2019 ජනවාරි 05 වන සෙනසුරාදා

අමුතුම හමුවක් සුන්දර ගමනක්!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

අපට ජීවිතයේ ආදරය මුණගැහෙන්නේ හරි පුදුම අයුරිනි. පුද්ගලයාගෙන් පුද්ගලයාට ආදරය මුණගැහෙන අන්දම ද වෙනස් ය. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ඇසෙන ජෙමාගේත් ඩැනියෙල්ගේත් කතාවත් එවැනි ම අපූරු කතාවකි. 
1989 අප්‍රේල් මාසයේදී උපත ලැබූ ජෙමා සහ ඩැනියෙල් දෙදෙනා මුල්ම වරට එකිනෙකා හඳුනාගන්නේ ඉස්පිරිතාලයේදී ය. එක ළඟ දින දෙකකදී උපත ලැබූ පොඩිත්තන් දෙදෙනා නිසා ඔවුන්ගේ මව්පියෝ ඉතා කුළුපග මිතුරන් බවට පත්වූහ. එනිසා ම මෙල්බර්න් නුවර ඉසව් දෙකක වාසය කළත් ජෙමා සහ ඩැනියෙල් ද හොඳ මිතුරෝ වූහ. 

එහෙත් කාලයත් සමඟ මිත්‍රත්වය ද යට ගියේය. ජෙමාටත් ඩැනියෙල්ටත් වයස අවුරුදු දහය පමණ වනතුරු ඔවුන් එකිනෙකා හමුවුණද එකිනෙකාගේ ගෙවල්වලට ගිය ද ඒ සම්බන්ධකම් කාලයත් සමඟ අඩුවී ගියේය. ජෙමාට ඩැනියෙල් ගැනත් ඩැනියෙල්ට ජෙමා ගැනත් මතකය අඩුවී ගියේය. 

මීට අවුරුදු තුන හතරකට පෙර ජෙමා ඉන්ස්ටර්ග්‍රෑම් පිටු අතර සැරිසරද්දී සුන්දර කොණ්ඩා විලාසිතා පින්තූර කිහිපයක් දුටුවාය. උනන්දුවෙන් එම කොණ්ඩා විලාසිතා පළකර ඇති රූපලාවන්‍යාගාරයේ තොරතුරු සොයාබැලූ විට ඈට දැනගන්නට ලැබුණේ එය තම කුඩාකල මිතුරා වූ ඩැනියෙල්ගේ සොයුරියට අයත් බවයි. ඉතා ඉක්මනින් ඈ ඩැනියෙල්ගේ සොයුරිය සමඟ ෆේස්බුක් මිත්‍රත්වයක් ආරම්භ කළ අතර නොබෝ දිනකින් ඩැනියෙල්ගේ ද ෆේස්බුක් මිතුරියක වූවාය. ෆේස්බුක් හරහා චැට් කිරීම ආරම්භ කළ ඔවුහු දෙදෙනා නැවතත් හොඳ මිතුරන් බවට පත්වූහ. 

ටික දිනකට පසු ජෙමා තම කොණ්ඩය සායම් ගැන්වීම සඳහා ඩැනියෙල්ගේ සොයුරියගේ සැලූනයට ගොඩවූවාය. ආ ගිය කතාවලින් පසු කොණ්ඩ විලාසිතාව කරමින් සිටින අතරේදී ඩැනියෙල් ද එතැනට පැමිණියේය. කම්මුල මත මෘදු හාදුවක් සමඟින් නැවත ඇරඹුණු දෙදෙනාගේ මිත්‍රත්වය ආදරයක් බවට පෙරළෙන්නට ගතවූයේ දින කිහිපයකි. අනතුරුව 2014 වසරේ මව්වරුන්ගේ දිනයේදී ඔවුන් පෙම් යුවලක් බවට පත්වුණේ දෙදෙනාගේම මව්වරුන්ට ලොකු සතුටක් තිළිණ කරමින් බවට සැක නැත. 


මෙල්බර්න් රාජකීය උද්භිද උද්‍යානයට ගිය විනෝද සවාරියක් අතරතුරදී ඩැනියෙල් ජෙමාට විවාහ යෝජනාව ඉදිරිපත් කළේය. දශක තුනකට ආසන්න මිතුදමකින් ඇරඹි පෙමට තම ජීවිත කාලය ම ඉඩ විවර කරන්නට ජෙමා ඒ වනවිටත් ඉටාගෙන උන්නාය. ඔවුහු 2017 වසරේදී වික්ටෝරියාහිදී විවාපත් වූහ. 

සිඟිත්තන් දෙදෙනෙකු ලෙස පළමුවරට එකිනෙකාගේ දෑස් ගැටුණු ජෙමා සහ ඩැනියෙල් දැන් තම කුළුඳුල් දරුවා ලබන්නට සූදානමින් සිටී. ඔවුන්ගේ සතුටු කතාව, අනිකක් නොව අපගේ ජීවිතවලට ආදරය පිවිසෙන අනපේක්ෂිත අවස්ථාවන් ගැන කදිම උදාහරණයකි. 

 

► Text - Suranga