2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

රවීට අප්පච්චි කියන නිළියොත් ඉන්නවාලු...

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:31 177

හැමදාමත් අපි “එයයි මමයි විශේෂාංගයෙන් කතා කරන්නේ ඔයාලා හැමදාමත් දකින දන්න කියන මුහුණු දෙකක් එක්කනේ. රංගනයෙන්, ගායනයෙන් එහෙමත් නැත්නම් නර්තනයෙන් දකින අහන මුහුණක්, කටහඬක් එක්කනේ. අපි ටිකක් වෙනස් දෙන්නෙක් එක්ක මේ කතාබහ ටිකක් වෙනස් කරමු නේද...? තිරයෙන් පිටුපස ඉඳගෙන බොහෝදෙනා හසුරවපු... බොහෝ තරුණ කලාකරුවන්, කලාකාරියන් ක්ෂේත්‍රයට හඳුන්වලා දීපූ චරිත දෙකක් අපි කතා කරමු. “ජීවිතේ ලස්සනයි “අපි අපි වගේ ටෙලිනාට්‍යය ඔස්සේ තරුණ චරිත හඳුන්වලා දීපූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක එක්ක අපි මේ කතාබහ දිගහරිමු...

රවීන්ද්‍ර මුලින්ම තරංග ඔයාට මුණගැසුණේ කොහොමද...?
තරංගව මට මුලින්ම මුණගැහුනේ “සුසිල නිෂ්පාදන ආයතනයේදී. නාලන් මෙන්ඩිස් මහත්තයා තරංගට සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩකරන්න පුහුණුවීම් කටයුතු කරන්න එන්න කියලා තිබුණා. ඒ තරංග සුසිල ආයතනයට ආවට පස්සේ එයාව පුහුණුකරන්න කියලා මට බාර කළා. ඒ වෙනකොට නාලන් මෙන්ඩිස් මහත්මයාගේ සහාය අධ්‍යක්ෂකවරයා විදිහට වැඩකළේ මමයි. ඉතින් තරංගත් එක්ක පුහුණුවීම් කරන්න තව දෙන්නෙක් එකතුවුණා. අන්නිමේදී තරංගටයි මටයි බොහෝ නිර්මාණ එකතුවෙලා කරන්නට හැකි වුණා. මට මතකේ හැටියට ඒ 1997 අවුරුද්දේයි. 

තරංග මොනවගේ කෙනෙක්ද...?
තරංග කියන්නේ ඉතාමත් හොඳ යාළුවෙක්. ඉතා අවංක යාළුවෙක්. බොහෝම හොඳ ගතිගුණ තියෙන, නිහතමානී හොඳ යාළුවෙක්.

තරංගට කේන්ති යනවාද...?
ටිකක් කේන්තියනවා. ඒ කේන්ති ගියාම ඒ වෙලාවට එන ආවේගය තියාගෙන කියාගෙන යනවා. විනාඩි දහයකින් පහළොවකින් තරංගම ළඟට ඇවිත් එයාම කතා කරනවා. ඉතින් හැම සෙට් එකේම අය ඒ දේ දන්නවා. මෙයා ඉක්මනින් කේන්ති අරගෙන ක්ෂණිකයෙන් නිවෙන චරිතයක් කියලා හැමෝම දන්නවා.

තරංගයි, රවීන්ද්‍රයි එකතු වෙලා නිර්මාණ කීයක් විතර මේ වෙද්දී කරලා තියෙනවාද...?
මට ඒක හරියටම කියන්න අමාරුයි. මගේ මතකේ හැටියට අපි ටෙලිනාට්‍ය අහඅටක් විතර කරලා තියෙනවා.

කාලයක් තරංග ටෙලිනාට්‍ය රචකයෙක් විදිහටත් කටයුතු කළා. දැන් දැන් ඔහු අතින් අලුත් නිර්මාණ බිහිවෙන්නේ නෑ... ඇයි ඒ...?
ඒක ඇත්ත... මම දකින විදිහට තරංග කියන්නේ ඉතා දක්ෂ තිර රචකයෙක්. මුල්කාලේදී තරංග පිටපත ලිව්වා. තරංග නිෂ්පාදනය කළා. මම ඒක අධ්‍යක්ෂණය කළා. ඒ විදිහට අපි කරපු මුල්ම නාට්‍යය තමයි “සඳ පිනි දිය ඒ කාලේදී තරංග බොහෝම උනන්දුයි. ටික කාලයක් යද්දී නිෂ්පාදකයා කියන චරිත ස්ථිර වුණාට පස්සේ ලියන පැත්ත තරංගගෙන් හෙමීට ගිලිහිලා ගියා. මම ඒකටත් කැමැති නැහැ. හැබැයි අදටත් අපි අලුත් ටෙලිනාට්‍යයක් පටන්ගනිද්දී බොහෝ වේලාවට චරිත ටික හැදීමේදී තරංග මූලිකවම කටයුතු කරනවා. කතාවේ මුල මැද, අග එකතු කරලා දෙනවා. එයා ළඟ හොඳ අවබෝධයක් වගේම හොඳ අදහසුත් තියෙනවා. තිර රචකයින් එක්ක ලිව්වත්, මෙතෙක් කළ හැම නාට්‍යයකම පිටපතකදීම තරංග ඒකට මුල්තැන දෙනවා. හැබැයි මේ මෑතකදී ඉඳලා තරංග පිටපත් ලියන්න ටිකක් කම්මැලි වෙලා තියෙනවා.

තරංග රංගනයට එකතුවෙලා තියෙන්නේ...? අධ්‍යක්ෂවරයෙක් විදිහට රවීන්ද්‍ර ඒ ගැන මොකද හිතන්නේ...?
ඔව්... අපේ නාට්‍යවලට හැරුණාම තරංගට වෙනත් නාට්‍යවල අධ්‍යක්ෂකවරු සෑහෙන්න රඟපාන්න කතා කරනවා. හැබැයි තරංග රඟපෑමට කම්මැලියි. එයා නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යවල එයා රඟපාන්න කැමැතිම නැහැ. ඒ නිසා තරංග රඟපෑමෙන් පොඩ්ඩක් අයින් වුණා. හැබැයි තරංග කියන්නේත් හොඳ රංගන ශිල්පියෙක්.

තරංග තම මවට හරිම ආදරණීය දරුවෙක් නේද...?
ඔව්... තරංග එයාගෙ අම්මට වගේම එයාගේ සහෝදර සහෝදරියන්ට පුදුම ‍ළෙන්ගතුකමක් තියෙන්නේ. අපේ ආයතනය නම් කළේ තරංගගේ අම්මාගේ නමින්. අපේ ආයතනයේ නම “දුරුතු ක්‍රියේෂන්. තරංගගේ අම්මාගේ නම දුරුතු කුමාරි. ඒ නම යෝජනා කළේ නම් මමයි. තරංගගේ අම්මා ටෙලිනාට්‍ය, චිත්‍රපට ගැන පුදුම උනන්දුවක් තියෙන කෙනෙක්. සමහර වෙලාවට නිර්මාණ ගැන අපි නොදන්නා දේවල් එයාගෙන් අහනවා. අපේ නාට්‍යයක් කරලා ඒක සංස්කරණය කරලා ඩී.වී.ඩී. කරලා අපි ගෙනල්ලා ඒක මෙහේ බලද්දී අපි අම්මාවත් ගෙන්නලා ඒක පෙන්වනවා. ඒ වෙලාවේදී ඒ අම්මා කියන අදහස් හරියටම හරි. තරංග අම්මට පුදුම ආදරෙයි. මොන වැඩේ කළත් ලංකාවේ වගේම පිටරට කොහේ හිටියත් හැමදාම උදේ තරංග අම්මාට කෝල් කරනවා. රූට අම්මට කෝල් කරනවා. එයාගේ අනිත් සහෝදර සහෝදරියන්ටත් පුදුම ලෙන්ගතුයි පුදුම ආදරෙයි.

වර්තමානයේ ක්ෂේත්‍රයේ ඉන්න තරුණ කලාකරුවන්, කලාකාරියන් එක්ක තරංග බොහෝ ලෙන්ගතුයි නේද...?
ඔව්... තරංග අපේ හැම ටෙලිනාට්‍යයකටම අලුත් මුහුණු කිහිපයක් අලුතින් හඳුන්වලා දෙන්න හැම වෙලේම උත්සාහ කරනවා. ඒ ආභාෂය අපිට සුසිල නිෂ්පාදනය හරහා තමයි ලැබුණේ. ඒ ආයතනය හරහා මම අධ්‍යක්ෂණය කළ බොහෝ නිර්මාණවලට අලුත් මුහුණු හඳුන්වලා දුන්නා. ඒ අතරින් බොහෝ දෙනෙක් අද ජනප්‍රිය තලයේ රැඳිලා ඉන්නවා. මම කළ “ජීවිතය ලස්සනයි ටෙලි නාට්‍යය හරහා අපි අලුත් මුහුණු රැසක් ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නා. තරංග බොහෝ අලුත් මුහුණු සොයාගත්තා. අදටත් අපි අපේ නාට්‍යවලට අලුත් මුහුණු හඳුන්වලා දෙන්න උත්සාහ කරනවා. තරංග මට හැමවෙලේම කියන දෙයක් තමයි “රවී අයියේ... අපි අලුත් දක්ෂයෙක්ට තැනක් දෙමු කියලා...

විවේක වෙලාවට රවීන්ද්‍ර - තරංග මොකද කරන්නේ...?
විවේක වෙලාවට මම බොහෝ වෙලාවට කරන්නේ පොත් කියවන එකයි. තරංග බොහෝ වෙලාවට ටී.වී. බලනවා. චිත්‍රපට බලනවා. ඒ වගේම තරංගට ගීත ඇසීමේ පුදුමාකාර ආසාවක් තියෙනවා. යාළුවෝ අදටත් තරංග එයා කැමති ගීත ඒ යාළුවන්ට අහන්න දෙනවා. ඒ විතරක් නෙමේ. ඒ ගැන පොඩි සමාලෝචනයකුත් ගොඩනගා ගන්නවා. සමහර වෙලාවට ඒ ගීතයේ පද රචකයාට දුරකතනයෙන් කතා කරලා තරංග ඒ ගීතය අගේ කරන වෙලාවලුත් තියෙනවා.

රවීන්ද්‍රගේ, තරංගගේ ජීවිතේ අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද...?
ඔව්... එහෙම අමතක නොවන සිදුවීම් තියෙනවා. තරංග කොහේ ගියත් හරි පරිස්සම්. එක දවසක් මමයි, තරංගයි, හර්ෂණයි, ධනුක ඩිල්ෂානුයි යාල කැලේ ගියා. අපි පාන්දර පහට තමයි යාල කැලේට ඇතුළු වුණේ. අපි කැලේ යන්න ගත්තු වාහන රියදුරා අපිව හඳුනාගෙන වළස්සු සහ අලි වැඩිපුර පෙන්වන්න ඒ අය යන්න නියමිත පාරෙන් පිට පාරක අපේ වාහනය අරගෙන ගියා. ඇත්තටම අපි අලිත් දැක්කා. දැන් ඔන්න එකපාරම අපි ගියපු ජීප් එක පෙරළුණා. 

ඊට මීටර් සීයයක් එහායින් තමයි තනි අලියෙක් හිටියේ. ඔන්න දැන් අපේ ජීප් එක පෙරළුණ ගමන් තරංග හොඳටම බය වුණා. අපි ඔක්කොටම බැන්නා. අමතක නොවන්නේ ඒ ජීප් එක පෙරළුණු එකම නොවේ. ඔන්න දැන් ජීප් එක ඇතුළේම සපත්තු ගලවලා වහලෙන් එළියට පැන්නා. විනාඩි දෙක තුන ඇතුළත ජීප් එක මඩවලේ හිරවුණා. එළියට හරියට පැන්නට තරංගට පැනගන්න බැරිවුණා. තරංග එකපාරටම එළියට පනිනවා කියලා පැන්නේ අර විශාල මඩවලට. මඩ වළේ ඇතුළේ ඉඳන් තමයි තරංග අපි හැමෝටම බනින්න පටන් ගන්නේ. දැනුත් අපි වන සෆාරි යන්න හරි කැමතියි. මම අවුරුද්දට දෙපාරක් තුන්පාරක් සෆාරි යනවාමයි. හැබැයි ඒ යද්දී තරංග යනවා නම් දැන් තීති ගොඩයි. මඩ වළක් දැක්කත් දැන් අපිට මතක් වෙන්නේ තරංගවම තමයි. 

තරංග වගේ යාළුවෙක් මුණගැහීම ගැන රවින්ද්‍රට අද මොකද හිතෙන්නේ...?
තරංග ඉතා හොඳ යාළුවෙක්. අරපිරිමැස්ම කියන දේ අපි ඉගෙන ගත්තේ තරංගගෙන්. ඉස්සර මම ලොකුවට මුදල් ඉතිරි කරගත්තේ නැහැ. හැබැයි තරංග එහෙම නොවේ. තරංග වියදම ටිකක් තියාගෙන තව ටිකක් ඉතිරි කරන්න කියලයි අපිට කියලා තියෙන්නේ. තරංග කියන්නේ හිත හොඳ යාළුවෙක් වගේම හොඳ සහෝදරයෙක්. 

ඔන්න ඔහොමයි රවීන්ද්‍ර තරංග ගැන කිව්වේ. දැන් අපි තරංග රවී ගැන කිව්වේ මොනවද කියලා බලමු.

තරංග... රවීන්ද්‍ර ඔයාට මොනවගේ යාළුවෙක්ද...?
රවී අයියා කියලා කියන්නේ මගේ ජීවිතේ මට ලැබුණු හොඳම යාළුවෙක්. වෙලාවට රවී අයියා මට හොඳ යාළුවෙක්. තවත් වෙලාවකට මට හොඳ සහෝදරයෙක්. සමහර වෙලාවට හොඳ ගුරුවරයෙක්. තවත් වෙලාවකට හොඳ තාත්තා කෙනෙක්.

රවීන්ද්‍රගේ නිර්මාණ හරහා අලුත් මුහුණු හඳුන්වලා දුන්නානේ. ඔවුන්ට රවීන්ද්‍ර මොනවගේ කෙනෙක්ද...?
රවී අයියාගේ තිබෙන සරලකම, නිහතමානීකම නිසාම වැඩිපුරම නිර්මාණ වෙන්නේ තරුණ අය එකතු කරගෙන කරන නිර්මාණයි. මම හිතන විදිහට දැනට මේ ක්ෂේත්‍රයේ ඉන්න තරුණ තරුණියන් අතරින් 90ක්ම ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නෙත් රවීන්ද්‍ර අයියම තමයි. ඒ නිසා බොහෝ දෙනා එයත් එක්ක රැඳිලා ඉන්නවා. සමහර තරුණ කලාකාරියන් රවී අයියට “අප්පච්චි කියලත් කියනවා.

නිර්මාණයකදී රවීන්ද්‍ර මොන වගේ සහෝදරයෙක්ද...?
නිර්මාණයක් සාර්ථක වෙන්නත් අපේ “දුරුතු ක්‍රියේෂන් ආයතනය දියුණු වෙන්නත් අපි දෙන්නාගේම අදහස බලපානවා. “දුරුතු ක්‍රියේෂන් ආයතනය අපි දෙන්නම එකතු වෙලයි පටන්ගත්තේ. දැන් ඒක පටන් අරගෙන අවුරුදු අටක් වෙනවා. මේ අවුරුදු අටට අපි දෙන්නා එකතුවෙලා ටෙලිනාට්‍ය විස්සක් විතර කරලා තියෙනවා. ඒ හැමදෙයක්ම සාර්ථක වෙන්න අපි දෙන්නාගේම අදහස හරියට බලපෑවා. සමහරදාට අපි දෙන්නා අතරේ තර්ක විතර්ක ඇත්වෙනවා. නිර්මාණවලදී අපි දෙන්නා රණ්ඩු වෙනවා. හැබැයි කවදාවත් ගහමරාගෙන නැහැ. නිර්මාණවලදී අපි ඒවගේ කතාබහ ඇති කරගත්තත් අවුරුදු විස්සකට එහා ගිය යාළුකම තාමත් ඒ විදිහටම තියෙනවා.

විවේක වේලාවලදී මොනවද කරන්නේ...?
රවී අයියා ගොඩාක් පොත් කියවනවා. ඒ වගේම මැච් බලනවා. අපිට හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඉතින් අපේ වැඩේම නිවාඩුවක් ලැබුණාහම ලංකාව වටේම යනවා. 

ඒ ගිහිල්ලා යාල මඩ වළකට වැටුණා කියලයි ආරංචිය...?
අම්මෝ... ඒකත් දන්නවාද... ඔව්... ඔව්... ඒවගේ අකරතැබ්බවලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. කොහොමටත් ට්‍රිප් එකක් ගියාම රවී අයියාගේ වැඩේම හැමදෙයක් ගැනම හොයන එක තමයි. යාල ගිහිල්ලත් අන්තිමට මට වුණේ මඩ වළේ ගැඹුර බලන්න තමයි. රවී අයියා නයින්ට හරි බයයි. “අනන්‍යා කියන ටෙලිනාට්‍යයේදී නයෙක් එක්ක කරන දර්ශනයක් කරන්න තිබුණා. ඉතින් නයා ගෙනාපු මනුස්සයා එක නයෙක් වෙනුවට නයි දෙන්නෙක්ම ගෙනවා. ටික දවසක් යද්දී අපි දන්නෙවත් නැතිවම රවී අයියා නයා එක්ක හරිම හිතවත් වුණා. ඒ රහස අදටත් අපි දන්නේ නැහැ. රවී අයියා වඩේ කන්න නම් හරි ආසයි. ට්‍රිප් යද්දී වඩේ කරත්ත රවී අයියට පෙන්නන්න බැහැ.

තරංගට රවී වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන මොකද හිතෙන්නේ...?
ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ හමුවීමත් එක්ක මේ ෆීල්ඩ් එකේ බොහෝ දෙනෙක් අපිට හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. කවදාවත් අපි නළු නිළියන්ට පොලු තියන්නේ නැහැ. ගනුදෙනු ඒ විදිහට බේරනවා. ඉතින්... රවී අයියා මුණගැහීමත් එක්ක මට හොඳ යාළුවෙක් වගේම හොඳ සහෝදරයෙක් මුණගැහුණා.

 

► Text - Dishani  /  Pic –Sumudu