2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ආසයි මම නොකී කවිය නුඹට කියන්න

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 513

ප්‍රේමය ආදරය කියන හැඟීම ගැන ඔයාට මොකද හිතෙන්නේ.. මට මෙහෙම හිතෙනවා. ජීවිතයට කිසියම්ම කිසියම්ම හෝ වාරණයක්, තහංචියක් සීමා මායිමක් කොන්දේසියක් නැතුව පැමිණෙන කොන්දේසි විරහිතව ජීවිතයත් එක්ක බැඳෙන හැඟීමක් තියෙනවනම් ඒ තමයි ප්‍රේමය. ජීවිතයේ අහම්බයක් විදිහට අපි නොසිතන මොහොතක කොතැනකදී හරි අපි ජීවිතය පුරා හොයපු ප්‍රේමය අපිට මුණගැහෙන්න පුළුවන්. ජීවිතයේ වසන්ත කාලයේ අවසන් දවසේ අවසන් තත්ත්පරය දක්වා මුණනොගැසුණු ප්‍රේමයක් අපිට ගිම්හානයේදී මුණගැහෙන්න පුළුවන්. අපේ හදවත ජීවිතය කියවන්න පුළුවන් හදවතක් ජීවිතයක් අපිට හමුවෙන්නේ කවදාවත් මගේමයි කියලා කියන්න හදවත ලෑස්ති වුණත් මගේම කරගන්න ඉඩක් නැති දවසක වෙන්න පුළුවන්. මගේ නොවුණට මගේමයි නුඹ කියලා හිතෙන්නේ අන්න එහෙම මුණගැසීමකදී කියලා මට හිතෙනවා. ප්‍රේමය ප්‍රේමයම මිස අන් කවරක්ද? හදවතේ හරි මැද ගැඹුරුම තැන සැත්කම් කරමින් ලේවලටම රිංගා ගත්ත හැඟීම තමයි මට සැබෑ ආදරය කියලා හිතෙන්නේ.. කිසිවක්ම නොඉල්ලමින් බොහෝ දේ දන් දෙන්න පුළුවන් ඒ වගේ අධ්‍යාත්මික ප්‍රේමයකටම විතරයි.

මතකද එදිරිවීර සරච්චන්ද්‍ර මෙහෙම කවියක් ලීවා. 

ප්‍රේමයනම් අසෙනිය කුසුමක් වේ 
රිසි වූ කෙනෙකුට පූජා කරන්න 
ලෝභ සිතින් තොර පිදුව මනාවේ 
පෙරළා බිඳකුත් ලබනට නොසිතා

මම හිතන්නේ ඒ තමයි අධ්‍යාත්මික ප්‍රේමය.. ජේසුස් වහන්සේ බයිබලය තුළ දිව්‍යමය ප්‍රේමය කියලා අරුත් ගැන්නුවෙත් ඒ ප්‍රේමයමයි. අසෙනිය කුසුමක් කියන්නේ බලාපොරොත්තු විරහිත මොහොතක පිපෙන මලකට. හදවත කියන්නේ උයනක්නම් ඒ උයනේ පිපෙන ප්‍රේමය කියන කුසුමත් නොසිතූ මොහොතක විකසිත වෙන කුසුමක්. ආදරයක් හමුවෙන තැනකදී කෙනකුට එහෙම දැනෙන්න පුළුවන්. ඒ ප්‍රේමය ඔබ කැමති කෙනකුට දෙන්න කියලා නෙවෙයි පූජා කරන්න කියලා කියන්නේ ඇයි? දෙන දෙයක් වෙනුවෙන් අපි දෙයක් ඉල්ලනවා අපි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒත් පූජා කරන දෙයක් වෙනුවෙන් අපි කිසිදෙයක් නැවත ඉල්ලන්නේ නෑ. අපි දෙයක් පූජා කරන්නේ ලෝභ සිත අත්හැරලා. පූජා කරන කිසිවක් වෙනුවෙන් ඉල්ලීම් නෑ තියෙන්නේ ප්‍රාර්ථනාවන් විතරයි. අධ්‍යාත්මික ප්‍රේමය ගැන දිව්‍යමය ප්‍රේමය ගැන දෙන්න මීට වඩා හොඳ නිදසුනක් තවත් නෑ කියලා මට හිතෙනවා.

මගේ පුංචි රෝස මලේ 
මමයි නුඹේ වියපත් බඹරා 
නුඹ හීනෙන්වත් නොදකින කුමරා 

මේ ප්‍රේමවන්තයාගේ හදවත පහුරු ගාන්නෙත් ඒ වගේ විසල් අධ්‍යාත්මික ප්‍රේමයක්... ඒක පාර්ශවිකව ආදරය කරන්න පුළුවන්ද? කෙනකුට ඒක පාර්ශවිකව ආදරය ඇතිවෙන්න පුළුවන්නම් අයි ඒක පාර්ශවිකව ආදරය කරන්න බැරි.. ඒක පාර්ශවිකව ආදරය ඇතිවුණත් ඒක දළුලන්න නම් එය ද්විපාර්ශ්වික බැඳීමක් දක්වා පරිවර්තනය වෙන්න ඕන.. ඔබ එහෙම හිතුවත් මට එහෙම හිතෙන්නේ නෑ.. කිසිම දෙයක් ආපහු නොඉල්ලා තුරුපත් පවා බිමට හෙලමින් මහපොළොව වෙනුවෙන් සියල්ල දන්දෙන මහා ගසක් වගේ වෙන්න පුළුවන්නම් කෙනෙක්ට ඒ කෙනාට පුළුවන් ඒක පාර්ශවිකව ආදරය කරන්නත්.

එකම මොහොතක් වුවද මරණය 
ජීවිතය මොහොතක් නොවේමය 
වසන්තය යනු එක රැයක් නොව 
ජීවිතේ මුළු මහත් වෙහෙසය 

රත්න ශ්‍රී විජේසිංහ ලියපු කවියක් මගේ මතකයට එනවා මේ මොහොතේ. හිත හැමදාමත් නම් මට හිතෙන්නේ මරණය තෙක් ජීවිතය ගෙවෙන්නේ වසන්තයක් එක්ක. හීනෙන්වත් තමන්ව නොදකින කෙනෙක්ට ආදරය කරන්න පුළුවන් හදවතින් වියපත් නොවුණු කෙනෙක්ට විතරයි.. සංස්කෘතිය කියන්නේ ප්‍රකෘතිය මත ඇති කළ විකෘතිකයක් කියලා මට වෙලාවකට හිතෙනවා. සම්මතය අසම්මතය, නිර්ණායක, බෙදීම්, වෙන්කිරීම් මේ සියල්ල සංස්කෘතියේ නිපැයුම්... මට හිතෙන්නේ අසම්මතයක් කියලා කිසිවක් මේ ලෝකයේ නෑ... අපි අසම්මතය පිළිගන්නේ සම්මතයේ වහල් භාවයට කොන්ද නමා එකඟත්වය පළ කරනවානම් විතරයි.. ඒ මගේ සිතුවිල්ලට එකඟ වෙන්න හරි නොවෙන්න හරි ඔයාට අයිතියක් තියෙනවා..

කළුවර රෑ සඳක් වගේ 
අහසේ නුඹ ඉන්නවනම් 
ආසයි මම නොකී කවිය නුඹට කියන්න 
තරහක් නෑ නුඹ බැස යන්න 

කළුවර රෑ මේ ආදරණීය පිරිමියාගේ ජීවිතය කියලා මට හිතෙනවා. ඒ කළුවර රාත්‍රිය අමාවක රැයක් තරම් කළුවර ඇති. ඒ රැයේ ඔබ සඳක් වෙනවනම්.. සඳක් කොයි තරම්නම් සිහිලසක් දෙනවද? ඇහැට වෙහෙසක් නොවෙන ආලෝකයක් අරන් එනවද? හැබැයි ඒ හඳ තියෙන්නේ කවදාවත් අත්පත් කරගන්න බැරි ඉසව්වක ඇඟිලි තුඩකින්වත් ස්පර්ශ කරන්න බැරි තරම් අනන්ත දුරක.. මගේ නොවුණට කම් නැතේ මට - නිවාලනු මා දුරක හිඳ ඔබ - මට හිතෙන්නේ මේ එහෙම ආයාචනයක්.

ආසයි මම නොකී කවිය නුඹට කියන්න - ඒ කවිය ආදරය කියලා මට හිතෙනවා -වසන්තයේ දවස් ගෙවෙනතුරා මුණනොගැසුණු සිත පහන් කළ ආදරය කියලා හිතෙනවා. මම ආසයි මගේ ප්‍රේමය ගැන නුඹට කියන්න. ඒත් මගේ ජීවිතය කියන අහසට එන්න. ඇවිත් යන්න හරි එන්න. හිතක් නැත්නම් නුඹට, තරහක් නෑ මගේ ඔබ යන්න. මට ඔබව අත්හැර යන්න බෑ.... ඒ නිසා ඔබ මාව අත්හැර යන්න.

මට හිතෙනවා බෝධිසත්ත්ව ප්‍රේමයක් මේ පිරිමි හදවතේ තියෙනවා කියලා. ප්‍රේමය වෛරයක් බවට පරිවර්තනය වෙන එක ඇසිල්ලකදී ලේ හලන මරණය රැගෙන එන වියරු හිත් අඩුවක් නැති ලෝකයේ මේ කියන්නේ බෝධිසත්ත්ව ප්‍රේමයක් ගැන.

මගේ පුංචි නවාතැනේ 
ඇවිදින් සැරිසරනවනම් 
ආසයි මම කවුළු පියන් හැරලා තියන්න 

ජීවිතය කියන්නේ හුදෙක් භෞතික දේවල්වත් අධ්‍යාත්මික දෙවල්වත් නෙවෙයි. ඒ දෙකේම සාරවත් මුසුවක්. හරි රහක් තියෙන සම්මිශ්‍රණයක්. ලෝකයට කියාගන්න බැරුව හංඟගෙන ඉන්න හදවතේ හරි මැද හිරිවට්ටන මගේ නොවන මගේම ආදරයක් මේ ලෝකේ හැමෝමටම තියෙනවා කියලා මම කීවොත් ඔයා එකඟද මාත් එක්ක. සමහරවිට ඒ ආදරය ජීවිතේ දාහය එක ඇසිල්ලක නිවන සිහිල් සුළඟක් වගේ කොහේ හරි දන්නැති තැනක ඉඳන් ඇවිත් යන්න ඇති.. මැණිකක් දියමන්තියක් වගේ ඒ ආදරය හංඟගෙන පරිස්සම් කරනවා ඇති ඔයා. ජීවිතය ගැන ඔයාට මොනතරම් අවබෝධයක් දැක්මක් තිබුණත් ඒ ආදරය ළඟ ඔයා හරි බොළඳකම් අත්විඳින ළතෙත් හදවතක හිමිකාරයෙක් වෙන්න ඇති. ඒ හැඟීම්වලට ඇණ ගහන්න එපා. හිර කරන්න එපා. ජීවිතෙන් ඈතට වීසි කරන්න එපා. කවදාවත් නොදැනුණු ප්‍රේමයක් කවදාවත් හමුනොවුණු ජීවිතයක් ඒ බොළඳ සමනල හැඟීම් ළඟ දැනෙයි ඔයාට.

ඔයාට හුළඟක් වගේ ඇවිත් සැරිසරන්න පුළුවන්නම් මගේ පුංචි කුටියේ හැම අහු මුල්ලකම ඔබ එන්න.. ඔබ ඇවිත් යන්න එන්න.. ඔයාට කවුරු හරි කීවොත් මම කොහොමද ඔයාට මගේ ආදරය ගැන කියන්නේ.. මගේ හුස්ම තියෙන්නේ ඔයාගේ හදවතේ කියලා.. ඉන් එහාට ඔයා කවදාවත් ඒ ආදරය ගැන විමසන්න එපා.. කවදා හරි දවසක එයාට ඔයාව මඟ හැරුණත් සංසාරය පුරාවත් ඒ ආදරය මඟ හැරෙන එකක් නෑ. 

තරහක් නෑ නෑවිත් ඉන්න 

ඔබ එනවනම් එතනයි මට ජීවිතය.. ඒත් එන්න හිතක් නැත්නම් නෑවිත් ඉන්න.. නෑ තරහක් ආදරයක්ම මිසක... 

ආදරය කියන්නේ බලහත්කාරකමක් නෙවෙයි.. සෙනසුනක් මත තබන පූජාවක් 

මම හිතන්නේ ඊටත් වඩා අරුත් පසිඳින්න දෙයක් නෑ මට. 

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර