2019 ජනවාරි 05 වන සෙනසුරාදා

රෑන්ක් මොකටද ඕයි සල්ලි තියෙනවනම්!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

මේ ඉන්දියාවේ ප‍්‍රධාන නගරයක පිහිටා තියෙන උසස් අධ්‍යාපන ආයතනයක සිදුවීමක්. මෙතන තරුණ තරුණියන් බොහෝ ප‍්‍රමාණයක් ඉන්නවා. ඒ තමන්ගේ සම්මුඛ පරීක්ෂණ වාරය ආවම ඒකට මුහුණදෙන්න බලාගෙනයි. මේ අතරේ සුඛෝපභෝගී කාර්යාල කාමරයක තමන්ගේ මේසය අසල ඇති සැප පුටුවේ වාඩිවෙලා ඉන්න, අද මේ කියන්න හදන කතාවේ කතානායකයා ඔහුගේ ඉස්සරහ තියෙන පුටුවක වාඩිවෙලා ඉන්න තරුණයෙක් එක්ක කතා කරමින් ඉන්නවා. 

අද මේ රටේ හැම මනුස්සයෙක්ගේම තියෙන්නේ එකම සිහිනයක් විතරයි. ඒ ඉංජිනියරින් හරි මැනේජ්මන්ට් හරි කරන්න උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන එකයි. ඒ සිහිනය දකින්නේ අම්මලා තාත්තලයි. ඒත් ඒ සිහිනය සම්පූර්ණ කරන්නේ දරුවන්. 

රෑන්ක් එක කීයද?
තරුණයෙක් - අයියා 271 රූන්ක් එකනම්.. ඒත් අයියා මට කොහොම හරි කොලේජ් එකට යන්නම  ඕන. 

බයවෙන්න එපා, ඉංජිනියර් කෙනෙක් වෙන්නනම් ඔයාට මම කොලේජ් එකේ සීට් එක අරගෙන ප‍්‍රශ්නය විසඳලා දෙන්නම්.

තරුණයා - ඒ කොහොමද?
මෝඩයෙක්.. ඔයා මේ බලන්න 
(සල්ලි මිටියක් මේසය උඩට දානවා)
තරුණයා - ඔය තරම් සල්ලි මිටියක්?

මේ බුද්ධිමත් වෙන්න 
උඩ ඉන්න කෙනා පිං ගන්නවා. මම ගන්නේ සල්ලි විතරයි. ඕන කෙනෙක්ව විභාගෙන් පාස් කරවලා දෙන එක මම කරනවා. ලක්ෂ 10ක් විතරයි ගන්නේ.
තරුණයා - සර් දහයක් නෙවෙයි පාස් කරවලා දෙනවනම් පහළොවක්ම දෙන්නම්.

ඒත් ඔහුගේ කීමට සල්ලි දීලා විභාගයෙන් සමත්වෙන්න හැදුව කට්ටියම නීතියේ රැහැනට කොටුවෙනවා. විභාග සමත් කරවලා දෙන්න හැදුව කෙනා අධිකරණයට ඉදිරිපත් කරනවා. 
නීතිඥයා - ඔබ දහස් ගාණක් අයැදුම්කාර ළමයින්ගේ ජීවිත විනාශ කළා.

මම කිසි කෙනෙක්ගේ ජීවිත විනාශ කළේ නැහැ. මම පොහොසත් ළමයින්ගෙන් සල්ලි ගත්තා. එහෙම කරලා බිලියන ගාණක් ශිෂ්‍යයන්ට අවස්ථාව හදලා දුන්නා. ඒකේ කිසිම වැරැද්දක් නැහැනේ මම කරලා.
මට හීරෝ කෙනෙක් වෙන්න කිසිම කැමැත්තක් නැහැ. දුෂ්ටයෙක් වෙන්න චුට්ටක්වත් වෙලාවක් නැහැ. මම ක‍්‍රීඩකයෙක්. ඒ හින්දා ක‍්‍රීඩාවක් කරනවා. ආයුබෝවන්.

අමුතුම තේමාවක් රුගත් 2019 ජනවාරි 25 වැනිදාට තිරගත වෙන්න තියෙන චීට් ඉන්ඩියා හින්දී සිනමාපටයේ කතාවේ සාරාංශය තමයි මම ඒ ඔබට කිව්වේ. චීට් ඉන්ඩියා හින්දී සිනමාපටය සෞමික් සෙන් විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන අතර නිෂ්පාදනය කරලා තියෙන්නේ භූෂන් කුමාර්, ක‍්‍රිෂන් කුමාර්, තනූජ් ගාර්ග්, අතුල් කස්බේකර් සහ ප‍්‍රවීන් හෂ්මී විසින්. කීට් ඉන්ඩියා හින්දී සිනමාපටයේ කතාව ලියා තියෙන්නේ එහි අධ්‍යක්ෂක සෞමික් සෙන් විසින්මයි. චීට් ඉන්ඩියා කියන හින්දී සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණපොවන්නේ 1979 මාර්තු 24 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයිවල ඉපදුණු, එහිම ජීවත්වෙන 2003 වසරේ පටන් හින්දී සිනමාවේ නළුවෙක් විදියට කටයුතු කරන කෙනෙක්. 2006 වසරේදී පාර්වීන් ශහානී එක්ක විවාහවුණු ඔහුට මේ වනවිට දරුවන් එක්කෙනෙක් සිටින අතර මේ කියන කෙනා භාත් ෆැමිලි එකට සම්බන්ධ කෙනෙක්. මෙන්න මේ කියන සිනමාපටවලත් ඔහු විවිධ චරිතවලට දක්ෂ ලෙසින් පණ දුන්නා. මේ සිනමාපට කිහිපය දැක්කම ඔබට ඔහුව මතක් වෙනවද කියලා බලන්නකෝ. 

Raaz (2002), Murder (2004), Zeher (2005), Aashiq Banaya Aapne (2005), Gangster (2006), Awarapan (2007), Jannat (2008), The Dirty Picture (2011), Murder 2 (2011), Dil Toh Baccha Hai Ji (2011), Jannat 2 (2012), Raaz 3 (2012), Ek Thi Daayan (2013), Once Upon a Time in Mumbaai (2010), Shanghai (2012), Raaz Reboot (both 2016), Hamari Adhuri Kahani (2015), Baadshaho (2017)

ඉම්රාන් හෂ්මී තමයි මේ සිනමාපටයේ ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට පණ පොවන්නේ. ඔහුට සහායට මේ සිනමාපටයේ අපි වැඩිය දන්නේ නැති ලස්සන් කෙල්ලෙක් ඉන්නවා. ඒත් එයා 2010 ඉඳන් හින්දී සිනමාවේ නිළියක් විදියට ඉන්න බව තමයි ඉන්දියාවේ මාධ්‍යවලනම් සඳහන් කරලා තිබුණේ. ඇය ගැනත් කියලම ඉන්නම්කෝ. ඔබ ඇයව දන්න කෙනෙක්ද කියලා බලන්නකෝ. 1990 හෝ 1991 තමයි එයා ඉපදිලා තියෙන්නෙ. උස අඩි පහයි අඟල් අටක් උස 2008දී ෆෙමිනා මිස් ඉන්ඩියා තරගයට ඉදිරිපත් වෙලා තියෙන ඇය විවිධ වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටිය කෙනෙක්. තෙළිඟු සිනමාපට සහ ටෙලිනාට්‍ය නිළියක් විදියට ප‍්‍රසිද්ධවෙලා ඉන්න ඇය ශ‍්‍රියා ධන්වන්තරී. මේ ඇයගේ පළවැනි හින්දී සිනමාපටය බවත් අපිට දැනගන්න ලැබුණා. චීට් ඉන්ඩියා හින්දී සිනමාපටයේ පසුතල සංගීතය නීල් අධිකාරී විසින් සිදුකරලා තියෙන අතර මේ සිනමාපටයේ තියෙන මනබඳින කර්න රසායන ගීත සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ රෝචක් කොහ්ලී, ගුරු රන්ධාවා, කර්ස්නා සෝලෝ, කුනාල් - රුන්ගන්, අග්නී සහ සෞමික් සෙන්. හිතට දැනෙන ඒ ගීපද ලියලා තියෙන්නේ ගුරු රන්දාවා, සෞමික් සෙන් සහ මනෝජ් මුන්ටශිරී වන අතර ඒ ගී පදවලට පණදෙන්න තමන්ගේ සුමියුරු හඬ මුසුකරලා තියෙන්නේ ගුරු රන්ධාවා, රෝචක් කොහ්ලී සහ අර්මාන් මලික්.

 

► Translation — Chandana Waravitage