2019 මාර්තු 02 වන සෙනසුරාදා

මහින්දටයි මටයි එකම වේදිකාවට නගින්න පුළුවන්ද?

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 474

• විධායකේ වෙනසට සුළු පක්ෂ විරෝධය

• රත්ගම දරුවාගේ රහස මහින්ද ජනපතිට කියයි

• රන්ජන්ගේ චෝදනාව කිරිඇල්ල කමිටුව විසිකරයි

• දෙපැත්තෙම ජනප්‍රිය අපේක්ෂකයෝ කපන්න විධායකේ ගලවන්න හදනව

• චන්ද්‍රිකා මහින්ද දස වසරකට පසු සුහද කතාවක

• දැනුම පදනම් ආර්ථිකයක් හදන්න රනිල් වෙහෙසෙයි

විධායක ජනාධිපති ධුරය අහෝසිකොට අගමැතිවරයාට බලය පැවරෙන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවක් පසුගිය සති අන්තයේ කරළියට පිවිසුණේය. එම යෝජනාව නිසා එක්තරා ආකාරයකට දේශපාලන ගින්නක් ඇවිලී ගිය බව කීමද වරදක් නොවේ. මේ යෝජනාව ගැන රනිල් හා මහින්ද අතර ද මහින්ද සහ මෛත්‍රී අතර ද අදහස් හුවමාරු වූ බව ආරංචි විය. ඒ හැර මහින්ද, අනුර දිසානායක සහ වතුකර නායකයන් අතර ද යම් අදහස් හුවමාරුවක් සිදුවූ බව කියැවිණි. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසිය ගැන පැතිරුණ ආරංචියට තටු ලැබිණි. එහෙත් මේ යෝජනාව ගැන පොහොට්ටුවේ නිල නොවන ජනාධිපති අපේක්ෂකත්වය ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිම ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙන්ම යෝෂිත රාජපක්ෂ මහතා ද යෝජනාව ගැන උනන්දු බව සමහරු කීහ. පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මේ ගැන කියන්නේ කුමක් ද යන්න ප්‍රසිද්ධ වුණේ නැත.

පසුගිය 22 සිකුරාදා සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එ.ජ.නි.ස. පොහොට්ටු සන්ධානය සම්බන්ධ සාකච්ඡාවේදී මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගන්නා බවට මාධ්‍ය වාර්තාද පළවිය. එහෙත් මෙම හමුවේ න්‍යාය පත්‍රය සැකසු උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට එවැන්නක් ගැන උපදෙස් ලැබී නොතිබූ බව කියැවිණි. එදින මහින්ද - මෛත්‍රි හමුවක් වෙනම පවත්වා මේ ගැන තවදුරටත් කතාබස් කෙරෙනු ඇතැයි පැවසුණ ද එයද සිදුවුණේ නැත. මහින්ද රාජපක්ෂ නායක හමුවට ආවේද ප්‍රමාද වෙලාය.

සතිඅන්ත පුවත්පත් මීට අදාළ මාධ්‍ය වාර්තා පළකළ විට කතන්දරය පුළුල් සංවාදයකට ලක්වන බව පෙනුණි. මහින්ද පිලේ සිටින විමල් වීරවංශ හා උදය ගම්මන්පිල පක්ෂ නායකයන් මේ ගැන මුලින්ම ප්‍රසිද්ධියේ විරෝධය පළකරන්නට වූහ. ඒ හැර මහින්ද සමඟ සිටින තවත් දැඩි මතධාරින් පිරිසක් තිරය පිටුපස සිට ඊට එකඟනොවන බව පැවසූහ. හොඳ දේශපාලන ඉවක් ඇති මහින්ද රාජපක්ෂ මහතාට ද මේ බව වාර්තා විය. විමල් උදය කීවේ “අප පක්ෂය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෙන්ම ඉන් පසුව ද විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් පෙනීසිට ජනවරම් ලබාගෙන ඇති බැවින් දැන් පදය වෙනස් කරන්නට බැරි බවය.” ඔවුන්ගේ විරෝධය ඉතාමත් ප්‍රබල ලෙස සටහන් කැරිණි.

ඒ අතරතුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික හමුවකට කැඳවීය. මහින්දගේ විජේරාම මැඳුරේදි ඉතාමත් පෞද්ගලිකව සිදුවූ මහින්ද ගෝඨා හමුවේදී මහින්ද කීවේ යම් හෙයකින් ප්‍රධාන පක්ෂවල එකඟතාව ඇතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් තමන්ට අගමැති සටනට තරග කරන්නට සිදුවනු ඇති බවය. එසේ වුවහොත් ගෝඨා තම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පදවියක් සඳහා පත්කළ හැකියැයි ද පැවසීය. අමෙරිකානු පුරවැසිකම ඉවත් කරගැනීමේ කටයුතු 99%ක්ම හමාර නිසා ඒ කටයුත්ත අවසන් කරගන්නා ලෙසත් ගෝඨාට කී මහින්ද තවමත් මේ කතාව පවතින්නේ යෝජනාවක් ලෙස පමණක් නිසා කලබල විය යුතු නැතැයි ද පැවසීය. එවිට ගෝඨා මහින්දට කියා තිබුණේ තමන්ට ඒ ගැන අමුතු අදහසක් නැති බවයි. තමන්ට සාධාරණය ඉටුවිය යුතුය යන්න ගෝඨාගේ අදහස විය.

මේ හුටපට අතර මෛත්‍රිපාල ජනාධිපතිවරයා සමඟ සබඳතා ඇති එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෛත්‍රී මුණගැසී මේ ගැන ජනපතිවරයාගේ ද අදහස් විමසා තිබිණි. එම නිලනොවන සාකච්ඡාවේදී මෛත්‍රී ප්‍රශ්න කර තිබුණේ දැන් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ නම් තමන්ට සිදුවන්නේ කුමක් ද කියායි. එවිට සාකච්ඡාවේ සිටි එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් කීවේ “ඔබතුමාගෙ කැමැත්ත අනුව අපට පාර්ලිමේන්තුවෙන් ඔබව ජනාධිපති ධුරයට පත්කරන්න පුළුවනි.” කියායි. එහිදී ජනාධිපතිවරයා නැවතත් ප්‍රශ්නයක් මතුකරමින් විමසුවේ “ඒකට ජනමත විමසුමකට යන්න ඕන නේද?” යන පැනයයි. “ඔව්... ඔව්... ව්‍යවස්ථාවෙ මේ වගේ වෙනසක් කරනව නම් ජනමතයකට යන්න කියලා අනිවාර්යයෙන්ම සුප්‍රිම් උසාවිය කියාවී...” එ.ජා.ප. ලොක්කෝ කීහ. “එහෙම යනව නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් නැවතත් මම පාර්ලිමේන්තුවෙන් ජනාධිපති ධුරයට පත්කරන්නත් ජනමත විමසුමේදී අනුමැතිය ගන්න ඕනෑ...” ජනාධිපතිවරයා සිය තීන්දුව දුන්නේ එසේය. අනතුරුව ඒ ගැන එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් සමඟ කතා කරන බව කියන පක්ෂ ලොක්කෝ පිටව ගියහ.

මීගමුවේ නව සංවිධායක ලෙස පත්වූ කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා සිය නව පත්වීම නිමිත්තෙන් සිය හිතවතුන් වෙනුවෙන් සාදයක් සූදානම් කර තිබිණි. අගමැති රනිල්, රවි, අකිල, සාගල වැනි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ඒ සාදය සඳහා ඇරුයුම් ලබා සිටියහ. එම සාදයේදී කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාව වූයේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසිය ගැන වන යෝජනාවයි.

අගමැති රනිල් මේ ප්‍රශ්නය මතුවූ විට කියා සිටියේ තමන් සැමදාම සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය වන මතයේ බවය. දැන් ඒ අදහසට ජනාධිපති මෛත්‍රීපාල මහතා මෙන්ම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් එකතුවී සිටින වගයි. එහිදී පැමිණ සිටි පිරිස ජනමත විචාරණයකට ගොස් මෙම යෝජනාව අනුමත කරගන්නට සිදුවන බවද පෙන්වා දුන්හ. එවිට රනිල් කීවේ “කොහොම හරි වැඩේ කෙරෙන්න තීන්දු වුණොත් මටයි මහින්දටයි දෙන්නටම එකම වේදිකාවක ඉඳන් මේ ගැන කතා කරන්න වේවි. ඒ නිසා ඔය යෝජනාව ලේසියෙන් කෙරෙන එකක් නැහැ... ” කියාය.

රනිල්ලා එසේ කතා කරද්දී පොහොට්ටුව පක්ෂය වෙනුවෙන් ප්‍රකාශයක් කළ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන කීවේ තමන්ලා ද මෙම යෝජනාව අනුමත නොකරන බවයි. එසේම මහින්ද හිතවාදීන්ගේ තවත් සොයාගැනීමක් වූයේ යම් හෙයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරෙන යෝජනාවක් සම්මත කර ගතහොත් එවිට ආසන ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතු නිසා නැවත සීමානිර්ණයක් සිදුකර එම යෝජනාවද මැතිසබය අනුමත කළයුතු වගයි. එලෙස කරන්නට ගියහොත් පළාත් සභා ඡන්දයේදී තමන් සීමානිර්ණය දිගින් දිගටම ඇදගෙන ගොස් 2020 මහ මැතිවරණය 2025 දක්වා කල්දැමීමට එ.ජා.ප.ය උපාය මාර්ග අනුගමනය කරනු ඇති වගයි. එබැවින් දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පිළිගැනීම අවාසි බව ඒකාබද්ධයේ සෑහෙන පිරිසකගේ අදහස වී තිබිණි. මේ අර්බුදකාරි තත්ත්වය නිසා කලකට පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගන්නට තිබූ අවස්ථාව ගිලිහී ගියේය. ඒ ගැන කදිම විග්‍රහයක් කර තිබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ය. ප්‍රධාන පක්ෂ දෙකේම නායකයන් තම තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් මුදුන්පත් කරගැනීම සඳහා ජනප්‍රිය අපේක්ෂකයන් ඉවත්කරන්නට මේ යෝජනාව හදිසියේ කරළියට ගෙන ආ බවයි. එහි අරමුණ හොඳ නැති නිසා වැඩේ සිදුවන්නේ නැත යන්න රවුෆ් සිය මැතිසබා හිතවතුන් සමඟ සඳහන් කර තිබිණි. රවුෆ් හකීම් ඍජුවම මෙම යෝජනාවට විරුද්ධ බව පැවසීය. මනෝ ගනේෂන්, දිගම්බරම්, විමල්වීරවංශ, උදයගම්මන්පිල පමණක් නොව ආණ්ඩුවේ ප්‍රබලයකු වන චම්පික රණවකද විධායක ජනාධිපති ක්‍රමය අහෝසියට විරෝධය දැක්වූ බවද මෙහිදී කිවයුතුය.

පසුගිය සතියේ ද මත්ද්‍රව්‍ය වැටලීම් කිහිපයක් සිදුවිය. මෙරට දී හමුවූ විශාලම කොකේන් තොගය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එය බලන්නට ගොස් වැටලීම කළ නිලධරයන්ට ස්තූතිය පළකළේය. ඔහු මත්විරෝධී සටනේ ප්‍රබල භූමිකාවක් නියෝජනය කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරද සඳහන් කළේ ජනාධිපතිතුමා ආරක්ෂක හා පොලිසිය භාර ඇමැති ලෙස ලබාදෙන ධෛර්ය මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ යන්නට හේතුවූ බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මේ ගැන මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කර තිබිණි. ඔහු සඳහන් කළේ මත්ද්‍රව්‍ය වැටලීම් මේ තරම් ඉහළ ගියේ වත්මන් රජය 2015 දී සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසාය කියායි. ස්වාධීන කොමිසමක් සටනට පොලිසිය පත්කළ බැවින් එම කටයුතු සාර්ථක වූ වග අගමැතිවරයා වැඩිදුරටත් කීය. එහෙත් දැන් ඇතැමුන් 19 වැනි සංශෝධනය අඩපණ කරන්නට එයට පහර ගසන්නේ යැයිද ඔහු වැඩිදුරටත් කීය.

රත්ගමදී පසුගියදා අතුරුදන් වූ අසේල මංජුල හා රසීන් චින්තක යන දෙදෙනාගේ අතුරුදන්වීම ගැන කරුණු වීමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගේ නිවෙස්වලට ගියේ පසුගිය සඳුදාය. මහින්ද සමඟ රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි, මොහාන් ද සිල්වා යන මන්ත්‍රිවරුද වූහ. අතුරුදන්වූවන්ගේ නිවෙස්වලදී මියගිය දෙදෙනාගේ ඥාතී හිතමිත්‍රාදීන් මහින්දගෙන් ඉල්ලා සිටියේ තම ඥාතීන් සොයාදෙන ලෙසය. මෙම වරදට මුල්වූ අයට නීතියෙන් දඬුවම් ලබාදීමට මැදිහත් වන්නැයිද මහින්දගෙන් ඒ අය ඉල්ලා සිටියහ. මෙලෙස අතුරුදන් වූ එක් තරුණයකුගේ කුඩා පුතු මහින්ද රාජපක්ෂ මහතා ළඟට පැමිණ ඔහුට රහසක් පවසන්නට තිබෙන බව කීය. මහින්ද ඒ දරුවා ළඟට ගෙන හිස පහත්කර ඒ කාරණාව කුමක්දැයි විමසීය. මහින්දගේ බෙල්ල බදාගත් දරුවා රහසින් ඔහුට කීවේ “දැන් පොලිසිය තියෙන්නෙත් ජනාධිපතිතුමා යටතෙලු නේද? ඒ හින්දා අන්කල් ජනාධිපතිතුමාට අපි ගැන කියලා අපේ තාත්තා හොයලා දෙන්න.” යනුවෙනි. කාරැණිකව දරුවාගේ හිස අතගෑ මහින්ද රාජපක්ෂ මහතා තමන් එම පණිවුඩය ජනාධිපතිතුමාට දන්වන බවට ප්‍රතිඥාවක් දුනි. එම ප්‍රතිඥාව ඉටුකරමින් මහින්ද පසුදාම මේ දරුවාගේ ඉල්ලීම ජනපතිට දැන්වීය. කඩිනම් පියවරක් ගන්නා බව ජනපති එහිදී මහින්දට කීය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙවර එතරම් අර්බුදකාරි යෝජනා සැලකිල්ලට ගත් බවත් වාර්තා වූයේ නැත. පාසල් සිසුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා කළ යෝජනාව මුලදී සාකච්ඡාවට ගැනිණි. මේ යෝජනාව ගැන එය සාකච්ඡාවට පෙර විපක්ෂයේ මන්ත්‍රින් ගණනාවක් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබුණේ මෙහි ටෙන්ඩර පටිපාටියේ ප්‍රශ්නයක් හා යෝජිත ටැබ්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් ඇති බව කියමිනි. ජනාධිපතිවරයා මුලසිටම කියා තිබුණේ ටැබ් පරිගණක ලබාදීමට පෙර පාසල්වල ජල සැපයුම, ඩෙක්ස් පුටු, වැසිකිළි ආදී අවශ්‍යතා ඉටුකිරීම ප්‍රයෝජනවත් බවය. කෙසේ හෝ ටැබ් යෝජනාව ඉදිරිපත් වූ පසු ජනාධිපතිවරයා මෙම පරිගණක ලබාදීමට තෝරාගත් පාසල් සීමාකොට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්නට යෝජනා කළ අතර ඒ ගැන කැබිනට්ටුවට කරුණු දැන්වීමට අමාත්‍ය අනුකමිටුවක් ද පත්කළේය. එෆ්.සී.අයි.ඩී. නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාරගේ සේවා දිගුව අවසන් කිරීමට ද කැබිනට්ටුව තින්දු කළේය.

එ.ජා.ප.යේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය බදාදා රැස්විය. එහිදී වැඩිපුරම සාකච්ඡා වූයේ රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කුඩු ගසන්නන් මැතිසබයේ සිටිනවා යන චෝදනාවට අදාළ කතාවය. මේ ගැන මැති ඇමැතිවරු ගණනාවක් රන්ජන්ට චෝදනා මුඛයෙන් කතා කළෝය. එවිට රන්ජන් කියා තිබුණේ තමන් මෙයින් එ.ජා.ප. මැති ඇමැතින්ට කිසිදු චෝදනාවක් නොකළ වගය. එහෙත් ඔහු මුලින්ම කීවේ ආණ්ඩුවේ හා විපක්ෂයේ මෙයට සම්බන්ධ මැතිඇමැතින් 25ක් පමණ සිටිනවා කියාය. ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය ගණනාවකට ද ප්‍රකාශ ලබාදී තිබිණි. නමුත් මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රන්ජන් කීවේ කුඩු ගසන්නන් සිටින්නේ විපක්ෂයේ බවත් ඔවුන්ගේ නම්ගම්ද හෙළිකළ හැකි බවත්ය. රන්ජන් මෙලෙස තමන්ගේ පදය වෙනස් කර අදාළ චෝදනාව පක්ෂය පැත්තට හැරවිය. එහෙත් ඉන්පසු මාධ්‍ය හමුවක් තැබූ රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා රන්ජන්ගේ කතාව තරයේම විවේචනය කළේය. එ.ජා.ප. නායකයා විසින් පත්කළ ලක්ෂමන් කිරිඇල්ල කමිටුවද මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රින් හා එහි දූෂණ විරෝධි හඬ සංවිධානය පසුගිය බදාදා ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණය කළේ මහබැංකු බැඳුම්කර වංචාවට වසර 4ක් පිරීම නිමිත්තෙනි මහ බැංකු බැඳුම්කර වංචනිකයන්ට දඬුවම් දෙනු යන්න ඔවුන්ගේ උද්ඝෝෂණයේ තේමාව විය. කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙන්ම දූෂණ විරෝධි හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ මහතාද තවත් සෑහෙන සිවිල් සංවිධානය ක්‍රියාකාරීන් පිරිසක් ද ඊට එක්වූහ. මෙහිදී උද්ඝෝෂකයන් ඉල්ලාසිටියේ බැඳුම්කර කොමිෂන් සභාවෙන් අනාවරණය වූ කරැණ පදනම් කරගෙන බැඳුම්කර වංචනිකයන්ට වහා දඬුවම් ලබාදෙන ලෙසයි. බැඳුම්කර වංචාව සිදුවී වසර 4ක් ගතවී ඇතත් වත්මන් යහපාලන ආණ්ඩුවට ඒ ගැන පියවරක් ගතනොහැකි වි ඇතැයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා කීය. එදිනම පැවති විගණන සේවා උත්සවයකදී මේ ගැන අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේ වත්මන් රජය යටතේ නම් බැඳුම්කර හොරුන්ට දඬුවම් ලැබෙනු ඇතැයි තමන් නොසිතන බවය. මේ මහ වංචාවට සම්බන්ධ අයට දඬුවම් ලැබෙන්නෙත් වෙනත් රජයක් යටතේ යැයිද ඔහු කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල රටේ නව සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විවෘත කිරීමට සහභාගී විය. උස්සාපිටිය මහාවිද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත්කළ අගමැතිවරයා මේ රටේ අනාගතය රැඳී ඇත්තේ දැනුම පදනම් කරගත් ආර්ථිකයකැයි සඳහන් කර තිබිණි. ආණ්ඩුවක් ලෙස මෙම රජය අධ්‍යාපනයට මුල් තැනදී ක්‍රියාකරන්නේ යැයි කී රනිල් වික්‍රමසිංහ මහතා රටේ ශ්‍රමය පදනම් කරගත් ආර්ථිකය දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බවට පත් කරමු යැයිද කීය.

දැන් දේශපාලන කටයුතුවලට අවතීර්ණව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විද්වතුන් පිරිසක් සමඟ මේ දිනවල ජාතික සංවර්ධන සැලසුමක් හා නව ආර්ථික හා සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සම්පාදනය කරමින් සිටී. මෙරට ඉහළම පෙළේ ව්‍යාපාරිකයන් සංවර්ධන විශේෂඥයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා තෝරාගත් පොදුජන සංවිධාන ගණනාවක් නියෝජනය කරන සාමාන්‍ය ජනකොටස් ද මේ සඳහා සහභාගී කරගෙන ඇත. ඒ අතරතුර සතිපතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රින් කණ්ඩායම් වශයෙන් තම නිවසට කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කිරිම ද ආරම්භ කර තිබේ. මැති ඇමැතින්ගේ අදහස් උදහස් ද ප්‍රතිපත්ති සම්පාදනයට ලබාගනී. මෙසේ පැමිණෙන මන්ත්‍රින් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහ පැවැත්වීමද සිදුකර ඇත.

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාත් දේශපාලන දිවියට වසර 40ක් පිරීමත් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30 සම්පූර්ණ වීමත් නිමිත්තෙන් බණ්ඩාරනායක සමරුහලේ විශේෂ උත්සව දෙකක් පැවැත්විණි. ජනාධිපති මෛත්‍රි අගමැති රනිල් විපක්ෂ නායක මහින්ද කතානායක කරු හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා ඇතුළු ප්‍රභූන් රැසක් මෙම උත්සවවලට එක්වූහ. මෙම උත්සව දෙකම ඉතාමත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබිණි. මංගලගේ උත්සවයේ විශේෂ දේශනය සඳහා පැමිණ සිටියේ අමෙරිකාවේ හිටපු එ.ජා. තානාපතිනි සමන්තා පවර් මහත්මියයි. උත්සවයේ ඉතාමත් විශේෂයක් වූයේ වසර දහයක් පමණ තිස්සේ හිටපු ජනපති මහින්දගේ මුහුණවත් නොබැලූ ඔහු තරයේම විවේචනය කළ හිටපු ජනපතිනී චන්ද්‍රිකා මහින්ද සමඟ සිනාසී කතාකිරීමය. මහින්ද උත්සව සභාව මැදදී හදිසි අවමංගල්‍යයක් සඳහා පිටත්ව යනවිට ඔහු සමඟ සිනාසුණ චන්ද්‍රිකා මැතිණිය අසලට ගිය මහින්ද “ජයලත්ගෙ මළගෙදරට යන්න ඕන ගිහිල්ලා එන්නම්...” කියා පිටත්ව ගියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පක්ෂ නායකයනුත් ගිය බ්‍රහස්පතින්දා සවස ජනාධිපති කාර්යාලයේදී මුණගැසුණා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සහ බලය බෙදීම ගැන කෙරෙන සාකච්ඡාවටයි. රනිල්, කිරිඇල්ල, රාජිත, රිෂාඩ්, රවුෆ්, මනෝ, දිගම්බරම්, සම්පන්දන් හා සුමන්තිරන්, නිමල් සිරිපාල, ඩිලාන් පෙරේරා යන පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ මෙම කතාබහට එකතු වූහ. ඔවුන් බලය බෙදීම ශක්තිමත් කිරීම සඳහා පොදු එකඟතාවකට පැමිණියහ. ඒ අතර විධායක ජනාධිපති ක්‍රමය හා මැතිවරණ ක්‍රම සංශෝධනය ගැන ද සාකච්ඡා කෙරිණි. එහෙත් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් කළ හැකි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම කතාබහට එක් නොවීම නිසා මෙම කතාබහ ප්‍රායෝගිත තත්ත්වයකට ගෙන ඒම පහසු නැත.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර