2019 ජනවාරි 05 වන සෙනසුරාදා

අපේ නැටුම් යුරෝපයට ගෙන ගිය නැට්ටුක්කාරී

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

චන්දිකා කැනඩාවේ නැටුම් ගුරුවරියක්... එහෙම නේද?
ඔව්. මම පදිංචිවෙලා ඉන්නෙ කැනඩාවේ ටොරෙන්ටෝවලයි. අපි කැනඩාවට ගිහින් දැන් අවුරුදු 18ක් වෙනවා. මම අවුරුදු දහයක් කැනඩාවේ Chandees school of dance යන නමින් ඇකඩමි එකක් පවත්වාගෙන ගියා. ඒ ඇකඩමියේ ඉගෙනගත්තෙ ශ්‍රී ලාංකික දරුවන් විතරයි. මම ලංකාවේදී උඩරට නැටුම් හැදෑරුවේ රැජිණි සෙල්වනායගම් ගුරැතුමිය යටතේ. පහතරට නැටුම් හැදෑරුවේ බිස්ට්‍රිස් බැද්දගේ ගුරුතුමිය යටතේ. ඒ වගේම මම භරත නැටුම් ප්‍රීති ගනේගොඩ ගුරුතුමියගෙන් හැදෑරැවා. හැබැයි මම උසස් අධ්‍යාපනය ලැබුවේ භරත නැටුම් විෂයෙන්. ඒ නිසා මේ නැටුම් විෂයන් තුනම එකතු කරලා මම වෙනම නැටුම් කලාවක් අනුව තමයි මගේ ඇඩකමිය කරගෙන ගියේ.

ඉතා සාර්ථකව කරගෙන ගිය ඇකඩමිය අතරමඟ නතර කළේ ඇයි..?
ඔව්.. මම මුලින්ම ඇකඩමිය පටන්ගත්තෙ 2002 අවුරුද්දෙ. දරුවන් තුන්දෙනෙක්ගෙන් තමයි මම ඒක පටන්ගත්තෙ. ක්‍රමයෙන් මගේ ඇකඩමිය කැනඩාවේ ටොරෙන්ටෝවල ගොඩක් ජනප්‍රිය වුණා. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් මගේ ඇකඩමියෙන් ඉගෙන ගත්තා. කාලයක් ගතවෙද්දී මගේ ලොකු පුතා ඉපදෙන්න මට දින ළංවුණා. ඒ නිසාම තාවකාලිකව මම ඇකඩමිය නතර කළා. දරුවාගේ වැඩ කටයුතුත් එක්ක ඒක ආරම්භ කරන කාලවේලාව ටිකක් පහුවුණා. ඔය කාලෙදීම මම වගේම පටන්ගත්ත ඇකඩමි කිහිපයක් ටොරෙන්ටෝවල ආරම්භ වුණා. ඒ නිසාම තමයි මගේ ඇකඩමිය ආයෙත් කැනඩාවේ පටන්ගන්න එක පරක්කු වුණේ.

මේ වෙනකොට ඇකඩමියෙන් මොනවගේ නිර්මාණද කරන්නෙ..?
දැන් අපිට හොඳ නැටුම් කණ්ඩායමක් ඉන්නවා. ඒකෙ මම ඇතුළුව සාමාජිකාවන් හයදෙනෙක් ඉන්නවා. දැන් අපිට කැනඩාවේ විවාහ උත්සව ඇතුළු බොහෝ උත්සවවලට ආරාධනා ලැබෙනවා. අපේ කණ්ඩායමට හොඳ ප්‍රතිචාර ටොරෙටෝවලදී ලැබෙනවා. 2020දී කැනඩාවේදී අලුත් නිර්මාණයක් කරන්න මම හිතාගෙන ඉන්නවා. බොහෝ වෙලාවට ඒක අලුත් වෙනසක් වේවි.

ඔබ කැනඩාවට යන්න කලින් ඉගෙනගත්ත පාසල මොකක්ද..?
මම ඉගෙනගත්තෙ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ. පාසලේදීත් මම නැටුම් විෂයක් විදිහට හැදෑරුවා. මම කැනඩාවට ගියේ විවාහ වීමත් එක්කමයි. මගේ සැමියාගේ නම ප්‍රසාද් කුමාරනායක. එයා පදිංචිවෙලා හිටියෙ කැනඩාවේ. ඉතින්.. විවාහවෙලා මාස හයකට පස්සෙ මටත් කැනඩාවට යන්න සිද්ධ වුණා. දැන් අපිට අකේන් සහ අක්ෂාන් නමින් පුතාලා දෙන්නෙක් ඉන්නවා. කැනඩාවට ගිය අලුත මම එහිදී පොඩි පොඩි රුකියාවල් කිහිපයක්ම කළා. ඊට පස්සෙ තමයි මෙහෙම ඇකඩමියක් අපි ආරම්භ කළේ.

නැටුම් ගුරුවරියකට අමතරව ඔබ වර්තමානයේදී කැනඩාවේ රැකියාවක් කරනවා..?
ඔව්.. මම දැන් කැනඩාවේ හෙදියක් විදිහට කටයුතු කරනවා. මම පිළිකා රෝගීන් ඉන්න ගෙවල්වලට ගිහින් ඒ අය බලාගන්නවා. විශේෂයෙන් පිළිකා රෝගයෙන් මරණාසන්න තත්ත්වයේ ඉන්න රෝගීන්ව මම ගෙවල්වලට ගිහින් බලාගන්නවා. මුල් කාලයේදීනම් ඒ ලබපු අත්දැකීම් ගැන කියලා වැඩක් නැහැ. එතැන තමයි ජීවිතේ තියෙන්නෙ කියලයි මටනම් හිතෙන්නෙ. ඒ රස්සාව කරපු මුල් දවස්වලදී මාසයක් දෙකක් යනතුරු මට මගේ හිත හදාගන්න බැරි වුණා. ඒත්.. ඒ තමයි ජීවිතය.

 

► Text - Dishani