2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

අපි කාගෙවත් රෙදි හෝදන්නෙ නැහැ

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 163

උදයා.. ඔයාට මුලින්ම සුසිලාව මුණගැහුණු කාලය මතකද..? (සුසිලා කතා කරන්නේ උදයා කියලා නිසා අපිත් ඔන්න උදයා කියලම ලීවා)

ඔව්.. මතකයි. මට මුලින්ම සුසිලා අක්කව මුණගැහුණේ කෝපි කඩේදී. ඒ කාලෙදී සුසිලා අක්කා අද වගේම හරි ජනප්‍රියයි. ඉතින් මම කෝපි කඩේ ෂූටින් ගිය වෙලාවක සුසිලා අක්කව මුණගැහුණා. එතකොට සුසිලා අක්කා බොහොම කෙට්ටු, ලස්සන ගෑනු කෙනෙක්. 

සුසිලා කියන්නෙ යාළුවෙක් විදිහට මොන වගේ චරිතයක්ද..?
සුසිලා අක්කව බොහෝ දෙනෙක්ට පේන්නෙ බොහොම කලබලකාරී චරිතයක් විදිහට. ඒත්.. ඒ හදවතත් එක්ක කතා කරද්දී ඒකනම් මාරම පුදුම හදවතක්. උණුවෙන හදවතක්. යාළුකම වෙනුවෙන්, ෆිට් එක වෙනුවෙන් ඕනම දෙයක් දෙන්න කැමති කෙනෙක්. ඒ වගේම සුසිලා අක්කා මට ඕනෑම දෙයක් දීලා තියෙන කෙනෙක්. ඒ වගේ යාළුවෙක් ලැබීම ඇත්තටම මගේ වාසනාව. ඇත්තම කිව්වොත් සුසිලා අක්කට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නැති තරම්. එයා හරි අපූරු ගැහැනියක්.

එයත් එක්ක ඉඳිද්දී පාළුවක් දැනෙන්නෙ නැහැ නේද..?
මොන පාළුද..? වෙලාව ගතවෙනවා තේරෙන්නෙත් නැහැ. කතා කරද්දී එක අරමුණක්, එක මාතෘකාවක් නැහැ. අපි ඔහේ කියවනවා. හැබැයි ඒ දේවල් ඇතුළේ කාටවත් කරදර කරන, කාගේවත් ඕපදූපනම් අපි කතා කරන්නෙ නැහැ. සුසිලා අක්කා බොහෝ දෙනා ආශ්‍රය කරනවා. එයාට හැමෝම හරි ආදරෙයි. ඒ නිසා එයා බොහෝ දේවල් දන්නවා. ඒ හැමදේම එයා අපිටත් කියලා දෙනවා. ඉතින්.. සුසිලා අක්කා ඉන්න තැන ආයේ දෙකක් නැහැ.. හරිම හරි ජොලි.

ඇයට කේන්ති යනවද..?
එයාට කේන්ති යන අවස්ථාත් තියෙනවා. එයාට සමහර වෙලාවට ඇත්තටම කේන්ති යනවා. හැබැයි ඉස්සර හිටපු සුසිලා අක්කට වඩා දැන් ඉන්න සුසිලා අක්කා ගොඩක් හොඳයි. දැන් එදාට වඩා එයාට කේන්ති යනවා හරිම අඩුයි. එයා හරියට හිතනවා.

සුසිලා ඔයාට බිත්තරවලින් ගැහුවේ ඇයි..?
අප්පා.. ඒකනම් මාරම කතාවක් තමයි. ඔන්න ඉතින් ඔය සිද්ධිය වුණේ ආටක නාටක නාට්‍යයෙදී. ඒ නාට්‍යයේ මායි එයයි ඉඳිද්දී නාට්‍යයේ හැටියට එයාට හිනාවෙවී අතේ තියෙන බිත්තර තුන බිම ගහන්න තියෙනවා. දැන් ඔන්න ටේක් එක පටන් ගත්තා කියමුකො.. සුසිලා අක්කා බිත්තර තුනක් අරගෙන බිම ගහනවා වෙනුවට මගේ කටට ගැහුවා. විශ්වාස කරන්න.. බිත්තර තුනෙන් මගේ කට පැලිලා ලේ වැක්කෙරුණා. ඇත්තටම සුසිලා අක්කා බිත්තරවලින් ගහලා මගේ කට පැලෙයි කියලා හිතුවේ නැහැ. හැබැයි දෙයියනේ.. බිත්තරේකින් මිනියක් මරන්න වුණත් පුළුවන් කියලා අපි දැනගත්තෙ එදා. බිමට ගහන්න තිබුණු බිත්තරවලින් සුසිලා අක්කා කටට ගහලා හරි ජරමරයක් තමයි වුණේ. විහිළුවට ගියාට පස්සෙ අපි ඔහේ අපිට හිතෙන දේවල් කරනවා. සමහරදාට ෂූටින්වලදී ගහනකොට ඇත්තටම ගහනවා. සමහර පහරවල් හරියට රිදෙනවා. ඒත් ඉතින් මොනවා කරන්නද..? ඉවසගෙන හිනාවෙලා ඉන්නවා.

එයාට දැන් සින්දු කියන්නත් පුළුවන්.. නටන්නත් පුළුවන්.. නේද..?
ඔව්නෙ.. සුසිලා අක්කට දැන් හොඳට නටන්නත් පුළුවන්. ඉස්සර සුසිලා අක්කට සින්දු කියන්න බැහැ. එයා ඒක ඉගෙන ගත්තා. දැන් ඇත්තටම සුසිලා අක්කා සමහර ගායිකාවනුත් පරාද කරලා තියෙනවා. එයා ඒ තරමටම ඒ විෂය ඉගෙන ගත්තා. එයා හැම අතින්ම පොහොසත් කලාකාරියක්.

දැන් දැන් සුසිලා හරි අපූරු විලාසිතා කරනවා. උදයා මොකද ඒ ගැන කියන්නෙ..?
ඔව්.. ඇත්තටම එයාට විලාසිතා දැනෙනවා. විලාසිතා අතට අහුවෙනවා. එයා එයාට ගැලපෙන සපත්තු, මාල, ගවුම මොකක්ද කියලා දන්නවා. එයා ලස්සනට ඉන්න හරි ආසයි. දවසක් හරි අපූරු දෙයක් වුණා. එක්තරා වැඩසටහනකදී එයා විලාසිතා කරන්න ඇඳුම් පැළඳුම් අරගෙන ආවා. ඔන්න ඉතින් මම එයාට හොරෙන් එයාගේ ඇඳුම් පැළඳුම්, ආභරණ ඇඳගෙන එයාට කලින් ඒ වැඩසහන කළා. මම ඒ වැඩසටහන කරලා ඉවරවෙලා එයා ඉස්සරහට ගියා. එතකොට එයා යකෝ මම අඳින්න හිටපු ඇඳුම් කියලා කිව්වා. මම නෑ නෑ.. මම ඒක කරලා ආවේ කිව්වාම සුසිලා අක්කට හයියෙන් හිනා ගියා.

ඇයට හරි අපූරුවට කෑම හදන්නත් ආගන්තුක සත්කාරයත් හොඳට පුළුවන්..?
ඔව් ඔව්.. හරි රසට කෑම උයනවා. මට දරුවා ලැබෙන කාලෙදී සුසිලා අක්කා මට ගෙදරට කතා කරලා ෆයිඩ් රයිස් එක්ක හරි අපූරු කෑම එකක් හදලා දුන්නා. ඒ කාලෙදී මට කෑම කන්නත් බැහැ. අප්පිරියයි. හැබැයි සුසිලා අක්කගේ කෑම එක මම හරිම ආසාවෙන් එදා කෑවා. ඒ කෑමවල රස තාමත් මට දැනෙනවා. එයාගේ කිරිබත මාරම රසයි. එයාගෙන් මම මාළු ඇඹුල් හදන හැටි කොපි කරගත්තා. ඔන්න දවසක් මම එයාගේ මාළු ඇඹුල රෙසපි එක මගේම අතින් හදලා එයාට කන්න දුන්නා. එදා එයත් මගේ කෑම එක රස කර කර කෑවා. 

ඔබගේ ජීවිතේට ඒ වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන මොකද හිතෙන්නෙ..?
සුසිලා අක්කා සමහර වෙලාවට මට යාළුවෙක්ටත් වඩා සහෝදරියක් වගෙයි. අම්මා කෙනෙක් වගෙයි. සුසිලා අක්කා හැමදෙයක් ගැනම දන්න කෙනෙක්. ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්න ලැබීම මගේ වාසනාවක්. සුසිලා අක්කා එක කොමඩි නාට්‍යයක ආච්චි කෙනෙක්ට රඟපෑවා. ඒ වගේ චරිතයක් සුසිලා අක්කට හැර වෙන කාටවත්ම කරන්න බැහැ කියලා එදා මම දැනගත්තා. සුසිලා අක්කව තව කොමඩි නිළියක් ගාණට නෙමේ.. එයාව චරිතාංග නිළියක් ගාණට වැටෙනකම් මම බලාගෙන ඉන්නවා. ඒ තරමට සුසිලා අක්කා දක්ෂ නිළියක්. ඒ වගේම අපූරු චරිතයක්.

ඔන්න ඉතින් උදයා එහෙම තමයි සුසිලා ගැන කිව්වේ. දැන් අපි බලමුද සුසිලා මොනවද උදයා ගැන කිව්වේ කියලා.

ඔයාට උදයා මොනවගේ යාළුවෙක්ද..?
එයා මට යාළුවෙක් කියලනම් කියන්න බැහැ. ඇත්තටම උදයාව මට දැනෙන්නෙ මගේ සහෝදරියක් වගෙයි. ඒ කාලේ උදයා දැන් උදයානම් නෙමේ. දැන් කාලේ නව යෞවනයේ උපරිම ජනප්‍රිය අය ඉන්නවනෙ. අන්න ඒ වගේ කෙනෙක් තමයි ඒ කාලෙදී උදයා කියන්නෙ. ඒ කාලෙදී අපිට උදයාට කිට්ටු වෙන්නවත් බැහැ. ස්ටයිල් කරපු දිග කොණ්ඩේ, ලස්සන රූපය තිබුණු ඒ කාලෙදී උදයා නියම කෑල්ලක් තමයි. හැබැයි උදයා කවදාවත් නිළියක් විදිහට ජීවත් වුණේ නැහැ. එයා ගෙදරදොරේ හොඳ ගෘහණියක්. ඒක දැන් කාලේ ඉන්න ශිල්පිනියන්ට ලොකු ආදර්ශයක්. කොයි තරම් වැඩ තිබුණත් එයා සැමියාට දරුවන්ට විය යුතු යුතුකම් පැහැර හරින්නෙ නැහැ. ඇය ලොකු බරක් දරනවා. හැබැයි ඒ හැමදෙයක්ම දරාගෙන එයා ලස්සනට එයාගේ පවුලේ ජීවිතේ ගෙනියනවා. එයා ලස්සන ගෙයක් හදාගත්තා. එයාට හොඳ සැමියෙක් මුණගැහිලා තියෙනවා. හොඳ කීකරු දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා උදයා ඉන්නෙ හරිම සතුටින්. උදයාට කාත් එක්කවත් තරගයක් නැහැ. කාවවත් කපලා ඉස්සරහට යන්න ඕනකමක් ඇයට නැහැ. උදයා කියන්නෙ දෙන ඕනෑම චරිතයක් කරන්න පුළුවන් නිළියක්.

උදයාට කේන්ති යනවද..?
ඔව්.. උදයාට පොඩ්ඩක් කේන්ති යනවා. හැබැයි ඒ කේන්ති යන්නෙත් අසාධාරණයටයි. සමහර දවස්වලට උදයා කේන්තිය පෙන්නන්නෙ නැහැ. ඒ කේන්තියත් එයා විඳදරා ගන්නවා. හැබැයි.. කියන දෙයක් මූණටම කියලා දානවා. ඉතින් අපි හම්බවුණාම කාගෙවත් රෙදි හෝදන්නෙ නැහැ. අනුන්ගෙ ඕපදූප කතා කරන්නෙ නැහැ. හැබැයි දරුවන් ගැන, නිර්මාණ ගැන අපි කතාබහ කරනවා. 

දවසක් උදයා සුසිලාට කොරවක්කා කියලා කෑගැහුවේ ඇයි..?
ආ.. ඒකත් ආටක නාටක නාට්‍යයේදීම තමයි. ඔන්න ඒ නාට්‍යයේ හැටියට උදයාට හිඟාකන චරිතයක් කරන්න තියෙනවා. බොරු අන්ධ ගෑනියෙක් විදිහට තමයි උදයා මහපාරේ හිඟාකෑවේ. එතකොට මට ලොකු සල්ලිකාර නෝනා කෙනෙක් විදිහට පාරේ යන දර්ශනයක් කරන්න තියෙනවා. කොහොමත් ඉතින් ඔය වගේ චරිතයකදී මම ඇවිදින්නෙ කකුල් දෙක කොරවක්කා වගේ ඇද කර කරනෙ. ඔන්න දැන් මම එහෙම පාරේ යද්දී පිටපතේ නැති දෙබසක් උදයා කෑගහලා කිව්වා. ඒ තමයි කොරවක්කා හබරල කොළේ ඇවිදිනවා වගේ එන අර ගෑනි ළඟනම් සල්ලි ඇති කියලා. ඉතින්.. ඒ කොටස හරි අපූරුවට රූපගත කරලා ඉවර වුණු ගමන් ඈ යකෝ.. කාටද කොරවක්කා කියලා කිව්වේ කියලා මම උදයාගේ බෙල්ලෙන් අල්ලාගත්තා. ඒ වගේ හරිම සුන්දර මතකයන් අපේ තියෙනවා.

ඇයටත් සුසිලාට වගේ රසට උයන්න පුළුවන්ද..?
අප්පා.. හරි රසට උයනවා. මම ඒ ගෙදර ගියොත් කනවාම තමයි. උදයාට රසට උයන්න පුළුවන්. සමහරදාට ෂූටින්වලට වෑන් එක ආපු ගමන් &ඔහොම ඉන්න මම එනවා කියලා උඩ ඉඳගෙන කෑගහලා, හොද්දත් බාලා තමයි උදයා වෑන් එකට නඟින්නෙ. කෑමවලට දමන තුනපහවලට අමතරව උදයා දමන ආදරය කරුණාව නිසාම ඒ කෑම තවත් රසයි.

උදයාගේ විලාසිතා ගැන ඔබ මොකද හිතන්නෙ..?
විලාසිතා උපරිමයි. ඒකෙ හොඳම කෝලමක් මම කියන්නද..? එක අවුරුද්දක එක්තරා නාලිකාවක සංවත්සරයකදී කලාකරුවන් කලාකාරියන් පිරිවරාගත්ත උත්සවයක් තිබුණා. ආයේ ඉතින් ටිප්ටොප් එකට ඇඳලා උදයා ලස්සනට ආවා. හැබැයි පර්ස් එක වෙනුවට පොඩි ලස්සන පන් මල්ලක් තමයි අරගෙන ආවේ. ලස්සනට හෙයාර් ස්ටයිල් එකක් දාලා, ලස්සනට ඇඳලා, පන් මල්ලකුත් අරගෙන ආවා. ඒකත් උදයාගේ අමුතු විලාසිතාවක් තමයි. ඇත්තටම උදයා මෝස්තර නිරෑපිකාවක් වුණානම් හොඳයි කියලයි මටනම් හිතෙන්නෙ. සාරි අඳිනවානම් හරිම අඩුයි. එයා මම වගේ සාරිවලට පෙරේතනම් නැහැ.

නිර්මාණ කටයුත්තකදී ඇගේ සහයෝගය, කැපකිරීම කොහොමද..?
නිර්මාණ කටයුත්තකදී උදයාගේ තියෙන ලොකුම කැපකිරීම තමයි උදයා හැඩවෙන්න, ලස්සන වෙන්න හරි උනන්දුයි. උදයාට සල්ලිවලට හදාගත්ත දත් සෙට් එකකුත් තියෙනවා. ඒ තරමටම එයා නිර්මාණයකදී විරෑපී වෙනවා. සුරූපී වෙනවා. ඒ වෙනුවෙන් කැපවෙනවා. බබෙක් හම්බවෙන්න ඉන්න චරිතයක් කිව්වොත් අපි බඩට බඳින්න කොට්ටයක් හොයද්දී උදයා බඩ හදාගෙනත් ඉවරයි. ඔන්න ඉතින් ෂූටින් එක ඉවර වුණාම අර තඩි බඩ ඇතුළෙන් අපේ බෑග්වල තිබුණු රෙදි එකින් එක එළියට මතුවෙනවා. අපේ බෑග්වල තියෙන රෙදි ටික ගුලි කරගෙන බඩ ඇතුළට දාගෙන තමයි ෂූටින් කරලා තියෙන්නෙ.

සුසිලාගේ ලස්සන ලස්සන මාල වළලුවලට උදයා ආසයි වගේ..?
අනේ ඔව්.. හිටපු ගමන් උදයා ඒ ගැන කියනවා දෙයි හාමුදුරැවනේ.. අක්කා මැරුණු දවසට ඉස්සෙල්ලාම මේ ගෙදරට ගොඩවෙලා මේ හෑන්ඩ් බෑග්, මාල, වළලු ඔක්කොම අස්පස් කරලා ගේ හිස් කරන්නෙ මම තමයි කියලා. මේ මාල වළලුවලටත් යන කලක් තියෙන්න එපැයි. අක්කා බයවෙන්න එපා. මම ඒවා අස්කරන්නම් කියලා කියනවා. එයා හරි විනෝදයි. හරිම ෂෝක්.

උදයා වගේ යාළුවෙක් ජීවිතේ මුණගැහුණු එක ගැන මොකද හිතෙන්නෙ..?
ඇත්තටම උදයා මට යාළුවෙක් නෙමේ. මම තනියම ඉපදුණු ගැහැනියක්. ඇය මට මගේම සහෝදරියක්. මම පසුගිය වකවානුවේදී අසනීප වුණු වෙලාවෙදී උදයා මගේ ඇඳ ළඟටම වෙලා හිටියා. ආයෙමත් මම කියන්නේ එයා මට යාළුවෙක් නෙමේ... ඇය මට සහෝදරියක්. ගිය ආත්මයකදී හරි උදයා මට මගේම සහෝදරියක් වෙලා ඉන්න ඇති.

 

► Text - Dishani  /  Pic –Sumudu & Internet