2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ලෝකයේ අලුත්ම සරසවිය Google Campus

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

අන්තර්ජාලයේ රජ්ජුරුවෝ වන ගූගල් සමාගම තමන්ගේ අලුත්ම ව්‍යාපෘතියක් පහුගියදා එළිදැක්වූවා. ඒ තමයි ගූගල් කැම්පස්. හැබැයි කැම්පස් කියලා නම දැම්මට මේක විශ්ව විද්‍යාලයක් නම් නෙමෙයි. දැවැන්ත නගරයක් කිව්වොත් නිවැරදියි. කැලිෆෝනියාවේ මවුන්ට් වීව් කියන ප්‍රදේශයේ තමයි ගූගල් මේ නගරය ඉදිකරන්න සූදානම් වෙන්නේ. ඒ ගූගල් සමාගමේ ප්‍රධාන මූලස්ථානයට සැතපුම් කිහිපයක් දුරින්. 

වර්ග අඩි මිලියන 3කට වැඩි කාර්යාල පරිශ්‍රයක් වගේම අඩි හාර ලක්ෂයක පමණ සාප්පු සංකීර්ණයක්, අලුත් නිවාස 8,000ක් වගේම අක්කර 35කට වැඩි විශාලත්වයකින් යුතු උද්‍යාන, එළිමහන් විවේක ස්ථාන මේ නගරයට ඇතුළත්. මෙහි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ගූගල් සමාගම ඩොලර් බිලියනයක් දැනටමත් ආයෝජනය කරලා කියලයි දැනගන්න ලැබෙන්නෙ. ඒ කියන්නේ ලංකාවෙ සල්ලිවලින් ගත්තොත් රුපියල් කෝටි 1800ක් විතර. 
මේක අංග සම්පූර්ණ නගරයක් වෙන්න ඕන නිසා, කඩ සාප්පු, අවන්හල්, ව්‍යායාම මධ්‍යස්ථාන, සිනමාහල් වගේ බොහෝමයක් දේ මේ ව්‍යාපෘතියට ඇතුළත්. 

ගූගල් කැම්පස් නගරයේ තවත් විශේෂත්වයක් තමයි නගරය ඇතුළත උෂ්ණත්වය පාලනය කරගැනීමටත් ශබ්ද දූෂණය අවම කරගැනීමටත් විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබීම. ඒක බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ ශබ්දයත්, උණුසුමත් උරාගන්න පුළුවන් විදිහේ ශාක සිටුවීමෙනුයි. මේ නිසා නගරය ඇතුළත වායු දූෂණයත් අවම මට්ටමකට පත්වේවි කියලා වාර්තාවෙනවා. කොහොම නමුත් නගරය ඇතුළත ප්‍රවාහන කටයුතු සඳහා පාපැදි බහුල වශයෙන් යොදාගැනීම ගැනත් නිර්මාණකරුවන් අවධානය යොමුකරලා තියෙනවා. 

මවුන්ට් වීව් නගර සභාවෙන් ලබන වසර මුලදී අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව මේ නගරයේ වැඩකටයුතු ආරම්භ කරන්න ගූගල් බලාපොරොත්තු වෙනවා. නගර ව්‍යාපෘතිය නිම කරන්න මාස 30ක් පමණ ගතවේවි කියලයි ආරංචි වෙන්නෙ.

ඩේලිමේල් ඇසුරෙන්

► Text — Suranga