2019 ජනවාරි 26 වන සෙනසුරාදා

මැදමුලනේ මැතිසබය

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 481

ගිය ආණ්ඩුවේ දූෂණ වංචා නඩු පෝලිමක් එන්න යයි
පළාත් ඡන්දය තියන්න පෙරමුණු දෙකක සටනක්
විදුලිය සල්ලිවලට ගන්නවානම් හරි පාරෙන් එන්නැයි ජනපති රවීට කියයි
එදා කලාප සංගමයකට කැමති වූ මහින්දලාගේ ව්‍යවස්ථා විරෝධය බොරුවක්යැයි රනිල් කියයි
රුවන් විජයවර්ධන එජාප නියෝජ්‍ය මහලේකම් ධුරයට
වැරදි කළ මන්ත්‍රීන්ගේ ඉරණම නීතිපති අතේ
 

මේ වසර මැතිවරණ වසරක් ලෙස හඳුන්වා දෙමින් දේශපාලනඥයෝ මැතිවරණ සඳහා ඉව අල්ලමින් සිටිති. එ.ජා.ප වේදිකාවෙන් ඇසෙන්නේ ඉක්මන් ජනාධිපතිවරණයක් පැවැත්වේය යන හඬයි. එහෙත් සෙසු පක්ෂ බහුතරයක් කියන්නේ දැනටමත් කල් දමා තිබෙන පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වෙන බවයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය සතියේ තරයේම ප්‍රකාශ කළේ ඉක්මනින් ජනාධිපතිවරණය එන බවත් ඒ සඳහා එ.ජා.ප.යෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත්ය. නමුත් එ.ජා.ප පසුපෙළ රනිල් වෙනුවට සජිත් ආ යුතු බව තර්ක කරද්දි මැද පෙළ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඇතැමෙක් රනිල් නොපැමිණේනම් කරු ජයසූරිය මහතා සුදුසු බව කියයි. එ.ජා. පෙරමුණේ තීරණාත්මක චරිත වන චම්පික - රාජිත ආදීන් කවර පාර්ශවයක් නියෝජනය කරන්නේ ද යන්න අපැහැදිලිය. එහෙත් රන්ජිත් මද්දුමබණ්ඩාරලා කියන්නේ තමන් සුදුසු මොහොතේ හරි අපේක්ෂකයා ගෙන එන බවය. ඒ අතර එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන්ට ඉන්දියාවෙන් ලැබුණ ජ්‍යොතිෂ උපදෙසක සඳහන් වන්නේ මැතිවරණයකට යනවා නම් මැයි මාසයට පෙර එය සිදුවිය යුතු බවය.

ජනපති මැතිවරණ අපේක්ෂක ගාලගෝට්ටිය ඇතිවූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් ජනපතිවරණයට සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. මේ ගැන විවිධ පක්ෂ නොයෙක් අදහස් උදහස් පළකරන්නට පටන් ගනිද්දී පළපුරැදු දේශපාලනඥයකු වන මහින්ද රාජපක්ෂ මහතා කදිමට ජලය බොර කළේය. කිසිවකු අපේක්ෂා නොකළ ආකාරයට හිටපු කතා නායක චමල් රාජපක්ෂ මහතා තමන් ද ජනපති අපේක්ෂකත්වයට සූදානම් බව කීය. ශ්‍රී.ල.නි.පයේ දයාසිරි ද තමනුත් ඊට සූදානම් යැයි කීය. එ.ජා.පයේ හිටපු ලේකම්වරයකු වන තිස්ස අත්තනායක මේ සතියේ කිව්වේ තමනුත් ජනපති අපේක්ෂකත්වයට සූදානම් වගයි. තවත් නොයෙක් දෙනා මෙලෙස තමන් ජනාධිපති අපේක්ෂකත්වයට සූදානම් යැයි කියද්දි ශ්‍රී.ල.නිපයේ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා කීවේ තම කණ්ඩායමේ සහාය නම් ගෝඨාභයට නොලැබෙන බවය. ජනපති අපේක්ෂකත්වයට එකම සුදුස්සා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව මහින්දගේ මතය විය. රාජපක්ෂ පවුලෙන් ජනාධිපති හා අගමැති දෙදෙනාම බිහි කරන්නට යෑම සුදුසු නැතැයි ද මහින්ද සමරසිංහ සඳහන් කර තිබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදකාරී ප්‍රකාශක කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා පසුගියදා කීවේ පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුස්සන් ඕනෑ තරම් සිටින බැවින් එකම පවුලක් කෙරේ නතුවීම අවශ්‍ය නැතැයි කියායි. ඩිලාන් පෙරේරා - වාසුදේව නානායක්කාර - ඩියු ගුණසේකර - තිස්ස විතාරණ යන වමට බර පක්ෂ නායකයන් ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමට මනාප නොවන බව කියා තිබිණි. එහෙත් ගෝඨාට විරැද්ධව මත ප්‍රකාශ කරන බොහෝ දෙනකුට මේ රටේ ප්‍රබල ඡන්ද පදනමක් නැති බව ද සිහිකටයුතුයි. ගෝඨාට විරුද්ධ ඇතැම් පක්ෂ සැබෑවටම 'ත්‍රීවිල්' පක්ෂ බව ජා.නි.පෙ කියයි. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රී හෝ එ.ජා.ප. නායක රනිල් තවමත් සෘජුව ජනාධිපති අපේක්ෂකත්වය ගැන යමක් විවෘතව කියා නැත. මහින්ද රාජපක්ෂ කියා සිටින්නේ සුදුසු මොහොතේ තම කණ්ඩායමේ අපේක්ෂකයා නම් කරනු ඇති බවය. පොහොට්ටුවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන බැසිල් රාජපක්ෂ ද ගිය සතියේ ප්‍රකාශ කළේ තම කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා නිසි මොහොතේ මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවය.

මේ ආකාරයට පොහොට්ටු හා එ.ජා.ප වේදිකාවල ජනාධිපති අපේක්ෂකයා ගැන වාද විවාද පවතිද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැරසෙන්නේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ ඉදිරි මාස දෙක තුන තුළ පවත්වන්නටයි. එහෙත් එ.ජා.පය පළාත් සභා මැතිවරණය කලින් පැවැත්වීම ගැන කිසිදු සතුටක් නැත. එ.ජා.ප.යට පළාත් සභා ඡන්දයේ වාසියක් නැතැයි ඔවුන් තක්සේරුවක සිටින්නේදැයි පැහැදිලි නැත. දැනට පළාත් සභා 06ක නිල කාලය හමාර වන අතර මාර්තුවල දකුණ හා බස්නාහිර සභාවල කාලය හමාර වෙයි. ඌව පළාත් සභාවේ කාලය හමාරවන්නේ ලබන සැප්තැම්බර් මාසයේය.

ජනාධිපතිවරයාගේ අරමුණ මේ පළාත් සභා සියල්ලේම මැතිවරණ එක වරක පැවැත්වීමයි. ඒ සඳහා දැනට බාධාවක්ව පවත්නේ මැතිවරණ ක්‍රමයයි. මැතිවරණය පවත්වන්නේ පැරණි මනාප ක්‍රමටය ද නව අනුපාත ක්‍රමටය ද යන්න ගැන තීන්දුවක් නැත. දින 52 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ ගත් කැබිනට් තීන්දුවක් අනුව ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්නට තීන්දු විය. ඉන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මැතිසබා පක්ෂ නායක සමුළුවේදීත් ඒ සඳහා පක්ෂ නායකයෝ එකඟ වූහ. එහෙත් මෙම කටයුත්ත කළ හැක්කේ පාර්ලිමේන්තුවට ගෙන එන ඡන්ද ක්‍රම වෙනසට අදාළ යෝජනාව සම්මත වුවහොත් පමණි.

මේ ගැන නීතිපතිවරයාගේ ද මතය විමසූ ජනාධිපතිවරයා දේශපාලන උපක්‍රමයක් භාවිත කරමින් ඔහු විසින්ම සකස් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මේ සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත වුවත් අවසන් මොහොතේ එය කල්දැමිණි.

දැනට විසුරුවා නැති පළාත් සභා තුන ද විසුරුවා හැර එක වරකට පළාත් සභා ඡන්දය පැවැත්වීමත් එය පැරණි ඡන්ද ක්‍රමයට පැවැත්වීමටත් අදාළ අනුමැතිය ලබාගැනීම එම යෝජනාවේ අරමුණයි. යෝජනාව මැතිසබයට ඉදිරිපත් වුවහොත් වඩාත් අසීරුවට පත්වන්නේ එ.ජා.පයයි. දැනට විසිරී තිබෙන පළාත් සභා ටිකේ හෝ ඡන්දය පැවැත්වීම වළක්වන්නට සිතා යෝජනාව පරාජය කළහොත් එය දිගු කාලීනව එ.ජා.පයට දැඩි ලෙස අවාසි සහිතව බලපායි. ඔවුන් ඡන්දවලට විරුද්ධ පක්ෂයක් ලෙස හංවඩු ගැසීමට ද ඉඩ ඇත. එනිසා මෙය බෙහෙවින් තීරණාත්මක යෝජනාවක් බව කිව යුතුය. ගිය අඟහරුවාදා මෙකී කැබිනට් පත්‍රිකාව කැබිනට්ටුවට ඉදිරිපත් නොවූවත් ඉතා ඉක්මනින් එය ඉදිරිපත් කෙරෙනු ඇතැයි කියැවේ.
සතියේ අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා මේ රජයේ දූෂණ වංචා සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීම ගැන අමාත්‍ය අර්ජුන රණතුංග ජනාධිපතිවරයාට ස්තූතිය පළකළේය. එවිට ඇමැති කබීර් හෂීම් සඳහන් කළේ පසුගිය රජය කාලයේ සිදුවූ දූෂණ හා වංචා ක්‍රියා 34ක් ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසම ඒ ගැන වාර්තා ඉදිරිපත් කර ඇතත් මේ දක්වා නඩු පවරා නැති වගය. එවිට ජනාධිපතිවරයා කීවේ ඒ කටයුතු කළ යුත්තේ තමන් නොව අධිකරණ අමාත්‍යවරිය බවය. එහිදී තලතා අතුකෝරළ අධිකරණ ඇමැතිනිය පැවසුවේ එදින මැතිසබයේ සම්මත වීමට නියමිත අල්ලස් දූෂණ චෝදනා පිළිබඳ පනත් සංශෝධනය සම්මත වූ වහාම අදාළ නඩු පැවරීම් කරන වගයි. අමාත්‍ය රවී කරුණානායක විසින් හදිසි මිලදීගැනීමක් ලෙස ඉක්මනින් විදුලිය මෙගාවොට් 100ක් පෞද්ගලික අංශයෙන් ලබාගන්නට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබිණි. අමාත්‍ය චම්පික රණවක මෙන්ම ජනාධිපතිවරයා ද කියා තිබුණේ දින 10ක් තුළ හදිසියේ මෙය නොකළ යුතු බවත් නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුව විදුලිය මිලදී ගන්නා ලෙසත්ය.

මේ අතර මරණ දඬුවමට නියම වූවන්ගේ ලිපිගොනු අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනපති කළ ප්‍රකාශයට පිළිතුරු දුන් අධිකරණ ඇමැතිවරිය එම ලිපිගොනු 18ම අතුරුදන් වී නැතැයි කියා ජනාධිපතිවරයාට ඊට අදාළ ලේඛනයක් භාර දුන්නේය. ඉන් පසුව මේ දිනවල රටේ වසංගතයක් ලෙස පැතිර යන සේනා දළඹු උවදුර ගැන සාකච්ඡා කැරිණි. මේ උවදුර මර්දනය ගැන කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අමාත්‍ය දයා ගමගේ ඇතුළු පිරිසක් කැබිනට්ටුවට කරුණු දැක්වූහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා එ.ජා.පය ලබාදුන් පත්‍රිකා අනුව මැතිසබයට ඉදිරිපත් කර තිබෙන යෝජනා මාලාව ගැන ඉදිරිපත්ව ඇත්තේ පැසසුම්වලට වඩා විවේචනය. එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් ද ප්‍රකාශ කර තිබුණේ මෙබඳු යෝජනා මාලාවක් ඡන්ද කටේ ගෙන ආයුතු නැති බවකි. මහා සංඝරත්නයෙන් එල්ල වී තිබෙන විරෝධය ඉතාමත් ප්‍රබලය. මහා නායක හිමිවරු අතරින් තරමක් හෝ ඊට සහාය පළවෙන අදහස් දක්වා තිබුණේ මල්වතු මහනායක හිමියන් පමණි. සෙසු නිකාය සියල්ලේම පාහේ මහනායක, අනුනායක හිමිවරුන් මෙන්ම ජාතිකත්වයට බර සිවිල් සංවිධාන සියල්ලම ව්‍යවස්ථා යෝජනා මාලාවට විරෝධය පළකරති. දෙමළ ජාතික සන්ධාන ප්‍රබලයකු වන එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා වරින්වර ඒ ගැන කරන ලද ප්‍රකාශයන් ද ඊට හේතු වන්නට ඇත. එ.ජා.ප පෙරමුණ රජයේ කැබිනට්ටුව තමන්ගෙන් ද විමසා රජයේ කටයුතු කළ යුතු බවත් තමන්ට අවශ්‍ය නම් කඩිනමින් රජය වෙනස් කළ හැකි බවටත් කළ ප්‍රකාශය ගැන දකුණට රිදී තිබිණි. එසේම ව්‍යවස්ථා යෝජනාවල සඳහන් රාජ්‍යයේ ස්වභාවය 'ඔරුමිත්තනාඩු' යන්නෙන් කලාප සංගමයක් කරන්නට සැරසෙන බවට දකුණෙන් චෝදනා නැගෙද්දී ඊට සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස දෙන පිළිතුරැ ගැන මේ සතියේ ජාතිකවාදී සංවිධාන තරයේම විරෝධය දැක්වීය. මහා සංඝරත්නය දිගින් දිගටම කියන්නේ දැන් රටට ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බවයි.

ආණ්ඩුවත් සිය අවසන් වසර ගෙවද්දී මෙවන් කටයුත්තකට අත ගැසීමට ඉතාමත් ප්‍රායෝගික තත්ත්වයකි. පළාත් මැතිවරණ කල් දමමින් ව්‍යවස්ථා සංශෝධනය කරන්නට යාම කෙසේවත් ප්‍රායෝගික නැත. එහෙත් උතුරේ ජනතාවට බලපාන දේශපාලන හා ආර්ථික ප්‍රශ්නවලට කිසියම් විසඳුමක් ලබා දීමට පොදු ජාතික එකඟතාවයක් තිබිය යුතුය.

නව ව්‍යවස්ථා සංශෝධන රටට සඟවා සුමන්තිරන් හා රනිල් එකඟතාවෙන් එය සම්මත කරගන්නට ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේ සඳහන් කර තිබිණි. ආණ්ඩුවේම සමහරුන් මෙය ව්‍යවස්ථා කෙටුම්පතක් යැයි කියන අතර තවත් අය ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථා කෙටුම්පතක් නැත කියයි. එහෙත් තමන් විශ්වාස කරන්නේ රනිල් හා සුමන්තිරන් මෙහි සැබෑ රහස දන්නා බව යැයි කී රාජපක්ෂ මහතා ඔවුන් කුමන තීන්දුවක් ගෙන තිබුණත් හිතුමතේ ඒවා ක්‍රියාත්මක කරන්නට තමන් ඇතුළු විපක්ෂය කිසිසේත්ම ඉඩ නොදෙන බව සඳහන් කර තිබිණි.

මෙම ප්‍රකාශයට සමගාමීව ව්‍යවස්ථාව ගැන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ද සඳහනක් කළේය. ඔහු කීවේ අද ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිවන මහින්ද රාජපක්ෂ 1995 චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ ව්‍යවස්ථාව මගින් කලාපීය සංගමයක් පිහිටුවීමට යෝජනා කළ විට මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් පෙනී සිටි බවය. එහෙත් තමන් එදා මෙන්ම අදත් කලාප සංගම් යෝජනාවලට විරුද්ධ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගිය සර්ව පාක්ෂික සංගමයේදී උපරිම බලය බෙදීමක් ගැන කතා කළ මහින්ද දැන් ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කළ පසු රට බෙදන්නට හදනවා යැයි කියමින් කෑගසන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා තවමත් කිසිදු ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා නැතැයි අවධාරණය කළේය.

පසුගියදා මැතිසබයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ගැන සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව මේ සතියේ අඟහරුවාදා කතානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේය. එම කමිටු සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ද සාමාජිකයන් වන රන්ජිත් මද්දුමබණ්ඩාර, මාවෙයි සේනාධිරාජා, බිමල් රත්නායක, චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරැ ඊට ඇතුළත් වූහ. එහෙත් ප්‍රතිපත්තිමය හේතු මත චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරුන් කමිටුවට සහභාගී වූයේ නැත. කතානායකවරයාට අඟහරුවාදා භාරදුන් වාර්තාව වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයාට යොමු කරන බව මෙහිදී කතානායකවරයා දන්වා ඇතැයි කියැවේ. නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් දෙනු ලබන තීරණ සහ උපදෙස් කතානායකවරයා වෙත ලැබුණු පසු සිද්ධියට සම්බන්ධ වූ මන්ත්‍රීන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළින්ම හෝ අධිකරණය තුළින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ විශේෂ මංගල්‍ය උත්සව දෙකක් මේ සතියේ පැවැත්විණි. ඉන් පළමුවැන්න වූයේ රාජපක්ෂ සහෝදර සහෝදරියන්ගේ බාල සහෝදරිය වූ අභාවප්‍රාප්ත ගාන්ධිනී රාජපක්ෂ මහත්මියගේ හා තුසිත රණවක මහතාගේ පුත් නිපුණ රාජපක්ෂ මහතාගේ විවාහයයි. එය ජනවාරි 23 දා හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාවට රාජපක්ෂ පවුලේ සියලු සහෝදර සහෝදරියන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. එම මංගල්‍ය උත්සවයට පසුවදා මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහය වීරකැටිය මැදමුලන කාල්ටන් නිවසේදී සිදුවිය. මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සිටින මංගල්‍ය උත්සවවලට වැඩිපුරම සහභාගී වන දේශපාලනඥයකු ලෙස ප්‍රකට මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත්‍රයාගේ මංගල්‍යය සඳහා අමුත්තන් 7500කට අධික පිරිසක් ඇරුයුම් ලබා සිටියහ.  එයින් කොටසක් රාත්‍රී සාදයට ඇරයුම් ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු නිල චාරිකාවක් නිසා ඊට එක් නොවූ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතීන් ගණනාවක්ම මහින්දගේ ඇරැයුමින් මංගල උත්සවයට එක්වූහ. රන්ජිත් මද්දුමබණ්ඩාර මෙන්ම ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරන මැති ඇමැතීන් සියලු දෙනාට මහින්ද රාජපක්ෂ මහතා විශේෂයෙන් ඇරුයුම් කර තිබිණි.

දහස් ගණනක් අමුත්තන් මෙම මංගල්‍ය උත්සවයට ආරාධනා කරනු ලැබීම ගැන දේශපාලනයෙන් තොර නිහඬ ජීවිතයක් ගතකරන රෝහිත රාජපක්ෂ මහතා එතරම් සතුටු වූයේ නැත. ඔහු මහින්ද රාජපක්ෂ මහතාට කියා තිබුණේ "තාත්තේ මට මේ වෙඩින් එක චාම්ව කරන්නයි ඕනෙ. අනේ මේකත් දේශපාලන රැස්වීමක් කරන්න එපා" කියායි. එසේම මංගල්‍ය සංවිධානයේදී නිර්මාංශ ආහාර සැපයිය යුතු බවත් මධුවිත තහනම් බවත් රෝහිත මහින්ද රාජපක්ෂ මහතාට තවත් කොන්දේසියක් පැනවීය. ආහාර සඳහා ගමේ කොස්, පොලොස්, අල, පලා වර්ග ආදිය ඇතුළත් විය යුතු යැයි ද කියා තිබිණි. එහෙත් රෝහිතගේ මේ සියලු කොන්දේසි පිළිනොගත් මහින්ද රාජපක්ෂ මංගල උත්සවයේ ආහාර වට්ටෝරු වෙනස් කළ බව කියැවේ. මැදමුලන වත්තේ වැව මැද ඉදිකළ පෝරුවක මනාල යුවල අතිනත ගත් අතර උත්සවයේ ආහාර සැපයුම වෙනුවෙන් මැදමුලන වත්තේ විශේෂ ඇවුරුම් ගණනාවක් සකස් කර තිබිණි. මෙම මංගල උත්සවයේ දෙවැනි ගමන 28 දා හෙට කොළඹදී පැවැත්වෙන බව දැනගන්නට තිබේ.

දේශපාලනයේ පසමිතුරන් වුවද මහින්දගේ ඇරැයුමින් එදා උදෑසනම පැමිණි ආරාධිතයන් අතර අග්‍රාමාත්‍ය රනිල්ද විය. ඒ හැර කතානායක කරු ජයසූරිය, මංගල සමරවීර, රවි කරුණානායක, රන්ජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, වජිර අබේවර්ධන ආදී එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෝද ඒකාබද්ධයේ සියලුම මැති ඇමැතින්ද එහි පැමිණීම විශේෂයක් විය.

අගමැති රනිල් මැදමුලන මහින්දගේ කාල්ටන් වත්තට පැමිණ හාත්පස බලද්දී වැව් ඉවුරේ ඉදිකර තිබෙන මහින්දගේ නිවාඩු නිවෙස දැකගන්නට ලැබිණි. ඒ අසල සිටි සමීපතම දේශපාලනඥයකුගෙන් රනිල් විමසුවේ 'විපක්ෂනායකතුමා නිතර මේ බංගලාවට එනවාද' කියායි. "ඔව් සර්" ඔහු පිළිතුරු දුන්නේය. 'හැබෑද... ඒත් ගෙදර වහළෙ නම් එයා ගාල තියෙන්නෙ කොළපාට...' කියා රනිල් මහ හඬින් සිනාසුණේය.

අනතුරුව මැති ඇමැති පිරිස සමඟ මංගල සභාවේ අසුන්ගත් රනිල් මහින්දට කීවේ 'අද අපේ අය හුඟදෙනෙක් මෙතන. හරියට පාර්ලිමේන්තුව වගෙයි. කොළඹත් පාර්ලිමේන්තුව රැස්වෙනව. එතන අද නම් ඔයාලට ඕන දෙයක් සම්මත කරගන්න පුළුවන් වේවි...' කියාය.

පළතුරු යුෂ පානය කරමින් එලෙස කතාබහ කරමින් සිටි අයට මනාල යුවළ සමඟ ඡායාරූප ගන්නට ඇරුයුම් කෙරිණි. සුදු පැහැති යුරෝපීය ඇඳුමින් සැරසී සිටි මංගල අමාත්‍යවරයා පුංචි කාලෙන් පස්සේ මම ඔයාලත් එක්ක පිංතූර ගන්නවා යැයි රෝහිත රාජපක්ෂට කීය. තවත් බොහෝ විහිලු කතා, රසකතා මැද සෑහෙන වේලා ගත කළ අගමැතිවරයා ඇතුළු පිරිස පක්ෂ කෘත්‍යාධිකාරී රුස්වීම සඳහා කොළඹ බලා පිටත්වූහ. එදින සවස පැවැති කෘත්‍යාධිකාරියේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එ.ජා.ප. නියෝජ්‍ය මහ ලේකම් ධුරයටත් අමාත්‍ය සාගල රත්නායක මහතා එ.ජා.ප. අභ්‍යන්තර කටයුතු ලේකම් ධුරයටත් පත් කරනු ලැබූහ.

මහින්දගේ පුත්‍රයාගේ මංගල්‍යයට ආරාධනා ලැබූ විශේෂ ආරාධිතයන් අතර සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මංගල්‍ය උත්සවයට සහභාගී නොවීය. ඊට හේතුව ඔහු නිල සංචාරයක් සඳහා 23 දා සිංගප්පූරුව බලා පිටත්ව යාමයි. එනිසා කල්තබා මහින්ද රාජපක්ෂ මහතා පදිංචි විජේරාමයේ නිවසට ගොස් නව යුවලට සුබ පැතීමට කල්පනා කළ ජනාධිපතිවරයා 23 දා සිංගප්පූරුව බලා පිටත්ව යාමට පෙර මහින්දගේ නිවසට ගියේ රෝහිතට සහ ටට්යානාට සුබ පතන්නටයි. ඒ අනුව උදේ 8.00ට පමණ විජේරාම නිවසට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා විනාඩි 45ක් පමණ මහින්ද රාජපක්ෂ මහතා සහ නව යුවල සමඟ අතීත සිද්ධි සිහිපත් කරමින් නොයෙක් රසකතා කී බව වාර්තා වෙයි. අනතුරැව ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේ සිව්දින නිල සංචාරයකටය. එහිදී සිංගප්පූරැ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද සැලසුම් කර තිබිණි.

එ.ජා.පයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගිය සඳුදා රැස් වූ අතර එහිදී අමාත්‍ය රවී කරුණානායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කළේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා එ.ජා.පය සමඟ සම්බන්ධ වනවාද කියායි. එවිට අගමැතිවරයා සඳහන් කළේ එය මාධ්‍යයේ තිබූ අසත්‍ය පුවතක් වගය. සේනා දළඹු වසංගතය නිසා පීඩාවට පත් ගොවි ජනතාවට සහන ලබාදීම ගැන ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ දයා ගමගේ අමාත්‍යවරු ප්‍රශ්න කළෝය. දළඹු ප්‍රශ්නයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි ගෙවා අවශ්‍ය සහන සලසන බව අගමැතිවරයා සභාවට දැන්වීය.

ගිය අඟහරුවාදා එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීන් 17 දෙනෙක් අගමැති රනිල් වෙනම හමුවී තමන්ගේ දුක්ගැනවිලි ගණනාවක් ලිඛිතව ඉදිරිපත් කළෝය. අමාත්‍යංශ අධීක්ෂණයට පත්කර සිටින මන්ත්‍රීන්ට ප්‍රමාණවත් වගකීම් පවරන ලෙසත් දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන කාර්යයන්ට මන්ත්‍රීන්ගේ දායකත්වය ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ. එසේම ඇමැතිවරුන් සිය අමාත්‍යංශවල රැකියා පුරප්පාඩු පිරවීමේදී මන්ත්‍රීන්ගේ නාම ලේඛනවලට ද අවස්ථාව ලබා දිය යුතු යැයි ඔවුහු අගමැතිවරයාගෙන් ඉල්ලූහ.

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි ආරම්භ කළ නොහැකිව තිබුණේ ඔහුගේ ලේකම්වරයා පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය නිසි වේලාවට නොලැබුණු නිසාය. එහෙත් මේ සතියේ ඊට අනුමැතිය හිමි විය. ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු වන හර්ෂ විජේවර්ධන මහතා විපක්ෂ නායක පෞද්ගලික ලේකම් ලෙසත්, නීතීඥ චමින්ද කුලරත්න මහතා විපක්ෂ නායක අතිරේක ලේකම් ලෙසත් පත් කරනු ලැබූහ. ගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාරගන්නට ඒකාබද්ධයේ මැති ඇමැතින් පිරිවරාගෙන එහි ගිය මහින්ද තමන් වැඩිකල් විපක්ෂ නායක කාර්යාලයේ රැඳී නොසිටින බව ප්‍රකාශ කළේ කාගෙත් අත්පොලසන් හඬ මධ්‍යයේය

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර