2019 ජුනි 22 වන සෙනසුරාදා

ජනපතිවරණය දෙදෙනකුගේ සටනක්!

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 346

• මුස්ලිම් ඇමැතිවරුන් දිවුරුම් දුන්නේ එ.ජා.ප.ය නොදැන බව ජනපති කියයි.

• මැ.කෝ. සොයාගත් අලුත් ත්‍රස්තවාදය

• තමන්ට වාසි ඡන්දය ගැන බැසිල්ගේ විග්‍රහය

• එ.ජා.ප.යෙන් කරුගේ සජිත්ගේ නම් ඉදිරියට

• ජ.වි.පෙ. විශ්වාසභංගයට මහින්දත් සපෝට්ලු

• චම්පිකට මහරගම : සොයිසාට කටාන

හදිසි මහ මැතිවරණයකට යාම ගැන ජනාධිපතිවරයා පසුගිය දිනවල දේශපාලන පක්ෂ නායකයන් ගණනාවක් සමඟ නිල නොවන මට්ටමින් අදහස් හුවමාරු කරගෙන තිබිණි. ආණ්ඩුවට සම්බන්ධ අය මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙන්ද ඒ ගැන අදහස් විමසූ බව දැනගන්නට ලැබිණි. එහිදී මහින්ද රාජපක්ෂ පවසා තිබුණේ ආණ්ඩුව ඉක්මනින් තබන ඕනෑම ඡන්දයකට තමන් සූදානම් බවයි. මහ මැතිවරණය කලින් තැබීමට පක්ෂ එකඟ නම් ඊට තමන් කැමැති බවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ පාර්ශවයට දැන්වීය.

හදිසි මහ මැතිවරණයක් පැවැත් වීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩකඩ නැත. ව්‍යවස්ථාව අනුවනම් මහ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ වත්මන් පාර්ලිමේන්තුවට වසර 4 ½ ගතවන 2020 පෙබරවාරි 16 දිනයි. ඊට පෙර හදිසි ඡන්දයක් සඳහා ජනමත විමසුමකින් අනුමැතිය ලබාගත හැකිබවට ඇතැම් නීති විශාරදයන් ජනාධිපතිවරයාට උපදෙස් දී තිබූ බැවින් ඔහු ඒ ගැන නීතිපති දප්පුලද ලිවේරා මහතාගෙන් නීති උපදෙස් ඉල්ලා තිබිණි. එහෙත් මෙම සටහන ලියන මොහොත වෙනතෙක් නීතිපතිවරයා ඒ ගැන උපදෙස් දුන් බවක් වාර්තා වී නැත.

නමුත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පෙහොට්ටුව) හදිසි මහ මැතිවරණයකට විරුද්ධය. එ.ජා.ප.පයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම දැනටමත් මෙයට තදබල විරෝධයක් ප්‍රකාශ කර ඇත. හදිසි මහ මැතිවරණයක් සඳහා මැති සබයේ ඡන්දයක් පවත්වන්නට උත්සාහ කළහොත් ඊට ඡන්දය නොදෙන බව එ.ජා.ප. පසුපෙළ ඇතැම් මන්ත්‍රීහු දැන් විවෘතවම ප්‍රකාශ කරති.

පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ද හදිසි මහ මැතිවරණයකට විරුද්ධය. ඔහු කියන්නේ නියමිත කාල සටහනට අනුව පැවැත් වියයුත්තේ ජනාධිපතිවරණය බවයි. ඔහුගේ විග්‍රහය අනුව වඩාත් ඉහළ ජනතා ප්‍රතිචාරයක් විපක්ෂයට ලබාගත හැක්කේ පළමුව පැවැත්වෙන මැතිවරණයේදීය. එය පොහොට්ටුවට ජයගත හැකි යයි විශ්වාස කරන බැසිල් රාජපක්ෂ මහතා පළමුව ජනාධිපතිවරණය ලබාගත යුතුයැයි සඳහන් කර ඇත. ඔහුගේ ප්‍රකාශය සනාථ කරමින් පොහොට්ටුව සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මාධ්‍ය හමුවක් තබමින් කියා සිටියේ ව්‍යවස්ථාව අනුව නම් ජනමත විචාරණයක් මගින් මහ මැතිවරණයක් ලබාගත නොහැකි බවකි. මේ සම්බන්ධ මෙයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7 කමිටුවක් ලබාදී ඇති තීන්දුව ප්‍රකාරව කටයුතු කළ යුතු බවද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ පවසති. මෙලෙස ජනමත විමසුමකින් හදිසි මහ මැතිවරණයක් ලබාගත හැකිනම් ජනමත විමසුමකින් ජනාධිපතිවරණය ද කල්දැමිය හැකිබව ඔවුන්ගේ මතයයි.

මේ ගැන පසුගියදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද අදහස් දක්වා තිබිණි. ඔහු කොස්ගොඩදී ප්‍රකාශ කළේ දෙවැනි පෙළ දේශපාලනඥයන් ඉදිරියට ඒම වැළක්වීමට පළාත් සභා ඡන්ද කල්දැමූ බවයි. එසේම ජනාධිපතිවරණය කල්දැමීමේ සැලසුමක් ගැනද කතාබහ වී ඇතැයි හෙතෙම පැවසීය. මේ ආකාරයට ඡන්ද කල්දැමීම ත්‍රස්තවාදී වැඩක්යැයි ද මහින්ද දේශප්‍රිය මහතා සිය කතාවේදී අවධාරණය කළේය.

මැතිවරණය කල්දැමීම ගැන ඒ ආකාරයට කතා පැතිරෙද්දී අත සහ පොහොට්ටුව අතර සාකච්ඡා වටය තවදුරටත් කල්යමින් තිබේ. ගිය සඳුදා (17දා) මෙම දෙපක්ෂය අතර මීළඟ සාකච්ඡා වටය සඳහා දින යොදා තිබිණි. එහිදී දැනට යෝජනා කර ඇති කාරණා 25ක් ගැන සාකච්ඡා කරන්නට නියමිත විය. එහෙත් අවසන් මොහොතේ එම සාකච්ඡා කල්දැමූ බව නිවේදනය කැරිණි. මෙම දෙපක්ෂය අතර සාකච්ඡාව මේ ආකාරයට ඇදි ඇදී යන්නේ සාකච්ඡාකොට තීන්දුවක් ගතයුතු ප්‍රධාන ප්‍රශ්නය ගැන කතා නොකොට උගුරට හොරා බෙහෙත් කන්නට දෙපක්ෂයම උත්සාහ දැරීම නිසාය.

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළයුතු අපේක්ෂකයා කවුද යන්න විසඳාගත යුතු ප්‍රශ්නයයි. දයාසිරි ජයසේකර ශ්‍රී.ල.නි.ප. ලේකම්වරයා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතුය කියායි. එහෙත් පොහොට්ටුව ඊට දැඩිලෙස විරෝධය පළකර ඇත. ඔවුන් පවසන්නේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පමණක් අගමැති ධුර අපේක්ෂයා ද පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන වගයි. මේ නිසා වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධ තත්ත්වය අවිනිශ්චිත බවට පත්ව තිබේ. එ.ජා.ප.ය කිසිසේත් මෛත්‍රී ජනාධිපතිවරයාට නැවත අපේක්ෂත්වය නොදෙන බව පවසයි. ඔව්හු තමන්ගේම පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට සූදානම් බව කියති. මෙහිදී රනිල් - කරු හා සජිත් සම තරගකරුවන් බවට පත්ව ඇති බව පෙනේ.

පසුගියදා මාධ්‍ය මගින් කළ හෙළිදරව්වකදී එ.ජා.ප. පාක්ෂිකයන් අතර පවත්වන ලද ජනමත විමසුමකදී කරු ජයසූරිය මහතාගේ නම සෙසු අපේක්ෂකයන් අභිබවා පෙරමුණ පැමිණ ඇතැයි සඳහන් විය. නමුත් පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ සතියේ මාධ්‍යයට කීවේ ඒ ගැන අවසන් තීන්දුව ගන්නේ වෙන කිසිවකු නොව එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය බවයි. එහි පූර්ණ බලය හිමිව ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නිසා එ.ජා.ප. අපේක්ෂකත්වය ගැන පවතින්නේද අවිනිශ්චිත තත්ත්වයකි. මේ අතර කරු ජයසූරිය මහතා බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී කීවේ තමන්ට ද මේ ගැන ඉල්ලීම් ලැබෙතත් තමන් කිසිවක් ඉල්ලුම් කර නැත කියායි. පක්ෂයේ සියල්ලන් හා පක්ෂ නායකතුමාගේ ආශිර්වාදය තමන් හට හිමිවේ නම් රට වෙනුවෙන් වගකීමක් භාරගන්නට තමන් සූදානම් යැයි ද කරු ජයසූරිය මහතා කීය.

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් මේ සතියේ නැවතත් සිය අමාත්‍ය තනතුරු භාරගනු ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර ගියේය. එහෙත් තවමත් එවන් තීන්දුවක් ඔවුන් විසින් ගෙන නැත. මේ ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් ගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී පැවැත්විණි. ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් 9 දෙනා සහ එ.ජා.ප.යේ මුජිබර් රහ්මාන් මන්ත්‍රිවරයා ඇතුළු කිහිපදෙනෙක් ද ඊට එක්වූහ. රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම් ආදී පක්ෂනායකයන් ද ඊට එක්වූ අතර තනතුරු භාරගැනීම ගැන මෙහිදී දීර්ඝලෙස වාදවිවාද හටගෙන තිබිණි. එ.ජා.ප.යේ නියෝජිත හලීම් හා හකීම් හිටපු අමාත්‍යවරුන්ගේ වැඩි කැමැත්ත තිබුණේ පක්ෂය හා පාර්ෂිකයන්ගේ ඉල්ලීම අනුව තනතුරු භාරගන්නටයි. නමුත් රිෂාඩ් බදුයුදීන් කීවේ තමන්ට එල්ලවී තිබෙන චෝදනා ගැන පරීක්ෂා කර තමන් නිවැරදි කරනතුරු තනතුරු ගැනීමට අපේක්ෂාවක් නැත කියායි. රවුෆ් හකීම් ද තවත් ටිකක් කල්බලා තනතුරු ගැනීම ගැන තීන්දුවක් ගතයුතු යැයි කියා ඇත. නැගෙනහිර පළාත නියෝජනය කරන පාරීස් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දැන්ම තනතුරු භාරනොගත යුතුයැයි තරයේම කී බව සඳහන් වෙයි. අවසානයේ මේ අය තීන්දු කළේ ඒ ඒ අමාත්‍යවරුන් නියෝජනය කරන පක්ෂය හා ඒවායේ නායකයන් සමඟ කතාකොට තනතුරු ගැනීම හෝ නොගැනීම ගැන තීන්දුවක් ගතයුතු වගයි. කෙසේ වුවත් පසුගිය බදාදා හදිසියේම කබීර් හෂීම් හා එම්.එච්.එම්. හලීම් යන එ.ජා.ප. මන්ත්‍රීවරු කළින් තමන් දැරූ අමාත්‍ය ධුර භාරගත්හ. ඔවුන් දිවුරැම් දුන් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැනනොසිටි බවද කියැවේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රබල ඉල්ලීමක් අනුව මොවුන් දිවුරුම් දුන් බවද සමහරු කීහ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සඳුදා රැස්විය. මැතිඇමැතිවරුන් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ මෙම රුස්වීමේදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කිසියම් ඉඟියක් පළවනු ඇත කියාය. රැස්වීමට පෙර පක්ෂයේ මැතිඇමැතින් ගණනාවක් ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන අදහස් දක්වා තිබිණි. අමාත්‍ය රවි කරුණානායක මාධ්‍යයට කියා තිබුණේ මේ මොහොතේ අපේක්ෂකත්වය ගැන සඳහන් නාමයෝජනා එළියට ඒම ඉතාමත් හොඳ බවය. පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ විටද මේ ගැන මන්ත්‍රි කණ්ඩායමේ පුළුල් කතාබහක් හටගැනුණි. මීළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා දැන් සිටම අවශ්‍ය කටයුතු සංවිධානය කළ යුතු යැයි මන්ත්‍රීවරු කීහ. ජනාධිපති අපේක්ෂකයා තෝරාගන්නට පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ කාත්‍යාධිකාරිය ඉක්මනින් කැඳවන ලෙස මන්ත්‍රින් ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියෝය. මේ ගැන වැඩිපුරම අදහස් දක්වා තිබුණේ පාලිත රංගේ බණ්ඩාර, අජිත් පී. පෙරේරා ආදී රාජ්‍ය අමාත්‍යවරුය.

රංගේ බණ්ඩාර මහතා මෙහිදී පවසා තිබුණේ දැන් රටේ තැනින් තැන විවිධ පක්ෂ තම තමන්ගේ ජනාධිපති ධුර අපේක්ෂකයා ගැන නොයෙක් ප්‍රකාශ කරන නිසා එ.ජා.ප.ය ද කඩිනමින් ඒ ගැන තිරණයක් ගතයුතු වගයි. රංගේ බණ්ඩාරගෙන් ආ යෝජනාව පක්ෂයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් අනුමත කළහ. එහෙත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණේ පක්ෂයේ නිල මතය ප්‍රකාශයට පත්කෙරෙන තුරු එ.ජා.ප.යේ ජනාධිපති ධුර අපේක්ෂකයා ගැන මැති ඇමැතිවරුන් තැනින් තැන විවිධ ප්‍රකාශ නොකළ යුතු වගයි. මෙම ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කළ යුතු යැයි රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ මන්ත්‍රින්ට කියා තිබිණි.

එසේම රටේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට සිදුවන හිරිහැර හා තාඩන පීඩන ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාරි මහතා යෝජනා කළේය. නීතිය හා සාමය අමාත්‍යාංශය ජනාධිපතිවරයා විසින් දරන නිසා මේ ගැන ඔහු සමඟ සාකච්ඡා කළයුතු යැයි මෙහිදී මැතිඇමැතින් ගණනාවක් විසින් පෙන්වාදී තිබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුව පසුගිය අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එම හමුවේදී මේ දිනවල රටේ සාකච්ඡා කෙරෙන ප්‍රධාන දේශපාලන මාතෘකා ගණනාවක්ම සාකච්ඡාවට ගැනුණි. මඩකලපුව දිසා මන්ත්‍රී එස්. වියලේන්ද්‍රන් රැස්වීම ආරම්භයේදීම ප්‍රශ්න කළේ කල්මුණේ දකුණ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ නායක හිමිනමක් ප්‍රමුඛ දෙමළ නායකයන් විසින් කරනු ලබන උපවාසය ගැනයි. ඒ අය කරන සාධාරණ ඉල්ලීම පොහොට්ටුව ආණ්ඩුවක් යටතේ ඉටුකර දෙන්නැයි වියලේන්ද්‍රන් ඉල්ලා සිටියේය. එයට තිබෙන මුස්ලිම් ජාතික විරෝධය නොතකා මෙය ඉටුකළ යුතුයැයි මන්ත්‍රීවරයා පවසද්දී මහින්ද රාජපක්ෂ මහතා කීවේ “මන්ත්‍රීතුමා ඕක කරන්න අපේ ආණ්ඩුව කාලේ සේරම කටයුතු කරලයි තිබුණේ. ඒත් ආණ්ඩුව පෙරළුණු නිසා ඒක කරගන්න බැරි වුණා..” කියායි. එය අසමින් අතුරලියේ රතන හිමියන් සිනාමුසුව විමසුවේ “මොන ආණ්ඩුවද පෙරළුණේ?” යන ප්‍රශ්නයයි. “ඇයි හාමුදුරුවනේ ඔබවහන්සේට මතක නැද්ද ඔබවහන්සේලා එකතුවෙලා 2015 දී පෙරළපු අපේ ආණ්ඩුව.. අන්න ඒක තිබුණා නම් අපි ඔය ප්‍රශ්නය විසඳගන්න තමයි හිටියේ..” මහින්ද රාජපක්ෂ මහතා ද සැහැල්ලුවෙන් කීය. රතන හිමියෝ නිහඬ වූහ.

අනතුරුව මතුවූයේ ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂය කළයුත්තේ කුමක්ද යන ප්‍රශ්නයයි. එහිදී විපක්ෂ නායකවරයා කීවේ මේ අවස්ථාවේ විපක්ෂයේ කවර පක්ෂයක් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආවත් එයට සහාය දිය යුතු වගයි. ඒ සමඟ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විමසා සිටියේ රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයාගේ විශ්වාසභංගය සම්බන්ධයෙනි. ඔහු නැවතත් ඇමැතිකමේ දිවුරුම් දෙන්නට යන බව කියා තිබෙන නිසා පැරැණි විශ්වාසභංගයම නැවත ගතහැකිද යන්න උදයගම්මන්පිලගේ ප්‍රශ්නය විය.

ඊට පිළිතුරු දුන්නේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතාය. ඔවුන් කීවේ විශ්වාස භංගයකින් පසුව ඇමැතිවරයෙක් ඉවත් වුවහොත් ඒ සමඟ විශ්වාසභංගයද හමාරවන වගයි. නැවතත් උදයගම්මන්පිල විමසුවේ “ඔහු නැවතත් තනතුර භාරගත්තොත් මොකද කරන්නේ?” ඒ ප්‍රශ්නයයට උත්තර දුන් චමල් රාජපක්ෂ මහතා “එහෙම නම් අපි අලුතෙන් විශ්වාසභංගයක් ගේන්න ඕන.” චමල්ගේ පිළිතුරෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා “උදය ඔබ අලුත් විශ්වාසභංග යෝජනාවක් ලෑස්ති කරන්න. රිෂාඩ් නැවත දිවුරුම් දුන්නොත් අපි ඒක පාර්ලිමේන්තුවට ගෙනෙමු.” යැයි කීවිට මන්ත්‍රී කණ්ඩායම ඒ යෝජනාව අනුමත කළේය. මහින්ද අමරවීර මන්ත්‍රීවරයා ඒ ගැන අදහස් දක්වමින් පවසා සිටියේ අලුත් විශ්වාසභංගයක් කෙටුම්පත් කරන්නේ නම් එය පාස්කු ඉරිදා ප්‍රහාරයට පමණක් සීමාකළ යුතු බවයි. එවිට එ.ජා.ප.යේ මන්ත්‍රීන් ගණනාවකගේ සහාය ඊට ලබාගත හැකියැයිද අමරවීර මහතා පෙන්වා දුන්නේය. ඒ ගැන තමන් එ.ජා.ප.යේ සමහර කොටස් සමඟ දැනටමත් කතාකර තිබෙන වගද ඔහු පැවසීය. අනතුරැව ගාල්ලේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා කීවේ පක්ෂ සංවිධානය කරන ඇතැම් පොදු කටයුතුවලට තමන්ලාට තවමත් ආරාධනා කරන්නේ නැති වගයි. එය ප්‍රශ්නයක් බව කියද්දී ඒ ගැන නෙළුම් මාවත කාර්යාලයේදී සාකච්ඡා කර විසඳුමක් ගතයුතු යැයි රෝහිත අබේගුණවර්ධනලා කීහ.

දැනට හෘද සැත්කමකට මුහුණදී සිංගප්පූරුවේ විවේක සුවයෙන් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය ගිය බ්‍රහස්පතින්දා (20 දාට) යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් බෙල්ලන්විල රාජමහාවිහාරස්ථානය ඇතුළු ආගමික ස්ථාන ගණනාවක පිංකම් සංවිධානය කර තිබිණි. සිංගප්පූරුවේ සිටින ගෝඨාගේ සුවදුක් විමසා ඔහුත් සමඟ උපන් දිනය සමරන්නට මන්ත්‍රීන් ගණනාවක් පසුගියදා සිංගප්පූරුව බලාගියෝය. මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීන් ද යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ මහත්වරු ඇතුළු විශාල හිතවතුන් පිරිසක් ද දැනට ගෝඨා නවාතැන් ගෙන සිටින නිවෙසට ගොස් ආගමික වතාවත් සිදුකර චාම්ලෙස ඔහුගේ උපන් දිනය සැමරූ බව වාර්තා විය.

එ.ජා.ප.යේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගිය බදාදා රැස්වූ අතර එහිදී ආණ්ඩුවට සහාය දුන් වෙනත් පක්ෂවල ඇමැතිවරයකුට මන්ත්‍රීවරයකුට ඇතුළු කිහිපදෙනකුට එ.ජා.ප. සංවිධායක ධුර ලබාදීමට තීන්දු විය. ඒ අනුව චම්පික රණවක මහතාට මහරගම ආසන සංවිධායක පදවියත් විජිත් විජිතමුණි සොයිසා මහතාට කටාන ආසන සංවිධායක පදවියත් ලබාදීමට යෝජනා විය. ඒ යෝජනාව ඉදිරිපත් වීමත් සමඟ මන්ත්‍රීන් කිහිපදෙනෙක් කීවේ චම්පික ඇමැතිතුමා එ.ජා.ප. ආසන සංවිධායක ධූරයක් ගන්නේ නම් තම පක්ෂයේ සාමාජිකත්වය ගත යුතුය කියයි. ඒ ගැන වාදවිවාද යද්දී සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා කීවේ එසේ නම් චම්පික අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කරමු කියායි. ඒ ගැන ද නොයෙක් අදහස් මතුවූ අතර කෙසේ හෝ චම්පිකට හා විජිතමුණිට එම ආසන ලබාදීමට තීන්දු කැරිණි. එසේම ඉදිරි ජනාධිපතිවරණයට ඉතා හොඳ අපේක්ෂකයෙක් සුදුසු මොහොතේදී නම් කළ යුතුයැයිද තීන්දු කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේ ආන්දෝලනාත්මක කතා ගණනාවක්ම කීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජරටදී පොසොන් දිනවල කළ කතාවකදී පවසා සිටියේ තම රජය මේ රට තුළ පුරාණ භාරතයේ ලිච්ඡවී රජුන් ගෙනගිය ආකාරයේ සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයන වගයි. ඉන් දින දෙකකට පසු රනිල්ගේ නම නොකියා ඊට පිළිතුරු දුන්නේ ජනාධිපතිවරයාය. ඔහු හඟුරන්කෙත පැවති ආගමික උත්සවයකදී කීවේ “ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් තමන් වැඩ කරන්නේ ලිච්ඡවී රජුන්ගේ ප්‍රතිපත්ති අනුවයැයි කියලා තිබුණා.. හොඳ වෙලාවට ලිච්ඡවී රජ දරුවන් දැන් ජීවතුන් අතර නැහැ.. හිටියා නම් ඒ කතාව අහලා සියදිවි නහාගන්නවා..” යයි ප්‍රහාරාත්මක ස්වරයෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහභාගී වූ උත්සවයකදී ඔහු ඉදිරි ජනාධිපතිවරණය ඉල්ලක කරගෙන තවත් කතාවක් කීය. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට අසාධාරණයක් සිදුනොවන ලෙස ගෞරවනීය තීන්දුවකට තමන් එළඹෙන්නේ යැයි ඔහු පැවසීය. ඉදිරි ජනාධිපතිවරණය තුන් කොන් සටනක් නොවන බවත් එවැන්නකට නොයන බවත් පැවසූ හෙතෙම ඉදිරි ජනපතිවරණය ප්‍රධාන කණ්ඩායම් දෙකක් අතර සටනක් වනු ඇතැයිද අනාවැකියක් පළකර තිබිණි. තනතුරුවලින් ඉවත් වූ මුස්ලිම් ඇමැතිවරුන් අද තමා හමුවී නැවතත් තනතුරු භාරගත් බවත් ඒ තනතුරු භාරගැනීම ගැන ඔවුන්ගේ පක්ෂවල උදවිය නොදන්නා වගත් ජනාධිපතිවරයා කීය.     

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00