2019 මාර්තු 16 වන සෙනසුරාදා

මහමැතිවරණ කතා ඉවරයි!

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 220

  • ජනපති වැය ශීර්ෂය පරද්දවන්න ආ මන්ත්‍රීන්ට රනිල්ගෙන් සැර පිළිතුරක්
  • අයවැය පරාජය විහිළු කතාවක්: ගණන් ගන්න එපා - ජනපති
  • තොණ්ඩමන් බාගෙට ආණ්ඩුවට
  • සාත්තර අසා නායකයන් වන්නට යන අයට රෝහිතගෙන් ටොක්කක්
  • ජිනීවා යෝජනාවට රනිල් මෛත්‍රී එකඟතාවක
  • බැසිල් ගෝඨාගේ අපේක්ෂකත්වය ගැන සතුටු වෙයි
  • ජ.වි.පෙ. ටී.එන්.ඒ. දූෂණ විරෝධී සටන් පාඨය අතට ගනී

මේ සතියේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණේ පාර්ලිමේන්තුව වෙතයි. ඊට හේතුව එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන බවට කර තිබූ දේශපාලන තර්ජනයයි. අයවැය දෙවැනි වර ඡන්ද විමසීම මාර්තු 12 දිනට යෙදී තිබූ අතර අයවැය කාරක සභා අවස්ථාවේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය 13 වැනි බදාදාට යෙදී තිබිණි. මේ ගැන කළ යුත්තේ කුමක්ද යන්න ගැන ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පසුගියදා ජනාධිපතිවරයා මුණගැසී විමසා තිබුණි. එවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා තිබුණේ &ඕව ගණන් ගන්න එපා.. විහිළු කතා...” කියායි. සිය වැය ශීර්ෂය පරාජය වන බවට ජනාධිපතිවරයාට බියක් නොතිබූ බව එම කතාවෙන් පැහැදිලි වෙයි. එපමණක් නොව ඔහු සිය වැය ශීර්ෂය සඳහා ඡන්දය විමසන දින මෙරට සිටියේද නැත. 13දා ජනාධිපතිවරයා කලින් යොදාගෙන තිබූ කෙන්යානු රාජ්‍ය නිල සංචාරය සඳහා පිටත්ව ගියේ අයවැය පරාජය කිරීම ගැන වගේ වගක් නැතිවය.

ජනපති වැය ශීර්ෂය පරාජය කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හේෂාන් විතානගේ, මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි ආදීන් දැඩි ලෙස අදහස් ප්‍රකාශ කර තිබුණද පක්ෂයක් ලෙස එ.ජා.ප.ය මේ ගැන තීන්දුවක් ගෙන තිබුණේ නැත. ඒ නිසා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් එ.ජා.ප.ය තුළ දැකගත හැකි වූයේද ඒකමතික අදහසක් නොවේ. හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, එස්.එම්. මරික්කාර් ආදීන් කියා තිබුණේ මෙය ප්‍රායෝගික යෝජනාවක් නොවන බවය. අවසානයේ අගමැතිවරයාගේ මෙහෙයවීමෙන් ජනපති වැය ශීර්ෂය සම්මත කෙරැණේ පසුපෙළ විරෝධය මධ්‍යයේය.

අයවැය ඡන්ද විමසීමට පෙර දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට විවිධ කොන්දේසි ඉදිරිපත් කර තිබිණි. කල්මුණේ උප ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය පක්ෂවත්, මුස්ලිම් කොංග්‍රසය විරුද්ධවත් අදහස් දක්වා තිබිණි. අයවැයට ඡන්දය දෙන්නට නම් දෙමළ ජාතික සන්ධානයට සාධාරණය ඉටුවිය යුතු බව මාවෙයි සේනාධිරාජා මහතා මැතිසබයේදීම කීය. නැතිනම් අයවැයට තම සන්ධානය විරුද්ධ වන බවද හෙතෙම මැතිසබයේදී සඳහන් කළේය. ඔහු මේ කතාව කරන විට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ සිට රෑපවාහිනී තිරයෙන් කතාව නරඹමින් සිටියේය. එ.ජ.නි.ස. තරුණ මන්ත්‍රීන් ගණනාවක්ද එහි සිට ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු මහින්දගෙන් විමසා ඇත්තේ &බලන්න සර් සේනාධිරාජා මන්ත්‍රීතුමන් අයවැයට විරුද්ධයි කියන්නෙ... වැඩේ අවුල් වේද?” කියායි. &පිස්සුද... අයවැය ඡන්දෙ එනකම් ඔහොම කියනව... ආණ්ඩුව පරදින්න යනව නම් දෙමළ සන්ධානෙ ඡන්දය දෙනව. ඒකයි ක්‍රමය... ඕව පරණ උපක්‍රම. කවුරුවත් ගණන් ගන්නෙ නැහැ...” යැයි මහින්ද කියපු විට &ඒක තමයි පසුගිය සුමානෙ විපක්ෂනායකකම නැතුවත් සම්පන්දන් මහත්තයට නිල නිවාස, නිල වාහන කැබිනට් එකෙන්ම දුන්නා..” යැයි අනුරාධපුර මන්ත්‍රීවරයා මතක් කළේය.

අයවැය පරාජය වනු ඇති බවත් ළඟදීම මහමැතිවරණයක් එනු ඇති බවටත් වන සැක සංකා බිඳ දමමින් මංගලගේ අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත විය. ඒ සමඟ මහ ඡන්ද කතාවද යටපත් වුණි. විජේදාස රාජපක්ෂ, අතුරලියේ රතන හිමි වැනි එ.ජා.ප. චරිත ගණනාවක්ම අයවැය ඡන්දය දා මැතිසබයේ දක්නට නොලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් 17 දෙනෙක් පමණ ඡන්දය දීමෙන් වැළැකී සිටියේ ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව බව සඳහන් විය. ඊට හේතු දෙකක් ප්‍රකාශ වී තිබිණි. ඉන් පළමු හේතුව නම් පසුදා විවාදයට ගැනෙන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ ඡන්දය සම්බන්ධයෙන් බෙදීමක් ඇතිකර ගන්නට අවශ්‍ය නැති බවට ශ්‍රී.ල.නි.ප. මහලේකම් දයාසිරි ජයසේකර, සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන ජ්‍යෙෂ්ඨයන් දැරූ අදහසය. අයවැය දෙවැනි වර කියැවීමේදී ශ්‍රී.ල.නි.ප.ය විරුද්ධ වුවහොත් කාරක සභා විවාදයේදී ජනපති වැය ශීර්ෂය පරාජය කරන්නට එය හොඳ හේතුවක් වනු ඇති බව දයාසිරිලාගේ මතය වී තිබිණි. එසේම මෙදින හිටපු රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පියාගේ අවමංගල්‍යයට සහභාගි වන්නට තිබෙන බවක්ද දයාසිරිලා, අමරවීරලා, එස්.බී.ලා ඒකාබද්ධයට කියා තිබිණි. කෙසේ වෙතත් ශ්‍රී.ල.නි.ප.යේ ලක්ෂ්මන්, වසන්ත, ඩිලාන්, මුතුහෙට්ටිගම ආදීන් පාර්ලිමේන්තුවට පැමිණ අයවැයට විරුද්ධ වූ බව වාර්තා විය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයකුගේ (මහින්ද අමරවීර) අයවැය ඡන්දය වර්ජනය ගැන ඒකාබද්ධය තරමක් පුදුමයට පත්වී තිබුණේ මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයාද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි නිසාය.

එ.ජා.ප.ය. මුල සිටම අයවැය පරාජය වීම ගැන බිය වූ බවක් නොපෙනුණි. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසයේ ඉල්ලීම් ගැන දෙපක්ෂය සමඟම සාකච්ඡා කරමින් පවත්නා ප්‍රශ්න සමථයකට දින ගණනක් වෙහෙසුණේය. හිටපු අමාත්‍ය සහ වතුකර නායකවරයා (කම්කරු කොංග්‍රසය) එ.ජා.ප. මතයට නංවාගන්නට ඔහුගේ පාසල් මිතුරකු වන රවි කරුණානායක අමාත්‍යවරයා මහන්සි වූ බව කියැවිණි. මෙතෙක් කල් ආණ්ඩුවෙන් අමාත්‍ය පදවියක් අපේක්ෂා කළ තොණ්ඩමන් සහ ඔහුගේ පක්ෂයේ අනෙක් මන්ත්‍රී මුත්තු සිවලිංගම් එ.ජා.ප.ය සමඟ අයවැයට පක්ෂව දුන්නේ රජයට කොක්ක ගැසීමේ අපේක්ෂාවෙනි. එහෙත් තොණ්ඩමන් අපේක්ෂා කරන අමාත්‍ය පදවියක් ලබාගැනීම පහසු කරුණක් නොවන්නේ සෙසු වතුකර නායකයන් වන දිගම්බරම්, මනෝ ගනේෂන්, රාධ ක්‍රිෂ්ණන් ආදීන් තොණ්ඩමන් මහතා ආණ්ඩුවට බඳවා ගැනීමට තරයේම විරෝධය පළකිරීම නිසාය.

කෙසේ හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ජයග්‍රහණය ගැන මුල සිටම විශ්වාසය තබා තිබිණි. එහෙත් තිරය පිටුපස කතාව ගියේ රනිල්, මහින්ද, මෛත්‍රී තිදෙනාම මහමැතිවරණයකට නිල නොවන මට්ටමින් එකඟ වී ඇති බවයි. ඒ කතාවට තටු ලැබෙන සාධක ගණනාවක් අප වෙත වාර්තා විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අඟහරුවාදා සිය ආසන සංවිධායකයන් කොළඹට කැඳවා තිබිණි. එම සාකච්ඡාවේදී අගමැතිවරයා දැඩි ලෙස අවධාරණය කර තිබුණේ එ.ජා.ප.යේ ආසන බලමණ්ඩල සංවිධානය කර නොමැති මැතිවරණ බලප්‍රදේශවල වහාම ආසන බලමණ්ඩල පිහිටුවා ඕනෑම මැතිවරණයකට සූදානම් වන ලෙසයි. නව ආසන සංවිධායකයන් ගණනාවක් තමන්ගේ බලමණ්ඩල පිහිටුවා අවසන් කර නොතිබීම ගැන රනිල් තදින් සංවිධායකයන්ට දොස් කීය. එහෙත් එ.ජා.ප.යේ පසුපෙළ තරැණ මන්ත්‍රීන් හදිසි මහමැතිවරණයකට එකඟ නැති බව පසුගිය දිනවල මැතිසබා ලොබියේදී ඔවුන් විසින් කරන ලද සුහද අල්ලාප සල්ලාපයන්හිදී පැහැදිලි විය. දෙපක්ෂයේම නායකයන් තම තමන්ගේ ප්‍රශ්න විසදා ගන්නට ඡන්දයකට සැරසෙන බව ඔවුන්ගේ මතය වී තිබිණි.

ශ්‍රී.ල.නි.ප - පොහොට්ටු සන්ධාන කතාව තරමක් ව්‍යාකූල තත්ත්වයට පත්ව තිබේ. පසුගියදා ශ්‍රී.ල.නි.ප. මහලේකම් දයාසිරි ජයසේකර විසින් කරන ලද ප්‍රසිද්ධ දේශනයකදී ඔහු සඳහන් කර තිබුණේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණයට ශ්‍රී.ල.නි.ප - පොහොට්ටු පක්ෂ දෙක එක්විය යුතුම බවය. &එහෙම නැතුව ඡන්දය දිනන්න පුළුවන්” යැයි යම් ඔලමොට්ටලයකු කියනවා නම් ඒ ඔලමොට්ටලයාටම ඡන්දය දිනාගන්නැයි තමන් කියන බව දයාසිරි පැවසීය. ඉන් නැවැතුණු හෙතෙම සඳහන් කළේ මහින්ද මහතාටත් දවස් 45න් හතරගාතෙන් වැටෙන්නට ගැසූ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය සුළුකොට නොතකන ලෙසයි.

දයාසිරිගේ මෙම කතාව ගැන ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට කේන්ති ගොස් තිබිණි. ඔවුහු මහින්ද රාජපක්ෂ මහතා මැතිසබා විපක්ෂනායක කාර්යාලයේදී මුණගැසී දයාසිරිට සැර පිළිතුරක් ලබාදිය යුතු බවත් කියා ඔලමොට්ටල කතා කියන පක්ෂ ලේකම්වරු සමඟ මොන සමගි සන්ධාන කතාදැයි ප්‍රශ්න කළෝය. මහින්දානන්ද හෝ රෝහිත අබේගුණවර්ධන ලවා මෙයට හොඳ උත්තරයක් දිය යුතු යැයි කී මන්ත්‍රීහු දයාසිරි මෙයට පෙරද මේ ආකාරයටම අශෝභන කතාවක් කළේ යැයිද කීහ. දයාසිරි සිය කතාවෙන් අදහස් කළේ දින 51 ආණ්ඩු කාලයේ ජනාධිපතිවරයා විසින් මහින්ද අමාරැවේ දැමූ බව යැයිද සමහරු පැමිණිලි කළහ. මෙහිදී මහින්ද කීවේ දයාසිරි වැන්නන්ට තමන් පිළිතුරු ලබාදී දේශපාලන චරිත ගොඩනගන්නට තමන්ට අවශ්‍ය නොවන බවය. මේ ගැන ඉදිරි කණ්ඩායම් රැස්වීමේදී කතා කර තීන්දුවක් ගත යුතු යැයිද ඔහු කීය. දෙපක්ෂය සන්ධානගත වීමට පෙර මේ ප්‍රශ්න ගැන දැඩි අවධානයක් දැක්විය යුතු යැයිද ඔවුහු සඳහන් කළෝය.

ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද මෙම ප්‍රශ්නය මතු වූ අතර මේ ආකාරයේ විවේචන ගැන රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා කදිම කතාවක් කීය. &සර් අපේ පක්ෂයෙත් ශ්‍රී ලංකා එකෙත් සාත්තරකාරයන්ගෙ කතාවලට රැවටුණු දෙතුන් දෙනෙක් ඉන්නව. අපේ කණ්ඩායමේ එක්කෙනකුටත් එක්තරා සාත්තරකාරයෙක් කිව්වලු, ළඟදීම ඔයාටත් ඉහළටම යන්න පුළුවන් උත්සාහ කරන්න කියල... එයා දැන් ඒකට උත්සාහ කරන්න මෙතන වැදගත් චරිතයක් දෙකක් අල්ලගෙන බැණ බැණ යනව...”

එවිට රෝහිතට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ කීවේ &ඔව් ඔව් අපි දන්නව කවුද ඒ අය කියල... ඉස්සරත් ඔහොම සාත්තරකාරයන්ට රැවටුණු අය හිටිය. එයාලත් ඉහළටම යන්න ට්‍රයි කළා... හැබැයි ඒ වගේ අයට ඉහළටම යන්න ලැබුණු රස්සාව තමයි පොල් කඩන එක... ඔය දැනුත් කෑගහන අයට වෙන්නෙ ඔතනින් නවතින්නයි” මහින්ද කී විට හැමෝටම සිනහ පහළ විය.

මන්ත්‍රීන් අතර ඇතිවූ මෙම සංවාදය ටික වේලාවකින් දයාසිරිගේ කනටද වැටුණි. ඔහුට තොරතුරු කී අය සඳහන් කළේ තමන්ගේ කතාවට මහින්ද රාජපක්ෂ මහතාට හොඳටම කේන්ති ගොස් ඇති බවය. ඒ අනුව කාරණය නැවත පැහැදිලි කරන්නට සිතූ දයාසිරි ගිය අඟහරුවාදා ශ්‍රී.ල.නි.ප.ය වෙනුවෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමන් මහින්ද මහතා ගැන අපහාසාත්මක කතාවක් නොකළ බවත්, තමන්ගේ කතාවෙන් අදහස් කළේ 2015 ජනාධිපතිවරණයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා දින 45කින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ බව කීම බවත් ප්‍රකාශ කළේය. මේ ගැන පොහොට්ටුවේ මන්ත්‍රීන් එතුමාට දුන් අර්ථකථනද තමන්ට දැනගන්නට ලැබුණු බව කී දයාසිරි ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට නම් දෙපක්ෂය එක්විය යුතු බව තමන් නැවතත් කියන්නේ යැයිද සඳහන් කළේය.

ඒ අතර පසුගිය 06දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා වන අවසන් අයැදුම්පතේ පිටපතක් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයට බාර දුන්නේය. එම අයැදුම්පතට අදාළ මූලික කටයුතු ඔහු පසුගිය අමෙරිකානු චාරිකාවේදී නිම කරගත් අතර ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් තිදෙනකුගේ පරීක්ෂාවට ලක්වූ මෙම අයැදුම්පත ගැන සුබදායක ප්‍රතිචාරයක් අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ගෝඨාභයට ලැබී තිබිණි. ඒ ගැන තොරතුරු පළවීමත් සමඟ මෙතෙක් කලක් ඔහු මුණගැසී නොසිටි ඒකාබද්ධ විපක්ෂ තරුණ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීන් 19 දෙනෙක් ගෝඨාභයගෙන් වේලාවක් ලබාගෙන ඔහු මුණගැසී ජනාධිපතිවරණය සඳහා ගෝඨාට සහාය පළ කළෝය. මෙම මන්ත්‍රී පිරිසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළත් නොවූ අතර හමුවෙන් පසු මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිත පිරිසක් නාමල් මුණගැසී තමන් සහ ගෝඨා අතර වූ කතාබහ ගැන තොරතුරැ දැක්වූහ. මෙම හමුවීම්වලදී ගෝඨා හමු වූ මන්ත්‍රීන් බහුතරයක් ප්‍රශ්න කළේ ඔහු අමෙරිකානු තානාපති කාර්යාලයට බාරදුන් අයැදුම්පත අනුමත කිරීමට විශේෂ පරීක්ෂණයක් කරන්නේද කියායි. එවිට ගෝඨා දුන්නේ සවිස්තරාත්මක පිළිතුරකි. &මූලික වැඩ කටයුතු සේරම ඉවරයි. අමෙරිකානු නීතියේ හැටියට යමෙක් තමන් පුරවැසිකම දරන්නේ කුමන රටේද යන්න තීන්දු කිරීමේ අයිතිය ඒ පුරවැසියාට ලබා දී තිබෙන විශේෂ හිමිකමක්. ඔවුන් පරීක්ෂණ කරනවා. විශේෂයෙන් ඒ අය පුරවැසිකම ඉවත් කිරීමේ අයැදුම්පතක් ගැන අදාළ අය කැඳවා පරීක්ෂණ කරන්නේ කුඩා දරුවකු හෝ උම්මන්තක තැනැත්තෙක් එවැනි අයැදුම්පතක් ඉදිරිපත් කළොත් පමණයි...” කියායි.

පසුගිය බදාදා ජනාධිපතිවරයා සිය කෙන්යානු රාජ්‍ය චාරිකාව සඳහා සූදානමින් සිටියත් ඊට පෙරදා සවස ඔහු හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණියේ වැදගත් ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්නය. ඒ අනුව පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණි ජනපතිවරයා දෙමළ සන්ධාන නායකයන් වන සම්පන්දන්, මාවෙයි සේනාධිරාජා සහ සුමන්තිරන් මන්ත්‍රීවරැන් සිය කාර්යාලයට කැඳවීය. ජිනීවා මානව හිමිකම් සමුළුවේ යෝජනාව ගැන සාකච්ඡාවකට ඔවුහු මෙසේ කැඳවනු ලැබූහ. මුලින්ම සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇමතූ ජනපති ඔහුගෙන් විමසුවේ &ඔබත් දැන් ජිනීවා යනවාද?” කියායි. සුමන්තිරන් &ඔව්” යැයි පිළිතුරැ දුන් පසු එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රී සුමන්තිරන් &ඔබතුමා දන්නවනේ ජිනීවාවල අපේ තානාපතිතුමා ශ්‍රී ලංකාව ගැන ගේන යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වල අත්සන් කළා...” යැයි කීය. &පිස්සුද ඔයාට එයා අත්සන් කළේ නැහැ.” ජනපති සුමන්තිරන්ට කීය. &නැහැ සර් හොයල බලන්න අත්සන් කළා...” නැවත සුමන්තිරන් කී විට පුදුමයට පත් ජනපති &මට ආරංචි වුණේ මහකොමසාරිස්ගේ 08දා වාර්තාවට අත්සන් කළ බව විතරයි.” කියා පිළිතුරක් දුනි. ඉන් තරමක් කේන්තියට පත් ජනපතිවරයා &මම නොදැන ඒක අත්සන් කරන්න පුළුවන්දැ”යි නැවත ප්‍රශ්න කළ විට සුමන්තිරන් කීවේ &සර් හොයල බලන්න. තානාපතිතුමා 05දායි ඒකට අත්සන යෙදුවෙ..” කියායි. &සර් මට ඒක ෂුවර්. මේ යෝජනාව පරණ එකනේ සර්.. මේක අපට දාන්න වුණේ රටට සල්ලි ගන්න ඕන නිසයි..” සුමන්තිරන් තවදුරටත් කරුණු කීය.

මේ කරුණ දැනගැනීමෙන් තරමක් කේන්ති ගොස් සිටි ජනපතිවරයා දෙමළ සන්ධාන හමුවෙන් පසු අගමැති රනිල් හා විදේශ අමාත්‍ය මාරපන, විදේශ ලේකම් රවිනාථ හා මන්ත්‍රී අමුණුගම සිට කාර්යාලයට කැඳවීය. ඔවුන් පැමිණි ගමන් ජනාධිපතිවරයා විදේශ අමාත්‍ය මාරපනට දොස් පවරන්නට වූයේ මේ ජිනීවා යෝජනාව තමන් නොදැන අත්සන් කළේ ඇයිද? විමසමිනි. තමන් නොදැන රටට වැදගත් වන මෙබඳු යෝජනාවක් අත්සන් කළේ කෙසේදැයි විමසමින් ජනපතිවරයා මාරපනට තදින්ම දොස් පැවරැවේය. එවිට අගමැති රනිල් මේ ගැන ජනාධිපතිවරයාට කරුණු දක්වන්නට විය. &මේ යෝජනාව අලුත් එකක් නොවෙයි. පරණ එකක්. අපි කළේ නැවත වරක් ඊට අත්සන දැමීම පමණයි. එහෙම නොකළා නම් අපට අපේ වැඩ කටයුතු කරගන්න ලැබෙන්නෙ නැහැ... රනිල් සරලව කතාව පැහැදිලි කළේය. එවිට විදේශ ලේකම් රවිනාථ දෙසට හැරැණු ජනාධිපතිවරයා එහෙනම් රවිනාථ ඔයත් මගේ නියෝජිතය හැටියට මේ පාර ජිනීවා යන්න ඇමැති මාරපනයි අමුණුගමයි රවිනාථයි නීතිපති අංශ කෙනකුයි ආණ්ඩුකාර රාගවනුයි මේ නියෝජිත පිරිසට ඇතුළත් කරන්න. මහින්ද සමරසිංහ යන්න ඕන නැහැ.. ජනාධිපතිවරයා කීය. ඒ අනුව අලුත් නියෝජිත කණ්ඩායම අද හෙටම ජිනීවා බලා යා යුතු යැයි තීන්දු කෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය අතරද ගිය සතියේ විශේෂ හමුවක් පැවතුණි. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසියට අදාළ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම ගැන කතාබහටයි.

ජ.වි.පෙ.න් අනුර දිසානායක පක්ෂ නායකවරයාත්, මහලේකම් ටිල්වින්, මන්ත්‍රීන් වන විජිත හා සුනිල් හඳුන්නෙත්ති සමඟ දෙමළ සන්ධාන නායක සම්පන්දන්, මන්ත්‍රීන් වන සුමන්තිරන්, සේනාධිරාජා, සිද්ධාර්ථන් හා අඩෛක්කලනාදන් ද ඊට එක්වූහ. 20 වැනි සංශෝධනයට සහාය දෙන්නැයි මෙහිදී අනුර දිසානායක දෙමළ සන්ධාන නායකයන්ගෙන් මුලින්ම ඉල්ලා සිටියේය. එවිට සම්පන්දන් කීවේ ඒකට අපි උදව් කරන්නම්. නමුත් ව්‍යවස්ථාව මගින් අපේ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඕනෑ. කෝ ඒක? ව්‍යවස්ථාව හරහා ඒකත් කළ යුතුයි... සම්පන්දන් කීය. එවිට අනුර දිසානායක ඊට සහාය දීමට එකඟතාව පළ කළේය.

ඒ සමඟ රටේ වංචා දූෂණ තුරන් කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදය රුකගන්නටත් දෙමළ සන්ධානය හා ජ.වි.ප.ය ඉදිරි කාලයේදී ඒකාබද්ධව වැඩ කරන්නටත් දෙපක්ෂය එකඟ විය.

පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුවේ) නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය බදාදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ගේ අනාගත දේශපාලන වැඩසටහන මාධ්‍යයට විස්තර කළේය. ගම සමඟ පිළිසඳරක් යනුවෙන් බැසිල් නම්කර තිබෙන පොහොට්ටුව ගමට ගෙන යාමේ වැඩසටහන ගැන තොරතුරු සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බව කල්තබා සඳහන් කිරීම ඉතා හොඳ දෙයක් යැයි පැවසීය. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට කියන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළත් ඔහු වෙනුවෙන් ප්‍රචාරක සටන ගෙන යන්නට තමන් සූදානම් යැයි බැසිල් කියා සිටියේය. කෙසේ හෝ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තම පක්ෂයෙන් ඉදිරිපත් කරන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇතැයි ද බැසිල් පැවසීය. ජාතික සංවර්ධන කාර්යයේදී ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සැකසිය යුත්තේ දේශපාලනඥයන් නොව ජනතාව විසින් යැයි කී හෙතෙම ගම සමඟ පිළිසඳරක් වැඩසටහන නිර්මාණය කළේ ඒ සඳහා බව කීය.

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර