2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ජීවිතයට ඕනෑ කරන්නේ වස්තුව නෙමෙයි ආදරයයි. කෑදරකම වෙනුවට පරිත්‍යාගයයි. එවිට ඔබට ජීවිතය මුණගැසේවි

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

- පාප් වහන්සේ

ලෝකෙ පුංචිම රට විදිහට සැලකෙන වතිකානුව තමයි නත්තල වෙනුවෙන් හොඳින්ම හැඩගැහෙන තැන කිව්වොත් හරියටම හරි. ආටෝපවලට වඩා අධ්‍යාත්මික පැත්තට මුල්තැනක් දෙමින් මෙවරත් ශාන්ත පීතර බැසිලිකාව බැතිමතුන්ගෙන් පිරිලා තිබුණේ පාප් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රධාන නත්තල් දේවමෙහෙයට සහභාගී වීමටයි. හැබැයි දේවමෙහෙයට සහභාගී වීමටත් එය නැරඹීමටත් මාස හයකට කලින් ටිකට් බුක් කරගන්න මේ බැතිමතුන්ට සිදුවෙලා තිබුණා. 

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙවර ප්‍රධාන දේවමෙහෙය පැවැත්වූයේ උන්වහන්සේ පාප් පදවිය ලබාගැනීමෙන් අනතුරුව හයවැනි වතාවටයි. මෙදා ගමන තමන්ගේ නත්තල් දේශනයේදී කෑදරකම අඩුකරගත්, භෞතික දේවල් පසුපස හඹා නොයන සමාජයක් බිහිකරගත යුතු බව උන්වහන්සේ දේශනා කළා. 

අසූ දෙහැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නත්තල් සමයේ වතාවත් අතර, නත්තල් දින මධ්‍යම රාත්‍රී දේවමෙහෙයට අමතරව, නත්තල් සුබ පැතුමක්, බොක්සිං දින යාඥාවක්, 31 සන්ධ්‍යා පූජාවක් සහ අලුත් අවුරුදු දා පූජාවක් අඩංගු වුණා. 
නත්තල වෙනුවෙන් රෝම ජනතාවට තිළිණයක් පිරිනමන්නත් පාප් වහන්සේ අමතක කරලා තිබුණේ නෑ. ඒ තමයි රෝමයේ ඉන්න ගෙයක් දොරක් නැති ජනතාව වෙනුවෙන් නොමිලයේ බෙහෙත් කරන ආරෝග්‍යශාලාවක් හදා දීම. වාර්තාවෙන විදිහට වතිකානුව පිහිටලා තියෙන රෝම නගරයේ ගෙයක් දොරක් නැති මිනිසුන් දාසය දාහක් විතර ජීවත් වෙනවා. 

“අපි අපෙන්ම අහලා බලමු. අපේ ජීවිතවලට මේ තරම් බඩු භාණ්ඩ, සැප සම්පත් වුවමනා වෙනවද? මේ අනවශ්‍ය ගොඩගැසීමෙන් තොරව සරල විදිහට ජීවත්වෙන්න අපිට බැරි ඇයි? අපි අපෙන්ම අහලා බලමු” තම දේශනය අතරතුරදී උන්වහන්සේ පැවසුවා. 

“ජීවිතයට ඕනෑ කරන්නේ වස්තුව නෙමෙයි ආදරයයි. කෑදරකම වෙනුවට පරිත්‍යාගයයි. එවිට ඔබට ජීවිතය මුණගැසේවි” පාප් වහන්සේගේ දේශනයේ ප්‍රධාන හරය එය වුණා. 
ශාන්ත පීතර බැසිලිකාවත් මෙවර වෙනදාට වඩා චාම්ව වැඩි අරපිරිමැස්මකින් සරසලා තිබුණු බවත් දැනගන්න ලැබෙනවා. විශේෂයෙන්ම ආලෝක කටයුතුවලට එල්.ඊ.ඩී. බල්බ යොදාගෙන වෙනදා වැයවන විදුලියෙන් සීයට අනූවක්ම ඉතිරි කරගන්නත් වතිකානු පල්ලිය පියවර අරන්. 

මේ අතර වතිකානු රාජ්‍යයේ ලේකම් විදිහට කටයුතු කරන කාදිනල් පියෙට්‍රො පැරොලින් නත්තල වෙනුවෙන් ඉරාකයට ගිහින් තිබුණේ බැග්ඩෑඩයේ ඉන්න කතෝලිකයන් වෙනුවෙන් නත්තල් දේවමෙහෙයක් පැවැත්වීමටයි. 

 

► Text — Suranga