2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

රනිල්ගෙන් විනය පරීක්ෂණ සජිත් පිළෙන් සැර පිළිතුරු

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 318

 

► රනිල්ගෙන් ජනපති වෙත විධායකය අහෝසියට යෝජනාවක්
► ගෝඨාගේ පුරවැසිකම අහෝසි කළ ලිපිය ඡන්ද කොමිසමට
► ශ්‍රීල.නි.ප.ය එ.ජා.ප.යේවත් පොහොට්ටුවේවත් මුක්කුවක් නොවේලු
► පක්ෂ විනය රකින්න බැරි අය පක්ෂයෙන් යන්නැයි රවි-ෆොනී කියති
► කෘත්‍යාධිකාරියට සජිත් පිලේ මන්ත්‍රීන්ගෙන් ලිපියක්
► පොහොට්ටු තරුණ සමුළුවේදී මාධ්‍යයට හිරිහැර සිදුවීම ගැන සමාව අයදී

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විමසන පාර්ලිමේන්තු විශේෂ කමිටුව හමුවට පැමිණ සාක්ෂි දෙන ලෙස ඉල්ලා සිටිමින් අදාළ කමිටුව ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කළේය. එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මේ බව සනාථ කර තිබිණි. ලිපිය ලැබී දින ගණනාවක් ගතවී ඇතත් මේ ගැන ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය පැහැදිලි නැත. කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාර කමිටුව හමුවට යෑමට අදහස් නොකරන බවය. එය මෙයට පෙර මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ “තමන් මෙම කමිටුවට කැඳවීමට ඔවුනට බලයක් නැති බවත් ඊට කැඳවූවත් තමන් සහභාගී නොවන වගත්ය. මෙම කමිටුව අරලිය ගහ මැඳුරේ සිට මෙහෙය වෙන කමිටුවක් බවද ජනාධිපතිවරයා කීය. කෙසේ හෝ කමිටුව හමුවට ජනාධිපතිවරයා යා යුතුද යන ප්‍රශ්නය හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් මාධ්‍ය විමසූ විට ඔහු කියා තිබුණේ මෙතන හංගන්නට දෙයක් නැති බවත් එතුමා කරුණු දැක්වීම වරදක් නොවන බවත්ය.

පවතින තත්ත්වය යටතේ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාර විමර්ශන කමිටුව ඉදිරියට නොපැමිණීමට බොහෝ දුරට ඉඩ තිබේ. එසේ වුවහොත් ලැබී තිබෙන තොරතුරු පදනම් කරගෙන අදාළ කමිටු වාර්තාව සකස්කොට භාරදෙන බව නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කර තිබිණි. 
එක්සත් ජාතික පක්ෂය තුළ හටගෙන තිබෙන ජනාධිපති අපේක්ෂක අරගලය දිනෙන් දින දියුණු වනවා මිස සමනය වන බවක් පෙනෙන්නට නැත. සජිත් පිලත් රනිල් වික්‍රමසිංහ හිතවාදීනුත් තම තමන්ගේ ස්ථාවරයන් වෙනස් කරන බවත් පෙනෙන්නට නැත. සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ඉල්ලන මන්ත්‍රීන් සංඛ්‍යාව ආණ්ඩුවේ මුළු මන්ත්‍රීන් ගණනින් 66ක් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට අපෙක්ෂකත්වය ලබාගැනීම ගැන රනිල් වික්‍රමසිංහ මහතාගේද එකඟතාව ලබාගෙන තීන්දුවක් ගතහැකි යයි විශ්වාස කරන වගයි. පක්ෂයේ සජිත් හිතවාදීන් බහුතරයක් තුළ මෙයට සමාන අදහස් තිබිණි. ඒ අතර ඔවුන් හමුවී කරන රහසිගත කතාබහ සාකච්ඡා රනිල් පාර්ශ්වයට සපයන පිරිසකුත් මාධ්‍ය ජාලාවලට මුදාහරින පිරිසකුත් සිටින බවද පක්ෂ ආරංචි මාර්ග කියයි. කෙසේ හෝ පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන කබීර් හෂීම්, රන්ජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික්‍රම ආදීන්ට රනිල් කියා තිබුණේ පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨයන් වන රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල හා සරත් ෆොන්සේකා වැනි අය සමඟත් හවුල්කාර සුළු පක්ෂ සමඟත් කතාකර සජිත්ගේ නමට ඔවුන් එකඟ නම් තමන්ට දන්වන ලෙසයි. ඒ අනුව ඔවුන් අදාළ පාර්ශ්ව ගණනාවක් සමඟ සාකච්ඡා කළද විශේෂයෙන්ම රවි - සරත් ෆොන්සේකා හා කිරිඇල්ල මහත්වරැන් සජිත්ට එකඟත්වය පළකර නැතැයි නිලනොවන වාර්තා කියයි. 

හරීන් ප්‍රනාන්දු, හේෂා විතානගේ ආදී මැතිඇමැතින් මේ ගැන දිගින් දිගටම මාධ්‍යයට කරුණු දක්වමින් කීවේ සජිත් අපේක්ෂකයා නොවන්නේ නම් දේශපාලනයෙන් තමන්ලා සමුගන්නා වගයි. දැනටමත් ඔවුන්ගෙන් චමින්ද විජේසිරි හා තමන් අධීක්ෂණ මන්ත්‍රීධුරවලින් ද ඉවත් වූ වගකී හේෂා විතානගේ තවත් අධීක්ෂණ මන්ත්‍රීන් 20ක් පමණ ළඟදීම තනතුරු අත්හරින වග සඳහන් කර තිබිණි. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ සජිත්ට අපේක්ෂකත්වය ලබාගැනීම වෙනුවෙන් තමන් අගමැති නිවස ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්නට සූදානම්ය කියායි. කෙසේ හෝ සජිත් ඉදිරි එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයා නොකළොත් ඔහු ස්වාධීනව තරග කළ යුතු යැයි ඇතැම් මැතිඇමැතින් සජිත්ට යෝජනා කර තිබේ. ඒ බව සජිත් හිතවාදී සමාජ මාධ්‍ය ජාලාවලද සඳහන්ව තිබිණි.

කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිතවාදීන් සජිත් පාර්ශ්වයේ ඉල්ලීම් ගණන් ගන්නා බවක් නොපෙනේ. පසුගියදා මෙයට උදාහරණ සැපයූවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය. ඔහු සජිත් පාර්ශ්වයට විවෘතව කීවේ පක්ෂය තුළ විනයගරුකව සිටින්නට බැරි එම කණ්ඩායම පක්ෂයෙන් ඉවත් විය යුතු වගයි. පක්ෂයත් පක්ෂ නායකයනුත් හෙළාදකින අයට දැඩි විනය පියවර ගත යුතු යැයි ද ෆොන්සේකා කීය. අද වනවිට සජිත් ප්‍රේමදාස මහතා කිහිප දෙනෙකු සමඟ කැරලි ගසන තත්ත්වයට පත්ව ඇතැයි කී ෆොන්සේකා මහතා බහුතරය රනිල් සමඟ යැයි ද කීය. රවි කරුණානායක අමාත්‍යවරයා ද ඊට සමානවම අදහස් දැක්වීය.

මේ ආකාරයට එ.ජා.ප.යේ අපේක්ෂක ආරවුල නොවිසඳී පවතිද්දී ප්‍රධාන හවුල්කාර පක්ෂ ගණනාවක් මෙම සතිය හමාරවන්නට පෙර (31දාට) එ.ජා.පෙ. අපෙක්ෂක නම් කළ යුතු යැයි ප්‍රකාශ කර ඇත. එයින් මුල්තැන ගන්නේ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාය. රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා පී. දිගම්බරම් අමාත්‍යවරැද මෙම ප්‍රශ්නය නිසා දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටින බව කියැවේ. මෙයින් රවුෆ් හකීම් මහතා පසුගියදා බැසිල් රාජපක්ෂ සමඟ ද සාකච්ඡාවක් කර තිබිණි. මනෝ ගනේෂන් හා දිගම්බරම් ද මේ සතිය හමාර වනතුරු බලාසිටින වග කියැවේ. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ දෙමළ සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා මුණගැසී ඉතාමත් පෞද්ගලික මට්ටමින් සුහද කතාබහක නියැලුණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිය සහ අනාගත ජනාධිපති අපේක්ෂකත්වය ගැන දෙමළ සන්ධාන මතය ද විමසා තිබිණි. කෙසේ හෝ එ.ජා.ප. ජනාධිපති ධුර අපේක්ෂකත්වය රනිල්ට හෝ කරු ජයසූරිය මහතාට හිමිවනු ඇතැයි රනිල් හිතවාදීහු දිගින් දිගටම කියති. එසේ වුවහොත් පක්ෂයේ සෑහෙන පිරිසකට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවන බවද පෙනේ.

එහි මුල් පියවර මේ සතියේම දියත් කර තිබිණි. අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන්ට විනය පියවර ගැනීමට එ.ජා.ප.ය තීන්දු කළේ දැඩි පියවරකට යමිනි. මේ දෙදෙනාට අමතරව හේෂා විතානගේ, තලතා අතුකෝරාළ, හරීන් ප්‍රනාන්දු, දිලිප් වෙදආරච්චි සහ නලීන් බණ්ඩාර යන මැතිඇමැතින් වෙතද අද හෙටම විනය හස්තය යොමුවීමට ඉඩ ඇතැයි එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය. කෙසේ හෝ පසුගිය 27දා අජිත් හා සුජීව විනය ප්‍රශ්න ගැන විභාගයට සිරිකොතට කැඳවා තිබුණි. පක්ෂ මහ ලේකම් අකිල සහ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර ඔවුන් හමුවී කරුණු විමසීමේ අපේක්ෂාවෙන් සිරිකොතේ රැඳිසිටියහ. එහෙත් අජිත් හා සුජීව සිරිකොතට පැමිණියේ නැත. අජිත්ගෙන් ඒ ගැන මාධ්‍ය හා සිය හිතවතුන් විමසූ විට අජිත් කීවේ තමන් මේ පරීක්ෂණ ගැන නොදන්නා බවකි. සුජීව කීවේ කවර පරීක්ෂණයක් කළත් තම ගමන නොනවත්වන වගය. කෙසේ හෝ මේ දෙදෙනාගේ ප්‍රශ්නය හමාර නැත. පරීක්ෂණයට නොපැමිණි මේ දෙදෙනාට පක්ෂ මහ ලේකම් අකිල විරාජ් ගිය 27දා තවත් ලිඛිත දැනුම්දීමක් කරමින් ඔවුන් එ.ජා.ප. ව්‍යවස්ථාවේ වගන්නි 6ක් උල්ලංඝනය කර ඇතැයි පැවසීය. මෙයට අදාළ නිදහසට කරැණු දැක්වීම ලබන සැප්තැම්බර් මස 09දාට පෙර සිදුකරන ලෙසද එමගින් මහ ලේකම්වරයා දැන්වීය. එකී කරුණු දැක්වීම පදනම් කරගෙන පක්ෂයේ විනය කමිටුව ඉදිරි පියවර ගන්නා වගද අකිලගේ ලිපියේ සඳහන් කර තිබිණි.

ඒ අතර හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, ඇමැති හරීන් ප්‍රනාන්දු සහ අජිත් පී. - සජිත්ගේ අපේක්ෂකත්වය ලබාගැනීම වෙනුවෙන් උපවාස හා වැටලීම් ගණනාවක් කරන බව නැවතත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. අජිත් පී. පෙරේරා කීවේ තමන් බණ්ඩාරගම ජනතාව සමඟ සිරිකොත ඉදිරිපිට උපවාස කරන වගයි. හරීන් ප්‍රනාන්දු අගමැති නිවස ඉදිරිපිට උපවාස කරන බව කීය. දිලිප් වෙදආරච්චි කීවේ ජනතාව සමඟ සජිත් වෙනුවෙන් කොළඹ වටලනවා කියාය. ඒ අනුව මෙම 30දා (ගිය සිකුරාදා) වනවිට එ.ජා.ප. අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්කර නොතිබූ නිසා ඉදිරි දිනවල මොවුන් කවර ක්‍රියාමාර්ගයක් ගනු ඇතිදැයි බලාසිටින්නට සිදුවෙයි.

ගිය අඟහරුවාදා සවස එ.ජා.පෙ. අපේක්ෂකයා ගැන හවුල්කාර පක්ෂ නායකයන් සමඟ පැවති සාකච්ඡාවද එකඟතාවකින් තොරව අවසන් විය. එහෙත් මෙහිදී කබීර් හෂීම් සජිත්ගේ නම යෝජනා කර ඇත. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඒගැන කිසිවක් කියා නැත. පසුව සන්ධාන ව්‍යවස්ථාව ගැනත් ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය ගැනත් එකඟතාවයට එළඹීමට පක්ෂ නායකයෝ සමත් වූහ. එහෙත් එ.ජා.පෙ. අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කරන දිනයක් කියා නැත. කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ මාලදිවයිනේ තෙදින නිල චාරිකාවකට එක්වෙයි. ඉන්පසුව හෝ මේ ගැන තීන්දුවක් ගනු ඇතැයි පක්ෂ නායකයෝ අපේක්ෂා කරති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සිය අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසු සිය ඡන්ද ව්‍යාපාරය නිල වශයෙන් එළිදැක්වීම හා ප්‍රතිපත්ති ප්‍රකාශය රටට දැනුම්දීම ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන් පසු සිදුකිරීමට තීන්දු කර ඇත. එතෙක් සිදු කරන්නේ සම්මන්ත්‍රණ පැවැත්වීම, හවුල්කාර සංවිධාන මුණගැසීම හා මාධ්‍ය කටයුතු සැලැසුම් කිරීම හා හිතවත් පක්ෂ අතර සාකච්ඡාවන්ය. මෙහි ආරම්භක සම්මන්ත්‍රණය පසුගිය සති අන්තයේ පොහොට්ටුව යොවුන් සංවිධානය විසින් නෙළුම් පොකුණු රගහලේදී පවත්වනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්වූ මෙම සමුළුවේදී තරුණ පිරිස් ගෝඨභයගෙන් ප්‍රශ්න විමසීම මෙහිදී සිදුකැරිණි. නාමල් රාජපක්ෂ ප්‍රමුඛ තරුණ මන්ත්‍රීන් සංවිධානය කර තිබූ රැස්වීම ආවරණය කරන්නට පැමිණ මුද්‍රිත මාධ්‍යකරුවන්ට සංවිධායකයන් ගෙන් බාධා එල්ලවීම නිසා එහි සෑහෙන ප්‍රශ්නයක් හටගත්තේය. මාධ්‍යකරුවන් පිරිසක් ප්‍රධාන ශාලාවෙන් ඉවත් කිරීමට සංවිධායකයන් පියවර ගෙනතිබීම නිසා මෙම තත්ත්වය හටගැනුණි. එය සමාජ මාධ්‍ය ජාලාවල දැඩි විවේචනයට ලක්විය. එසේම ගෝඨාභයගෙන් ප්‍රශ්න ඇසීම සඳහා යොදවා තිබූ තරුණ කණ්ඩායමට නඩු ගණනාවකින් ඇප ලබා සිටින සේනානී සමරනායක යෙදවීම ගැනද දැඩි විවේචන එල්ල විය. මහින්ද රාජපක්ෂ මහතාට ද මන්ත්‍රීන් ගණනාවක් ඒ ගැන පැමිණිලි කළහ. එවිට මහින්ද කීවේ “සැබැවින්ම අවසන් මොහොතේ ඇය ප්‍රශ්න අසන්නියක් ලෙස කැඳවූයේ ඒ සඳහා ඈත පළාතකින් කැඳවා තිබූ තරුණියට වේලාවට එහි පැමිණිය නොහැකි වූ නිසා බවයි. නමුත් නඩු තිබූ පමණින් යමෙකුට දේශපාලන කටයුතු කිරීම තහනම් නැතැයි කී මහින්ද මේ රජය තම කණ්ඩායමට සම්බන්ධ 90%කටම නඩු පවරා ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාටද නඩු පවරා ඇතැයි කීය. නඩු කියන අයට දේශපාලනය කළනොහැකි නම් ගෝඨාභයට ද ජනපතිවරණයට පැමිණිය නොහැකි වනු ඇතැයි මහින්ද රාජපක්ෂ කීය. කෙසේ නමුත් තරුණ මන්ත්‍රීන්ගේ සමුළුවේදී මාධ්‍යයට සිදුවූ අපහසුතාව ගැන වහාම මාධ්‍යයෙන් සමාව ගන්නා ලෙස මහින්ද සහ ගෝඨා, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට උපදෙස් දුන් අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවූ තරුණ මන්ත්‍රී කණ්ඩායමේ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා සිදුවූ වරද ගැන මාධ්‍යයෙන් විවෘතව සමාව ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාව ගිය අඟහරුවාදා දහවල් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. මෙවර ඒ සඳහා සහභාගී වූ සාකච්ඡා කණ්ඩායම වෙනස් කර තිබිණි. අවසන් තීරණ ගතහැකි ලෙස සාකච්ඡා කණ්ඩායම වෙනස් කරන ලෙස ඉල්ලා තිබුණේ ජනාධිපතිවරයාය. ඒ අනුව පොහොට්ටුවෙන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සමඟ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැමිණ සිටියහ. ශ්‍රීලනිපය වෙනුවෙන් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර එක්වූහ. ලසන්ත අලගියවන්නද සාමාජිකයෙක් විය. මොවුන් සාකච්ඡා කළේ එක් ව්‍යවස්ථාවක් යටතේ දෙපක්ෂය සන්ධාන ගතවිය යුතු ආකාරයයි. එහෙත් මෙහිදී මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ ශ්‍රීලනිපයෙන් පොහොට්ටුවට සන්ධානයට එක්වන මන්ත්‍රීන්ගේ ප්‍රශ්න විසඳාගැනීම ද අවධානයට ලක්වූ බව සඳහන්ය. කෙසේ හෝ බැසිල් රාජපක්ෂ හා මහින්ද අමරවීරලා මෙහිදී එකඟවී ඇත්තේ තිබෙන සංවේදී ප්‍රශ්න විසඳාගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතාද එක මේසයක වාඩිවී සාකච්ඡා කිරීමෙන් පසුව බවයි. නායක දෙපොළගේ සාකච්ඡාවට ඉඩතබමින් ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා සාර්ථකව හමාර වූ බව කියැවිණි.

එම සාකච්ඡා පැවති අඟහරුවාදා දිනයේම ජනාධිපති මන්දිරයට ශ්‍රීලනිපයේ විධායක සභාව කැඳවා තිබිණි. ඒ සඳහා සෑහෙන සාමාජික පිරිසක් පැමිණි අතර දිවා භෝජන සංග්‍රහයක් ද සංවිධානය කළේ ජනාධිපතිවරයාගේ නියමය අනුවය. මෙම විධායක සභා රැස්වීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා ද පැමිණියේය. මෑතක කිසිම දිනක නොලැබුණ ආකාරයේ අත්පොලසන් නාදයක් දෙමින් ශ්‍රීලනිප විධායක සභිකයෝ චන්ද්‍රිකා පිළිගත්හ. සිය පක්ෂය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කෙරෙන තෙක් අපේක්ෂකයකු ගැන කලබල වියයුතු නැතැයි කීය. තම පක්ෂය එජාපයටවත් පොහොට්ටුවටවත් මුක්කු ගැසීය යුතු නැති වගද ජනාධිපතිවරයා පැවසීය. එජාපය ඉතාමත් පහළ තත්ත්වයටම ඇද වැටී ඇතැයි කී ජනාධිපතිවරයා එජාපයේ පසුබෑම පටන්ගත්තේ බැඳුම්කර වංචාවෙන් යැයිද කීය. තමන් කොමිසමක් පත්නොකළේ නම් තමන්ද බැඳුම්කර හොරකමට ගෑවෙන වග ඔහු සඳහන් කළේය.

මෙම කතාවෙන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණ සිටි සංවිධායකයන්ට දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය. ඔවුන් ආහාර ගනිද්දී එයින් එක් මේසයකට පැමිණ හෙතෙම කෙසෙල් කොළයක ඔතා ගෙදරින් ගෙනෙන ලද බත්මුල ලිහාගෙන විධායක සභිකයන් සමඟ ආහාර ගන්නේ විහිළු තහළු කතා කියමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා රවි කරුණානායක මහතාත් සමඟ සඳුදා රාත්‍රියේ හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පැමිණයේය. ඒ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අදහස් විමසීමටය. ඉත් පළමු වැන්න වූයේ ජනාධිපතිවරයාගේ ධුරකාලය සම්බන්ධ කතාව බව දැනගන්නට ඇත. ඒ ගැන දෙදෙනා දීර්ඝව කතා කරද්දී රනිල් යෝජනා කර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දැමීම ගැන දැන්වත් ශ්‍රීලනිපයට එකඟවිය නොහැකිද කියායි. එවිට ජනාධිපතිවරයා විමසා තිබුණේ ජනධිපතිවරණයක් ළඟ තබාගෙන මෙය සිදුකරන්නට පුළුවන්ද යන ප්‍රශ්නයයි. එසේම 2/3ක මැති සභා ඡන්දයක් ජනමත විමසුමකුත් ඊට අනිවාර්යයෙන් අවශ්‍ය යැයි පෙන්වා දුන් ජනධිපතිවරයා එය ප්‍රායෝගික නොවේයයි කීය. ජනමත විචාරණ තබන්නට පෙර ජනාධිපතිවරණය එන්නේ යයිද ඔහු රනිල්ට කියා තිබිණි. එවිට රනිල් පැවසුවේ ජවිපෙ මැතිසබයට ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දැන් සූදානම් බවය. එහෙත් ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැති ජනාධිපතිවරයා “මේ ගැන මගෙන් විතරක් අහල වැඩක් නැහැ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තය එක්ක කතා කළාදැයි” රනිල්ගෙන් විමසා ඇත. එහිදී කිසිවක් නොපැවසූ රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාව හමාර කළේය. ඉන්පසුව මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන රනිල් ජවිපෙ නායක අනුර දිසානායක අතරත් සාකච්ඡාවක් පැවති බව සඳහන්ය. මහින්ද රාජපක්ෂ මහතා සමඟ ටික දිනකට පෙර ඒ ගැන සාකච්ඡා කළේ රවී කරුණානායකයි. එහිදී මහින්දට පවසා තිබුණේ ද දැන් මේ යෝජනාව ප්‍රායෝගික නොවන බවය.

කෙසේ හෝ පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර සාකච්ඡා පැවති අඟහරැවාදා රාත්‍රියේ හදිසියේම ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේ පැවැත්විණි. එම සාකච්ඡාව පැය 1 ½ ක් පමණ පැවැති නමුත් නව සන්ධානය ගැන එහිදී සාකච්ඡා වූයේ මූලික තොරතුරු පමණි. දෙපක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ නායක දෙපොළ පූර්ණ එකඟත්වයකට පත්වූ අතර සන්ධාන ගතවීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නට ද තීරණය කළහ. “බැසිල්ලා, අමරවීරලා කරගෙන යන සාකච්ඡාවේදී ගන්න තීරණ අනුව අලුත් සන්ධානය හදන්න ඉක්මනින් පියවරගන්න ඕනෑ. අපේ අයට ඒ ගැන මම උපදෙස් දෙන්නම්. ඔබතුමා විපක්ෂයේ අයට ඒ කටයුතු ඉක්මන් කරන්න උපදෙස් දෙන්නැයි.” ජනාධිපතිවරයා මහින්දට කීය. අනතුරුව තීන්දු වූයේ ඒ සන්ධානය ගොඩනැගීමේදී සාකච්ඡා කණ්ඩායමට විසඳා ගතනොහැකි ප්‍රශ්න මතුවුවහොත් නැවතත් නායක දෙපොළ මුණගැසීමටයි. අනතුරුව රටේ තොටේ පොදු දේශපාලන තත්ත්වය ගැන දෙදෙනා කතාබහ කරන්නට වූහ. 19 වැනි සංශෝධනය නිසා රට විශාල අවුලකට පත්වුණා යැයි ජනාධිපතිවරයා කියද්දී මහින්ද කීවේ ඔවැනි ව්‍යවස්ථා සංශෝධනයක කෙටුම්පත හොඳින් අධ්‍යාපනය නොකර අනුමැතිය නොදිය යුතුව තිබූ බවයි. ඉදිරි ආණ්ඩුවකදී 19 අහෝසි කරන්නට ප්‍රමුඛත්වය දිය යුතු යැයිද ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා එකඟතාවයට පත්වූහ. අනතුරුව එජාප අර්බුදය ගැන ජනාධිපතිවරයා බොහෝ රසකතා මහින්දට කී අතර පසුගිය කාලයේ ආණ්ඩුව කරන්නට ගොස් අත්විඳි රසවත් අත්දැකීම් ගැනද සඳහන් කරමින් බොහෝ වේලා සුහද කතාබහක නිරත වූහ.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති නීතිඥ අලි සබ්රි සමඟ ගිය අඟහරුවාදා මැතිවරණ කොමිසම හමුවට ගියේය. එහිදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හා සෙසු කොමසාරිස්වරුන් වන ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර හා ආචාර්ය රාජන්හූල් යන මහත්වරුන් මුණගැසී සාකච්ඡාවක නිරත වූහ. මැතිවරණ කොමිසම වෙත තමන්ගේ අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෝඨා සහ අලි සබ්‍රි මහත්වරු මූලික කරුණු දැක්වීමක් සිදුකර පුරවැසිකම ඉවත් කළ බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිල ලේඛනය ලබා දුන්හ. එය පරීක්ෂා කළ කොමිසමේ සභාපති දේශප්‍රිය මහතා “සමහර මාධ්‍යවල ප්‍රචාරය වූ මෙයට සමාන ලේඛනයක්ද වූ බව පෙන්වා දුන්නේය. එහෙත් මෙම ලිපිය තමන්ට නාම යෝජනාවලදී අවශ්‍ය නැතැයි ද හෙතෙම කීය. අනතුරුව සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන දෙපක්ෂය අතර කරුණු හුවමාරු විය. මිනිත්තු 45ක පමණ සාකච්ඡාවකින් පසු ගෝඨාභයලා පිටත්ව ගියෝය.

එජාපයේ සජිත් හිතවාදී මන්ත්‍රී කණ්ඩායම ගිය බදාදා සවස අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේදී රැස්විය. එම රැස්වීමට මන්ත්‍රීන් හා ඇමැතින් තිස් දෙදෙනෙක් (32) පැමිණ සිටියහ. එහිදී ප්‍රධානම කාර්ය වූයේ රැස්ව සිටි මන්ත්‍රීන් සියලුදෙනා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කරන ලෙස ලිපියකට අත්සන් තැබීමයි. ඒ සඳහා පැමිණ සිටි 32 හැම අත්සන් තැබූහ. එම ලිපිය කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවනදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීන්දු කැරිණි. එසේම සජිත් හිතවාදීන්ගේ මීළඟ ජනහමුව කුරුණෑගල දී පැවැත්වීමට ද තීන්දුවක් ගැනිණි. ඒ අතර සජිත් ප්‍රේමදාස මහතා මේ සතියේ ස්වකීය නිල නිවසට කැඳවූ කතානායක කරු ජයසූරිය මහතා ඔහුට අවවාද කළේ පක්ෂයේ බෙදීම් ඇති නොකරන ලෙසට තමන්ගේ සටන ගෙනයන ලෙසයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර හමුවක් ගිය බදාදා සවස ගෝඨාගේ නිවසේදී සිදුවිය. දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න එම නියෝජිත පිරිසට ඇතුළත් වූහ. ඔවුන් සාකච්ඡා කළේ ඉදිරියේදී දෙපක්ෂය අතර ඇති කරන්නට යන සන්ධානය ගැන සාකච්ඡාවයි. ජනාධිපති මෛත්‍රී සහ හිටපු ජනපති මහින්ද අතර හමුවේදී ගත් තීන්දුවක් අනුව මේ අය මුණගැසුණි. දෙපක්ෂයේ මූලික ප්‍රතිපත්ති ප්‍රකාශයේ කෙටුම්පතක් මෙහිදී ගෝඨාට භාර දෙනු ලැබීය. එසේම නව සන්ධානය අලුත් නමකින් ඉදිරිපත් කළ යුතුය යන්නට ද එකඟත්වය පළකැරිණි. ඉදිරි මහ ඡන්දයේදී ශ්‍රී.ල.නි.පය මන්ත්‍රීන් සියල්ලන්ටම නව සන්ධානයෙන් නාම යෝජනා ලබාදීම සම්බන්ධව ද එකඟත්වයක් ඇති කරගත් අතර මේ එකඟතා පක්ෂ නායකයන්ට දන්වා නව සන්ධානය ස්ථාපිත කෙරෙන දින වකවානු තීන්දු කළ යුතු යැයිද දෙපක්ෂය ප්‍රකාශ කළේය. ශ්‍රී.ල.නිපය අවසන් මොහොත දක්වාම මේ ගැන විවෘත මනසින් ක්‍රියා කරන බවද මහින්ද අමරවීර මහතා කීය. ඉන් අනතුරුව පොහොට්ටු පක්ෂ නායකයන්ගේ හමුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්වූ අතර ඔහුට ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව අතර දේශපාලන ගනුදෙනුව සම්බන්ධව පක්ෂ නායකයන්ගේ අදහස් උදහස් දන්වනු ලැබීය.

එ.ජා.පයේ අපේක්ෂකත්වය පිළිබඳ පැවති තත්ත්වය බ්‍රහස්පතින්දා වෙනස් වූයේ එහි නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා නිකුත් කළ නිවේදනයක් හේතුවෙනි. ඔහු සිය නිවේදනයෙන් කීවේ ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කරන තෙක් අපේක්ෂකයා තේරීම සිදු නොවන බවයි. එසේම පක්ෂ ව්‍යවස්ථාව අනුව අපේක්ෂකයා තෝරාගන්නේ කෘත්‍යාධිකාරිය විසින් පත්කරන නාම යෝජනා කමිටුවකින් බවත් එම තෝරාගැනීම පසුව කෘත්‍යාධිකාරිය අනුමත කළ යුතු වගත් ඔහු සිය නිවේදනයේ දන්වා තිබිණි. නිශ්ශංක නානායක්කාර මහතාගේ නිවේදනය අනුව ක්‍රියා කරන්නේ නම් එ.ජා.ප අපේක්ෂකයා ප්‍රකාශයට පත්වනු ඇත්තේ සැප්තැම්බර් 15දායින් පසුව මැතිවරණ කොමිසම ඡන්දය නිවේදනය කිරීමෙන් අනතුරුවයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මේ ගැන කොපමණ ඉල්ලීම් ලැබුණත් ඔහු ක්‍රියා කරන ආකාරය මේ නිවේදනය මගින් අවධාරණය කර තිබිණි. ඒ අනුව සජිත් පිළිගනු ලබන ක්‍රියා මාර්ගය කුමක්දැයි පැහැදිලි නැත.

කෙසේ වෙතත් රනිල් හා සජිත් යන දෙපක්ෂයම හිතවත් ඇතැම් මැදිහත් පාර්ශ්ව ඉතා ඉක්මනින් දෙපක්ෂය අතර තිබෙන අවුල සමථයකට පත්කිරීමේ වෑයමක් ද දියත් කර ඇතැයි වාර්තා වේ. සජිත් වෙනුවෙන් මංගලගේ නිවසේ සාදය තිබුණ දිනයේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ නිවසේ රනිල්, රවී, රාජිත ඇතුළු ඇමැති පිරිසක් විදේශ තානාපතිවරුන් 22 දෙදෙනකු සමඟ හමුවක් පැවැත්විය. එහිදී තානාපතිවරුන් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ අපේක්ෂක අර්බුදය ඉක්මනින් හමාර කළ යුතු බවයි. අමෙරිකාව, ඉන්දියාව ඇතුළු ප්‍රබල රටවල තානාපතිවරු මීට එක්වූහ.

එ.ජා.පයේ සජිත් හිතවාදීන් හා රනිල් හිතවාදීන්ගේ කණ්ඩායම් දෙක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිය සිකුරාදා දහවල් මුණගැසුණි. මලිත් සමරවික්‍රම කබීර් හෂීම් රන්ජිත් මද්දුමබණ්ඩාර රවි කරුණානායක මංගල සමරවීර ඇතුළු දෙපාර්ශවයේ ප්‍රබලයන් ඊට එක්වූ අතර සජිත්, රනිල්, හර්ෂ හා රාජිත සේනාරත්න ඊට පෙරදා අරලියගහ මැඳුරේදී හමුවිය. දෙපක්ෂයම එකිනෙකාට තිබෙන ප්‍රශ්න සාකච්ඡා කළ අතර රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ගැන විකල්ප ගණනාවක් ඇති බවය. කෙසේ වෙතත් පක්ෂය මගින් රැකගත යුතු බව ඔහු කීය.

සමගිය නැති කරන්නේ රවිගේ සැර ප්‍රකාශ නිසා යැයි රන්ජිත් මද්දුමබණ්ඩාර කීය. කෙසේ හෝ දෙපක්ෂය ලබන මස 06 දා නැවත හමුවී සාකච්ඡා කරන්නට තීන්දු කළේය.

►  ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00