2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

නැති වූ නත්තල අරන් ආ දඟමල්ල

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

මීට වසර කිහිපයකට උඩදී බාබරා මිය ගියාට පසු කෙන්ගේ ලෝකයේ තිබුණු සුන්දරත්වය අතුරුදන් වූයේ ක්ෂණයකිනි. කොටින්ම තම ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමිය යුත්තේ කෙසේදැයි ඔහුට නිනව්වක් හෝ නොතිබුණි. තම දියණියන් දෙදෙනාත් ඔවුන්ගේ දරුවනුත් අතර කාලය ගතකරන්නට හැකියාව තිබුණ ද ඔහු තනිව ජීවත් වන්නට තීරණය කළේය. වැඩිහිටි නිවාසයකට ඔහු ඇතුළු වූයේ ද ඒ හේතුවෙනි. එහෙත් වැඩිහිටි නිවාසයේ පාළු ජීවිතය ඔහුගේ හිතට වඩ වඩාත් තම ආදරණීය බිරිය වූ බාබරාගේ මතකයන් ඇතුළු කරමින් ඔහුගේ තනිකම වැඩි කළේය. 

නත්තල යනු කාගේත් සිත් සතුටු කරවන උත්සව සමයකි. එහෙත් ගෙවුණු වසර කිහිපය පුරාවට කෙන් නත්තල ගතකළේ කිසිදු හැඟීමකින් නොවේ. වසර ගණනාවකට පෙර වීඩියෝ කළ තමා, බාබරා සහ දියණියන් දෙදෙනා සිටින විඩියෝවක් නරඹමින් නත්තල ගෙවාදැමීමට ඔහු පුරුදුව හුන්නේය. එහෙත් තම පුරුද්දට මෙවර ඉඩදෙන්නට කෙන්ට නොහැකි විය. 

බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් විසින් පොඩ්ඩන් වැඩිහිටි නිවාසයකට ගෙනැවිත් රූගත කරන රූපවාහිනී වැඩසටහනකට කෙන් වාසය කරන වැඩිහිටි නිවස තෝරාගෙන තිබුණි. කෙන්ට ලිලී හමුවූයේ එහිදීය. 

ලිලී යනු සිව් හැවිරිදි හුරුබුහුටි කෙල්ලකි. දඟ මල්ලක් වන ඈ, කෙන්ගේ ජීවිතයට නැවත සතුට, විනෝදය ගෙන එන්නට සමත් වූවාය. අන්තිමේදී ඔවුහු සැබෑම මිණිපිරිය සහ මුත්තණුවන් තරමට එකිනෙකාට සමීප වූහ. 
මෙය රූපවාහිනී රූගත කිරීමක් වුවද මද වේලාවක් ගතවෙද්දීම අවට කැමරා තමන් දෙස බලාසිටින බව ද වැඩිහිටියන්ටත් පොඩ්ඩන්ටත් අමතක වී තිබුණි. ‍කෙන් සහ ලිලී තරමටම එකිනෙකාට සමීප වූ තවත් දෙදෙනෙක් වූයේ පෝලීන් සහ ඉස්මයිල්ය. පෝලීන් හිටපු මහේස්ත්‍රාත්වරියකි. 

ලිලී, ඉස්මයිල් ඇතුළු වැඩිහිටි නිවාසයට පැමිණි සෙසු පොඩ්ඩන්ට සෙල්ලම් බඩු තේරීමට ගිය කෙන්, අවසානයේදී එහි පැමිණ සිටි තම වැඩිහිටි නිවාසයේම වැඩිහිටියෙක් සමඟ සෙල්ලම් බඩු කඩය ඇතුළත පොඩ්ඩන්ගේ සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරන තරමට තම හිත නිදහස් කරගෙන සතුටින් පුරවාගෙන තිබුණි. 

සෑහෙන කාලෙකින් මගෙ ජීවිතේට සතුටක් ආවේ මේ පොඩ්ඩෝ නිසායි. ඒක නම් හරිම පුදුමයක්! කෙන් කියන්නේය. 
ඇතැම් රටවල කරන ලද අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ ද පෙරපාසල් වයසේ දරුවන් හා වැඩිහිටි නිවාසවල වැඩිහිටියන් එකට මුහු කිරීම තුළින් දෙගොල්ලන්ටම ප්‍රතිලාභ අත්වන බවයි. කෙන්ගේ කතාව ඊට කදිම සාක්ෂියක් බවට සැක නැත. 

 

► Text — Suranga