2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

ඔබ රනිල් හමුවුණාද? ගෝඨාභය බැසිල්ගෙන් විමසයි!

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 562

• කුඩු ලැයිස්තුව මට ලැබුණේ නැ
• රන්ජන් ආණ්ඩුව කුඩේ කුඩු කළා.
• ජාතික ආණ්ඩු යෝජනාව ගේන්න තවම උපදෙස් ලැබිලා නැහැ.
• රටේ ප්‍රධාන ප්‍රශ්නය මීළඟ ජනපති කව්ද? අගමැති කව්ද යන්න නොවේ.
• විපක්ෂනායක කාර්යාලයේ රැස්වීමට අමුත්තෙක් ඇවිත්.
• නායකයන් වන්දනා කොට රටක් හදන්න බැහැ.

රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා මුල්වරට හෙළිදරව් කළ පාර්ලිමේන්තුවේ කුඩු කතාව පැතිරීයන්නේ සැල්වීනියාවලටත් වඩා වේගයෙනි. ඔහු මුලින් සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ කුඩු ගසන ඇමැතිවරුන් ගණනාවක් සිටින බව තමන් දන්නා වගයි. ඒ ගැන පාර්ලිමේන්තුවේත් ඉන් බැහැරත් නොයෙක් මත වාද හා වාද විවාද සිදුවන්නට පටන්ගත්තේය. මේ වාද විවාද මධ්‍යයේ ගිය සඳුදා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ රන්ජන් විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් 24 දෙනෙක් මැතිසබයේ සිටින වගය. ඔවුන්ගේ නාමලේඛනය තමන් කතානායකවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් භාරදුන් බව හෙතෙම සඳහන් කළේය. අඟහරුවාදා පෝය නිවාඩු දිනයක් වූවත් මාධ්‍ය ඒ ගැන කතානායක වරයාගෙන් විමසන්නට වූ අතර කතානායකවරයා ප්‍රකාශ කළේ ඒ වනතෙක් තමන්ට එවන් ලැයිස්තුවක් ලිඛිතව නොලැබුණ වගය.

කෙසේ හෝ රාජ්‍ය ඇමැති රන්ජන් කීවේ වතු කම්කරුවන් නියෝජනයක් කරන පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක සිටින කෙනෙක් මේ කොකේන් භාවිතා කරන්නන් අතර සිටිනවා යනුවෙනි. එදිනම මේ ගැන අදහස් දැක්වූ කැබිනට් අමාත්‍ය මනෝගනේෂන් කවුරුන් හෝ කුඩු භාවිතා කරන්නේ නම් නොපමාව ඒ ගැන හෙළිදරව් කළ යුතු බව පැවසීය. තමන් නම් මෙබඳු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැතැයි ඇමැතිවරයා කීය. මෙයට පෙර තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් මැතිසබයේ කුඩු භාවිතා කරන්නන් අතර සිටින බව රන්ජන් රාමනායක හෙළිදරව් කර තිබිණි. එසේම ආණ්ඩුවේ මැති ඇමැතින් යන යන තැනදි මාධ්‍ය මේ කුඩු ඇමැතිවරුන් ගැන විමසන්නට විය. පී.හැරිසන්, ගයන්ත කරුණාතිලක, චන්ද්‍රානි බණ්ඩාර ආදී ඇමැතින් ද තමන්ගේ නම් කුඩු ප්‍රශ්නයට අදාළ නැතැයි ප්‍රසිද්ධියේම කීහ.

දෙවනුව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ කතාවට තවත් ඌණ පූර්ණයක් එක්කරමින් සඳහන් කළේ තමන් කී මැති ඇමැතින් අතර දැන්සිටින ඇමැතින් මෙන්ම හිටපු ඇමැතින් ද වන බවය. සමහරු පාර්ලිමේන්තු රථ ගාලේ ද කුඩු උරණ බවට සාක්කි ඇතැයි රන්ජන් කීය. කෙසේ හෝ ගිය අඟහරුවාදා (පෝදා) දහවල් රන්ජන් රාමනායක කතානායක කරු ජයසූරිය මහතා දුරකතනයෙන් අමතා මේ කුඩු කතාව ගැන තොරතුරු ඉදිරිපත් කරන්නට සැරසෙද්දී කතානායකවරයා රන්ජන්ට කීවේ මේ ගැන තිබෙන තොරතුරු තමන්ට ලිඛිතව දන්වන හැටියටයි.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද තංගල්ලේ උත්සව ගණනාවකට සහභාගී වන්නට ගිය ගමනේදී ඔහු සමඟ සිටි විපක්ෂ මන්ත්‍රීන් ගණනාවක් කුඩුකතාව ගැන මහින්දගේ මතය විමසීය. ඊට පිළිතුරු දුන් මහින්ද කීවේ “මම දන්නෙ නැහැ පාර්ලිමේන්තුවෙ ඉන්න කුඩු ගහන උදවිය ගැන හැබැයි රන්ජන්ගේ මේ කුඩු කතාව නිසා ආණ්ඩුව කුඩේ කුඩු වුණා යැයි" කීය. ඒ අතර රන්ජිත් සොයිසා මන්ත්‍රීවරයා පැවසුවේ රන්ජන් කියන දේ සනාථ කරගැනීමට කැබිනට් ඇමැතිලාගේ ලේ පරීක්ෂණ වාර්තා ගැනීම හොඳ බවය.

කෙසේ හෝ සමහරු ඉතාමත් බැරෑරුම්වත් සමහරු විහිළුවටත් ගෙන ඇති මේ කුඩු කතාව නිසා මාකදුරේ මධූෂ්ගේ මාතෘකාව තරමක් යටපත් විය. සතියේ කැබිනට් මණ්ඩල හමුව පැවැත්වෙන අඟහරුවාදා පෝය නිවාඩුව නිසා මෙවර කැබිනට් රැස්වීම ද පැවැත්වුණේම නැත. ඒ අතර පසුගියදා හිටපු අමාත්‍ය සහ සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මාධ්‍යයට කියා තිබුණේ තමන්ගේ විශේෂ ඉදිරි දේශපාලන පිම්මක් ගැන අඟහරුවාදා හෙළිදරව් කරන බවයි. එහෙත් ඒ ගැනද යමක් වාර්තා වූයේ නැත. මහින්ද අමරවීර මහතා අඟහරුවාදා දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද දුරකතන ඇමතුමක් දුන්නේය. එහෙත් ඔහු ඒ ඇමතුම දුන්නේ තමන්ගේ දේශපාලන පිම්මක් ගැන කතාවට නොව පසුදා පාර්ලිමේන්තුවේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන පැවැත්වෙන විශේෂ පක්ෂ නායක හමුවට එන ලෙස රාජපක්ෂ මහතාට ආරාධනා කරන්නටයි.

ඒ පුවත් අතර මහින්දගේ පිම්ම ගැන සමාජ ජාලා මාධ්‍ය විවිධ වූ අනාවැකි පළ කරන්නට විය. ඔහු ළඟදීම එ.ජා.ප.යට යනු ඇතැයි පිරිසක් සඳහන් කළහ. එසේම අමරවීර මහතා ශ්‍රී.ල.නි.ප. මහලේකම් පදවියට පත්කෙරෙනු ඇතැයි තවත් සමහරු කීහ. දැනට වැඩ බලන මහලේකම් ධුරය දරන දයාසිරි ජයසේකර මහතාගේ රෝගී තත්ත්වය නිසා මේ පත්වීම කරනු ඇතැයි පැවසුණි. නමුත් මේ කිසිදු ආරංචියක් තහවුරැ කර නැත.

එ.ජා.ප.ය විසින් ගෙනඑන ලද ජාතික ආණ්ඩු කතාව යටපත්වී තිබේ. මේ සතියේ පාර්ලිමේන්තු වාරයේදී ද ජාතික ආණ්ඩු යෝජනාව විවාදයට ගන්නා ලෙස අගමැතිතුමා තමන්ට උපදෙස් දී නැතැයි සභානායක ලක්ෂමන් කිරිඇල්ල මාධ්‍යයට කීය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂම මේ යෝජනාවට සහාය නොදීම නිසා යෝජනාව යටපත් වූ බව සඳහන්ය. මේ නිසා කැබිනට් ඇමැති ධුර රාජ්‍ය ඇමැති ධුර අපෙක්ෂා කළ අයගේ අපේක්ෂා ඉටුවන බවක් පෙනෙන්නට නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තයේ උතුරු පළාතේ සංචාරයක නිරත විය. එහි විවෘත කිරීම් කිහිපයකට එක්වූ අගමැතිවරයා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ප්‍රදේශයේ නිලධාරින් ඇමතීය. උතුරේ සහ දකුණේ සමබර සංවර්ධනයක් ඇතිකිරීම රජයේ අරමුණ බව අගමැතිවරයා මෙහිදී කීය. උතුර දකුණු පළාතේ කුස්සියක් කරන්නට ඉඩනොදෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා ඉදිරි වසර පහේදී උතුරට විශාල සංවර්ධන ප්‍රතිලාභ අත්පත්කර දීම තම රජයේ අරමුණ බව කීය.

මහජන එක්සත් පෙරමුණේ 23 වැනි ජාතික සමුළුව පසුගිය සති අන්තයේ කොළඹ නගර ශාලාවේදී පැවැත්විණි. පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇරැයුමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ තිස්ස විතාරණ, ඩග්ලස් දේවානන්ද ආදී පක්ෂ නායකයන් රැසක්ම මෙම උත්සවයට එක්වූහ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රී මේ දිනවල බොහෝ දෙනා කතාකරන ජනාධිපති අපේක්ෂකත්වය ගැන සිය අදහස දැක්වීය. ජනාධිපතිවරයා ඒ ගැන කතා කරමින් පැවසුවේ රටේ තිබෙන ප්‍රධානම දේශපාලන ප්‍රශ්නය මීළඟ ජනාධිපති කවුද අගමැති කවුද යන්න නොව මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද යන්න බව අවධාරණය කළේය. අලුත් ආණ්ඩුවකට සුදුසු දේශප්‍රේමී බලවේග එකතු වී පුළුල් ජාතික සන්ධානයක් හැදිය යුතු යැයි ජනාධිපතිවරයා පැවසීය. “මේ වසර මැතිවරණ වසරක් වසර තුළ අලුත් ආණ්ඩුවක් හැදෙන එක රහසක් නොවේ. ඒ අලුත් ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික බලවේගයකට භාරදෙනවා ද නැත්ද කියා ජනතාව තීන්දු කළ යුතුයි. රටට ආදරය කරන දේශප්‍රේමීන් එක්ව නව ජාතික බලවේගයක් සෑදීම කාලීන අවශ්‍යතාවක්.." ජනාධිපතිවරයා අවධාරණයෙන් සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වමින් උතුරේ යුද්ධය හමාරකොට වසර 10ක් ගතවී ඇතත් තවම යුද අපරාධ චෝදනා එ.ජා.ප. නායකයන් විසින් ආරක්ෂක අංශවලට එල්ලකරන වග ප්‍රකාශ කළේය. එ.ජා.ප.ය. සමඟ දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ද ඊට උල්පන්දම් දෙන්නේ යැයි මහින්ද කීය. එහෙත් තමන් අදත් අවධාරණය කරන්නේ ත්‍රස්තවාදය හමාරකළ ඒ බිහිසුණු සමයේ ද හමුදාව යුද අපරාධ සිදුනොකළ බව යැයි හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර රහස් හමුවක් පැවති බවට පසුගිය සතියේ ආරංචියක් පැතිර ගියේය. බැසිල් පසුගිය දිනක රහසිගතව කොළඹ 5 වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට යාබද නිවසේදී (රනිල්ගේ සොහොයුරු චන්න වික්‍රමසිංහගේ නිවසේදී) මෙම හමුව සිදුවූ බව සඳහන් විය. ඉදිරි ජනාධිපතිවරණය ගැනත් එහි අපෙක්ෂකත්වය ගැනත් රනිල් හා බැසිල් තීරණාත්මක සාකච්ඡාවක නිරත වූ බව මේ ගැන ප්‍රචාරය වූ දූෂමාණ ආරංචිවලින් කියැවිණි. මේ ගැන කට කතා පැතිරෙද්දී බැසිල්ගෙන් මේ සම්බන්ධව නොයෙක් දෙනා ප්‍රශ්න කළහ. බැසිල් සිය පොහොට්ටු සගයන්ට කරුණු පැහැදිලි කරමින් කීවේ. “ඕගොල්ලො හිතනවද මම කවදාවත් ඔය විදියේ වැඩක් කරාවි කියලා... මට රනිල් හම්බුවෙන්න ඕන නම් කාටවත් නොදැනෙන්න ඒ වැඩේ කරන්න ඕන විදියත් මම දන්නවා. යැයි" සඳහන් කළේය. අන්තිමේදී මේ ගැන බැසිල්ගෙන් කරුණු විමසුවේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල නොවන ආකාරයට නම් කර සිටින ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාය. බැසිල් ගෝඨාට කීවේ මේ කතාව අමූලික බොරුවක් බවත් තමන් සෑහෙන කාලයකින් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී නැති බවත්ය. එසේ ඔහු මුණගැසීමට අපේක්ෂාවක් ද නැතැයි බැසිල් වැඩිදුරටත් කීය.

ඉදිරි මැයි දිනය සැලසුම් කිරීම සඳහා විපක්ෂනායක කාර්යාලයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන්ගේ රැස්වීමක් කැඳවා තිබිණි. ඒ සඳහා ප්‍රථම වරට විශේෂ අමුත්තන් දෙදෙනෙක් පැමිණ සිටියහ. ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එ.ජ.නි.ස මහ ලේකම් මහින්ද මහතාය. අමරවීර මහතා එදින විපක්ෂනායක කාර්යාලයේ ඔහු වෙනුවෙන් වෙන් කර තිබෙන කාර්යාලයේ කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා පැමිණ සිටින විට මැයි දින රැස්වීමට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගොස් ඔහු ද මැයි දින ජනහමු සංවිධාන රැස්වීමට කැඳවා ගත්තේය. ගෝඨාභයට ඇරුයුම් කොට තිබුණේ ද නාමල්ය. රැස්වීම පැවැත්වුණේ ගාමිණී ලොකුගේ හිටපු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ජොන්ස්ටන් ප්‍රනාන්දු - සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ මෙන්ම ගෝඨාභයගේ වියත් මහා සංවිධායකයන් ගණනාවක් ද මේ රැස්වීමට එක්වූහ. මැයි දිනය නිමිත්තෙන් කොළඹ දැවැන්ත ජන රැලියක් සංවිධානය කරන්නටත් ඒ සඳහා විශේෂාංගයක් ලෙස යාපනයේ සිට බයිසිකල් සවාරියකින් තරුණ පිරිසක් සහභාගී කරගන්නටත් කළ සැලැසුම ගැන නාමල් මන්ත්‍රීවරයා සභාවට කරුණු කීය. එවිට මහින්ද අමරවීර කීවේ ශ්‍රී.ල.නි.ප.යේ. අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයාගේ ද සහාය ඊට ලබාගත හැකි වගයි. මෙම සයිකල් සවාරිය සංවිධානය ඩග්ලස් දේවානන්ද අංගජන් රාමනාදන් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසකට පැවරීමටත් මැයි දිනය සංවිධාන කමිටුවේ සම සභාපතිවරුන් ලෙස ගාමිණී ලොකුගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් පත්කර ගැනීමටත් තීරණය විය.

මෙවර එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ වැඩිපුර සාකච්ඡා වූයේ රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක විසින් එල්ලකරන ලද කුඩු චෝදනාව ගැනයි. මේ ගැන එ.ජා.ප. මන්ත්‍රීන් බොහෝ දෙනකුට කේන්තිගොස් තිබිණි. නමක් ගමක් නැතිව මෙසේ කීමෙන් කවුරුත් එක බෝට්ටුවට වැටෙන බව ඔවුන්ගේ අදහස විය. තුෂාර ඉඳුනිල්, හරීන් ප්‍රනාන්දු, රන්ජන්ට බැනගෙන බැනගෙන ගියහ. ජෝන් අමරතුංග ඇතුළු එ.ජා.ප.යේ මන්ත්‍රීහු මේ ගැන දැඩිව අදහස් දක්වමින් මෙබඳු ප්‍රකාශ නිසා ආණ්ඩුව ද අපකීර්තියට පත්වන බව පෙන්වා දුන්හ. අවසානයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළේ රන්ජන්ගේ කුඩු කතාව ගැන සොයාබලා කෘත්‍යාධිකාරි මණ්ඩලයට වාර්තා කිරීමටය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ කුඩු කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කැරිණි. සතියක් පමණ තුළ ඔවුන්ගේ වාර්තාව ලබාදීමට නියමිතය.

ඒ අතර එදින පෙරවරුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂනායකයන්ගේ හමුවක් පාර්ලිමේන්තුවේදී කැඳවා තිබිණි. එ.ජා.ප.යෙන් අගමැති රනිල් සමඟ ඇමැති ජෝන් ඇතුළු පිරිසක් ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ඇතුළු පක්ෂ නායකයන් ගණනාවක් මෙයට පැමිණ සිටියහ. කමිටුව රැස්වුණේ ඉදිරි පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමේ ක්‍රමය ගැන සාකච්ඡා කරන්නටයි. මේ ගැන පවතින නීතිමය තත්ත්වය සහ බාධක ගැන අගමැතිවරයා විස්තර කළේය. කෙසේ හෝ ඉක්මනින් මෙම ඡන්දය පැවැත්වීම අවශ්‍ය බව මහින්දලාගේ මතය විය. තිබෙන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා නීතිමය විසඳුමක් සෙවීමට තවදුරටත් කරුණු විමර්ශනය කළ යුතු බැවින් මෙම කමිටුව හමුවට නීතිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සභපතිවරයා කැඳවිය යුතුයයි තීන්දු කෙරිණි.

මෙම කතාබහ අතරතුර රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායකගේ කුඩු චෝදනාව ගැනද අදහස් හුවමාරුවක් සිදුවිය. එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයකු වන ජෝන් අමරතුංග මහතා රන්ජන්ට තදින්ම චෝදනා කළේය. ඔහු මේ කියන කතා, කරන වැඩ නිසා පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක්වන බව ඔහු සඳහන් කළේය. රන්ජන්ලා ගැන කුමක් හෝ පියවරක් ගත යුතු යැයි ජෝන් කීය. එවිට අදහස් දක්වන්නට වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ කීවේ “දැන් බලන්න ආණ්ඩුව නියෝජ්‍ය ඇමැති කෙනෙක් කිරිපිටිවල වසවිස තියෙනවය කියලා කිව්වා. ඉතින් මේ විදිහට කියන්න තියන සේරම දේවල් ආණ්ඩුවේ අයම කියන්නේ නැතුව විපක්ෂයේ ඉන්න අපටත් මොනවා හරි කියන්න ඉතුරැ කරන්න." යි කියාය. මහින්දගේ මේ විහිළු කතාවට එහි සිටි හැමෝටම සිනහ පහළවිය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙතෙක් දැරූ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය රුවන් විජයවර්ධන මහතාට ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කළේය. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ පුරප්පාඩු නොමැති බැවින් රුවන් විජයවර්ධන මහතාට ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරය පැවරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කළේය. ඒ අනුව පසුගිය සතියේ රුවන් විජයවර්ධන මහතා කැඳවූ ජනාධිපතිවරයා මෙම තනතුර සම්බන්ධව කරුණු ගණනාවක් සඳහන් කර එය බාරගන්නේදැයි විමසා ඇත. පක්ෂයේ තීන්දුව අනුව එයට සූදානම් බව විජයවර්ධන මහතා දන්වා ඇතැයි පැවසේ. ඒ අනුව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට රුවන් විජයවර්ධන මහතා පත්කෙරෙන බව ජනාධිපතිවරයා තහවුරු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ දායකත්වයෙන් පසුගියදා ජාතික විද්වත් සංවිධානයේ මහ සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. විද්වතුන්, කලාකරුවන්, දේශපාලනඥයන් ගණනාවක් එක්රැස්ව සිටි ජාතික විද්වත් සමුළුව අමතා ප්‍රධාන දේශනය කළේ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානයක මහතාය. අනුරගේ කතාවේ හරය වූයේ ජාතික සංවර්ධන ක්‍රියාදාමය සාක්ෂාත් කරගැනීමේ මාර්ගය හඳුන්වාදීමයි. එහිදී ජ.වි.පෙ. නායකයා රටක් සංවර්ධනයේ දී ජනතාව පෙළගැසිය යුත්තේ නායකයන් වටා නොව ප්‍රතිපත්ති වටායයි සඳහන් කළේය. නිදහසින් පසු වසර 71ක් මේ රට පාලනය කළ නායකයන් රට අතිශය විනාශකාරී අන්තයක් කරා රැගෙන ගොස් ඇතැයි කී හෙතෙම එයින් ජනතාව දැඩි පීඩාවකට ලක්කර ඇතැයි ද කීය.

සෑහෙන ජනකායක් රැස්ව සිටි ජ.වි.පෙ. ජාතික විද්වත් සමුළුවේදී සරසවි ආචාර්යවරුන් පරිපාලන ප්‍රවීණයන් සහ සෙසු විද්වතුන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගණනාවක් අදහස් දැක්වූහ.   

මේ සතියේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ විවාදය තරමක් ආන්දෝලනයකට ලක් වූවකි. උසස් අධිකරණවල මෙන්ම රටේ ඉහළ පදවිවලට පුද්ගලයන් පත් කිරීමේ යාන්ත්‍රණය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක වන ආකාරය ගැන විපක්ෂය දැඩි ලෙස විවේචනය කළේය. මේ සම්බන්ධ මැතිසබා යෝජනාව ඉදිරිපත් කළ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දැඩි ලෙස සභාව විවේචනය කරමින් පැවසුවේ මෙම ආයතනයෙන් කෙරෙන පත්වීම් ගැන ජනතාව සැකයෙන් බලන බවයි. සමහර උසස් පදවි දරන්නන්ට තනතුරු අහිමි කළ බව කී හෙතෙම සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ එසේ තනතුරු අහිමි වූ අය බව කීය. ඔවුන්ට තනතුරු අහිමි වූයේ ඇයිදැයි අදත් ඒ අය නොදන්නා බව උදය වැඩිදුරටත් කීය.

මෙම විවාදයේදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ සියලු ව්‍යවස්ථා සභා තීන්දු ගත්තේ ඒකමතිකව බවය. ඒ බොහොමයකදී ජනාධිපතිවරයාගේ නිර්දේශ මත පත්වීම් කළ වගද හෙතෙම පැවසීය. ඇතැම් විනිසුරු පත්වීම් සිදු නොකළේ අගවිනිසුරු නිර්දේශ නිසා බවද කිරිඇල්ල මහතා කීය.

විවාදයේදී ආන්දෝලනාත්මක කතාවක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කොමිෂන් සභාව හා එහි ක්‍රියාදාමය ගැන වැරදි අර්ථකථන දෙමින් ඇතැමුන් කරන ප්‍රකාශ තමන් හෙළි දකින බව කීය. තමන් සභාවට ඉදිරිපත් කරන විනිසුරු නම් ප්‍රතික්ෂේප වීමට අදාළ හේතුව තමන් දැනගත යුතු යැයිද ජනාධිපතිවරයා පැවසීය. තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබුණු බලය අත්හල නායකයකු යැයි කී ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවේ ක්‍රියාදාමය විවේචනය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ නායක රැස්වීමේදී බැසිල් රාජපක්ෂ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර ප්‍රබල මතගැටුමක් හටගත්තේ බොරලැස්ගමුව නගර සභා මන්ත්‍රීවරයකු පත්කිරීම සම්බන්ධයෙනි. මෙහිදී පළාතේ මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාද උදයට සහාය පළ කළේය. එහෙත් බැසිල් කීවේ යම් මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වුවහොත් ඔහු නියෝජනය කළ පක්ෂයට එය හිමිවිය යුතු වගය. උදය මෙහි සුවිශේෂී තත්ත්වයක් ඇති බැවින් තම පක්ෂයට මන්ත්‍රී පදවිය ලැබිය යුතු යැයි සඳහන් කළේය. මේ ගැන වාදය තදින් පැවති අතර බැසිල් මෙන්ම උදය ද දෙදෙනාට දැඩි ලෙස වාග් ප්‍රහාර එල්ල කරද්දී මහින්ද රාජපක්ෂ මහතා දෙදෙනාටම කට වසාගන්නැයි කියා න්‍යායපත්‍රය අනුව සභාවේ කටයුතු මෙහෙයැවීය.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර