ජනහමුව නොපවත්වන ලෙස පක්ෂය දැනුම් දුන් බව කලින් වාර්තා වී තිබිණි. එහෙත් එ.ජා.පය විසින් කුරැණෑගල සංවිධානය කර තිබූ ‘සජිත් එනවා’ ජනරැලිය සාර්ථක ලෙස නිමා විය. චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කැබිනට් අමාත්‍යවරියක් ලෙස ද හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, ජේ.සී. අලවතුවල, නලීන් බණ්ඩාර, ඉන්දික බණ්ඩාරනායක, අශෝක් අබේසිංහ, තුෂාර ඉඳුනිල් ඇතුළු මන්ත්‍රී පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටිනු දක්නට ලැබිණි. ඔවුන්ගෙන් ජන හමුව අමතා කළ බහුතරයක් දෙනා විශ්වාසය පළ කළේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට අර්බුදයකින් තොරව පවරනු ඇති බවයි. ජන හමුව ඇමතූ සජිත් ද කීවේ කරු - රනිල් දෙදෙනාගේම ආශිර්වාදය ඇතිව තමන් ජනපතිවරණයට එනවා කියායි. එසේම රටේ හැම ජන කොටසක් උදෙසාම තමන් ඉටු කරන මෙහෙවර ද සජිත් විස්තර කළේය.

මෙවර එ.ජා.ප. පක්ෂ මහා සම්මේලනය පවත්වන්නට නියමිත වූයේ සැප්තැම්බර් මස 06දායි. එහෙත් පක්ෂ මහා සමුළුව එදින නොපැවැත්වීමට පක්ෂ ප්‍රධානීන් තීන්දු කර තිබිණි. ඒ වෙනුවට පක්ෂ සමරුවක් සංවිධානය කර තිබිණි. එනිසා සජිත් හිතවාදී මන්ත්‍රීන් විකල්පයක් ලෙස එ.ජා.පයට සම්බන්ධ  පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීන් කැඳවා කොළඹදී විශේෂ පක්ෂ සම්මේලනයක් පවත්වන්නට සැලසුම් කැරිණි. එහෙත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් පවසා තිබුණේ මෙය පක්ෂ විනයට පටහැනි ක්‍රියාවක් බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් සජිත් හිතවාදී කණ්ඩායමත් මෙලෙස දැඩි ස්ථාවර දැරීම නිසා එ.ජා.ප. අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීම කල්යද්දි එ.ජා.පයේ පසුපෙළ හා ඉදිරි පෙළ සජිත් හිතවාදීන් තවත් ලිපියක් අත්සන් කොට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට සැලසුම් කර තිබේ. ඔහුගේ මාලදිවයින් සංචාරයෙන් පසු මෙය භාරදෙන බව පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ සගයෙක් සඳහන් කළේය.

එමගින් ඉල්ලා සිටින්නේද පක්ෂයේ අපේක්ෂකයා තෝරා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන හැටියටයි. මේ ගැන ඇතැම් මන්ත්‍රීවරුන් මාධ්‍යයට සඳහන් කර තිබුණේ අවසන් වරට ප්‍රකාශයට පත් කෙරෙන අපේක්ෂකයාට වාසිය වැඩි බවකි. එස්. එම් මරික්කාර් මන්ත්‍රීවරයා කීවේ 2005 දී මහින්ද රාජපක්ෂ මහතා අන්තිම මොහොතේ ඉදිරිපත් වූ අතර 2015දී මෛත්‍රීපාල සිරිසේන මහතා අන්තිම මොහොතේ ඉදිරිපත්ව ජයගත් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සර රැස්වීම පසුගිය 03 දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම රුස්වීම උසස් ලෙස සංවිධානය කරන්නැයි පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර හා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහත්වරුන්ට ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ අතර රැස්වීමට පෙරදා රාත්‍රී 11.00ට පමණ ජනාධිපතිවරයා ද සුගතදාස ක්‍රීඩාංගණයට ගොස් අවශ්‍ය සංවිධාන කටයුතු ගැන සොයා බැලීය.

ශ්‍රී.ල.නිපය හා පොහොට්ටුව අතර සාකච්ඡා පැවැත්වෙද්දී පැවැති මෙම සමුළුවට සැමගේ අවධානය යොමුව තිබිණි. සුගතදාස පිටියට විශාල ජනකායක් එක්රුස්වූ අතර පිටියෙන් පිටත ද ඇතුළුවීමට නොහැකි ජනතාව රැස්කමින් සිටි බව කියැවිණි. ශ්‍රී.ල.නිපයේ ආරාධනා අනුව දිනේෂ් ගුණවර්ධන, චම්පික රණවක, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, රිෂාඩ් බදියුදීන්, එච්. එල්. ඒ. අතාවුල්ලා ආදී පක්ෂ නායකයන් පැමිණ සිටි අතර මෙම සමුළුවට එ.ජා.පයට ආරාධනා කර නොතිබිණි. පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ට සමුළුව දා උදේ දුරකථන ඇමතුමක් දී ආරාධනා පත්‍රයක් ද එවා තිබූ නමුත් ඔහු සමුළුවට ගියේ නැත. පසුගියදා පැවති පොහොට්ටුව මහ සමුළුවට ශ්‍රී.ල.නිපය ද සහභාගී නොවීම නිසා මෙම තත්ත්වය හටගත් බව කියැවිණි.

මෙම සමුළුව අමතා කතා කළ දයාසිරි ජයසේකර හිටපු මහ ලේකම්වරයා කීවේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඕනෑම අපේක්ෂකයකුට ලබාගත හැකි උපරිම ඡන්ද ප්‍රතිශතය 47%ක් බවයි. 50% සම්පූර්ණ කරගන්නට නම් ඕනෑම අපේක්ෂකයකුට ශ්‍රී.ල.නි.ප සහය අවශ්‍යයැයි දයාසිරි කීය. එබැවින් පක්ෂය ශක්තිමත් කර රට පුරා සමිති සංවිධාන ඇති කර කාගේවත් වලිගයක් නොවී ස්වාධීන ලෙස සංවිධානය වෙමු යන්න දයාසිරි ජයසේකර මහතාගේ අදහස විය. නමුත් දයාසිරිගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රකාශයට පත්කළ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල මහතා කීවේ ශ්‍රී.ල.නිපය සදාකල් එ.ජා.ප විරෝධී පක්ෂයක් බැවින් අපේ දේශපාලන සතුරන් හා මිතුරන් දැනගෙන තීන්දු ගතයුතු වගයි. තමන්ගේ හදවතට කිට්ටු මිතුරන් කවුද පක්ෂයට හිතවත් මිතුරන් කවුද කියා දැනගෙන කතා කරමු යැයි නිමල් සිරිපාල මහතා කීය.

ඒ වනවිට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය හා පොහොට්ටුව දැඩි ලෙස විවේචනය කරන කුමාර් වෙල්ගම මහතා ද සභාවට පැමිණි අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මුලසුනේ කතාව ආරම්භ කළේ පක්ෂ ඉතිහාසය කියමිනි. තමන්ටත් දැන් වයස 68යි. පක්ෂයටත් දැන් වයස 68 යැයි කී ඔහු අපි දැන් පරිණත තත්ත්වයට පත්ව සිටිමු යැයි කීය. සිය කතාවේදී ඔහු දැඩි ලෙස ප්‍රහාර එල්ල කළේ එක්සත් ජාතික පක්ෂයටයි. 2015දී තමන් අපේක්ෂකයා කරගැනීම පක්ෂයට සිදු වූ වැරදීමක් බව එ.ජා.පයේ වාචාල කතා කියන්නෙක් කුලියාපිටියේදී කියා ඇතැයි සඳහන් කළ සිරිසේන මහතා තමන්ගේ වැරදි දන්න මේ අය යම් හෙයකින් ඡන්දය පරාජය වූයේ නම් අද ඔවුන්ට ඇඳුම් නැතිව මහපාරේ යන්නට සිදුවේ යැයි කීය. පළාත් සභා ඡන්දය නිසි ලෙස නොපැවැත්වීමේ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැරිය යුතු යැයි කී ජනාධිපතිවරයා ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණය තමන් වෙත ලබාදුන් මත විමසුම් තීන්දුව අනුව පෙනී යන්නේ යැයි ද ප්‍රකාශ කළේය. එ.ජා.පයේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය මේ රටට නොගැලපෙන බව පෙන්වා දුන් හෙතෙම තමන් ප්‍රභූවරයන්ගේ පෙළපතකින් පැවත නොඑන නිසා තමන්ට පහර දෙන වගද කීය. ශ්‍රී.ල.නි.පයේ මෙවර සංවත්සරයෙන් ඇරඹෙන්නේ ජනාධිපතිවරණ සටන යැයි කී ජනාධිපතිවරයා පක්ෂ ශාඛා ශක්තිමත් කරමින් ඉදිරියට යන වග සඳහන් කළේය.

මහබැංකු බැඳුම්කර වංචාව මෑතක රටේ සිදු වූ මහා පරිමාණ වංචාව යැයි ජනාධිපතිවරයා පැවසීය. මේ ආකාරයට එ.ජා.ප ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් කතා කළ හෙතෙම ශ්‍රී.ල.නිපය නව ජවයකින් ඉදිරියට යන්නේ යැයිද ප්‍රකාශ කළේය.

ජනාධිපති සිරිසේන මහතාගේ 68 වැනි ජන්ම දිනය යෙදී තිබුණ ගිය අඟහරුවාදා උදෑසනින්ම ඔහුට සුබපතන්නට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට වාර ගණනක් ඇමතුවත් පිංකමක සිටි නිසා මහින්දට ඔහුට සුබ පතන්නට හැකි වූයේ දහවල් කාලයේය. ඉතා සුහදව සුබ උපන් දිනයක් යැයි කී විට ජනාධිපතිවරයා ද මහින්ද රාජපක්ෂ මහතාට ස්තූති කරමින් අපි කවදද හමුවෙන්නේ යැයි මහින්දට පවසා තිබිණි.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රුස්වීම සඳහා ප්‍රධාන පක්ෂවල නියෝජිතයන් පැමිණියේ ගිය අඟහරුවාදා උදෑසනය. පක්ෂ නායක හමුව ඇරු‍ඹෙන්නට පෙර එහි පැමිණි එ.ජා.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර මහතා කතානායක කරු ජයසූරිය මහතා අමතමින් “ඔබතුමා ගැන අපට සුබ ආරංචියක් මාලදිවයිනෙන් ලැබුණා. ඔබතුමා නේද යූ.ඇන්.පීයේ ජනාධිපති අපේක්ෂක” කියා විමසීය. කරු ජයසූරිය මහතා මෙම ප්‍රශ්නයෙන් යම් අපහසුතාවකට පත්වුවත් ඔහු සිනාමුසු මුහුණින් නිහඬව සිටියේය. තමන් අපේක්ෂකයා හෝ අපේක්ෂකයා නොවේයැයි කරැ සඳහන් කළේ නැත. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ආරංචි මාර්ග කියන්නේ උපරිම උත්සාහය රනිල් ජනපති සටනට ඉදිරිපත් වීමට බවයි. එහෙත් ඊට තදබල බාධාවක් ආවොත් විකල්පය ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් කෙරෙනු ඇති වගයි.

කෙසේ හෝ මෙවර පක්ෂ නායකයන්ගේ හමුවේදී ප්‍රධාන වශයෙන්ම කතා කළේ මේ සතියේ විවාදයට ගන්නට නියමිත මහජන බැංකුවට අදාළ බැංකු පනතයි. ඒ ගැන කල්තබා කතානායකට ලිපියක් යැවූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම පනත දැඩි විවාදයට තුඩු දෙන්නක් නිසා මේ සතියේ එය විවාද නොකර තවදුරටත් සමාජ සංවාදය පුළුල් වන්නට ඉඩ දී ලබන සතියේ විවාද කරමු යැයි යෝජනා කර තිබිණි. එම යෝජනාව කතා නායකවරයා ද පිළිගත් නිසා මහජන බැංකු පනත විවාදය කල් දමනු ලැබීය. ඒ හැර පක්ෂ නායක හමුවේදී වෙනත් වැදගත් දෙයක් සාකච්ඡා වූයේ නැත.

පසුගිය දා පොහොට්ටුවේ මන්ත්‍රීන් පිරිසක් වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. ඊට ගෝඨාභය රාජපක්ෂ මහතාට ද ඇරුයුම් කර ඇත. භෝජන සංග්‍රහයට දේශපාලනඥයකු ලෙස එස්.බී. දිසානායක සහභාගී වූ අතර විශ්ව විද්‍යාල උපකුලපතිවරු හා හිටපු උපකුලපතිවරු, ආචාර්යවරු 150ක් පමණ ඊට එක්වූහ. ඔවුන් සාකච්ඡා කළේ රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැනයි. ගෝඨා ඔහුගේ අදහස් ප්‍රකාශ කරමින් සිය සැලසුම ගැන අදහස විමසීය.

මෙහිදී බන්දුල ගෝඨාභය රාජපක්ෂට කදිම කතාවක් කීය. “ඔබතුමා මෙහාට එන්න ටික වේලාවකට කලින් මේ ගෙදරට පොලීසියේ ඉහළම නිලධාරී දෙන්නෙක් ආවා. ඇවිල්ලා මට කිව්වා සර් අද ගෝඨාභය මහත්තයා එනවා නේද අපි හතරවටේම ආරක්ෂාව තර කළා. පොලිස් බල්ලො පවා දාලා ගෙයින් ගෙට චෙක් කළා.. දැන් එතුමට එන්න පුළුවන් සේරම  ආරක්ෂාව හරි.. කියලා. මම ඔබතුමා මෙහේ එන බවක් පොලීසියට නිකම් කිව්ව විතරයි. පොලීසිය ස්වෙච්ඡාවෙන් වැඩ.. පේනවා නේද රටේ මතය” කියායි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුතෙන් සන්ධානයක් හදන්නට තැත් කරන බවට තිරය පිටුපස දේශපාලන ආරංචි පැතිර යමින් තිබේ. දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, හිටපු ජනාධිපති චන්ද්‍රිකා ආදීන් මේ සන්ධානය සඳහා ජනාධිපතිවරයාගේ සහාය ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටියත් ජනාධිපතිවරයා තවමත් ඒ ගැන නිශ්චිත වචනයක් ලබා දී නැත. මේ සන්ධානය සකසන්නේ නම් පාඨලී චම්පික රණවක සමඟ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද සාකච්ඡා කළ හැකි බව මේ පිළිබඳ යෝජනාව කළ අය ප්‍රකාශ කර තිබේ. යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතාට එ.ජා.ප අපේක්ෂකත්වය අහිමි වුවහොත් ඔහුට සහ ඔහුගේ හිතවාදීන්ට ඊට ආරාධනා කළ හැකි බව මෙම යෝජනාව ඉදිරිපත් කළ අය කියා තිබේ. ඒ අතර යට කී ලෙස පසුගියදා පැවති ශ්‍රී.ල.නිප මහ සමුළුවේදී ජනාධිපතිවරයා කියා තිබුණෙත් එදිනෙන් ඇරඹෙන්නේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය බවය. එසේම තමන් ජනතාවාදී පුළුල් සන්ධානයක් හදන බවද ජනාධිපතිවරයා කී අතර 2020 ආණ්ඩුව හදන්නේ අපියි කියාද ඔහු කීය. එසේම ඉදිරි ආණ්ඩුවක බලවත්ම චරිතය අගමැතිවරයා බව පෙන්වා දුන් ඔහු ජනාධිපතිධූරයට ආරක්ෂක ඇමැතිකමවත් නැතැයි කීය.

කෙසේ හෝ මේ කතා සියල්ලම අප සඳහන් කරන සන්ධාන යෝජනාව සමඟ ගැලපෙන අතර අප වෙත ලැබී ඇති ආරංචි මාර්ග අනුව පොදු අපේක්ෂකයෙක් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි චන්ද්‍රිකා මැතිනිය, දයාසිරි, දුමින්ද ඇතුළු පිරිසට යෝජනා කර ඇත. කෙසේ වෙතත් එහිදී අගමැති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතුයැයි ද අදහස් හුවමාරු වී තිබේ. නමුත් තවමත් මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අදාළ කණ්ඩායමට අනුමැතියක් ලැබී නැත. කෙසේ හෝ පොහොට්ටුවේ ප්‍රධානීන්ට මහින්ද උපදෙස් දී ඇත්තේ ශ්‍රී.ල.නි.පය සමඟ සාකච්ඡා කරන නිසා වෙන වෙනම මන්ත්‍රීන් බඳවා නොගත යුතුය කියායි. කෙසේ හෝ පොහොට්ටුව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් දහස් ගණන් කොළඹට කැඳවමින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් සාර්ථකව පවත්වමින් සිටී. ඒ අතර පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීන් 39 දෙනෙක් ලබන 15 දා සිට 18 දා දක්වා මන්නාරම - මුලතිව් - යාපනය - කිලිනොච්චි ආදී දිස්ත්‍රික්කවල ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා උතුරට යැවීමට ද කටයුතු සංවිධානය කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා තුන්දින නිල සංචාරයක් සඳහා මාලදිවයිනට ගියේය. එරට ජනාධිපති සෝලිගේ ඇරුයුමින් ගිවිසුම් ගණනාවකට අත්සන් කළ හෙතෙම මාලදිවයින් පාර්ලිමේන්තුව ද ඇමතීය. එහිදී රනිල් අවධාරණය කළේ තමන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට කැප වී සිටින බවය. එසේම ත්‍රස්තවාදය පැරදවීමේදී සිය රජය මාලදිවයින සමඟ එක්ව ක්‍රියා කරන්නේ යැයිද කීය.

මෙතෙක් පොහොට්ටුව සමඟ සාකච්ඡා කරගෙන ගිය ශ්‍රී.ල.නි.පය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට දන්වා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව මෙයට පෙර පක්ෂයක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි ගත් තීන්දුව අනුව මෙම දැන්වීම කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා මාධ්‍යයට කීය. සිය පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න පසුව දැනුම්දෙන බවද හෙතෙම සඳහන් කළේය.

දයාසිරිගේ මෙම දැන්වීම අප යට සඳහන් කරන ලද චන්ද්‍රිකා මැතිනියගේ නව සන්ධාන යෝජනාවේම එක් ප්‍රතිඵලයක් බවට සමහරුන් කීවද සැබැවින්ම සිදුව තිබුණේ මැතිවරණ කොමිසම විසින් සෑම පක්ෂයක් වෙතම යවන ලද විමසීමකට පිළිතුරු යැවීමකි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගිය සතියේ යැවූ මෙම ලිපිවලින් විමසුවේ ඔබ පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ ද නැත්ද යන්නයි. එයට ශ්‍රී.ල.නි.පය තම පක්ෂය ද තරග කරන බව දන්වා යැවීය. මේ ගැන පොහොට්ටුවේ පක්ෂ නායකයන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූවිට “ඒක ගණන් ගන්න එපා. එයාලා තරග කරන්නේ නැහැ කිව්වොත් එතන ඉන්න අනිත් මන්ත්‍රීලා ටිකත් තැන් තැන්වලට යන්න බලනවා. ඒ නිසා තමයි ඔහොම කිව්වේ. අපේ සාකච්ඡා සාර්ථකයි. සන්ධානය හැදෙනවා. ඒ ගැන බයවෙන්න එපා.” යැයි පිළිතුරු දුන්නේය. එම කියමනට අලුත් සාක්ෂියක් එකතු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දයාසිරි ජයසේකර මහ ලේකම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී.ල.නි.ප සාකච්ඡා කණ්ඩායම ගිය සිකුරාදා සවස 4.00ට විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී සාකච්ඡා කළේ සන්ධානය ගැන අවසන් තීරණ කිහිපයක් ගැනීම පිණිසය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා විශේෂ අමුත්තෙක් හමුවිය. ඒ ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාය. මහින්ද දහම් හමුවූයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානකගේ ඥාති සහෝදරියකගේ විවාහ මංගල උත්සවයේදීය. දහම්ගේ හොඳම මිතුරා චානක මන්ත්‍රීවරයාගේ ඥාති සහෝදරියගේ අත ගත්තේ ජයික් හිල්ටන් හෝටලයේදීය. මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද එහි එනවිට දහම් පැමිණ මිතුරන් පිරිසක් සමඟ අසුන් ගෙන සිටිනු දක්නට ලැබිණි. සුළු වේලාවකින් දහම් සිරිසේන මහින්ද රාජපක්ෂ අසලට පැමිණි විට “ආ පුතා කොහොමද” කියපු මහින්ද නැගිට දහම්ගේ අතින් අල්ලාගෙන නිදහස් තැනකට යනු පෙනිණි. දෙදෙනා විනාඩි ගණනාවක් සුහද කතාවක නිරත වූ අතර දහම් මහින්දට කියා ඇත්තේ අපි එකතු වෙලා යනවා නම් හොඳයි නේද කියායි. මහින්ද එය අනුමත කළ අතර මෙම හමුවේදී මහින්ද දහම්ට ඉතා වැදගත් දේශපාලන රහසක් කියූ බව වාර්තා විය. ඒ කුමක්දැයි නිසි ලෙස වාර්තා වී නැතත් එ.ජා.පයේ පසුපෙල මන්ත්‍රීන් සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් කොළඹ 7 නිවසක පැවැත්වූ රාත්‍රී සාදයකදී සාදයට සහභාගී වූ ප්‍රබලයකු කියූ කතාවක් බව පැහැදිලිය. එහෙත් මහින්ද ඒ කතාව දහම්ට නොකියා එතැනදී සිදු වූ කතාබහ ගැන නිසි සොයා බැලීමක් කරන්නැයි දැන්වීය. එය වහා සිදු කරන බව දහම් මහින්දට පවසා තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි දේශපාලන ගමන් මග ගැන අදහස් දක්වන්නට එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවක් කැඳවීය. ඔහු සඳහන් කළේ පවතින දුෂ්ඨ සමාජ ක්‍රමය වෙනස් කළ හැක්කේ ජ.වි.පෙට පමණක් බවයි. ඒ සඳහා ජාතික ජනබල වේගය ක්‍රියා කරන්නේ යැයි කී හෙතෙම ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අවසන් මොහොතේ ඉල්ලා අස්වන බවට විපක්ෂය ගෙන යන බොරු ප්‍රචාර බැහැර කරන්නේ යැයි මහ ලේකම්වරයා කීය. තනතුරු ලාභ අපේක්ෂාවෙන් තොරව ජනතාව වෙනුවෙන් ඡන්දයට ආ අපේක්ෂකයා කෙරේ බහුතර ජනතාව විශ්වාසය තබනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.


► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර