2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

දැහැන

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

සිරියාවන්ත සීතල, ආදරණීය දෙසැම්බරය, ගෙවෙන්න තව ටික දවසයි. ස්නේහයේත් දයාවේත් උපත සරි කළ දවස සමරන්න තව දවසයි දෙකයි... දෙවියන් සමඟ දෙවියන් සමරන්න මගේ හදවත ජීවිතේ පළමු වතාවට නුපුරුදු සූදානමක... ඔයාට ජීවිතේ මුණගැහිලා තියෙනවද එහෙම ආදරණීය දවසක්... දෙවියන් සමඟ දෙවියන් සමරන්න දවසක්... වසන්තය කියන්නේ ජීවිතයේ එක සෘතුවකට නෙවෙයි. ජීවිතේ මුළු මහත් වෙහෙසම කියලා මට හිතෙනවා... හැම සොඳුරු වෙහෙසක්ම වසන්තයක් කියලා මට හිතෙනවා... අසිරිමත් ඔබ සමඟ ආදරණීය දෙසැම්බරයට හැර දැමූ හැම ද්වාරයකින්ම ඔයාගේ සුවඳ මා ළඟට ඇවිත්... මට ප්‍රේමය ගැන මුලකුරු කියාදුන් දෙවියන් වහන්සේගේ සුවඳ මා ළඟට ඇවිත්... ඒක සසර හුරුපුරුදු ආත්මීය සුවඳක්...

ජීවිතය කියන්නේ අඩියක් නැතුව හම්බවෙන සපත්තුවක් කියලා මට හිතෙනවා... සංසාරය කියන්නෙ කෙළවරක් මිස අවසානයක් නැති මාවතක් කියලා මට හිතෙනවා. අඩිය ගහගන්න ඕනේ තමන්. ඒ ගහගන්න අඩියෙ ශක්තිය සමබරතාවය තමයි අපිව ඒ මාවත දිගේ ඇවිද්දවන ඉරණම තීරණය කරන්නේ. මට මෙහෙමත් හිතෙනවා... සපත්තුව කියන්නේ භෞතික ජීවිතය... සපත්තුවේ අඩිය කියන්නේ අධ්‍යාත්මික ජීවිතය. ජීවිතය රස හොද්දක්... ජීවිතය ආදරය කියන නිල්දියවර වාන් දමන මහා වැවක්. අරැත් අනන්තයක් පසිඳන සොඳුරු නිම්නයක්... හරි සපත්තුවක් සහ සපත්තුවට සරිලන අඩියක අයිතිකාරයෙක් වුණොත් ඔබ....

ඔයා ඔයාව නොමරණ තුරු ඔයාට ආදරය සහ ජීවිතය මුණගැහෙයි... අහන්න..... ජීවිතයට ආර්ථිකයට සියල්ලට කළමනාකරණයක් අවශ්‍යයි. තර්කයක් නෑ මට ඔයත් එක්ක. ඒත් ඔයාගේ මනස ස්වභාවිකත්වය ඉක්මවා යන සීමාවක නවතා කළමනාකරණය කරන්න එපා කවදාවත්... ඒ කළමනාකාරිත්වය තුළ ජීවිතය වෙනුවෙන් රුපියල් භෞතික සැප සම්පත් හරි හම්බ කරගන්න දොරටු ඕනතරම් ඔයා වෙනුවෙන් ඇරෙන්න පුළුවන්. ඒත් ජීවිතයේ සමස්තය ඒ දොරටු තුළ ලඝු කරන්න එපා. ජීවිතය වෙනුවෙන් මුදල් සැප සම්පත් වගේම ආදරයත් හරි හම්බ කරන්න. බැඳීම් හරිහම්බ කරගන්න. ආදරණීයම එක් හදවතක්... ඔයාගේ හදවත කියවන්න පුළුවන් හදවතක් ජීවිතයේ මුදුනතක තියාගෙන නිර්මල ආදරයක් ඒ බැඳීම වෙනුවෙන් පූජා කරන්න. කිසිදෙයක් ආපහු ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඔයාගේ වටිනාකම දැන හඳුනාගත් හදවතකින් ඔයා දෙන ඉදිකටු තුඩක් තරම් ආදරය වෙනුවෙන් එයා මහා සාගරයක් තරම් ආදරයක් ඔයාට ආපහු දෙයි.

ජීවිතයේ දුර්ග මංමාවත් අනන්තවත් ඔයාට මුණගැහෙයි. එදාට ජීවිතයට දැනෙන පිපාසය සංසිඳුවන්න පුළුවන් ජීවිත දාහය නිව්ව ආදරයේ උල්පතකටම විතරයි. තමන්ට තමන් ආදරෙයි මේ ලෝකේ හැමෝටම වඩා... නැහැ මට හිතෙන්නේ එක තැනකදී ඒ න්‍යාය වෙනස් වෙනවා. සංසාරේ හුරුපුරුදු බැඳීමක් විදිහට දැනෙන හදවතට දැනෙන බැඳීමක් ළඟ ඒ න්‍යාය වෙනස් වෙනවා. ඔබේ හිතසුව පිණිස ජීවිතයේ හැම අවයක්ම ලේ බින්දුවක්ම වුණත් මට දන්දෙන්න පුළුවන් කියන තැනට හදවත පත්වෙනවා. මට වඩා ඔබ තව එක දවසක් හරි ජීවත්වෙන්න කියන ප්‍රාර්ථනාව හදවතේම ප්‍රාර්ථනාවක් වෙනවා. ඔබේ කටහඬ නෑසෙන දවසක මගේ ජීවයම සිඳී හදවත වියළි බිම්කඩක් බවට පත්වෙන බවක් දැනෙන්න ගන්නවා. ඒ තමා ඔයා ඔයාට වඩා තව කෙනෙකුට ආදරය කිරීමේ සංවේදනාවන්.

ඔයාට කොහොමද දැනෙන්නේ... හදවතේ හැම සියුම් ස්නායුවක්ම ප්‍රේමයෙන් පිරිමැද ස්නේහයෙන් ඉඹින්න... ඔයාට මාව දැනෙයි...


එදාට අහස සේ ඔබ අනන්තයක් වුණත් දශමයේ අන්තිම මාත්‍රය තරම් දුරක්වත් නැති බව දැනෙයි හදවතේ හරි මැද අනන්ත ගැඹුරට...