2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

මම හැමෝගෙම චූටි

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 274

මම දැන් විදුෂි කියලා කතා කරන්නද...? එහෙම නැත්නම් කුසුමාසන දේවී කියලා කතා කරන්නද...?
දැන්නම් කවුරුත් මාව හඳුනන්නේ කුසුමාසන දේවී චරිතයෙන් තමයි. හැබැයි ඉතින් මගේ ඇත්ත නම විදුෂි නිසා විදුෂි කියලම කතා කරමු නේද...?

කුසුමාසන දේවී චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණේ කොහොමද...?
ඒ චරිතය මට ලැබුණේ කොහොමද කියලා ඇත්තටම මම දන්නේත් නැහැ. මමත් ඒ කණ්ඩායමෙන් නිතරම අහන දෙයක් තමයි කවුද මාව මේ චරිතයට යෝජනා කළේ කියලා.  ඒ වෙලාවේදී අපේ සහය අධ්‍යක්ෂක නිශාන්ත හරිම විහිළු කතාවක් කියනවා. එයා ළඟ ගුලි තුනක් තියෙනවාලු. ඒ ගුලි තුන කාලා නිදාගත්තාම ඒ චරිතය සඳහා මාව හීනෙන් දැක්ක නිසා මාව ඒ චරිතයට තෝරාගත්තා කියලයි.

කුසුමාසන දේවී කියන්නේ සාමාන්‍ය චරිතයක් නෙවෙයි... ඒ චරිතය රඟපාද්දී ලැබුණු අත්දැකීම් කොහොමද...?
ඇත්ත... ඇත්තටම කුසුමාසන දේවී කියන්නේ මම ලොකු අභියෝගයක් දුන්නු චරිතයක්. ඒකේ තිබෙන දෙබස් වුණත් අපි සාමාන්‍ය ව්‍යාහාරයේදී කතා කරන දෙබස් නෙමෙයි. ඒවාත් වෙනස්. එකම වාගේ වචන ළඟ ළඟ කියද්දී පැටලෙනවා. ඉතින් අභියෝගයක් වුණත් කුසුමාසන දේවී කියන්නේ මගේ ජීවිතේ මට ලැබුණු හොඳ අවස්ථාවක්. සාමාන්‍ය ජීවිතේදී මම ටිකක් දඟ චරිතයක්. දෝන කතිරිනා චරිතයෙනුත් අශ්වයා පිට යන්න, කඩු ශිල්පය කරන්න තියෙනවා. ඉතින් ඇත්තටම ඒ හැම දෙයක්ම හරිම වෙහෙසකාරියි. එක දවසකට ඒ හැම දෙයක්ම කරද්දී ඒ පීඩනය දරාගන්න අමාරුයි. හැබැයි රූපවාහිනිය තිරය ඔස්සේ මගේ ඒ චරිතය දකිද්දී ඇත්තටම දැනෙන්නේ ලොකු සතුටක්.

මීට පෙර එවැනි චරිතයක් රඟපාලා නැද්ද...?
නැහැ... ඇත්තටම කරලා නැහැ... මේ වෙද්දී මම චරිත කිහිපයක්ම කරලා තියෙනවා. ඒ හැම චරිතයක්ම බොහෝම සාමාන්‍ය චරිතයි. එක්කෝ යාළුවෙක්. පෙම්වතියක්, සහෝදරියක් වගේ චරිතයි. ඒ හැම දේකදීම වගේ ජීවිතේට පොඩි හෝ සමානකමක් තියෙනවා. හැබැයි දෝනකතිරිනා තමයි දැනට මම කරන චරිතවලින් මට අභියෝගයක් වුණු මට දෙයක් කරන්න තියෙන චරිතයක් වෙන්නේ.

චරිතයට ආරාධනා ලැබෙද්දී ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවද...?
ටිකිරි රත්නායකයන්ගේ මෙම නිර්මාණයට කතා කරද්දී ඇත්තටම මට බය හිතුණා. එකපාරටම මේ චරිතයට කතා කරද්දී හිතාගන්න බැරිවුණා. ටිකිරි රත්නායක කියන්නේ හරි සුන්දර මනුස්සයෙක්. ඔයා ඇවිත් අපිත් එක්ක වැඩ කරන්න කියලා නිශාන්ත අයියා හරි අපූරැවට මට කියලා දුන්නා. ඉතින්... ඇත්තටම මේ මුළු කණ්ඩායමම හරිම හොඳයි. හැමෝම මට උදව් කරනවා. දරැවෙක් වගේ මාව පිළිගත්තා. හැමෝම මට කතා කරන්නේ “චූටි කියලයි. පොඩි දෝන කතිරිනාට තිබුණු ආදරය එහෙම්මම මට ලැබෙනවා. මුලින්ම ෂූටිං එකට ගිය දවසේ මගෙන් “මොනවද ඕන බිස්කට්* කියලා අහද්දී මම ඉල්ලලා තිබ්බේත් පොඩි දෝන කතිරිනා ඉල්ලපු බිස්කට් ජාතියමයි. මගේ හැසිරීමෙත් අර පොඩි දෝන කතිරිනා වගේලු. ඉතින් ඒ අයට ඇත්තටම දැනෙන්නේ අර පොඩි දෝන කතිරිනා ලොකු වෙලා වගේමලු. ඒ නිසා ඒ තිබ්බ ආදරය එහෙම්මම මටත් ලැබෙනවා. ඒ සහයෝගයත් එක්ක හරිම ආසාවෙන් වැඩ කරනවා.

දෝන කතිරිනා නාට්‍යයේ හරි අපූරු යාළුවෙකුත් ඔබට මුණගැහෙනවා නේද...?
ඔව්... ඔව්... ඒ තමයි අශ්වයා... ඒ අශ්වයා දැනට නම් හරිම හරි හොඳයි. ඉතාම සහයෝගයෙන් මාත් එක්ක වැඩ කරනවා. අනික සහෝදරයින්ට ලැබුණු අශ්වයෝ ඒ අයට පොඩ්ඩක් වද දීලා තිබුණා. හැබැයි මට ලැබුණු කෙනානම් හරි ෂෝක්.

විදූෂිව බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ දෙවැනි ඉනිම හරහායි...?
ඔව්... ඒක ඇත්ත... ඒ නාට්‍යයට මට අවස්ථාව ලැබුණේ මගේ යාළුවෙක් හරහායි. ඒ ප්‍රභාත් චතුරංග අයියා. දෙවැනි ඉනිම නාට්‍යයෙන් පස්සේ තමයි මට මේ හැමදේම ලැබුණේ. ඒ නිසා මම කවදාවත් දෙවැනි ඉනිම අමතක කරන්නේ නැහැ.

පුංචි කාලේ හීනය වුණේ කවුරු වෙන්නද...?
මම ඉගෙන ගත්තේ ගෝතමී බාලිකාවේ. පුංචි කාලේ ඉඳන් එහෙම ලොකු හීනයක් තිබුණේ නැහැ. මගේ අක්කා ෆැෂන් ඩිසයින් කළා. එයා කරන දේවල් දිහා බලාගෙන ඉදිද්දී මටත් ඒ කලාවට ආස හිතුණා. ඒ නිසා මම ජුවලරි ඩිසයින් කෙනෙක් වුණා. ඒ ඉන්නකොට ඒ අයගේ ආභරණ නිරූපණ ශිල්පිනියක් විදිහට මම කටයුතු කළා. ඒ හරහා තමයි මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. නැන්දත් මාමත් (කුසුම් රේණු සහ ශ්‍රියන්ත මෙන්ඩිස්) මේ ක්ෂේත්‍රයේ ඉතා ප්‍රවීණයෝ. ඒ අය මේ කලාවට ආදරෙයි. ඉතින් ඒ නිසා බයක් නැතිව මාත් මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා. මම මගේ නිර්මාණවල අඩුපාඩු නැන්දා බලලා කියලා දෙනවා. මගේ රඟපෑම් අගය කරනවා. ඒක මට ලොකු ශක්තියක්. නැන්දයි මාමයි හැමවෙලේම මට කියන්නේ “පුතාට බුද්ධිය තියනවානේ. ඒ නිසා පුතා බලලා කල්පනාවෙන් වැඩ කරන්න. කියලා

ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු යටත් වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වෙන්න විදූෂිට අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ...?
ඒකත් ඇත්තටම හීනයක් වගෙයි. ඒ වේදිකා නාට්‍යය පටන් ගනිද්දී මම තමයි අක්කා එක්ක ගිහින් ඇඳුම් නිර්මාණ කරන්න උදව් කළේ. ඒකේ ඇඳුම් හැඳුවේ අපි. ඒක රියසල් කරද්දී මම බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ජයන්ත මාමා දුන්නු ගුරුහරුකම් හරි අපූරැයි. ඒ වගේ ආරාධනාවක් ලැබෙද්දී මට හිතාගන්නවත් බැරි වුණා. මුලින්නම් බයක් දැනුණා. හැබැයි ජයන්ත අයියා කියන්නේ හරි අපූරු කෙනෙක්.

කලා කටයුතු කරද්දී ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද...?
මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කා සහ මමයි මගේ කලා කටයුතුවලට ගෙදරින් පුදුමාකාර සහයෝගයක් ලැබෙන්නේ. ෂූටීංවලට අම්මා තමයි මාත් එක්ක යන්න එන්නේ. තාත්තා තනියම මාව කොහේමත් යනවට කැමති නැහැ. ඉතින් ගෙදරින් මට ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දක්වනවා.

ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද...?
දැන් මේ ගමන පටන් අරගෙන ඉවරයි. ඉතින් මේ යන ගමන හෙමිහිට කාටත් කරදරයක් නැතිව හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.  

 

► Text - Dishani   /   Pic - Sumudu