2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

දුවකට කියාපුම තාත්තෙක් දැක්කේ මේ චිත්‍රපටයෙන්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 137

Art එකේ කැරට්ටුව..

හඬ: මාරියෝ ආනන්ද

වැටෙන හිම කැට නැති වුණාට ළඟ පාතක නත්තල් කේක් සුවඳ වින්ඳා හොඳටෝම. ජාතිය, ආගම, දේශය මොකක්ද කියන බේදයක් හදවතේ අහලකවත් නැති අපි හැමෝටම නත්තල්. නත්තල කියන්නේ ප්‍රේමය සහ සහෝදරත්වයට දුන්න නිර්වචනයක්ද කියලත් මට හිතෙනවා. දෙසැම්බරයේ අමුතු සීතල නත්තල් සිරියාව ගැන මතක් කරද්දි, අසිරිමත් දේව උපත සමරන්න තව දවසයි දෙකයි කියලා දැනෙද්දි ඉවසිල්ලක් නැති ගාණට බලන් ඉන්නවා අපි දෙසැම්බරයේ 25 එනකන්. මටත් එහෙමනම් කිතුණු දහමත් එක්ක අධ්‍යාත්මයෙන්ම බැඳී ගිය මාරියෝට කොහොම හිතෙනවද. දැනෙනවාද මේ අසිරිමත් සීතල කියලා මට හිතුණා. ඒත් කතා කරන්න කතා කළේ නත්තල ගැනනම් නෙවේ. මොකක් ගැනද කියලා අමුතුවෙන් කියන්න ඕනෙත් නැති තරමට හඬ ඔයාට සමීපයි කියලත් මම දන්නවා. 

හරි.... මාරියෝ Enter වෙමු එහෙනම් Topic එකට.
මාරියෝ කොහොමද වාසේ දේසේ... එහෙම... මොනවද මේ දවස්වලට විස්තර... පොඩ්ඩක් අපිට කියන්නකො...?
පහුගිය දවස්වල ටිකක් විතර කාර්යබහුල වුණා සංගීත වැඩත් එක්ක... මීට ටික දවසකට කලින් අපේ Tone Poem ටීම් එකට සම්මානයකුත් ලැබුණා.. ඒ ගැනත් ගොඩක් සන්තෝසෙන් ඉන්නෙ... මගේ ඉංග්‍රීසි ගීතයකුත් රිලීස් කරා... ඕවත් එකක් ජීවිතේ හිමින් ගතවෙනවා...

හරි... එහෙනම් මම වැඩේ පටන්ගන්නම්...
අපිට ඕන වුණා නිර්මාණයක් ගැන අමුතු යමක් මාරියෝගෙන් දැනගන්න... හැබැයි කොන්දේසියක් තියෙනවා... ඒක ගීතයක් වෙන්න බෑ... එකඟද?
හරි එකඟයි...

එහෙනම් කියන්නකො ඔබ දැකපු බලපු විඳපු නිර්මාණවලින් හදවතට දැණුනු නිර්මාණය විස්තර ටිකක්...
එහෙම නිර්මාණයක් කියන්න කිව්වාම එකක් තෝරගන්න ටිකක් අමාරුයි... ඒත් මම මෑත වකවානුවේ බලපු නිර්මාණ අතරින් හිතට තදින් වැදුණු නිර්මාණයක් මගේ මතකයේ තියෙනවා.. ඒ තමයි අමීර් ඛාන් නිෂ්පාදනය කරපු ඔහුම රංගනයෙන් දායකවෙන ඩන්ගල් කියන හින්දි චිත්‍රපටය. 

හරි... අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවද ඩාන්ගල් චිත්‍රපට මෙච්චර කැමති ඇයි කියලා?.
ඔව් මෙහෙමයි... අමීර් ඛාන් කියන්නෙ මම ගොඩක් කැමති නළුවෙක්... අනිත් එක එයාගේ ගොඩක් නිර්මාණ අතිසාර්ථක වුණානේ. ඒකට හේතුව තමා ඒ චිත්‍රපටවලට තිබ්බ කතා තේමා බොහෝ මිනිස්සුන්ගේ ජීවිතවලට ගොඩක් ළඟින් යන ඒවා. බොලිවුඩ් සිනමාවේ අපිට වැඩිපුර දකින්න තියෙන්නෙ මනඃකල්පිත වාණිජමය පැත්තට බරවෙලා තියෙන නිර්මාණනෙ. මේ චිත්‍රපටයත් වාණිජමය පැත්තට බර චිත්‍රපටයක් වුණාට හරිම යථාර්ථවාදීව නිර්මාණශීලිව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරලා තියෙනවා. මේකට කැමති වෙන්න තව හේතුවක් තමයි ඉන්දියාවේ මතයක් තියෙනවා කාන්තාවන්ට සමහර දේවල් කරන්න බෑ කියලා.. ඉන්දියාවේ විතරක් නෙමේ ලංකාවේ සමහර මිනිස්සුත් ඉන්නෙ ඒ මතේමයි... ඒත් ඒ මතේ බිඳහෙළලා ලොකු පණිවිඩයක් සමාජයට දුන්න චිත්‍රපටයක් විදියට මම ඩන්ගල් චිත්‍රපටය දකිනවා.

ඩන්ගල් කතා තේමාව ගලාගෙන යන්නෙ ඉන්දියාවේ එක්තරා ගම සිටින තාත්තා කෙනෙකුයි දුවල දෙන්නෙකුයි අතර... දුප්පත්කමින් මිරිකෙන සමාජ තලයක ඉඳලා තමන්ට දිනාගන්න බැරිවුණ ජයග්‍රාහණ තමන්ගේ දුවල දෙන්නට අරගෙන දෙන්න කරන උත්සායක් තමයි ඩාන්ගල් නමින් තිරයට එන්නෙ... 

මහාවීර් සිං කියන තාත්තාගේ චරිතය පණ පොවන්නෙ අමීර් ඛාන්. ඔහු ජාතික මට්ටම ගිය මල්ලවපොර ශූරයෙක්. ඔහුට ජාතික මට්ටමෙන් එහාට යන්න බැරිවෙන්නෙ ආර්ථික අපහසුකම් නිසා. ඔහුට ක්‍රීඩාව අතඇරලා රස්සාවක් හොයාගන්න තැනට ඔහුගේ දෙමාපියන්ගෙන් බලපෑම් එල්ලවෙනවා..  පෞද්ගලිකව මටත් ඒවගේ අවස්ථාවන්ට මුහුණ  දෙන්න වුණ වෙලාවල් තියෙනවා. මගේ යාළුවො පවා මගෙන් අහනවා උඹ බැන්ද කාලෙක උඹේ ළමයින්ට කන්න දෙන්න කොහොමද සින්දු කියලා කියලා. මේ ප්‍රශ්නයමයි  මහාවීර් සිං හටත් මුහුණ දෙන්න වුණේ... එවෙලාවෙ ඔහු කරන්නෙ ජාත්‍යන්තර මල්ලවපොර සිහිනය අතහරින එක. ඔහු රැකියාවක් හොයාගෙන පසුව විවාහවෙනවා. විවාහයෙන් පසුව වුණත් එයාගෙ ඒ සිහිනය අතහරින්නෙ නෑ.. එයා හිතනවා එයාට පුතෙක් හම්බවුණොත් ඔහුව ජාත්‍යන්තර මල්ලවපොර ශුරයෙක් කරන්න... ඔහු හතර වතාවක් උත්සාහ කළත් අවාසනාවට ඔහුට ලැබෙන්නෙ දුවලම හතර දෙනෙක්.. මේ ගමේ ගැහැනු දරුවන් වැඩිකල් ගෙදර තියාගන්නෙ නෑ.. තරුණ වියට පා තබපු ගමන් ඒ කියන්නෙ අවුරුදු 12-13 වෙනකොටම ඒ අයව ඔවුන්ට වඩා වයසින් ගොඩක් වැඩි කෙනෙක්ට විවාහකරලා දෙනවා... ඒත් මේ මහාවීර් සිං කියන තාත්තා එහෙම කරන්නෙ නෑ... තමන්ගෙ දුවලට කන්න බොන්න දීලා හොඳින් පෝෂණය කරනවා. ඒ විතරක් නෙමේ දරැවන්ට ඒත්තු ගන්වනවා ඔබේ සහකාරයා ඔබ කැමති කෙනෙක් විය යුතු බව ඒ නිසා ඒ කෙනාව ඔබම සොයාගන්නා ලෙස... එක්තරා දවසක ඔහුට දැනගන්න ලැබෙනවා පාසලේ රණ්ඩුවකදී පිරිමි ළමයි දෙදෙනෙකුට තමන්ගෙ දුවෙක් හොඳටම පහරදීලා කියලා.  ඒ පිරිමි ළමයින්ගේ දෙමාපියන් මහාවීර් සිංගේ ගෙදර ඇවිත් චෝදනා කරනවා... එදා තමයි මහාවීර් සිං දැනගන්නෙ තමන් තිබ්බා වගේම ශක්තියක් එයාගේ දුවල ළඟත් තියෙන බව... හිත යටින් ඔහු ගොඩක් සතුටු වෙනවා...  එතනින් පස්සෙ තමයි මේ තාත්තා ජාත්‍යන්තර මල්ලව පොර සිහින හඹායන්න උත්සාහ කරන්නෙ... 

මේ නිර්මාණය ඇතුළේ මාරියෝ වැඩියෙන්ම සමීප වුණ චරිතය කවුද.. මොකක්ද ඒකට හේතුව?
පැහැදිලිවම අමීර්ඛාන් රඟපාන මහාවීර් සිංහ කියන කැරැක්ටර් එක තමයි මම ආදරය කරන්නෙ.. ඒක හේතුව තමයි සැමියෙක් සහ තාත්තා කෙනෙක් හැටියට තමන්ගේ දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් ගන්න ඕන තීරණ හරිවෙලාවෙදී හරි තැනදී නොබියව ගත්තා. තමන්ව කොච්චර අවිශ්වාස කළත්, ගැරහිලි, විවේචන මොනව තිබ්බත් ලෝකෙට ඕන දෙයක් කරගන්නයි කියලා තමන් දරැවන් වෙනුවෙන් නොසැලී කළ යුතුදේ කළයුතු මොහොතේ කරපු තාත්තා කෙනෙක් තමයි මහාවීර් සිං කියන්නෙ. අනිත් කාරණාව සහ අමීර් ඛාන් මහාවීර් සිං කියන චරිතය රඟපාන්න කරපු කැපවීම... මේ චිත්‍රපටයේ පළවෙනි දර්ශන සඳහා ඔහුට ඔහුගේ ශරීරයේ බර කිලෝ 70ක් වැඩි කරගන්න වුණා... ඒ වැඩි කරගත්ත බර ඔහු මාස 3-4 ඇතුළත ආයෙත් යථා තත්ත්වයට ගත්තා... එක දර්ශනයක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීම කරන්න නළුවෙකුට හරි අමාරු දෙයක්... එත් අමීර් ඒක කළා.

මේ නිර්මාණ ඇතුළේ ඔබව වැඩියෙන් සංවේදී කරපු තැනක් දෙකක් ඇති නේද?
ඔව් මාව පුදුම විදියට සංවේදී කරපු එක තැනක් තමයි ඔවුන් ජීවත් වෙච්ච ගමේ අවුරුදු 12ක ගෑනු දරුවෙක්ව වයසක මනුස්සයෙක්ට විවාහකරලා දෙන්න යන මොහොත... එදා තමයි මහාවීර් සිං ගේ දුවලා දෙන්නට තේරෙන්නෙ තමන්ගෙ තාත්තා එයාලට කොච්චර ආදරේද කියලා... මොකද ආර්ථික අපහසුකම්වලින් බැටකන අවස්ථා ගොඩක් මේ අයගේ ජීවිත ඇතුළේ ඕනතරම් තිබ්බා... ඕනෙනම් මේ තාත්තාට තිබ්බා දුවලාව විවාහ කර දීලා ඒ ප්‍රශ්නවලින් මිදෙන්න... ඒත් ඒ තාත්තා කවදාවක් එහෙම කරේ නෑ කියලා මේ දුවලට තේරෙන මොහොත හරිම සංවේදීයි. 

මේ නිර්මාණයෙක් ඔබට ලැබුණෙ මොනවගේ දේවල්ද?
ජීවිතේ මොන තරම් ප්‍රශ්න, අපහසුතා, ප්‍රතික්ෂේප කිරීම් ආවත් ජීවිතේ අතහරින්න හොඳ නෑ... මටත් මේ වගේ අද්දැකීම් තියෙනවා අපේ රටේ අපේ දක්ෂතා එකක් හැකියාවන් එකක් නැගිටලා දෙයක් කරන්න උත්සාහ කරද්දි සෑහෙන්න කකුලෙන් අදින අවස්ථා තියෙනවා... මම පොඩිකාලෙ ඉඳන් විශ්වාස කරපු දෙයක් තමා මට ඉංග්‍රීසි ගීත රචනා කිරීමේ හැකියාව. ඒත් ක්ෂේත්‍රයේ අය මට සෑහෙන්න හිනාවුණා... ඕව කරලා කන්න බොන්න පුළුවන්ද කියලා අහපු අවස්ථා තිබ්බා.. ඒත් ලංකාවේ මිනිස්සු අගය නොකළාට විදේශ රටවලින් මට ඒ ඇගයීම ලැබිලා තියෙනවා... අනිත් අයට නොලැබෙන... පිටරටවල ගොඩක් වැඩ මට අද ලැබිලා තියෙනවා. අරවගේ කතා අහලා මම මගේ වැඩේ අතඇරියෙ නෑ. ලෝකෙ අනිත් අයට කියන කතා අපිට අදාළ නෑ. අපි අපේ ගමන යන්න ඕනෙ. ඒ ගමන අවංකව ප්‍රතිපත්තිගරුකව යන්නත් ඕනෙ. අනිත් දේ තමයි මට හොඳ තාත්තා කෙනෙක් වෙන්න ඕනෙ හැම පැතිකඩක්ම ආවරණය කරපු නිර්මාණයක් මේක. විශේෂයෙන්ම දුවෙක්ට තාත්තා කෙනෙක් වෙනවා නම් ඒ දුව දිහා බලන්න ඕනෙ හැම ඈන්ගල් එකක්ම මේ චිත්‍රපටයේ තිබුණා කියලා මම විශ්වාස කරනවා. 

 

► Text - Danushka Wijesiri   /   Pic- Internet