2016 ඔක්තෝබර් 24 වන සඳුදා

පොලීසියටත් දෙහි කපයි!

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 341

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු කොළඹ ගෙන්දගම් පොළොවේ දේශපාලනය හොඳටම රත් වී තිබේ. සමහරැ එ.ජා.ප සහ ශ්‍රී.ල.නි.ප දීගයේ ආයුෂ ගැන විවිධ අනාවැකි පළකරන්නට ද පටන්ගෙන ඇත. ජනපතිවරයාගේ ප්‍රකාශයට විවිධ අංශවලින් නොයෙක් ප්‍රතිචාර පළ විය. එ.ජා.පය, සිවිල් සංවිධාන, ශ්‍රීලනිපය, ඒකාබද්ධ විපක්ෂය මෙන්ම තවත් ඇතැම් දේශපාලන නායකයන් විසින් ද නොයෙක් අර්ථකථන විග්‍රහ ඉදිරිපත් කරද්දි ඒ ගැන ජනාධිපති කාර්යාලය සීමිත පිළිතුරක් සපයා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව අල්ලස් හෝ දූෂණ කොමිසම මෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අවවාද කළේ දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව වැඩ කරන හැටියටයි. මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතත් අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රැක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ගිය සඳුදා විදේශ චාරිකාවකින් පසු කාර්යාලයට පැමිණ ජනාධිපති කාර්යාලය වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළාය. ඊට පෙර ඇය අල්ලස් හෝ දූෂණ කොමිසමේ කොමසාරිස්වරැන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූවාය. අනතුරැව ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයෝ, කතානායකවරයා ද මුණ ගැසුණහ.

වික්‍රමසිංහ මහත්මිය සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කරන විට ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිටියේ නැත. ඔහු දිවයිනට පැමිණියේ සඳුදා සවස 4.30ට පමණය. ඒ වනවිට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන තිබුණේ ජනාධිපතිවරයා පැමිණි පසු අවසන් තීරණය ප්‍රකාශ කරන බව සඳහන් කරමිනි. ජනාධිපතිවරයා පැමිණි පසු මේ ගැන ඔහුගේ දේශපාලන උපදේශකයන් සමඟ මෙන්ම ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් සමඟ ද සාකච්ඡා කර තිබිණි. ඒ බොහෝ දෙනකුගේ මතය වී තිබුණේ වික්‍රමසිංහ මහත්මියගේ ලිපිය භාරගෙන සුදුසු කෙනකු ඒ සඳහා පත්කළ යුතු බවය. දැනට ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් (නීති) තනතුර දරන අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක වන ලක්ෂ්මී ජයවික්‍රම මහත්මිය හෝ ජ්‍යෙෂ්ඨ විනිසුරැවරයකු මෙම තනතුර සඳහා පත් කළ යුතු යැයි ජනාධිපති උපදේශකයන් යෝජනා කර තිබිණි. තවත් යෝජනාවකින් කියැවුණේ වික්‍රමසිංහ මහත්මියට තවත් ටික දිනක් මෙම තනතුරේ රුඳී සිටින්නට ඉඩ දී මාස කිහිපයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිවන පුරප්පාඩුවක් සඳහා ඇය පත් කළ යුතුය යන යෝජනාවයි. 


ශ්‍රේෂ්ඨාධිකරණයේ මීළඟ පුරප්පාඩුව ඇතිවන්නේ ලබන පෙබරවාරියේ අගවිනිසුරැ කේ. ශ්‍රී පවන් මහතා විශ්‍රාම යාමත් සමඟය. එහෙත් ඊට එරෙහිව කරැණු දක්වා ඇති නීති විශාරදයන් ගණනාවකගේ අදහස වී තිබුණේ වික්‍රමසිංහ මහත්මියගේ වයස දැනට අවුරැදු 55ක් වන නිසා ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළහොත් වසර 10ක කාලයක් ඇයට එම තනතුර දැරිය හැකි බවය. එතරම් දිගු කාලයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ තනතුරකට පත්කිරීම අසාධාරණ බව මෙයට එරෙහිව තර්ක කළ නීති විශාරදයන් ජනපතිවරයාට පෙන්වා දී තිබිණි. කෙසේ හෝ අවසානයේ ජනාධිපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය ගැන ගිය අඟහරැවාදා අමාත්‍ය මණ්ඩලය හමුවේ කරැණු දක්වමින් ඇයගේ පසුගිය ක්‍රියාකලාපය විවේචනය කළේය. රාජපක්ෂලාගේ ඩුබායි ගිණුම් පරීක්ෂාවට ජනාධිපතිවරයාගෙන් අධ්‍යක්ෂ ජනරාල්වරිය ලිපියක් ලබාගෙන පැයක් තුළ මහින්ද රාජපක්ෂ මහතා තමන්ගෙන් ඒ ගැන විමසූ බවද ජනාධිපතිවරයා කීය. ඇයගේ කටයුතු විශ්වාසදායක ලෙස සිදු නොවූ බවට ඇමතිවරැන් හමුවේ චෝදනා කළ ජනාධිපතිවරයා වැඩකට නැති චෝදනා මත ෆවුසි අමාත්‍යවරයාගෙන් ආරක්ෂක බලධරයන් ප්‍රශ්න කළ වගද කීය. කෙසේ හෝ බදාදා සවස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා පිළිගත්තේය.


සිවිල් සංවිධාන විසින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට විරෝධය දක්වා මාධ්‍ය හමුවක්ද පසුගිය සතියේ පැවැත්වීය. එහිදී මහාචාර්ය සරත් විජේසූරිය මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කරැණාසේන හෙට්ටිආරච්චි, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී කර්නල් සලේ යන මහත්වරැන් තනතුරැ වලින් පහ කළ යුතු යැයි කියා තිබිණි. එහෙත් ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් මේ ගැන ප්‍රකාශ කර තිබුණේ ඕනෑම කෙනකුට කැමති මතයක් දැරිය හැකි වුවත් සිවිල් සංවිධාන ප්‍රධානීන් කියන ආණ්ඩුවේ උසස් තනතුරැ දරන්නන් එක පෑන් පහරින් ඉවත් කරන්නැයි කීමට ඔවුනට ඇති අයිතිය කුමක්ද කියාය. විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ද මේ ගැන දැඩි පිළිතුරක් දී තිබිණි.


බ්‍රික්ස් හා බිම්ස්ටෙක් ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වීම සඳහා ඉන්දියාවේ ගෝව බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරටදී ඉහළ පිළිගැනීමක් හිමි විය. ගෝවේ ඉතා අලංකාර තරැපහේ හෝටලයක් වන නවාතැන් කුටි සහිත &ද ලීලා* හෝටලයේ ශ්‍රී ලංකා ජනපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය නායකයන් ගණනාවකට නවාතැන් සපයා තිබිණි. ඉන්දීය අගමැති මෝදි, චීන ජනපති ක්ෂී ජිං පිං, රැසියානු ජනපති ව්ලාඩිමිර් පුටින් නවාතැන් ගත්තේ ටාජ් එක්සෝටිකා හෝටලයේය. චීන ජනපතිවරයා සහ රැසියානු ජනපතිවරයා ද සමඟ ජනපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වූ අතර රැසියානු ජනාධිපති පුටින් මහතා ලබන ජනවාරියේ රැසියාවේ සංචාරය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන් ආරාධනාවක්ද කෙළේය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති සිරිසේන මහතා අතර විනාඩි 45ක් පමණ පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකා වී තිබුණේ යෝජිත එට්කා ගිවිසුම හා ඉන්දීය ආයෝජන අවස්ථා මෙරටට ලබාගැනීම වැනි කරැණු ගැනය.


අනතුරැව පැවති බ්‍රික්ස් හා බිම්ස්ටෙක් සමළු ඇමතූ ජනාධිපති සිරිසේන මහතා ප්‍රධාන වශයෙන්ම අවධාරණය කළේ කලාපීය ආර්ථික ප්‍රගතිය සඳහා ස්ථාවර සාමය පවත්වා ගත යුතු වගයි. ත්‍රස්තවාදය පරාජය කළ යුතු යැයි කී හෙතෙම ඒ සඳහා කලාපීය වශයෙන් දැරෙන සියලු ප්‍රයත්නවලට ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහය හිමිවන්නේ යැයි ද සඳහන් කළේය.


ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයකට පිටත් වෙද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රයල්ස් නුවර බලා පිටත් වූයේ අමාත්‍ය සාගල රත්නායක හා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟය. ඔහුගේ බෙල්ජියම් චාරිකාවේ මූලික අරමුණ වූයේ යුරෝපීය කොමිසමේ ප්‍රධානීන් මුණගැසී පසුගිය රජය කාලයේ නවතා දමන ලද ජී.එස්.පී ප්ලස් බදු සහනය යටතේ යුරෝපයට ඇඟළුම් ඇතුළු භාණ්ඩ අපනයනයට අවස්ථාව සලසා ගැනීමයි. එසේම බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන ලබාගැනීම ද අගමැතිවරයාගේ චාරිකාවේ විශේෂ අරමුණක් විය.


එරට බලශක්ති අංශ ප්‍රධානී ලොව්රෝන් කුමරැ පුනර්ජනනීය බලශක්ති මැඳුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන එහි ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ලබා දුන්නේය. ඉන් අනතුරැව අගමැතිවරයා බ්‍රසල්ස්හිදී යුරෝපා කොමිසමේ ප්‍රධානීන් හමුවූයේ චාරිකාවේ ප්‍රධාන අරමුණ වූ ජී.එස්.පී සහනය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරන්නටයි.


අගමැති වික්‍රමසිංහ මහතාට යුරෝපා කොමිසමේ ප්‍රධානීන්ගෙන් ඉහළ පිළිගැනීමක් හිමි විය. වසර 2020 දක්වා කාලය වෙනුවෙන් රැපියල් බිලියන 34ක (කෝටි 3400ක) සංවර්ධිත ආධාර ශ්‍රී ලංකාවට සැපයීමට යුරෝපා ප්‍රජාව අගමැති රනිල්ට පෙරොන්දු විය. අනතුරැව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා කොමිසමේ සභාපති බොනල්ඩ් ටස්ක් මහතා මුණගැසුණෝය. ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහනය  ලබාදීම සම්බන්ධව තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ටස්ක් මහතාගෙන් අගමැතිවරයාට ඉතා සුබදායක ප්‍රතිචාරයක් හිමි විය. සභාපතිවරයා අගමැති රනිල්ට කීවේ ලබන වසරේදී ශ්‍රී ලංකාවට නැවත ජී.එස්.පී. ප්ලස් බදු සහනය හිමිවනු ඇති බවයි. වත්මන් රජය පසුගිය කාලයේ සිදුකළ දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ අගයමින් මෙකී බදු සහනය ප්‍රදානය කෙරෙන බවද සභාපතිවරයා කීය. ලබන වසරේදී තමන් ලස්සන ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට අපේක්ෂා කරන්නේ යැයි ද හෙතෙම කීය. බෙල්ජියමේ චොක්ලට් නිෂ්පාදන කම්හලකට ගිය අගමැතිවරයා එහිදී චොක්ලට් නිෂ්පාදනය කරන ආකාරය ඉගෙන ගත්තේය. ඔහු විශේෂ ඇඳුමකින් සැරසී චොක්ලට් නිෂ්පාදනය කරන ආකාරය ජාත්‍යන්තර මාධ්‍යයට හොඳ ප්‍රවෘත්තියක් විය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවට යාමට ප්‍රථම මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජනපති මැඳුරට හදිසියේම කැඳවීය. පැයකට ආසන්න කාලයක් තිස්සේ පැවති විශේෂ සාකච්ඡාවේදී කතාබස් කර ඇත්තේ රටේ බරපතළ කතාබහකට ලක්ව ඇති බැඳුම්කර ගනුදෙනුවට අදාළ කාරණා ගැනය. මේ ගැන සිද්ධියට අදාළව මහ බැංකු අධිපතිවරයා කළ විස්තරයට සවන් දුන් ජනාධිපතිවරයා කියා ඇත්තේ මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව ද අභ්‍යන්තර පරීක්ෂණයක් වහා පැවැත්විය යුතු බවයි. ඒ සඳහා නීති විශාරද කමිටුවක් පත්කිරීමේ යෝග්‍යතාව ගැනද සාකච්ඡා කර තිබේ. එබඳු කමිටුවකින් ලැබෙන වාර්තාව කෝප් වාර්තාව සමඟ ගළපා ඉදිරි පියවර ගැනීමට විශේෂයෙන් පත් කෙරෙන ජනාධිපති කොමිසමකට යොමු කළ හැකි යැයි ද සාකච්ඡාවේදී කතාබස් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. මෙම සාකච්ඡාවෙන් අනතුරැව රුස්වූ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය බැඳුම්කර ගනුදෙනුවට අදාළව නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ සමහර බැඳුම්කර අලෙවිකරැවන් පසුගිය කාලයේ ඉහළ ලාභ වාර්තා කර ඇති බවයි. එය අසාමාන්‍ය තත්ත්වයක්ය යන්න මේ වාර්තාවේ සඳහන් බව පැවසේ. එහෙත් මුදල් අමාත්‍ය රවී කරැණානායක මහතා ඒ වාර්තාව ප්‍රතික්ෂේප කළ බව සඳහන් විය.


ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන්ගේ දේශපාලන කටයුතු වඩා වේගයෙන් කර ඇත. ගිය අඟහරැවාදා රාජපක්ෂ මහතාගේ නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ රුස්වීමක් පැවැත්වුණි. එහිදී ආණ්ඩුවේ ඡ්‍යෙෂ්ඨ ඇමැතිවරැන් ගණනාවක් ඒකාබද්ධ විපක්ෂ ඡ්‍යෙෂ්ඨයින්ට කරන ලද ආරාධනාවක් ගැන සඳහන් විය. ඒ දෙපක්ෂය එක්ව ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා සාකච්ඡාවක් ඇරුඹමු යන්න එම ආරාධනයෙන් කියැවුණු බව ඒකාබද්ධ විපක්ෂ ඡ්‍යෙෂ්ඨයන් ගණනාවක් මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූහ. එවිට සිනාසුණු මහින්ද රාජපක්ෂ මහතා කීවේ “ආණ්ඩුවේ ලොක්කන් කියන දේවල් අපි කොහොමද පිළිගන්නේ, උදේට එකක් කියනව. හවසට තව එකක් කියනව. හාත්පසින්ම වෙනස් දෙයක් කරනව. ඉතින්  කොහොමද එයාලගෙ වචන අපි පිළිගන්නේ. අපිත් එක්ක කතාවට එන්න කලින් ජනාධිපතිවරයා තමන්ගේ අවංක භාවය ක්‍රියාවෙන් පෙන්වන්න ඕන.*

මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය. ඉන් අනතුරැව ඒකාබද්ධ විපක්ෂ ඡ්‍යෙෂ්ඨයන් සාකච්ඡා කළේ ළඟදී මැතිසබයට ගෙන එන වැට් බදු සංශෝධන පනත ගැනයි. මේ ගැන උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් දීර්ඝ ලෙස කරැණු දැක්වූහ. මෙය ජනතාවගේ ජීවන බර වැඩිකිරීමට යහපාලන රජය ගනු ලැබූ තීරණයක් බැවින් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ සීමිත ශ්‍රී.ල.නි.ප. ඡ්‍යෙෂ්ඨයන් සමඟද මේ ගැන කතාකොට වැට් බදු සටන මැතිසබය තුළ ගෙන යා යුතුය යන්න ඒකාබද්ධ විපක්ෂයේ තීන්දුව විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පහුගියදා හම්බන්තොට දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් දූෂණ කොමිසමට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ චෝදනා ගැන ප්‍රසිද්ධියේ කතා කළේය. ඔහු ඒ කතාව සම්බන්ධ කළේ පන්සල්වල සිටින අලින් පොලිස් අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ කරමිනි. &තිස්සමහාරාම පන්සලේ අලියා පොලීසිය ගෙනිච්චා... කතරගම දේවලෙ අලියත් ගත්තා... කොළඹ ගංගාරාමේ ඇති දැඩි කරපු අලියත් අරන් ගිහින් පින්නවල දැම්මා... කතරගම අලියා ගෙනිහිල්ලා දවස් දෙකෙන් ජනාධිපති අල්ලස් කොමිසමට, සී.අයි.ඩියට, වගේම එෆ්.අයි.ඩීයට බරපතළ චෝදනා කළා. ඒක කරන ගමන් කිව්ව මම කාටවත් බය නැහැ කියලත්. අපි දන්නව ඒක කිව්වේ ආණ්ඩුවේ කාටද කියලත්. ඒ නිසා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට අගමැති රනිල් උත්තර දෙන්න ඕන. ඒ උත්තරේ දෙනකම් අපි බලන් ඉන්නවා...* මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.


ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධ සිය ස්ථාවරය ගිය සතියේ තරයේම සඳහන් කර තිබිණි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා කීවේ ජනාධිපතිවරයාගේ චෝදනාවට ලක්වූ එෆ්.සී.අයි.ඩිය හා අල්ලස් දූෂණ කොමිසම දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන්නේ නම් ඒ කව්ද කරන්නේ කුමක්ද කියා සවිස්තරව හෙළිකළ යුතු වගය. ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කළේ මෙබඳු ස්වාධීන ආයතනවලට හානිදායක ප්‍රකාශ නිකුත් කිරීමෙන් ඒවායේ සේවය කරන නිලධාරීන්ගේ මානසික තත්ත්වය බිඳවැටෙන බවය. එහි ප්‍රතිඵලය මෙකී ආයතන අකල් මරණයට පත්වීම යැයි කී හේරත් මන්ත්‍රීවරයා මෙම ආයතනවල නිලධාරීන් කයිවාරැවලට බිය නොවිය යුතු යැයි කීය. ඔවුන්ගේ සහයට නිතරම ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ යැයිද විජිත හේරත් මහතා සඳහන් කර තිබිණි.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගුකාලීන සංවර්ධන සැලැසුම ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාත්‍යන්තරය ජය ගනිමින් දේශීය ආර්ථිකය ප්‍රවර්ධනය අගමැති රනිල්ගේ සංවර්ධන සැලසුමේ මුලෝපායයි. අගමැතිවරයා විසින් සකසන සැලසුම අනුව විදේශ ආයෝජන ඉහළ නංවා නව රුකියා දස ලක්ෂය බිහි කිරීමට රජය තීරණය කර තිබේ. මෙම සැලසුමට අනුගතවන ආකාරයට 2017 වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කළ යුතු යැයි අගමැතිවරයා මුදල් අමාත්‍ය රවී කරැණානායක මහතාට උපදෙස් දී ඇත. ඒ අනුව රවී අයවැය කෙටුම්පත් කරන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කාර්යමණ්ඩලය සමඟ අයවැය අවසන් කෙටුම්පත සැකසීම සඳහා මේ සති අන්තයේ තංගල්ලේ අනන්තරා හෝටලයට ගියේය. මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය සමරතුංග, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, රජයේ ආර්ථික උපදේශකවරයා අර්ජුන් මහේන්ද්‍රන් 2017 අයවැය සැකසුම සඳහා මුදල් ඇමැතිවරයා සමඟ සති අන්තයේ තංගල්ල බලා පිටත්ව ගොස් තිබිණි.


ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද අයවැය ලේඛනය සඳහා යෝජනා මාලාවක් සකස් කෙරිණි. ආපදා කළමනාකරණ අමාත්‍යංශයට රුස්වූ ශ්‍රීලනිප කැබිනට් ඇමැති, රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරැන් මෙම යෝජනාවලිය සැකසූහ. ශ්‍රී.ල.නි.ප ප්‍රතිපත්තියට අනුකූලව අඟහරැවාදා දහවල් කාලයේ සැකසූ අයවැය යෝජනාවලිය රුගෙන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආමාත්‍ය ලක්ෂමන් අබේවර්ධන හා අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරැ එදින රාත්‍රි 8.00 ජනපති නිවසට ගියෝය. ඒ වනවිට මුදල් අමාත්‍ය රවී කරැණානායක සහ මුදල් අමාත්‍යංශ ලේකම් සමරතුංග ඇතුළු නිලධාරී පිරිසක්ද පැමිණ සිටියහ. ශ්‍රී.ල.නි.ප. යෝජනාවලින් 95‍්෴ක්ම බාධාවකින් තොරව කළ හැකි ඒවා බව මුදල් අමාත්‍යවරයා ඒ යෝජනා අධ්‍යයනයෙන් පසු සඳහන් කර තිබිණි. අනතුරැව ජනාධිපතිවරයා කියා සිටියේ මෙය සම්මුතිවාදී රජයේ අයවැයක් ලෙසත් ජනතාවාදී අයවැයක් ලෙසත් රට හමුවේ තැබිය යුතු වගයි. මෙම යෝජනා මාලාව අනුව අවසන් පිටපත සැකසීම ජනාධිපතිවරයා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු පිරිසට පවරන ලදී. ලබන අඟහරැවාදා මේ ගැන අවසන් තීරණයක් ගැනීමට තවත් රුස්වීමක් කැඳවන්නටද තීන්දු කැරිණි.


ඒ අතර පසුගිය අඟහරැවාදා දහවල් හිටපු අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පදිංචිව සිටින මතුගම පිහිටි වතුයායේ නිවස රහස් පොලිසියේ පරීක්ෂාවට ලක්විය. අධිකරණ නියෝගයක් රුගෙන පැමිණි පොලිස් නිලධාරීන් 50ක් පමණ වෙල්ගම මහතාගේ නිවසත් වතු යායත් වටලා පරීක්ෂා කළේ රජයට අයත් වෙඩි නොවදින වාහන දෙකක් එහි සඟවා තිබෙනවාද යන්නයි. පැය ගණනක් වත්ත සහ අවට පරීක්ෂා කළ පොලිසියට කිසිදු සැකකටයුතු යමක් සොයාගත නොහැකි විය. මේ ගැන හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා රජයට දැඩි විරෝධය පළකරමින් තමන්ගේ කීර්ති නාමයට පොලිසිය අගෞරව කළ බව ප්‍රකාශ කළේය. තමන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින නිසා මේ ආකාරයට හිරිහැර කරන බවද වෙල්ගම මහතා ප්‍රකාශ කර තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ ගැන සිය විරෝධය දැක්වීය. වෙඩි නොවදින රථවාහන වෙල්ගම මහතාගේ වත්තේ පොල්කටුවෙන් වසා ඇතැයි පොලීසිය සැක කරන්නට ඇතැයි කියමින් විපක්ෂයට මේ රජය දිගින් දිගටම නීතිය උපයෝගී කරගෙන හිරිහැර කරන්නවා යැයි ඔහු කීය.


මේ සිද්ධිය දැනගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද බෙහෙවින් කේන්ති ගොස් තිබිණි. ඔහු ප්‍රසිද්ධියේ පොලීසියේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් කියා සිටියේ පොලීසිය වෙල්ගම මහතාගේ නි‍ෙවස වැටලීම බොළඳ ක්‍රියාවක් බවය. මෙවැනි බොළඳ වැඩ නිසා ආණ්ඩුවම අපහසුතාවට පත්වන්නේ යැයි කී ජනාධිපතිවරයා මේ සිද්ධියෙන් පොලීසිය මඩගා ගත් බවද පැවසීය. අවසානයේ සිද්ධ වන්නේ මෙබඳු ක්‍රියාවලට ජනතාව සිනාවීම යැයි ජනපතිවරයා අවධාරණය කළේය.

 ප්‍රකාශ් ඉරැගල් බණ්ඩාර