2019 ජුලි 20 වන සෙනසුරාදා

පළාත් සභා ද ජනපති සටනද?

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 205

♦ ආණ්ඩුකාර පාලනය ගැන මැ.කො.ගේ අපූරු අර්ථකථනයක්

♦ මරණ දඬුවම වළක්වන්නට දත කන අය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

♦ ජනපති අපේක්ෂක ගැන මහින්දගේ මැජික් කතා

♦ රන්ජන්ගේ කතාව එ.ජා.ප මතය නොවන බව රනිල් කියයි.

♦ වෛද්‍ය තීන්දුව ලැබුණොත් 23දා ගෝඨාභය ලංකාවට

♦ ජ.වි.පෙන් පොදු අපේක්ෂකයෙක්

♦ තීනියාවල හිමිගෙන් මංගලට යෝධ ප්‍රහාරයක්

ඉදිරියේ පැමිණීමට නියමිත ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන කතා පැතිරෙන්නට පටන්ගෙන තිබේ. දැනට වසර දෙකකටත් වඩා වැඩි කාලයක් ඇතැම් පළාත් සභා ඡන්ද කල් දමා ඇත. මේ ගැන පසුගියදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපති, අගමැති සහ කතානායකවරයා සමඟ මෙන්ම විපක්ෂ නායකවරයා සමඟ ද සාකච්ඡා කර තිබිණි. ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මතය බව පෙනේ. එහෙත් අගමැති කතානායක හා විපක්ෂ නායක තිදෙනාගේම වැඩි කැමැත්ත ඡන්ද කාල සටහන අනුව ජනාධිපතිවරණයට යාමයි. මේ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරුණු පැහැදිලි කිරීම සඳහා මේ සතියේ ශ්‍රී ලංකා කර්තෘ සංසදය මුණගැසුණි. තමන් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය ඇදගෙන ක්‍රියා කරන්නේ කිසියම් සැඟවුණු චේතනාවකින් යැයි ඇතැමුන් කරන චෝදනාව වරදක් බව පැවසූ සභාපතිවරයා ඡන්දය කල්දැමූ 2017 වසරේ සිටම පළාත් සභා ඡන්දය වහා පවත්වන ලෙස තම කොමිසම වගකිව යුතු බලධරයන්ගෙන් ඉල්ලා ඇතැයි පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැත්නම් වගකිවයුතු දේශපාලන පක්ෂ සියල්ල එක් වී පළාත් සභා අහෝසි කළ යුතුය. එසේ නොකර ආණ්ඩුකාර පාලනයක් දිගින් දිගටම ගෙනයාම බලවත් වරදක් යැයි කී හෙතෙම හොඳම ආණ්ඩුකාරවරයාත් නරකම දේශපාලනඥයාටත් වඩා නරක බව පෙන්වා දුන්නේය.

පළාත් සභා ඡන්දය ජනාධිපතිවරණයට පෙර හදිසියේ පවත්වන්නට ප්‍රායෝගිකව පුළුවන්දැයි කර්තෘවරු ප්‍රශ්න කළහ. ඒ සමඟ එහිදී ජනාධිපතිවරයාට පැවරෙන කාර්යය ගැනද මාධ්‍ය ප්‍රධානීහු මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විමසූහ. එවිට මහින්ද දේශප්‍රිය මහතා ප්‍රශ්න කළේ අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්ද තිබුණ නිසා මැයි 01 දා මැයි දිනයත් වෙසක් පෝයදා වෙසක් පෝය දිනයත් පොසොන් පෝයට එම උත්සවයත් කරන්නේ නැත්ද කියායි. ඒ වගේම මැතිවරණ කොමිසමටත් ඕනෑම මොහොතක ඕනෑම මැතිවරණයක් තබන්නට පුළුවන් යැයි හෙතෙම කීය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඈ) වගන්තිය අනුව රටේ නියමිත මැතිවරණ සඳහා පසුබිම පහසුකම් හා වාතාවරණය සකස් කිරීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරෙන බැවින් එතුමා ඒ ගැන පියවර ගනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. කෙසේ හෝ මේ පළාත් සභා කතාව පෙරට ගෙන ආවේ යටිකූට්ටු වැඩක් ලෙස නොවන බව අවධාරණය කළ සභාපතිවරයා ඔක්තෝබර් 15දාට පසු මේ ඡන්දය තැබිය යුතු යැයි කීය. එසේ නොවන්නේ නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉවත්ව සාමාජිකයකු ලෙස පමණක් කටයුතු කරන්නට ගත් තීරණය වෙනස් නොකරන්නේ යැයි ද හෙතෙම පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සති අන්තයේ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ කවුරුන් හෝ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාවක් මැති සබයට ගෙන ආවොත් එදින ජාතික ශෝක දිනයක් බවට පත්කරන බවයි. ඒ සමඟ ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මරණ දඬුවම අහෝසියට එරෙහිව ජනමතයක් ගොඩනගන ලෙසය. විදේශ බලවේග හා එන්. ජී. ඕ.කාරයන් මරණීය දණ්ඩනයට එරෙහිව උසාවි නියෝග පවා ලබා ගන්නේ යැයි කී ජනාධිපතිවරයා මරණීය දණ්ඩනය ලබාදීම වැළැක්වීම පසුපස සිටින්නේ බලවත් කුඩු ජාවාරම්කාරයන් යැයිද කීය.

මේ ගැන සංවාද විවාද යද්දී විපක්ෂ නායක මහින්ද තම මන්ත්‍රීන්ට ප්‍රකාශ කළේ මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් නොකළ යුතුය කියායි. එහෙත් එය රාජ්‍ය නායකයා ක්‍රියාත්මක නොකළ යුතු යැයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. තමන්ගේ දේශපාලන කාලයේත් මෙම යෝජනාව පැමිණි බව ඔහු සඳහන් කර තිබිණි. මෙම විවාදය යද්දී ජනාධිපතිවරයා තමන්ගේ ධූර කාලය ගැන ශේෂ්ඨාධිකරණයේ මත විමසීම සඳහා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකරනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි. එහෙත් ජනාධිපති ධූර කාලය ගැන කිසියම් පාක්ෂිකයකු අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඒ ගැන විමසීමක් කරන්නට ඉඩ ඇතැයි ශ්‍රී.ල.නි.ප ආරංචි මාර්ග සඳහන් කළේය. මේ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ කර්තෘ හමුවේදී ප්‍රශ්න කළ විට සභාපතිවරයා ස්ථිරවම ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සිය ධූර කාලය ගැන මත විමසුමකට නොයනු ඇත කියායි. ඔහු පසුගියදා ඉන්දියාවේදී දෙසැම්බර් 07 දා ජනාධිපතිවරණය පවත්වන බව ජාත්‍යන්තර මධ්‍යයට කියා දැන් නැවතත් ඒ ගැන අලුතෙන් උසාවි මත විමසුමකට නොයනු ඇතැයි ඔහු අවධාරණය කළේය.

එම මතය සනාථ කරන අදහසක් ජනාධිපතිවරයා විසින් මේ සතියේ නුවරඑළියේදීත් ප්‍රකාශ කර තිබිණි. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ තවත් මාස 5කින් පමණ මෙරට අලුත් ආණ්ඩුවක් බිහිවනු ඇති බවයි. ඒ අනුව උනුත් හොරු මුනුත් හොරු නොතකන පිරිසිදු මානව හිතවාදී වංචාවෙන් හා දූෂණයෙන් තොර දේශපාලනඥයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක් තෝරාගන්නට ජනතාවට ඡන්ද බලය ලැබෙන නිසා ඔවුන් එයින් ප්‍රායෝජන ගත යුතු යැයි ඔහු අවධාරණය කළේය.

පළාත් සභා ඡන්දය ජනාධිපතිවරණයට කළින් පවත්වන්නට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සිය විරෝධය පළකළ යුතු බව එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ගණනාවක්ම මේ සතියේ මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දුන්නෝය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා කීවේ “අපට ඡන්ද තැබීම ගැන විරුද්ධ විය නොහැකි නමුත් ඡන්ද කාලයට අනුව ජනාධිපතිවරණය එළඹෙමින් තිබියදී පළාත් සභා ගැන කඩි කුලප්පුවක් ඇති වීම පිළිගත නොහැකි බවය. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය මේ ගැන මතවාදයක් ඇති කළ යුතු යැයි තීන්දු විය.

එම තීරණය අනුව ගිය පෝදා මාධ්‍ය හමුවක් කැඳවූ මහින්ද යාපා අබේවර්ධන හා සී.බී. රත්නායක යන මන්ත්‍රීවරු මේ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇති යෝජනාව තරයේම විවේචනය කළෝය. එහිදී මහින්ද යාපා කෙළින්ම කීවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රජයේ වුවමනාව ඉටු කරන්නෙක් බවයි. ජනාධිපතිවරණය කල් දමන්නට ආණ්ඩුවට වුවමනා වී තිබෙන වග පැවසූ මන්ත්‍රීවරයා පවතින තත්ත්වය අනුව කිසිසේත්ම පළාත් සභා ඡන්දය පවත්වන්නට ඉඩක් නැති බව පැවසීය.

මේ සතියේ ආන්දෝලනයට ලක් වූ තවත් කතාවක් වූයේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් මහා සංඝරත්නයට චෝදනා නගමින් ‘යූටියුබ්’ මාධ්‍යයේ කළ සාකච්ඡාවයි. රන්ජන්ගේ සාකච්ඡාව තුළින් මහා සංඝරත්නයට එල්ල කළ චෝදනා ගැන දසතින්ම ඔහුට විරෝධය පළවන්නට පටන්ගෙන තිබේ. මහා සංඝරත්නය භේදයකින් තොරව රන්ජන්ට දැඩි විරෝධය දැක්වූ අතර බුද්ධ ශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා රන්ජන්ගේ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඔහු අන්‍යාගමිකයකු ලෙස මහා සංඝරත්නයට මේ ආකාරයට විවේචනය කිරීම තදබල වරදක් බවත් කීය. අමාත්‍ය චම්පික රණවක කීවේ රන්ජන් මහා සංඝරත්නයෙන් සමාව ගත යුතු බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රන්ජන්ගේ කතාව තමන් තරයේම ප්‍රතික්ෂේප කරන බව කියමින් වහා මේ ගැන කරුණු පැහැදිලි කරන්නැයි රන්ජන්ට කීය. එහෙත් රන්ජන් කීවේ තමන් සිල්වත් හිමිවරුන්ට ගරු කරන නමුත් දුසිල් හිමිවරුනට ගරු නොකරන බවය. අපචාර කරන, කාඩ් සෙල්ලම් කරන, දුම් බොන අයද මේ අතර සිටින්නේ යැයි කී රන්ජන් උද්ඝෝෂණ කරන සමාජයේ ලේ ඉල්ලන භික්ෂුන් වහන්සේලා පමණක් තමන්ගේ ප්‍රකාශයෙන් විවේචනය කළ බවද පැවසීය. කෙසේ හෝ මේ ගැන අග්‍රාමාත්‍යතුමා හමු වී කරුණු දක්වන බව ඔහු කීය. ඒ අතර මෙවන් වැඩ නිසා එ.ජා.පයට බෞද්ධ විරෝධී ලේබලය වදින බව කියන ඇතැම් පසුපෙළ මන්ත්‍රීන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉල්ලා සිටීමට යන්නේ කට පරෙස්සම් කරගෙන නොසිට ප්‍රවෘත්ති හදන්නට යන රන්ජන් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙසටයි. ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ කවර තරාතිරමක කෙනෙක් වුවත් මහා සංඝරත්නයට අපහාස හා අවමාන කිරීම සම්පූර්ණයෙන් හෙළා දකින බවය.

පාස්කු බෝම්බ සිද්ධියෙන් රට වැසියන් 300ට ආසන්න පිරිසක් මරණයට පත් වී මහත් විනාශයක් සිදු වූ නිසා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියල්ලන්ට මරණීය දණ්ඩනය ලබා දිය යුතු බව ප්‍රකාශ කළේය. එසේම මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිව යුතු අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ලබාගැනීම ගැන තමන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇතැයි ද පැවසීය. ඒ අනුව ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීමට මෙරටට කැඳවන බවද ජනාධිපතිවරයා කීය.

පාස්කු ‍බෝම්බ ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවට අගමැතිවරයා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා කැඳවීමට කමිටුව අදහස් කරගෙන සිටී. නමුත් ජනාධිපතිවරයා ලෙස හෝ තමන් මෙම කමිටුව හමුවට නොයන බව ජනාධිපතිවරයා කියා ඇති නිසා ඔහුගේ ගෞරවය ආරක්ෂා වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කරන්නටත් ඉන් පසුව ජනාධිපතිවරයා අභිමත ස්ථානයකට ගොස් මේ ගැන ඔහුගෙන් කරුණු විමසීමක් කිරීමටත් මැතිසබා කමිටුව තීන්දු කර ඇත. එහෙත් ඒ දිනය කවදාදැයි තවමත් තීන්දුවක් නොමැත. ඒ අතර මෙම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතා නායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ මෙම කමිටුව හමුවට බුද්ධි අංශ ප්‍රධානීන් කැඳවා ප්‍රශ්න කරන නමුත් ඔවුන්ගේ ඡායාරෑපයක් හෝ මාධ්‍යයට නිකුත් නොකරන බවය. එබැවින් බුද්ධි අංශ නිලධාරීන්ට කමිටුව කෙරේ විශ්වාසය තබා බියකින් හෝ සැකයකින් තොරව මැති සභා කමිටුවට පැමිණිය හැකි යැයි ආනන්ද කුමාරසිරි මහතා කීය.

ජනාධිපතිවරණය හා ජනාධිපති අපේක්ෂකයන් ගැන මේ සතියේත් බරපතළ වාද විවාද ප්‍රධාන පක්ෂ අභ්‍යන්තරයෙහි දක්නට ලැබිණි. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියා තීරණයක් ගෙන ඇත්දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය විසින් වාර ගණනාවක් ප්‍රශ්න කරන ලදි. ඒ සෑම අවස්ථාවකදීම ඔහු ප්‍රකාශ කළේ අපි තවම අපේ ජනාධිපතිධූර අපේක්ෂකයා තෝරාගෙන නැත කියායි. මහින්දගේ මේ මැජික් උත්තරය ගැන අර්ථකථනයන් ලබාදෙන විපක්ෂය කියන්නේ රාජපක්ෂ පවුලෙන් ගෝඨාට විරෝධයක් එල්ල වන නිසා මහින්ද ද ඔහුගේ කකුලෙන් අදින බවය. එහෙත් පොහොට්ටුවේ ප්‍රධානීන්ගේ හමුවේදී මහින්ද මේ ගැන මීට එහාට ගොස් කරුණු දැක්වීය. ඔහු සිය පක්ෂ නායකයන්ට කීවේ “මම දැන් අපේ අපේක්ෂකයා තීරණය කළා කියලා කීවොත් අහවි කවුද කියලා.. එතකොට මට බලපෑම් එනවා නම කියන්න කියලා. දැන්ම නම කිව්වොත් 11 දා මහ සමුළුවේදී අපට නිවේදනය කරන්න ප්‍රවෘත්තියක් නැති වෙනවනේ...” ඔහු තමන්ගේ කතාවට හේතුව සඳහන් කළේය.

ඒ සියල්ල සිදුවෙද්දි සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම 22 දා සැත්කමින් පසු අවසන් වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටිනු ඇතැයි කියැවේ. ඔහු 23 දා මෙරටට පැමිණීමට අදහස් කරගෙන සිටින්නේ එම අවසන් වෛද්‍ය පරීක්ෂණයේ තීන්දුව අනුවය.

ඔහු පැමිණෙන තෙක් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීමේ කටයුතු පොහොට්ටුව කාර්යාලයේදීත් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීත් සිදු කෙරේ. ඒ සඳහා විද්වත් පිරිසක් එක්ව සිටිති. තෝරාගත් ක්ෂේත්‍ර 29ක් ඔස්සේ එය සකස් කෙරෙමින් පවතී. ඒ අතරතුර ගෝඨාගේ දේශපාලන කටයුතු සඳහා අලුතෙන් ආරම්භ කරන කාර්යාලයේ ප්‍රධානත්වයට ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්වරයා පත් කෙරෙනු ඇතැයි ද වාර්තා වෙයි.

එහෙත් පොහොට්ටුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් තවමත් වෙනත් අපේක්ෂකයකු ජනාධිපති සටනට ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා කරමින් නොසිටින්නේ නොවේ. දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ යන නම් මේ අයගෙන් සමහරැ යෝජනා කර ඇත. එහෙත් සියලු පක්ෂ නායකයන් සිය ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබේ. ඒ නිසා අවසන් තීරණය මහින්ද සතු බැවින් ඔහු මේ ගැන පුවත් මවන්නකුගේ තත්ත්වයට පත්ව සිටී.

එ.ජා.ප.යේ ජනාධිපති අපේක්ෂක සටන පොහොට්ටුවටත් වඩා රත් වූ ස්වභාවයක් ගෙන ඇත. අමාත්‍ය මනෝ ගනේෂන් මේ සතියේ මාධ්‍යය හමුවේ ප්‍රසිද්ධියේම කීවේ එ.ජා.පයේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන පක්ෂ අභ්‍යන්තරයේ ලොකු සටනක් හටගෙන ඇති බවත් ඒ නිසා විශාල බෙදීම් පවතින නිසා දැන්වත් සිය පක්ෂ අපේක්ෂකයා වහා තීරණය කොට ප්‍රකාශ කළයුතු බවත්ය. අමාත්‍ය දයා ගමගේ කීවේ අපේක්ෂකයන් 10 දෙනෙක් පමණ එ.ජා.ප අපේක්ෂක ලැයිස්තුවේ සිටින බැවින් ඔවුන්ගෙන් සුදුස්සා තෝරා ගැනීමේ තීරණාත්මක බලය පක්ෂ කෘත්‍යාධිකාරියට පැවරෙන වගයි. හැමෝම දන්නා පරිදි පක්ෂ කෘත්‍යාධිකාරියේ බහුතර බලය ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතුවය. එබැවින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමේ තීරණාත්මක බලය හිමිවන්නේ අගමැතිවරයාට බව පැහැදිලිය.

අමාත්‍ය රවී කරැණානායකගේ පාර්ශ්වය එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන සීතල යුද්ධයක් දියත් කර තිබේ. පසුගියදා සජිත් වෙනුවෙන් පක්ෂය තුළ පෙනී සිටින අමාත්‍ය මංගල සමරවීරට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ රවී හිතවාදී හිමිනමක ලෙස සැලකෙන තීනියාවල පාලිත හිමියන් විසිනි. ඒ අතරතුර තමන් මේ ගැන දරන ස්ථාවරය ප්‍රකාශ කිරීමට පසුගිය සති අන්තයක රවි කරුණානායක අමාත්‍යවරයාගේ නිවෙසේ පක්ෂ පසුපෙළ මන්ත්‍රීන් උදෙසා රාත්‍රී සාදයක ද සංවිධානය කර තිබූ බව කියැවේ. කෙසේ හෝ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේවාට සෘජු ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. ඔහුගේ අරමුණ පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂක ලෙස තමන් නම් කරන්නේ නම් ඒ සමඟ පක්ෂ නායකත්වය ද තමන්ට හිමිවිය යුතු බවය.

මේ සියල්ලන් හැර ජනාධිපතිවරණ යටතේ එ.ජා.ප නාම යෝජනා ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අනෙක් ප්‍රධානතම අපේක්ෂකයා කරු ජයසූරිය මහතාය. කරුගෙන් මේ ගැන විමසන පක්ෂ මන්ත්‍රීන්ට මෙන්ම මාධ්‍යයට ද ඔහු පවසන්නේ තමන් කිසිදු තනතුරක් ඉල්ලුම්කර නැති බවයි. එහෙත් පක්ෂය එකඟතාවෙන් තමන්ට වගකීමක් පවරන්නේ නම් එය රට වෙනුවෙන් භාරගන්නට සූදානම් බව කරු ජයසූරිය මහතා කියයි. කරු රනිල් සංයෝගය වඩාත් හොඳ ජවයක් පක්ෂයට ලබාදෙනු ඇති බව රවි කරුණානායක පාර්ශවයේ ද වක්‍ර අදහස බව පෙනේ.

චම්පික රණවක - රාජිත සේනාරත්න - සරත් ෆොන්සේකා ආදීහු ද එ.ජා. පෙරමුණේ විකල්ප අපේක්ෂකයන් හැටියට පෙනී සිටිති. මේ අය ගැන සලකා බැලෙනු ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයන් අතර තරගය උග්‍ර වී එකඟතාවයක් ඇතිකර ගැනීමට අසමත් වුවහොත් පමණි. කෙසේ හෝ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට කෙරෙන සටන් ලබන අගෝස්තුවේදි හමාර කළ යුතුව ඇත. අගෝස්තුවේදී පොහොට්ටුව සිය අපේක්ෂකයා නම් කිරීමෙන් පසු එ.ජා.පයට ද තීන්දුවක් ගන්නට සිදුවෙයි. පොහොට්ටුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ද හමාර කරද්දී එ.ජා.ප.ය තවමත් ඒ ගැන සිතා බලා ඇත්ද යන්න පවා අපැහැදිලිය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මේ සතියේ මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ මෙවර සැබෑ පොදු අපේක්ෂකයා කරළියට ගෙන එන බවය. පොදු අපේක්ෂකයා සංකල්පය පවා තිත්ත වී තිබියදී තමන්ගේ පක්ෂය වමේ ප්‍රගතිශීලි කඳවුර නියෝජනය කරන සැබෑ පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණ සටනට ගෙන එන බව ඔහු කීය. ජ.වි.පෙද සිය පොදු අපේක්ෂකයා ගැන තොරතුරු කියා නැතත් බොහෝ අය අනුමාන කරන්නේ ඒ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බවය.

- ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර