2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

නුඹ දන්නවා මම මේ කටු අග පිපුණා

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 349

ගිගුරුම් නගන අහසේ සක්මන් කරනා
වැහි ලිහිණියේ අදවත් මට වැහි ඕනා
සැලමුතු කඳුළු නෙතු අග පිනි මෙන් දකිනා
නුඹ දන්නවා මම මේ කටු අග පිපුණා

සඳ සක්මනේ යහමින් සිසිලස යදිනා
විෂ තුඩු දැවෙනවා රොන්සුණු සුව සොයනා
රෑ තුන් යමේ දිය වූ නෙත් විල කලතා
උලලේනියේ නොගයන් ගී හිත රිදෙනා

ඉර අවරකත් ඉර ගිරවුන් ඇත රුවිනා
සඳ අවරකත් සඳ සාවුන් ඇත රඟනා
හිරු සඳු නිවී පරවූ තරු කැට බෝමා
පෙම් සඳ කොහේ කොතැනද නුඹ නෑ තවමා

පද රචනය - බණ්ඩාර බෙලිකැටිමුල්ල
සංගීතය - අමිත් ලියනගේ
ගායනය - නිලක්ෂි හැලපිටිය
සහාය ගායනය - සමන් ලෙනින්

මගේ රත්තරන් මහත්තයෝ මම බලාගෙන ඉන්නවා. වැව ඉස්මත්තට වෙලා. දෝර ගලාගෙන එන සඳඑළිය රත්තරන් කුඩු විසිරෙව්වා වගේ වැව් දියට වැටිලා දිලිහෙන රාත්‍රියක ඔයා මේ අහපන් මගෙ සුදු මැණික කියලා කන් පෙත්තට හුස්මක් වැටෙන දුරින් ඉඳන් ආයෙත් කියන දවසක් එනකම්... ඒ හුස්ම වැටුණාම කන්පෙත්තට පාළුවක් නෑ මගෙ දෙයියෝ. රත්තරන් රිදී අරුංගල් කන් පෙත්තට නැති වුණාට... මේ ළඟදී වැව ළඟ කඩේ රේඩියෝ එකෙන් ඇහුණ සින්දුවක තිබුණා මෙහෙම පදයක්. ඇහුණ ගමන් හෝස් ගාලා හිත ඇවිලිලා පපුව මැද්දටම කිඳාබැස්සා. ඒ පද අහුර අනේ රත්තරන් ඒ අපේ කතාවද කියලා මට හිතුණ හින්දා....

ඉසුරු කුමටද සඳලු තලයක
සැපකි මට මේ පවුර පාමුල
නුඹම පමණයි එකම ගැහැනිය
කළු ගලක හද ගැස්ම හඳුනන

මහත්තයෝ රටක් රාජ්ජයක් සන්තකේට ලැබුණත් මක්කටද කියලා හිතෙනවා වෙලාවකට විඳින්ට සෙනේ ඇබින්දක් හිත ළඟ නැතිවෙනකොට... මට මතකයි කොහොමින් කොහොම හරි හැන්දෑවට සුදු මැණිකගෙ ලොකු ඇස් දෙක තත්පරේකට බලලා යන්න හරි මම එනවා කියපු කාලෙ. ආලවන්තකම් වාන් දමද්දී කියපු පෙම් කතා අස්සෙ මහා ලොකු බරසාර කතාත් අතරින් පතර හැංගිලා තිබිච්ච හැටි... සුදු මැණික අම්මගෙ මව්කුසේ ඉඳන් සොහොනටත් සොහොනෙ ඉඳන් අම්මගේ මව්කුසටත් යන එන එන යන මේ සංසාර ගමනේ මොකටද අප්පේ තත්ත්පරයක් තත්ත්පරයක් ගානෙ මැරි මැරී උපදින්න නම් ජීවිතේ. මට ඕන මගෙ මැණික මැරෙනකම් සතුටින් උඹත් එක්ක ජීවත් වෙන්න... ලෙඩක් දුකක් නැතුව නිල් කැටේට දිලිහෙන උල්පත් වතුර ටික නාලා මැණිකගේ අතින් උයන කැකුළු බතක් සම්බෝලයක් කරෝල හොද්දක් මයියොක්කා වෑංජනයක් පොල් රොටියක් කාලා සාරෙට හේන් ගොවිතැනක් කරගෙන ජීවත්වෙන්ට තියෙනවනම් ආයේ ඊට වඩා සතුටක් කොහෙද මට... මාලිගා තිබුණත් මොකටද මැණික හිතේ සතුටක් සැනසිල්ලක් නැත්නම්... අන්තිමට අපි කාගෙත් ජීවිතවලට වලංගු වෙන්නෙ බුදුදහම තමයි. උඹ පන්සලේ හාමුදුරුවන්ට පූජා කරන්ට වගේ ගරුසරුවක් ඇතුව මට හදලා දෙන කැඳ කෝප්පෙ එක හුස්මට ඇදලා මගෙ ජීවිතේට බීපු රසම කැඳ කෝප්පෙ තමා මේ කියලා කියද්දී උඹේ ඇස් සන්තෝසෙට දිලිහිලා මම නොදන්න හේතුවකට කඳුළිනුත් පෙනෙනවා... මේ පොළොවත් එක්ක අතේ කරගැට නැගෙනකම් හැප්පෙන මම කළුගලක් වගේ මිනිහෙක් කියලා අපේ තාත්තා කියනවා... ඒත් සුදු මැණික මහා බුදුපිළිම හරි සියුම් කැටයම් හරි නෙළුවෙත් කළු ගල් උඩම තමයි.... උඹට විතරයි දැනුණේ ඒ කළුගලේ පතුලෙන් ගලන දිය සීරාවන්ගේ තෙතමනය... මගේ රත්තරන් මට මතක් වුණා ඒ සින්දුව ඇහෙද්දී උඹ මගේ ඇස්වලට එබීගෙන කියපු කතන්දර වෙලාවකට... කියන්නත් ලැජ්ජයි වගේ හඳ මෝරන කාලෙට හරි දඩබ්බරයි කියලා හිතෙන උඹේ ආදරේ ඒ වගේම කියලා මගේ මේ ගෑනු හිතට හොඳටෝම තේරෙනවා. උඹ රටකට රාජ්ජයකට නොගියට රුපියල් හොයන්න වැඩි දවසක් උඹ රෑට හේනෙ පැල් කොටේ... සමහරදාට මට සීතල වාවා ගන්න බෑ... මම හීනෙන් වගේ උඹේ ගින්දර වගේ වෙච්ච පපුව අස්සට ගුලි ගැහෙන්න හදනවා... මට හිතෙන්නෙ මගේ දිව්‍ය ලෝකෙ තියෙන්නෙ මගෙ දෙයියො උඹේ පපුව අස්සෙ... ඒ රස්නෙට මාව ඉටිපන්දමක් වගේ දියවෙනවා... ඒත් දියවෙන ඉටිපන්දම ආයෙත් කැටි ගැහෙද්දී හරි හයියයි මගෙ මහත්තයෝ... ඒක නේන්නම් වාවාගෙන ඉන්නෙ මහපොළවක් වගේ හැම දුක් කන්දක්ම. කොයිතරම් තිබහක් ඇඟට හිතට දැනුණත් වැවක් වගේ වෙච්ච උඹෙන් ගත්තු වතුර පොදක් ඇරෙන්න පිපාසෙන් මියැදුණත් නුඹෙන් පිට ඇළ පාරක් ළඟවත් නවතින්න නොහිතෙන්නේ... උඹ රජෙක් වගේ මගේ තුන්හිතම ලියාගෙන.... අප්පේ නිකම් නෙවෙයි සින්නක්කරේටම... මට හිතෙන්නේ ආයෙත් පිරිමි නෑ ලෝකේ උඹ ඇරෙන්න කියලා... ඔන්න උඹ මගේ ලෝකේ රජවෙච්ච තරමක්... ආයෙනම් දෙයියන් පල්ලා සක්විති රජෙක් ආවත් දණ ගහන්නෙ නෑ මම උඹේ කකුල් දෙක ළඟ ඇරෙන්න... උදේ හවා මම වඳින්න අත්දෙක එකතු කරන්නෙ උඹේ ළඟම විතරයි... ඒ එකතු කරන අත්දෙක අස්සෙ උඹට කියන්න මට වචනවලට පෙරළගන්න බැරි දෙයියන්ට බුදුන්ට සමාන ආදරේ ගෞරවේ මහා සාගරයක් තරම් තියෙනවා... අනේ මන්දා උඹට තේරෙනවද දැනෙනවද කියලා.

ගිගුරුම් නගන අහසේ සක්මන් කරනා
වැහිලිහිණියේ අදවත් මට වැහි ඕනා
සැලමුතු කඳුළු නෙතු අග පිනි මෙන් දකිනා
නුඹ දන්නවා මම මේ කටු අග පිපුණා...

 උඹ ඒ කාලෙ මට කීවේ උඹ නම් ගෑනියේ හරි කවිකාරියක් කියලා... උඹ තමයි මගේ ගජමන් නෝනා කියලා... උඹේ ගෑනි කවි ලියනවා විතරක් නෙවෙයි අහද්දී උඹව මතක් වෙන සින්දු පොතකත් ලියාගන්නවා... රෑ දොළොස් පැයේ උඹ හේනට වෙලා වල් ඌරොයි සද්දන්ත අලියි එක්ක අඩව් අල්ලන්ට ලෑස්ති වෙද්දී මම උඹ වෙනුවෙන් දෙයියන්ට බුදුන්ට පහන පත්තු කරලා තුන් සූත්තරේ කියනවා... නිදි නෑ රත්තරනේ මාත් උඹට නින්දක් නැති කොට... උඹ හේනක පැලක අපි දෙපොළක කියලා සිහිපත් වෙන කොට... කවියක් කියන්නවත් හයියක් නෑ. හිත හීරිලා ලේ ගලද්දී සංකාවෙන්... හඳ එළියෙන් මම ලියාගත්තු ගී පදයක් කියවන්නේ එතකොට... කාන්සියටත් එක්ක.

වැහි ලිහිණියෝ අදවත් මට වැහි ඕනා... වැස්ස එන විත්තිය කියන්න මන්දාරම් අඳුර ඉහිරිච්ච අහසට ඉගිල්ලිලා එන වැහි ලිහිණියෝ අළු පාට වලාකුළු අස්සෙන් බර වැහි කැට බේරෙද්දී අහස අත්හැරලා යනවා... තව වෙලාවකට ගොරවන අහසෙන් වැහි වැටෙන්නෙ නෑ... අහස වැහි ලිහිණියන්ව රවට්ටනවා. වැහි ලිහිණියන් මාව රවට්ටනවා... උන්ට තේරෙන්නේ නෑ කාත් කවුරුත් නැති දුප්පත් ගෑනු හිතක් තලන එක මොන පව්කාරකමක්ද කියලා... වැස්ස එන බව කියන අහස මට හිතෙනවා උඹව ඉල්ලන මගේ ගෑනු ඇඟ කියලා. නුඹ තමයි මගේ වැහි ලිහිණියා... මම හරි ආසයි සාර වැස්සට... උඹ ළඟ නැතිකොට වැස්ස දිහා බලාගෙනත් අඬනවා උඹ කීව මගේ කවි හිත... වැස්ස මොරද්දී මම අතරින් පතර ඉරිතැලුණු මහපොළොවක් කියලා මට හිතෙනවා... එහෙම නොවෙයිනම් මෙච්චර ආලවන්තකමක් මොකට ඉපදෙන්ටද වැස්සකට... උඹෙන්ම ඇරෙන්ට වෙන කාගෙන් ඉල්ලන්ටද මම වැස්සක්... මට තෙමෙන්ට ඕනා උඹ අරන් එන වැස්සකින්ම විතරයි. පත්තිනි මෑණියන්ට පහන පත්තු කරන මම වැස්සක් තියා පින්නක්වත් ඉල්ලන්නෙ නෑ. ඔය අහසෙ කරක් ගහන එක ලිහිණියෙක්ගෙන්වත්... නැත්නම් උදේ හවා මේ කඳුළු දිලිහෙයිද මේ විදිහට.

නුඹ දන්නවා මම මේ කටු අග පිපුණා

උඹේ ජීවිතය කියන කටුඅත්තෙ පිපිච්ච එකම එක මල මම... මම උඹට හරි සෙනෙහෙවන්තව කියා දුන්නා තිත්තයි කියලා හිතලා කෙළ ගහන්න එපා කියලා ජීවිතේට.... ගහක් පුරා පිපෙන මල්වලට වඩා කටුඅකුලක ඉපල් අතු අගිස්සක කාලාන්තරයකට පස්සෙ පිපෙන මල හරි ලස්සනයි සුවඳයි... මම දන්නවා උඹ ළඟ මම හුඟක් සුවඳ මමත් පිපුණේ කටුගහක හින්දා කියලා.

රෑ තුන් යමේ දියවූ නෙත් විල කලතා
උලලේනියේ නොගයන් ගී හිත රිදෙනා

මගේ ඇස් කඳුළුවලටම දියවෙලා... ජීවිතේ හැම වෙහෙසක්ම වසන්තයක් කියලා මට හිතෙනවා... ඒත් මට වාවන්ට බෑ අපේ පැලේ බත සරි කරන්න මට චීත්තයක් මුතුපොටක් ගෙනත් දෙන්ට... මගේ අඩුපාඩු පිරිමහන්ට නේද මගෙ දෙයියෝ රෑට පැල් රකින්නෙ දවල් තිස්සේ අව් කාෂ්ටකේ මහ පොළොවත් එක්ක ඔට්ටු අල්ලන්නෙ කියලා හිතෙද්දී... මම අඬනවා නෙවෙයි දෙයියෝ... ඒත් උඹ වෙනුවෙන් පපුව පලාගෙන එන කැක්කුමට මගේ ඇස් මගෙන් අහන්නෙත් නැතුව ඉකිගහනවා.... මම කියලා මක් කරන්නද... මාත් හිතුවක්කාරියක් මටම. කෑගහන්නේ උලලේනියක්... ඒකිත් මම වගේ... මට හිතෙන්නේ ඒ කෑගහන්නෙ උලලේනෙක් නෙවෙයි උලලේනියක් කියලා. ගෑනු හිතක වේදනාව දන්නේ සංකාව දන්නේ ඒ වගේම තවත් ගෑනු හිතක්ම විතරයි කියලා මට හිතෙනවා මගේ මහත්තයෝ. දොසක් කියනවා නෙවෙයි... ඒත් ඒ උලලේනිත් මාත් එක්කම ඒකිගේ පපුව පැලෙන මොකක්දෝ වේදනාවකට විලාප තියෙනවා කියලයි මට හිතෙන්නේ... නරකයිලු උන් කෑ ගහද්දීත්... එහෙමත් කියනවා... ඒ වෙලාවට උඹව ඇස් දෙකින් දකිනකම් මට ඉස්පාසුවක් නෑ ඔන්න... අනේ උඹට අලියෙක්ගෙන් වන සතෙක්ගෙන් කරදයක්වත්ද කියලා... උදේ හවා මම දෙයියන්ට කියන්නෙ ඒකයි උඹේ ඇස් පියවෙනවා බලන්න බෑ මට... උඹට කලියෙන් මට මේ ලෝකෙන් යන්න මගේ ඉරණම ලියන්න කියලා.

ඉර අවරකත් ඉර ගිරවුන් ඇත රුවිනා
සඳ අවරකත් සඳ සාවුන් ඇත රඟනා

අන්න බලාපන්... ඉර නැතිකොටත් සඳ නැතිකොටත් උන්ට විසේකාර මඟුල්. ඉරහඳ අවරට ගියත් උන් උන්ගෙ අඩව්ව අල්ලනවා... තරු කැටත් ඇස්වසන සීත මැදියමේ මම රෑ අහස දිහා බලාගෙන මලානික පරවෙච්ච තරැ කැට ගණන් කරනවා. සඳත් පිටගම් ගිහින්... සඳ එළිය වැක්කෙරෙද්දී ඇවිලෙන හිත දන්නෙ කවුද? අහනවා මම මගෙන්ම... පපුව අස්සෙ ලේ ටික කිරට හරවන්න ආසාවක් නැතුව නෙවෙයි. ඒත් නිදිමත ඇස් අස්සේ හංගගෙන උඹ එද්දී ජනෙල් දොරවල් ටිකේ අගුලු දාගෙන උඹව පැදුරට කරගන්න බැරිකමක් නොතිබුණාට නිදිමත වැක්කෙරෙන උඹේ ඇස් දිහා බලාගෙන හැට්ටෙ කටුව ගලවලා චීත්තය බුරුල් කරන්න හිතෙන්නෙ නෑ මට... උඹට දැනෙනවද මන්දා ඒ මම මටත් වඩා උඹට ආදරේ හින්දා.

වැහිලිහිණියේ අදවත් මට වැහි ඕනා
නොඉල්ලන්නට නොහිතෙනම තැනකදී ඉල්ලුවත් ඒ මහ වැස්ස මහා පොළොවක් මම නුඹේ ළඟ...

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර