2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

පල්ලියේ ගීතිකා පොතට ගිය බෞද්ධයකු ලියූ එකම ගීය බාලොලි බාලොලියේ

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 326

සුනිල් සරත් පෙරේරා........
ඔබ මා සමඟ අතිනග ගන්නා දවස - මේ මහ  කන්ද බැලුවා හොරැහින් මදෙස - වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි - පාළුව ලුහුබඳින කිරලා හඬා වැටෙයි - නොකියූ රහස හද උතුරා වාන් දමයි - මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි - 
මට ඔහු හා අධ්‍යාත්මික බන්ධනය ඇති කළ පාලමේ ස්නේහවන්ත වාරුව මේ ගී පදයැයි මම මේ මොහොතේත් විශ්වාස කරමි. ඒ සා ඔහු ලියූ ගී පද අනල්පය. එසේම ළතෙත් භාව රසසාර ගුණයෙන් අනූනය. ඒ ගී පද මෙතෙකැයි මේවායැයි වචනයෙන් කියනවාට ලියනවාට වඩා සුනිල් සරත් පෙරේරා හරසර ඇගැයුම් ලිපි සරණිය සමාශංසා පුස්තකය කියවන්නයි ඔබෙන් ඉල්ලා හිඳින්නට මට සිත් වේ. ඔහු කවුදැයි කියන්නට පහදන්නට ඉන් එහා යමක් ඇත්දැයි සිතන තරමටම සමාශංසා ඔහු ගැන අරැත්පූර්ණ දිගු පූර්විකාවකි. 

ගුවන් විදුලියේ, රූපවාහිනියේ සහ මුද්‍රිත මාධ්‍යයේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ විශාරදයෙක්, ග්‍රන්ථ කතුවරයෙක්, විචාරකයෙක්, ගී පද රචකයෙක්, ප්‍රවීණ පරිපාලන නිලධාරියෙක්, සොඳුරු පරිසරවේදියෙක්, හිටපු තානාපතිවරයෙක් සේම මාධ්‍යයේ දුහුනන්ට මාධ්‍ය කුහකත්වයකින් තොරව ගුරුහරුකම් දෙන මනුෂ්‍යත්වයේ පෞරුෂත්වයෙන් සුපෝෂිත ඔහු ගැන මීටත් වඩා කියන්නට ලියන්නට ඉඳින් මම නොවෙහෙසෙමි. ඒ වෙනුවෙන් නොවෙහෙසී සොඳුරු වෙහෙසක් දරන්නට  සිත් වූයේ ඔහු හදවතින් උපන් බාලොලි බාලොලියේ ගීයේ පසුබිම ගැන ඔහුගෙන් විමසන්නටය. මේ ගීතය බෞද්ධයකු අතින් ලියවුණු පල්ලියේ කිතුණු ගීතිකා පොතට ගිය එකම ගීය වීම මෙහි ඇති තවත් සුවිශේෂීත්වයක් ලෙස හඟිමි.

කිතුණු ගී පොතට එකතු වුණු බෞද්ධයකු අතින් ලියවුණු එකම නත්තල් ගීතයේ හිමිකාරයා ඔබ?
කිතුණු පල්ලිය සහ කිතුණු ජනතාව මට ලබා දුන්නු විශාල ඇගයීමක් ගෞරවයක් විදිහටයි මම එය සලකන්නේ. කතෝලිකයන්ගේ ජන වන්දනාවේදී ගායනා කිරීම සඳහා අනුමතව කිතුණු ගී 01- ගීතිකා පොතට මේ ගීතය ඇතුළත් වෙලා තියෙනවා. ඒ ගීතය තමයි බාලොලි බාලොලියේ ගීතය. මේ සින්දුව දෙස් විදෙස් සිංහල කතෝලික ජනතාව අතර හුඟක් ජනප්‍රියත්වයට පත්වෙච්ච සිංහල කැරොල් ගීතයක්. මේ ගීතයේ තනු නිර්මාණය කළ ෂෙල්ටන් ප්‍රේමරත්නත් බෞද්ධයෙක්. එයත් සුවිශේෂී කාරණයක්. ගීතය ගායනා කළේ ලතා වල්පොල අපේ ප්‍රවීණ ගායිකාව. ඒ වගේම තවත් ප්‍රවීණ ගායිකාවක් වන චන්ද්‍රිකා සිරිවර්ධන ඇතුළු පිරිසත් ගායනයේදී සහාය වුණා. 
බාලොලි බාලොලි ගීතයට අමතරව ඔබ තවත් කිතුණු ගී රචනා කළා.

ඔව්. ගීත 10ක් පමණ රචනා කළා. ඒත් ඒ ගීත අතරින් බෙත්ලෙහෙමේ ගීතය නමින් හඳුන්වන බාලොලි බාලොලියේ ගීතය තමයි හුඟක් ජනප්‍රිය වුණේ. සුනිල් සාන්තයන් අතින් තනු නිර්මාණය වෙලා අයිවෝ ඩෙනිස් ගායනා කළ ජේසු උපන් දා කියන කැරොල් ගීතය රචනා කළෙත් මම. ඒ කාලයේ සුනිල් සාන්තයන් පදිංචි වෙලා හිටියේ ජා ඇලට කිට්ටුව දෙහියගාත කියන ගම්මානයේ. එක නත්තල් සමයක ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් ඉදිරිපත් කරන ලද කැරොල් ගී ප්‍රසංගයක් සඳහා තමයි මම මේ ගීතය ලිව්වේ. මගේ බලවත් ඉල්ලීමට සුනිල් සාන්තයන් එහි තනුව නිර්මාණය කරලා දුන්නා. නත්තල් සීයාගේ පැමිණීම ගැන කියන සීතල හිම කඳු වැටියෙන් බැසගෙන ගීතය රචනා කළෙත් මම. 1967 බියන්විල බැප්ටිස්ට් දේවස්ථානය සංවිධානය කළ නත්තල් කැරොල් ගීත ප්‍රසංගය සඳහාත් මම ගීත රචනා කළා. ඒ කාලයේ දේවස්ථානය බාරව කටයුතු කරපු රොහාන් වීරසිංහ දේවගැතිතුමාගේ මඟපෙන්වීමෙන් මිල්ටන් ඉලංගතිලක මහත්මාගේ ආරාධනයට අනුව අලුත් ගීත නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒවායේ තනු නිර්මාණය කළේ නාරද දිසාසේකර. සම්ප්‍රදායික කැරොල් ගීතයේ විවිධ ලක්ෂණ සේවනය කරමින් කැරොල් ගීතය ගැන අත්හදාබැලීම් කීපයක්ම කරන්නට මටත් නාරදටත් අවස්ථාව ලැබුණා. 

බාලොලි බාලොලියේ අපූරු ගීතය ලියවිච්ච පසුබිම ඔබට තාමත් මතක ඇති?
ඔව්. 1970 ගණන්වල මම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වැඩ කරන කාලයේදී අපි බෞද්ධ කැරොල් ගී වැඩසටහනක් කළා. එවක මුදල් ඇමැතිව හිටපු ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාත් ඒ බෞද්ධ කැරොල් බලන්න ඇවිල්ලා අපි නත්තල් කැරොල් එකකුත් කරමු කියලා කිව්වා. ඒ විදිහට  තමයි නත්තල් කැරොල් ගී ගායනාව සංවිධානය වුණේ. ඒ යුගයේදී කතෝලික සන්නිවේදය අධ්‍යක්ෂක පදවිය දැරුවේ ප්‍රවීණ කලාවේදියෙක් වෙච්ච අර්නස්ට් පෝරුතොට පියතුමා. අපි මේ නත්තල් කැරොල් එක කරන්න හුඟක් මහන්සි වුණා. නත්තල් කැරොල් කණ්ඩායමක් හදලා කතෝලිකයන් බහුලව ඉන්න වත්තල, ජාඇල, කඳාන පසුකරලා හැමිල්ටන් ඇල දිගේ අපූරු පාරු පෙරහරකින් ඒ ගී ගායනා කරමින් අපි ගමන් කළා. මේ පාරු පෙරහරේදි ගයන්න තමයි බාලොලි බාලොලි ගීතය ලිව්වේ. 

බෞද්ධයෙක් වුණු ඔබ මේ තරම් රසසාර ගුණසාර විදිහට කිතුණු ගීයක් ලීවේ කොහොමද? කෙනෙක්ට ඒ ප්‍රශ්නය නැගෙන්න පුළුවන්?
කලාවට අධ්‍යාත්මයෙන්ම ළං වුණු කලාව ගැන නිබඳ අධ්‍යයනයේ හෝ පර් යේෂණයේ යෙදෙන කලාව  ආත්මය  කරගත් ගීත රචකයෙක් කවර හෝ නිර්මාණවේදියෙක් කියන්නේ උසස් පරිකල්පන ශක්තියක් තියෙන චින්තකයෙක් කියලයි මම හිතන්නේ. ඒ චින්තකයාට නිර්මාණශීලි කලාවේදියාට පුළුවන් තමන්ගේ සහ තමන්ගේ නොවන අත්දැකීම් තමන්ගේ නිර්මාණවලට අපූරු ප්‍රස්තුත බවට පත්කරගන්න. ඒවාට රස දැනෙන ලෙස රස කවන්න. ගුණ පොවන්න. නිර්මාණශීලීත්වයේ සාහිත්‍යයේ ආයිත්තම්වලින් නිර්මාණය හැඩ කරන්න එළිය කරන්න. සරල සුගම භාෂා මෙවලම් ඔස්සේ සුබෝධ ගුණ ඇතිවන පරිදි ඒ ප්‍රස්තුතවලට ජීව ගුණය කවන්න. එතනදී තමන්ගේ ජාතිය, ආගම, භාෂාව, තමන්ගේ අත්දැකීම් පරාසය කුමක්ද කියන කාරණාව නෙවෙයි වැදගත් වෙන්නේ. තමන් පරිකල්පන ශක්තියෙන් සහ චින්තනයෙන් කොයිතරම් දුරට සුපොහොසත්ද? පෙරළිකාරද? කියන කාරණයයි වැදගත්. 

නිර්මාණයක්  සම්භාව්‍ය හෝ අසම්භාව්‍ය ලෙස වර්ගීකරණයකට ලක්කරන්න අපට පුළුවන්ද? අහවල් නිර්මාණය උසස් රසයක් ජනිත කරන නිර්මාණයක්.අහවල්  නිර්මාණය පහත් රසයක් ජනිත කරන නිර්මාණයක් කියලා කියන්න කෙනකුට  පුළුවන්ද? එසේ වර්ගීකරණය කිරීම සාධාරණද?
නැහැ. ඒ වර්ගීකරණය කිසිසේත්ම  සාධාරණ නැහැ. නිර්මාණයක් සම්භාව්‍ය අසම්භාව්‍ය කියලා තීරණය කරන මිනුම් දණ්ඩක් කිසිම කලාවක් තුළ නෑ. එය සාපේක්ෂ කාරණයක්. කෙනකුට උසස් නිර්මාණයක් තව කෙනකුට පහත් නිර්මාණ රසයක් ජනිත කරන නිර්මාණයක් වෙන්න පුළුවන්. නිර්මාණයක සම්භාව්‍ය හෝ අසම්භාව්‍ය බව තීරණය කරන්නේ එය රස විඳින පුද්ගලයාගේ මානසික මට්ටම අනුවයි. ඔහු කොතෙක් දුරට අධ්‍යාත්මිකව පොහොසත්ද දුප්පත්ද කියන නිර්ණායක තමා එහි තීරකයා වන්නේ. ඒ  නිසා කිසිම කලා කෘතියක් උසස් හෝ පහත් ලෙස වර්ග කිරීම අසාධාරණයි වගේම එවැනි මිණුම්දඩු ඔස්සේ කලා කෘතියක් නිර්දය ලෙස   ගැරහීමට  මම එකඟ වෙන්නෙත් නෑ.

 

► Text - Dr Asela Wijesundara