2019 මාර්තු 09 වන සෙනසුරාදා

ඡන්ද කාලසටහන ගැන ජනපතිගෙන් ඉඟියක්

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 407

  • ඒකාබද්ධ අයවැයට එරෙහි විය යුතු යැයි බන්දුලගෙන් යෝජනාවක්
  • අයවැය දා රනිල්ගෙන් මන්ත්‍රීන්ට රාත්‍රී භෝජනයක්
  • ජනපති වැය ශීර්ෂ කැපිල්ල ගැන එ.ජා.ප.යේ මතගැටුම්
  • මහින්ද ජ.වි.පෙ. කතාබහේ වාර්තාව පක්ෂ වෙතට
  • මරණ දඬුවම දෙන දිනය තීන්දු කරලාලු
  • අයවැය මාර්කට් කරන්න ආණ්ඩුවේ තරැණ මන්ත්‍රීවරු පෙරට

පසුගිය අඟහරුවාදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආණ්ඩුවේ 2019 අයවැය ඉදිරිපත් කළේය. ඒ ගැන තිබෙන විවේචන මෙන්ම ප්‍රශංසාද තුලනය කිරීම පහසු නැත. ආණ්ඩුවට හොඳ ජනතාවාදී අයවැය විපක්ෂයට අණ්ඩර දෙමළයකි. අයවැය ඉදිරිපත් කරන්නටත් පෙර සිටම එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් කිහිප දෙනෙක් අයවැය කාරක සභා අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන බවත් තමන්ලා ඊට එරෙහිව ඡන්දය දෙන බවත් ප්‍රකාශ කළෝය. මේ එළිපිට වාග් සටනට මුලපිරුවේ කොළඹ දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය. මුජිබර් කීවේ ජනාධිපතිතුමා දිගින් දිගටම එ.ජා.ප.යටත් එ.ජා.ප. නායකයන්ටත් පහර ගසන නිසා අයවැයේදී තමන් පමණක් නොව පසුපෙළ මන්ත්‍රීන් බහුතරයක් ජනපති වැය ශීර්ෂය පරාජය කළ යුතු යැයි යන මතය දරණ බවයි. මුජිබර්ට පසුව ආශු මාරසිංහ, පාලිත රංගේබණ්ඩාර, චමින්ද විජේසිරි ආදී මන්ත්‍රීන් ගණනාවක්ම විවිධ අවස්ථාවල මෙම අදහස ප්‍රකාශ කළහ. එහෙත් එ.ජා.ප.ය මේ කරුණ ගැන නිල ප්‍රකාශයක් කළේ නැත. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සහ කැබිනට් නොවන ඇමැති දෙපළක් වන හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්න යන දෙදෙනාම කීවේ එ.ජා.ප.ය එසේ නොකරනු ඇති බවය. පසුපෙළ මන්ත්‍රීන් සමහරුන් මෙබඳු අදහස් දරණ බව කී ඔවුහු පක්ෂය එලෙස ජනපති වැය ශීර්ෂය පරද්දන්නේ නැතැයි සඳහන් කළෝය. එස්.එම්. මරික්කාර් හා විජේපාල හෙට්ටිආරච්චි යන මන්ත්‍රීවරු කීවේ ජනපතිවරයාගේ කොතෙකුත් වැරදි ඇති නමුත් අයවැය පරාජය කිරීම විසඳුමක් නොවන වගය. පක්ෂය එබඳු තීන්දුවක් ගෙන නැතැයි කී මරික්කාර් මන්ත්‍රීවරයා ජනාධිපතිතුමා ඇතැම්විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැඩ කර නැතත් අයවැය පරාජය කිරීමෙන් ප්‍රශ්න නොවිසඳෙන වග කීය. ආණ්ඩුවට සිදුවන අකටයුතුකම්වලට වෙනත් ආකාරයක සටනක් කළ යුතුය යන්න මරික්කාර්ගේ අදහස විය.

කෙසේ හෝ අයවැය ලේඛනය පරාජය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්ද අමරවීරද අදහස් දක්වා තිබිණි. ඔහු කීවේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කළහොත් ඒ සමඟම ආණ්ඩුවේ අවසානයද සිදුවනු ඇති බවයි. අයවැය පරද්දනවා යැයි කියන අයට එ.ජා.ප.යේ පිරිස්ම උත්තර දී ඇතැයි හෙතෙම පැවසීය. පොහොට්ටුවේ ප්‍රබලයකු වන කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ ගැන අදහස් දක්වමින් කීවේ ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයාද වන නිසා ඔහුගේ වැය ශීර්ෂය පරාජය කරන්නට තැත් කරන්නේ කුඩු ව්‍යාපාරයට සම්බන්ධ දේශපාලනඥයන් බවයි. යම් හෙයකින් වැය ශීර්ෂය පරාජය වුවහොත් පොලීසියට පවා වැටුප් ගෙවිය නොහැකි යැයි ඔහු පැවසීය. එ.ජා.ප.යේ හේෂාන් විතානගේ, ඉඳුනිල් අමරසේන ආදී මන්ත්‍රීහුද ජනපති වැය ශීර්ෂය පරාජය කරන බව කීහ.

මේ සියල්ලට කදිම උත්තරයක් දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු මේ ගැන මාධ්‍යයට කීවේ &තමන් දන්නා රනිල් වික්‍රමසිංහ නම් කිසිම දිනක ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය නොකරනු ඇත” කියායි.

අයවැය ඉදිරිපත් කළ දිනයේ පාර්ලිමේන්තුව අභියස ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතාවක් පැවැත්විණි. මේ නිසා ඇතැම් මැති ඇමැතින්ට පාර්ලිමේන්තුවට යාමට සිදුවූයේ විරෝධතාකරුවන් අතරිනි. මෙහිදී වඩාත්ම පීඩාවට පත්වූයේ ග්‍රාම නිලධාරීන්ට උත්තර දෙන්නට ගිය හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාය. ඔහු හා විරෝධතා දැක්වූ ග්‍රාම නිලධාරීන් අතර ලොකු වාදයක් හටගත්තේය. ආශු මාරසිංහ මන්ත්‍රීවරයාද එලෙසම විරෝධතාකරුවන්ගේ විරෝධයට ලක් විය. පසුව ආශු මාරසිංහ මහතා විරෝධතා දැක්වූ ග්‍රාම නිලධාරීන් පස් දෙනකු විෂය භාර අමාත්‍යවරයාට මුණගැස්වීම සඳහා මැතිසබා දොරටුව තෙක් කැඳවාගෙන ගියද පසුව තමන්ට අමාත්‍යවරයා මුණනොගැස්වූ බවට මන්ත්‍රීවරයාට චෝදනා කරමින් ග්‍රාම නිලධාරී නියෝජිතයෝ පිටව ආහ.

එදින පෙරවරුවේ විපක්ෂයේ මන්ත්‍රීන් ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් දෙකක් පැවැත්වීය. අයවැයේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන එහිදී සාකච්ඡා කැරිණි. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා දහවල් පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී ඒකාබද්ධ විපක්ෂය රැස්විය. මෙහිදී අයවැයේ විය හැකි දේ ගැන විග්‍රහයක් කළ බන්දුල ගුණවර්ධන මහතා අයවැයට විරුද්ධ විය යුතු යැයි යෝජනා කළේය. එයට විපක්ෂ මන්ත්‍රීන් සියල්ලන්ගේ අනුමැතිය හිමි විය. ඒ සමඟ මන්ත්‍රීන් ගණනාවක් මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දුන්නේ එ.ජා.ප.යේ මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කළ යුතු බවට යෝජනා කරන බවයි. ඒ ගැන කරන්නේ කුමක්දැයි මන්ත්‍රීවරු හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූහ. එවිට මහින්ද රාජපක්ෂ මහතා කීවේ &මේ වැඩේ කරන්න යූ.ඇන්.පියට අපි ඉඩ දෙන්නෙ නැහැ. මෙතන රටේ වැදගත්ම ආයතන ගණනාවක වගකීම් තිබෙන තැනක්. යූ.ඇන්.පිය ජනාධිපති වැය ශීර්ෂය පරද්දන්න ආවොත් අපි සහාය දීල ඒක ජයග්‍රහණය කරවමු” මහින්ද තීන්දුව දුන්නේය. අනතුරුව 10 වැනිදා මහනුවරදී පැවැත්වෙන විපක්ෂ විරෝධතා රැලිය පිළිබඳවත් විපක්ෂයේ මන්ත්‍රීන් දැනුවත් කිරීම සඳහා වෝටර්ස් එජ් හෝටලයේ පැවැත්වෙන අයවැය වැඩමුළුව ගැනත් සාකච්ඡා කැරිණි. ඒ සඳහා අයවැය විශේෂඥයන් ගණනාවක් සහභාගි වන බව මහින්ද රාජපක්ෂ මහතා කීය. අනතුරුව විපක්ෂ මැති ඇමැතින්ගේ නඩුහබ පිළිබඳව කතාබහ විය. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කීවේ අලුත් මහාධිකරණයේ තමන්ටත් අලුතින් නඩු පවරන්නට යන වගයි. ඊට අදාළව ගත යුතු නීතිමය පියවර එහිදී සාකච්ඡා විය. හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානකගේ වාහනයට නීති විරෝධී යමක් දමා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකු හා පොලිස් නිලධරයකු සැලැසුම් කළ බවට වන චෝදනාව ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන ලෙස මහින්ද ප්‍රමුඛ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ චානක මන්ත්‍රීවරයාට කීහ.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන අයවැය සම්මන්ත්‍රණයට සහභාගි වන්නේද නැද්ද යන්න ගැන ශ්‍රී.ල.නි.ප.ය සිටියේ දෙගිඩියාවෙනි. ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබුණේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් ඊට සහභාගි නොවිය යුතු බවයි. ඒ අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතා අයවැය වැඩමුළුවේ ආරම්භක අවස්ථාවට පැමිණෙන ලෙසත් මන්ත්‍රීවරුන් සහභාගි කරවන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ ඇරැයුම අනුව ජනපති මෛත්‍රී තම පක්ෂ මන්ත්‍රීන්ට ඒකාබද්ධයේ අයවැය වැඩමුළුවට සහභාගි වන ලෙස දැන්වීය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අයවැය තේ පැන් සංග්‍රහයේදීත් සිටියේ මහත් සතුටිනි. ඔවුන් මංගල අමාත්‍යවරයාට සුබපැතුම් එක් කරනු පෙනිණි. අගමැති රනිල් මහින්ද, කතානායක ආදීන් සමඟ සුහද කතාබහක නිරත විය. &කෝ ඕගොල්ලො මගේ දිස්ත්‍රික්කෙ වැසිකිළි ගණනත් වැරැද්දුවනේ” යැයි තේ පානය අතරතුර මහින්ද රනිල්ට කීය. රනිල් අයවැයේ යහපත් අංශ ගැන මහින්දට විස්තර කළේය. සුමන්තිරන් හා සම්පන්දන් මන්ත්‍රීන් දෙදෙනාට අයවැය ගැන බොහෝ ප්‍රශ්න තිබිණි. මංගල අමාත්‍යවරයාට සමීපව ඒ අය මංගලගෙන් උතුරු නැගෙනහිර සංවර්ධනය සම්බන්ධයෙන් නිශ්චිත මුල්‍ය ප්‍රතිපාදන ගැන විමසූහ.

අඟහරැවාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ එ.ජා.ප. මන්ත්‍රීන් වෙනුවෙන් ඉස්තරම් භෝජන සංග්‍රහයක් සමඟ කණ්ඩායම් රුස්වීම කැඳවා තිබිණි. අගමැති රනිල් එහි මුලසුන දැරීය. මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය සමරතුංග අයවැය ගැන මූලික විග්‍රහයක් ඉදිරිපත් කළේය. අනතුරුව අමාත්‍ය මංගල සමරවීරද කතා කළේය. මංගල අයවැයේ වාසිදායක පැත්ත පෙන්වා දුන්නේ සතුටිනි.

මෙම රැස්වීමේදී ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරන්නට කතා කළ මන්ත්‍රීන් බොහොමයක් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු දක්නට ලැබිණි. එහෙත් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන දිගටම විරෝධය පළ කළ රංගේබණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව මෛත්‍රී ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයට ඡන්දය දිය නොහැකි බවය. චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරිය කීවේ තමන්ටත් මේ ගැන තීරණයක් ගන්නට සිදුවන වගය. මෙරට 52%ක් වන සමස්ත කාන්තා ජනගහණයට ප්‍රමාණවත් මුදලක් අයවැයෙන් ලබා නොදේ නම් තමන්ද තීරණයක් ගන්නා බව ඇය කීවාය. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුව පසුපෙළ සාමාන්‍ය මන්ත්‍රීන්ට සලකන්නේ නැතිනම් තම කණ්ඩායමටද ඒ ගැන සිතන්නට වන බවය. වතුකර මන්ත්‍රී වේලුකුමාර් නැගී සිට වතුකර ජනතාව අපේක්ෂා කළ දේ අයවැයෙන් ලැබී නැතැයි දොස් නගන්නට විය.

එවිට මුදල් අමාත්‍ය මංගල කීවේ &මන්ත්‍රීතුමා අයවැය ඉදිරිපත් කරල තවම පැය දෙකයි. ඒ පැය දෙක ඇතුළත සමාජ මාධ්‍ය (ඉන්ටර්නෙට් වෙබ්අඩවි) වලින් අයවැයට බොහෝ යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි කියායි. එවිට වේලුකුමාර් මන්ත්‍රීවරයා පැවසු &ඔබතුමාට එහෙම ලැබෙනව ඇති. අපටත් ඒ වගේම හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනව.” කියාය.

එවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී මරික්කාර්ට කීවේ &මේ අයවැය මාර්කට් කරන හැටි ගැන අදහස් ඉදිරිපත් කරන්න” කියායි. එවිට මරික්කාර් මන්ත්‍රීවරයා කීවේ මෙම අයවැය ප්‍රගතිශීලී අයවැයකටත් වඩා දේශප්‍රේමී අයවැයක් කියායි. ජනතාවට අයවැයෙන් ලබාදුන් සහන එකින් එක ගෙන ඔහු විස්තර කළේය. රාජිත සේනාරත්න, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ ආදී මන්ත්‍රීහුද අයවැය අගය කරමින් කරුණු දැක්වූහ.

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛව ජ.වි.පෙ. නියෝජිතයන් හා මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා අතර හමුව ගිය බදාදා සවස 4.00ට විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවට හේතු වූයේ ජ.වි.පෙ. මැතිසබයට ඉදිරිපත් කර තිබෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට) මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ සහාය ලබාගැනීමයි. මහින්ද, දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුද මහින්ද සමඟ සාකච්ඡාවට එක් වූහ. අනුර කුමාර දිසානායක ජ.වි.පෙ. නායකයාද, විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති යන මන්ත්‍රීවරුද ඊට එක් වූහ. සාකච්ඡාව ඉතා සුහද මට්ටමින් පැවති අතර ජ.වි.පෙ. නායකයා තමන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ හේතු සඳහන් කර එය ඕනෑම ආකාරයකට සංශෝධනය කරන්නට අවශ්‍ය නම් ඊට සහාය දෙන බවද පැවසීය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා කීවේ තම පක්ෂය ප්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසියට කැමැති බවයි. නමුත් එමගින් පාර්ලිමේන්තුවත් ජනාධිපති ධුරයත් සහමුලින්ම දුර්වල නොකළ යුතුය යන්න තම මතය බව පැවසීය. එවිට දිනේෂ් සහ ඩලස් ද කරුණු දක්වමින් පක්ෂයේ අදහස විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නේ නම් 13 වැනි සංශෝධනය හා වර්තමාන ඡන්ද ක්‍රමයද වෙනස් කළ යුතුය යන්න බව පැවසූහ. ජ.වි.පෙ. මැතිසබයට ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයට පූර්ණ වශයෙන් එකඟ නොවන නමුත් ඒ ගැන තම සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කරන්නේ යැයිද මෙහිදී විපක්ෂනායකවරයා සඳහන් කර තිබිණි.

අනතුරුව දෙපක්ෂය අතර සුහද කතාබහක්ද ඇති විය. 2005 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සහ තමන් අතර ඇතිකරගත් සුහදතාව ගැනද පැරුණි කතා සිහිපත් කළ රාජපක්ෂ මහතා සුහදව සාකච්ඡාව හමාර කළේ &මේ ගැන නැවතත් මුණගැසී කතා කරමු” කියමිනි. මහින්ද රාජපක්ෂ මහතා සිය ජ්‍යෙෂ්ඨයන් සමඟ ජ.වි.පෙ. සමඟ කතාබහ කළද ඒකාබද්ධයේ නායකයන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ තවත් නායකයන් ගණනාවක් විධායක ජනාධිපති ක්‍රමය රැකගත යුතුය යන මතය දැනටමත් සමාජගත කරමින් සිටිති.

ප්‍රධාන පක්ෂ සියල්ලම ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන තම දේශපාලන ක්‍රියාන්විතයන් දියත් කර තිබේ. ආණ්ඩු කරන එ.ජා.ප.ය වෙනුවෙන් දැනටත් ප්‍රකාශ වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. ඊට පෙර ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යම් යම් වෙනස්කම් කරනු ඇති බවත් එ.ජා.ප. ව්‍යවස්ථාවේ කිසියම් සංශෝධනයක් සිදුකරනු ඇති බවත් කියැවේ. ඒ අතර පසුගියදා තිරුපති ගිය අගමැතිවරයා සහ එම මහත්මිය විශේෂ &තුලාබාර” පූජාවකට සහභාගි වී දේවාශීර්වාදය ලබාගත්හ. සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය එ.ජා.ප.යේ අනාගත ජනාධිපති අපේක්ෂකයා වනු ඇතැයි කියැවුණද සජිත් ඊට සූදානමක් ඇති බවක් තවමත් නොපෙනේ. කරු ජයසූරිය මහතා අවසන් මොහොතේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇතැයි කියන පිරිසද සෑහෙන කණ්ඩායමකි. එහෙත් මේ කිසිදු නාමයෝජනාවක් ගැන තවමත් පක්ෂය විවෘතව සාකච්ඡා කරන්නේ නැත.

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල නොවන මට්ටමින් ගෝඨා තෝරාගෙන තිබේ. ගෝඨාගේ නම දැනට එහි විවේචනය කරන්නේ මන්ත්‍රී කුමාර් වෙල්ගම පමණි. මේ ගැන පක්ෂ නායකයන් අතර පොදු එකඟත්වයක් ඇතත් තවමත් රාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂ මහතා හැර සෙසු සාමාජිකයන්ගෙන් ඍජු පිළිතුරක් ලැබී නැතැයි සමහරු කියති. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා විපක්ෂනායක කාර්යාලයේදී ගෝඨාභය මුණගැසී සෑහෙන වේලා පෞද්ගලික සාකච්ඡාවක නිරත වී තිබිණ. එදිනම සන්ධ්‍යාවේ තමන්ගේ විජේරාම නිවෙසට පැමිණි පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂද මුණගැසී ඔහු සමඟ රාත්‍රී භෝජනය ගත් මහින්ද පවත්නා ප්‍රශ්න නිරාකරණය ගැන අදහස් හුවමාරැ කරගෙන තිබිණි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ප්‍රකාශ කිරීම ලබන සිංහල අවුරුද්දෙන් පසුව සිදුකළ යුතු යැයි තීන්දුවක් ගෙන තිබෙන බව දැනගන්නට ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා එතෙක් ඍජු දේශපාලන කටයුතුවලට සහභාගි නොවේ. මහනුවරදී සිකුරාදා පවත්වන්නට යෙදුණු ඒකාබද්ධ පොදු විරෝධතා රැලියට ගෝඨාට ඇරුයුම් නොකළ යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර තිබිණි. ඊට හේතුව ඔහු ඒ ගැන මඳක් කල් ඉල්ලා සිටීමයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය බදාදා මාධ්‍ය ප්‍රධානීන් මුණගැසුණේය. එහිදී රටේ පවත්නා තත්ත්වයන් ගැන මාධ්‍ය ප්‍රධානීන්ට කරුණු දැක්වූ ඔහු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ හා මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වූ අයට මරණ දඬුවම ක්‍රියාත්මක කරන දිනය පවා තීන්දු කර ඇතැයි පැවසීය. පසුගිය කාලයේ අල්ලාගත් මත්කුඩු කිලෝ 1000ක් පමණ ළඟදීම විනාශ කර දමන බව පැවසූ හෙතෙම එම සටන අඛණ්ඩව ගෙන යන වගද කීය. මේ වසර තුළ ජනාධිපතිවරණය ස්ථිර යැයි කී හෙතෙම නමුත් ආණ්ඩුවේ තිබෙන ප්‍රශ්න නිසා මහමැතිවරණයක් කලින් පැමිණීමට ඉඩ ඇති බවද අවධාරණය කළේය.

►ඉරුගල් බණ්ඩාර