2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

මම නොකළේ හිඟාකෑම විතරයි.....

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 206

Art එකේ කැරට්ටුව.

පුංචි පැටවුන්ගේ බඩගින්න නිවන්න පොඩි බත් හැළියේ උයපු බත්ටිකට පොල්තෙල් ඉහලා කන්න දුන්නෙ හොද්දක් හදාගන්න තරම්වත් පොහොසත්කමක් ඒ දුප්පත්කම ඇතුළේ නොතිබිච්ච හින්දා. අම්මා ඇඳගෙන හිටපු චීත්ත රෙද්දෙ දැලිකුණු සුවඳ මිසක් ඉඳුල් සුවඳක් නොදැණුනේ ඉඳුලක රහ දැනෙන්න වෑංජනයක් ළිප්ගල් තුන උඩ නොඉදුනු හින්දා. 

පස්සෙ කාලෙක උදේ පොත්ටික අරන් ඉස්කෝලෙට ගිය පොඩි කොල්ලා හවසට තාත්තාගෙ තේ කඩේ වැඩට ගියේ මහ කන්දක් තරම් දුප්පත්කම ඇස් ඉස්සරහා මෝරපු හින්දා...  එකදවසක් මල්ලිත් එක්ක ළඟ ගෙදරක ටීවී බලන්න ගිහිල්ලා ඒ ගෙයි දොර වහපු හින්දා පුංචි කවුළුවකින් එයයි මල්ලීයි ටීවී එක දිහා බලාගෙන හිටියලු, ඒ බලාගෙන ඉද්දී ඒ අය දූවිලි ඇස්වලට පිඹිද්දී හිතේ දුකටත් එකක් වරුවක් විතර අඬද්දී ඔහුට නොහිතෙන්න ඇති එයා හුඟක් අය ආදරය කරන නිවේදකයෙක් විදිහට ජීවිතය දිනාගන්න දවසක් එන විත්තිය. ඒත් නොහිතන දෛවය වෙලාවකට ජීවිතයට අරන් එන්නේ හරිම අහම්බකාරක ඉරණම්. වතුර බිංදුවෙයි කඳුළු බිංදුවෙයි වෙනස නොතේරෙන කෝටියක් මිනිස්සු ඉන්න ලෝකෙක ජීවිතය හොයාගෙන එද්දී ලේ වැක්කෙරෙන්න යටිපතුල්වල ඇනිච්ච කටු ගණනින් කොච්චරක්ද කියලා කියන්න මතකයක් නැති වුණාට ඒ පාර දෙපැත්තේ පිපිච්ච එක මලක්වත් හුළං පොදක්වත් නොතිබිච්ච බව විතරයි ඔහුට මතක. 

අදටත් ඒ අතීතය අකුරෙන් අකුර ඔහු වචන කරන්නෙ හරි අභිමානයකින්. ඒ ජීවිතය මුදුනතක ඔසවා තබන්න පන්නරයක් දුන්නෙත් ඒ නැතිබැරිකම් නොසලකා හැරීම් දෝරගලපු ඒ දුප්පත් අතීතයම හින්දා.  මහේෂ්ට හුඟක් අය ආදරය කරන්නෙත් නොසඟවා දිගහරින දුක පිරුණු ඒ අතීතය නිසා කියලා මට හිතෙනවා... 

මහේෂ් කියන්නෙ ජනප්‍රිය නිවේදකයෙක් සහ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක්... දෙස් විදෙස් ශ්‍රී ලාංකික හදවත් මත ලැඟුම්ගත් ඔහු වඩාත් සහෘද වුණේ සිහිනයකි රෑ වැඩසටහනින්.
මුහුදට කිට්ටු වෙච්ච උස් ගොඩනැගිල්ල යටට වෙලා ඉන්න මහේෂ් ගාවට කිට්ටු වුණේ මහේෂ්ගේ  හිත ළඟ නැවතිච්ච නිර්මාණයක් ගැන මොහොතක් ගතකරන්න කියලා හිතාගෙන...

ආයුබෝවන් මහේෂ්.. කොහොමද ඉතින්...?
මුහුණ පුරා හිනාවක් එක්ක එයා අපි සාදරයෙන් පිළිගත්තා...

හොඳයි... පහුගිය දවස්වල ඉඳලම ටිකක් කාර්යබහුලයි.. ඒකට ප්‍රධානම හේතුව තමා මගේ ශාස්ත්‍රපති විභාගය තිබුණා... ඒකට ගොඩක් මහන්සිවුණා... තවත් එකක් තමයි සිහිනයකි රෑ වැඩසටහන. සිහිනයකි රෑ සතිපතා යන එකක් නිසා කොහොමත් ටිකක් මහන්සිවෙන්න වෙනවා. සිහිනයකි රෑ අලුත් වැඩසටහනකුත් පටන්ගත්තා ප්‍රේක්ෂකාගාරය කියලා. ඒ දේවලුයි ගෙදර දරුවන්ගෙ වැඩත් එක්ක ජීවිතය ගලාගෙන යනවා...
ඒ තමයි මහේෂගේ ජීවිතයේ මේ දවස්වල හැඩය...  

මහේෂ් සාර්ථකව ශාස්ත්‍රපති විභාගය සමත් වුණා කියලා අපිට දැනගන්න ලැබුණා... අපි ඒකට සුබපතලම වැඩේ පටන්ගමු... 

හරි මහේෂ් මම මෙහෙම අහන්නම්කො... ඔබේ ජීවිතයට බලපෑමක් කරපු නිර්මාණ එහෙම ඇතිනෙ... ඒ අතරින් ඔබ ආස කරන නිර්මාණය මොකක්ද? ඒක ගීතයක් වෙන්න බෑ හැබැයි...?
ඔව් එහෙම  දෙස් විදෙස් නිර්මාණ ගොඩක් තියෙනවා.. ඒ සැම අතරින් මගේ දවතට තදින්ම දැණුනු තාමත් අංක එකේ තියෙන නිර්මාණය තමා ටී.බී. ඉලංගරත්න ශූරීන් රචනා කරපු සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කරපු අඹ යාළුවෝ කියන ටෙලි නිර්මාණය.‍

මහේෂ් අඹ යාළුවෝ ටෙලියට මෙච්චරම ආදරයක් කරන්න විශේෂ හේතුවක් ඇති නේද? 
ඒකට හේතුව තමයි... අඹ යාළුවෝ කියන ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයක් රඟපාන නිමල්ගේ භූමිකාව මට දැනෙනවා මීට දශක කීහිපයකට කලින් ඒ මගේ ළමා කාලය කියලා.. නිමල්ගේ අම්මායි තාත්තායි මට පේන්නේ මගේ අම්මයි තාත්තයි කියලා.. විශේෂයෙන්ම තාත්තා... නිමල්ගේ තාත්තා වගේම මගේ තාත්තත් ගල් වැඩපොළක ගල්කඩපු මිනිහෙක්. තරුණ කාලේ මම අඹ යාළුවෝ බලනකොට පුදුම විදියට ඒකට සමීප වෙලා තමයි ඒක නැරඹුවේ. මටත් ඕනෑ තරම් මිනිස්සුන්ගෙන් කෙනෙහිලිකම් වෙලා තියෙනවා, මිනිස්සුම මගේ දුප්පත් කමට ගරහලා තියෙනවා. ඒ නිසා මේ තේමාව සහ කෘතිය මගේ ජීවිතයට තදින්ම බද්ධ වෙච්ච එකක්..  

මහේෂ්ට මෙච්චර සමීප බද්දවෙච්ච ටෙලි නිර්මාණයේ ඔබව අතිශය සංවේදී කරපු අවස්ථාක් දෙකක් තුනක් මතක් කරමුද?
ඔහු මොහොතක් නිහඬයි... දිගු සුසුමකින් පස්සේ නැවත මහේෂ් හඬ අවදි කළා... ඔව් එහෙම අවස්ථා කිහිපයක් තියෙනවා... එකක් තමයි.

පාන තියා බුදුසාදුට හිමිදිරියේ...  හැමදා දෙන්නා....  
කියන මේ ගීතය ගායනා කරමින් මේ අක්කයි මල්ලී දෙන්නා හිඟාකනවා.. එදාවේල පිරිමහගන්න මුදල් එකතුකරනවා... හරිම අමාරුයි මට ඒ රූපරාමු ටික දරාගන්න... මොකද මම කළේ නැති එකම දේ ඒක විතරයි. මගේ ජීවිතේ මම කරපු, මම විඳපු දේවල්වලට සංවේදීවෙන අවස්ථාවලට වඩා.. මම අතින් සිද්ධ නොවුණු, කෙනෙකුට මුහුණ පාන්න වුණු සිද්ධියක් දිහා බලලා මම වැඩියෙන්ම සංවේදී වෙච්ච තැනක් තමයි ඒක... අනිත් සිද්ධිය තමයි සුනිල් කියන වලව් පැලැන්තියේ දරුවා එයාගේ ඉස්කෝලෙට ගිහින් පියානෝ එක පන්තියේ ටීචර් වාදනයක් කරද්දී... මල් පිපෙයි දෙනෙත් ඇරෙයි ගීතය.. පන්තියේ අනිත් සියලුම ළමයි එකක් ගායනා කරනවා... අන්න එතනට ඒ සම වයසේම ඉන්න නිමල් බත් පාර්සලය පපුවට තුරුලුකරගෙන අරගෙන එනවා, කුලීකාරයෙක්, සේවකයෙක්, දාසයෙක්, වගේ තමයි ඔහු එතනට එන්නෙ... ඔහු හරිම අහිංසක බැල්මකින් අර ඉහළ පැලැන්තියේ දරුවන් දෙස බලාගෙන ඉන්නවා.. ඒ සිදුවීමෙන් නිමල්ගේ ළමා මනසට දැනිච්ච වේදනාව, නිමල්ට දැනෙනවා වගේම මටත් දැනුණා... ඒ වගේ පුංචි හිතකට තමන්ගේ ලෝකය තමන්ගේම ඉස්සර බිම වැටිලා කැඩිලා විසිරෙන කොට දැනෙන වේදනාව දරාගන්න හරි අමාරැයි... මම ඒතනදි හරියට සංවේදී වුණා...

අඹ යාළුවෝ ටෙලි නිර්මාණයේ ඔබ ආසකරන චරිතය කවුද?
අඹ යාළුවෝ නිර්මාණය ඇතුළේ ගොඩක් චරිතවලට මම කැමතියි. ඒ අතරින් මට දැනිච්ච මගේම වෙච්ච නිමල්ට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. 

නිමල් නිසා ඔබට ළංවෙච්ච අඹ යාළුවෝ ටෙලි නිර්මාණය අදටත් වලංගුයි අදත් නිමල්ලා ඕනතරම් අපේ සමාජයේ අපිත් එකක්ම ඉන්නවා... ඒ අයට දැනෙන දෙයක් කියමුද?
ඇත්තටම නිමල්ලා වගේ අය කියන්නෙ මගේ කුලයේ අය.. මගේ නෑදෑයෝ මගේ සහෝදරයෝ... අපි එකම ජන කොට්ඨාසයක්... මොනතරම් හයියෙන් වේගෙන් හුළං හැමුවත් අනේ පුතේ අතේ තියෙන නූල උඹ අතඅරින්න එපා... මොන විදියකින් හරි උඹ ඒක අල්ල හිටපං. කවදාහරි සරුගලේ වගේ උඹත් උඩ යනවා... කදුළු තමයි ජීවිතේ හොඳම අඩිතාලම දාලා දෙන්නෙ... කඳුළුවලින් හැදිච්ච මිනිස්සු කවදාවත් නැති කරන්න බෑ... දුප්පත්කම කියන්න අපිට ලැබිච්ච හොඳ ආභරණයක්..  මේවා එක්ක ඉදිරියට ගියාම අපිට ලැබෙන්නේ ජීවිතේ වසන්ත සමය.. එතනදි උබ නැවති වසන්තය භුක්ති විඳිනගමන්... පුළුවන්නම් පිටිපස්සෙන් දුප්පත්කම සහ කඳුළු තුරුළුකරගෙන ජීවිතය තල්ලු කරන් එන මිනිස්සුන්ට නැගිටින්න අත දික්කරන්න.. ඒක තමයි.. මට ඒ අයට කියන්න තියෙන්නෙ..

අඹ යාළුවෝ ටෙලි නාට්‍ය බලද්දි අඹ යාළුවෝ පොත කියවද්දී හමුවෙන මිත්‍රත්වය ගැන මහේෂ්ට දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද?
අවුරැදු 10 සිට 18 දක්වා වයස් කාණ්ඩය දරුවන් අත්හදා බැලීම්, පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමනවලට යන කාලයක්. එදා ඒ කෘතිය තුළ සත්‍ය සත්‍ය ලෙස දකින, අව්‍යාජ දරුවෙක් හිටියා ඒ මහා පැලැන්තියේ මන්දියර තුළ... මේ දරැවගේ කෝනෙන් සමාජයට ප්‍රශ්න දිහා බලන්න බැරි වුණානේ.. ඒකනෙ වැඩිහිටියන් අතින් නිමල්ව දහස්වාරයක් ප්‍රතික්ෂේප වෙන්නෙ... සුනිල් කියන දරුවා කවදාවත් ඔහුගේ මිත්‍රයාව ප්‍රතික්ෂේප කරේ නෑ... එයා අව්‍යාජයි.. නිරහංකාරයි... ඒ තමයි වර්තමානයේ අපි හොයන අපි පතන දරුවා... අද අපේ ළමයින්ගේ හදවත්වලට ඇතුළුවෙලා තියෙන්නෙ විස දේවල්..  විකෘති නිර්මාණ,  විකෘති දේශපාලනය, රුපියල් සත, ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය වගේ දෙවල්. ඒනිසා ළමයින්ගේ හදවත් මීට වඩා තෙතමනයක් කරන්න පුළුවන් හොඳ නිර්මාණ බිහිවෙන්න ඕනෙ. අඹ යාළුවෝ වගේ... ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ.. අඩුම තරමේ විනාඩි පහළොවක් වෙන්කරනවා නම් දරුවන්ට ජීවිතේ කියාදෙන්න, නිර්මාණයක් රසවිඳින්න, ජයග්‍රහණයක් නිහතමානීව විඳගන්න, පරාජය දරාගන්න.. එහෙනම් අර පහුගිය කාලේ මාතර සිසුන් අතර ඇතිවෙච්ච බහින් බස්වීම ඛේදවාචකයට නොගිහින් අපිට නතර කරගන්න තිබ්බා... අද අපි මේ ක්‍රමය රෝපණය කළොත් අඩුම තරමින් තව අවුරුදු දහයකින් පහළොවකින් හොඳ අස්වැන්න නෙලාගන්න පුළුවන් වෙයි.. අපේ දරුවන්ට අපි කියලා දෙන්න ඕනෙ විද්‍යා, ගණිතය, ඉංග්‍රීසි කියන විෂයන්වලට ලකුණු ගන්නවත් එක්කම මනුස්සකම කියන විෂයටත් ලකුණු එකතුකරගන්න...
මහේෂ් එහෙම තමයි කතාව නැවැත්තුවේ... 

මහේෂ්ගෙ කතාව අහගෙන ඉද්දි.. මගේ හිතට හිතිච්ච දේ තමයි..
මල් පිපෙන ගහක පිපෙන තවත් එක මලකට වඩා ඉපල් තුරු අගිස්සක පිපෙන එකම එක සුපිෂ්පිත සුපුෂ්පයට අසමාන සුන්දරත්වයක් හිමි වග...

 

► Text - Danushka Wijesiri   /   Pic- Internet