2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

2018- මොනවද හිතෙන්නේ? 2019- මොනවද කරන්නේ?

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:31 195

අනිවාර්යයෙන්ම බඳිනවා

මම මේ කල්පනා කරන්නේත් මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියලම තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නැහැ. වෙනදා වගේම රූගත කිරීම් හා නර්තන ප්‍රසංගත් එක්ක ගෙවුණා. 
අවුරුද්ද ලබද්දී වුණත් හැබෑ කරගන්න ඕනේ කියලා හිතපු බලාපොරොත්තු ගොඩක් මගේ හිතේ තිබුණෙත් නැහැ. ඒ නිසා ගෙවෙන අවුරුද්ද ගැන හිතලා... හැබෑ නොවුණ බලාපොරොත්තු ගැන හිතලා අසතුටු වෙන්න කියලා දුකක් මගේ හිතේ නැහැ.

මේ ගෙවෙන අවුරුද්ද වෙන අවුරුදු වලටත් වඩා ටිකක් කාර්යබහුල වුණා. ගිය අවුරුදුවලටත් වඩා මේ අවුරුද්දේදී වැඩ කරද්දී මම ටිකක් තෝරා බේරාගෙන වැඩ කළා. මේ අවුරුද්දේදී පිටරට ප්‍රසංග තුනකට මම සහභාගි වුණා. ඉතින් මේ අවුරුද්දේදී හිතට දනවපු ලොකුම කාරණාව තමයි අනිවාර්යයෙන්ම ලබන වසරේදී විවාහ වෙනවා කියන එක. ඒ වෙනුවෙන් මේ අවුරුද්දේ සියල්ලම ලෑස්ති කළා. ඉතින් ලබන අවුරුද්දේ ජනවාරියෙ ඉඳන් ඒකට සූදානම් වෙන්න තියෙනවා. ඒ වෙනුවෙන් ලබන වසර වෙන්කරන්න ඕනේ කියන තීරණය ගෙවල් දෙකෙන්ම අපිටම දැනුම් දුන්නා. ඉතින් දැන් ඒකට සූදානම් වෙනවා. ලබන අවුරුද්ද විවාහය වෙනුවෙන් කැපවේවි. ජීවිතය වෙනස් වේවි... ඒ වෙනසට දැන් මම ලෑස්තියි.

- අනූෂා දමයන්ති

 

ජීවිතය කඩාවැටුණු වසරක්

මේ ගෙවන අවුරුද්ද මම හරියට රැල්ලක අහුවුණා වගෙයි දැනෙන්නේ. මගේ ජීවිතේ ලොකු කඩාවැටීමකට මුහුණ දීපු අවුරුද්දක්. මගේ තාත්තා මට නැතිවුණේ මේ ගෙවන අවුරුද්දේදීයි. මෙච්චර ඉක්මනට මාව දාලා යාවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මගේ තාත්තා මේ අවුරුද්දේ මාර්තු පහළොස්වැනිදා තමයි නැතිවුණේ. 

අසනීප තත්ත්වයේ හිටියත් මම බලාපොරොත්තු නොවුණු වෙලාවක තමයි මගේ තාත්තා නැතිවුණේ. ඒ නැතිවීමත් එක්ක මගේ හිත ගොඩක් කඩා වැටුණා. ඒ නිසා ඒ මතකයත් එක්ක අවුරුද්දේ ජීවිතේ අමතක නොවුණු මතකයක් රාශියක් මේ සිදුවුණා.  ඉතින් ඒ මතකයත් එක්ක තමයි එළඹෙන වසර මට පිළිගන්න සිද්ධ වෙන්නේ. එළඹෙන අවුරුද්දේදී බලාපොරොත්තු කිහිපයක්ම මගේ හිතේ තියෙනවා. චිත්‍රපට කිහිපයකටම දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුත් එක්ක තමයි මේ අවුරුද්ද බාර ගන්නේ.

- චූලක්ෂි රණතුංග

 

මම සිල්ලර සමනලයෙක් වුණා

ගෙවන අවුරුද්ද ඇත්තටම මට නම් හොඳයි. මියුසික් වීඩියෝවලට හිටපු මාව සිල්ලර සමනල්ලු නාට්‍යයෙන් මගේ හැරවුම් ලක්ෂය වුණා. මගේ රැකියාවත් බේරගෙන කලාවට යොමුවෙන්න අවස්ථාව ලැබුනේ මේ අවුරුද්දෙදියි. ජීවිතේ අපහසු තැන් පවා තිබුණා. 

දවස් හයක් විතර රෝහල් ගතවෙලා ප්‍රතිකාර ගන්න පවා මට සිද්ධ වුණා. හැබැයි ඒ දෙවලුත් එක්ක මම මගේ ජීවිතේට මුහුණ දුන්නා. හොඳ මිනිසුන් පිරිසක් ඇසුරැ කරන්න අවස්ථාව ලැබුණා. සිල්ලර සමනල්ලු ටෙලිනාට්‍යයෙන් අපූරු යහළුවන් පිරිසක් ජීවිතේට ලංවුණා. ඒ හරහා මට ආදරණීය රසික රසිකාවියන් පිරිසක් මුණගැහුණා. ඔවුන්ගේ ආදරය ලබාගන්න මට පුළුවන් වුණා. මගේ බිරිඳ එක්ක දරුවන් දෙන්නා එක්ක ආදරයෙන් ගත කරන්න හොඳ අවුරුද්දක් වුණා. ඉතින් මම හිත්නනේ පුංචි පුංචි අමිහිරි මතකයක් තිබුණට පුංචි පුංචි හිත් රිදීම් ඇති වුණත් මේ වසර මම හොඳ සතුටුදායක වසරක් වුණා. මේ අවුරුද්දත් එක්ක ඉගෙන ගත්ත පාඩම් ගොඩයි. ඒ පාඩම් ටිකත් එක්ක ලබන අවුරුද්දට ඒ අත්දැකීම් අරගෙන යනවා. මේ අවුරුද්දේ සිදුවුණ අඩුපාඩු ටිකත් ලබන අවුරුද්දේ හදා ගන්නවා.

- විරාජ් පෙරේරා

 

හිටපු ගමන් මාව Hit වෙච්ච අවුරුද්දක්

2018 වසර ඇත්තටම මට හොඳ අවුරුද්දක්. මම හිතන්නේවත් නැති විදිහට මේ වසරේදී මට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. උදුම්බරා චිත්‍රපටය හරහා මම හිතන්නේවත් නැති විදිහට ප්‍රතිචාර මට ලැබුණා. දැන් වෙනදා වගේ නෙමෙයි. පාරේ යද්දිත් කට්ටිය ඇවිත් මාත් එක්ක කතා කරනවා. මගේ අත්සන් ගන්නවා. සෙල්ෆි ගහනවා. ඇත්තටම ඒ ගැන තියන්නේ ලොකු සතුටක්.

වැඩිපුරම ආදරය මට ලැබෙන්නේ ක්‍රීඩා කරන පොඩි නංගිලා මල්ලිලාගෙනුයි. ඒ අයගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අයටත් මම වගේ වෙන්න ඕනේ කියලා කියනවා. මේ ෆීල්ඩ් එකේ ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ වගේම මේ අවුරුද්දෙදී මගේ අධ්‍යාපන කටයුතුවලදී එක උපාධියක් සම්පූර්ණ කරගන්න මට පුළුවන් වුණා. ඒ ගැනත් මට සතුටුයි. ආයෙත් සැරයක් මේ වසරේදී ක්‍රීඩා පුහුණුවීම් කරන්න පටන් ගත්තා. ඉතින් ක්‍රීඩා පැත්තෙනුත්, කලාව පැත්තෙනුත් අධ්‍යාපනය පැත්තෙනුත් මම මේ වසර සාර්ථක වුණා කියල මට හිතෙනවා. හිතනම් ඉතින් හැමවෙලේම පොඩි පොඩි තැන්වලදී රිදිලා තියෙනවා. නමුත් මේ වසරේදී ලොකුවට හිත රිදුණ අමිහිරි මතකයක් තියෙන තැනක් උදාවුණේ නැහැ.

2019 දී හොඳට දුවන්න බලාපොරොත්තු වෙනවා. යමක් කරද්දී ඒ ගැන මුලින්ම ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම අනෝජා මිස්ගේ අභින පන්තියෙන් ඉගෙන ගත්තා. කලාවට මම අළුත් නිසා ඒ ඉගෙන ගැනීමත් එක්ක කලාවේ රැඳිලා ඉන්න ආසයි.

- නදීශානි හෙන්ඩ්‍රසන්

 

මට තරම් නටන්න බැරි අයට තැන දුන්නා

මේ ගෙවන අවුරුද්ද මට සුභදායී වසරක් වුණා. මම නිරූපණ ක්ෂේත්‍රෙය් හිටපු කෙනෙක්. දේදුණු ආකාසේ චිත්‍රපටයෙන් මම රංගනයට එකතු වුණා. ඒත් එක්කම මට මේ වසරේදී ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබුණා. 

සකූගේ කතාව හරහා අද බොහෝ දෙනා මම ගැන කතා කරනවා. ඉතින් නිරූපණ ක්ෂේත්‍රයේ වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේදීත් මට මේ අවුරුද්ද ලොකු අවස්ථාවක් උදාවුණා. ඉතින් මේ අවුරුද්ද ගැන ඇත්තටම මම සන්තෝස වෙනවා. ගෙවන අවුරුද්ද සතුට වගේම හිත්රිදීම් තැන් පවා තිබුණා. අපේ සතුට දිහා බලලා අපිට මඩ ගහන පිරිසකුත් ඉන්නවා. ඒ ගැන මම දුක්වෙන්නේ නැහැ. ඒ දේවල් ගැන මම හිතන්නවත් දැන් කැමති නැහැ. ඒ නර්තන ප්‍රසංගවලදී මට වඩා නටන්න බැරි අය සමහර තැන්වලදී නර්තනයේ යෙදෙන අවස්ථා මම අනන්තවත් දැකලා තියෙනවා. මම ඒ දක්ෂතා පෙන්නන්න අවස්ථාව නොලැබෙද්දී ඇත්තටම මම දුක්වෙලා තියෙනවා. ඒත් මම දැන් ඒ ගැන දුක්වෙන්නේ නැහැ. මම කවදාවත් කිසිම දේකදි කෙටි පාරවල් හොයා යන්නේ නැහැ. වැඩකදී මම මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. ඉතින් ගෙවන අවුරුද්දේ හිත්රිදීම් ඇතිවුණත් මේ වසර මගේ සාර්ථක වසරක් වුණා. ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්.

- ටීනා

 

► Text - Dishani   /   Pic - Sumudu