2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

මම දැන් සිල්ලර සමනල‍ය‍ෙක්

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 12:31 141

ධනංජය මේ දවස්වල මොනවද කරන්නේ...?
මේ දවස්වල සංජය නිර්මාල් මහතාගේ “සිල්ලර සමනල්ලු ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ඒකේ මම රඟපාන්නේ “නින්ජා කියන චරිතයයි. ඊට අමතරව සනත් අබේසේකර මහතා අලුත් ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලටත් සහභාගී වෙනවා. පසුගියදාක “හරස් පාර කියන නාට්‍යය අවසන් වුණා.

ගෙවෙන 2018 වසර ගැන ආපස්සට හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ...?
මගේ ඉලක්ක සපිරුණා. මම කොහොමත් ලොකු ටාගට්වලට යන්නේ නැහැ. මම හැමවෙලේම හෙමින් ගමනක් යන කෙනෙක්. 2018 කියන්නෙත් චිත්‍රපට දෙකකට සහභාගී වුණු වසරක්. මම කරන චරිත මිනිසුන් අතරට යනවානම් මම ඒකට කැමතියි. ගොඩ වැඩි කරගැනීමක් මට නැත. ඉතින් 2018 විකාශනය වුණු හරස් පාර, පෝටා වැටිය, සිල්ලර සමනල්ලු කියන ටෙලිනාට්‍යවලින් දෙකක්ම වාණිජ ටෙලිනාට්‍යය දෙකක්. ඒ දෙකම මිනිසුන් ආදරෙන් පිළිගත්තා. හරස් පාර ඉවර වෙද්දී වුණත් බොහෝ දෙනෙක් අහපු දෙයක් තමයි... “ඇයි ඒක එච්චර ඉක්මනට ඉවර වුණේ කියලා. මමත් බොහෝම සංවේදී වුණු තැන් තිබුණා. ඒක සුමුදු එල්ලාවලගේ හරිම ලස්සන ආදර කාතාවක්. ඒ නිසා 2018 මම කරපු චරිත මිනිසුන්ගේ හිත්වලට ගියා කියලා මම හිතනවා.

පෙම්වතා කියන චරිතය වැඩිපුරම හිටපු ධනා සිල්ලර සමනල්ලු කතාවෙන් ටිකක් වෙනස් චරිතයක් රඟපානවා. මේක අභියෝගයක් නේද...?
ඔව්... මේක මගේ ජීවිතේ වෙනස් කරපු චරිතයක්. සිල්ලර සමනල්ලු කතාව ලියපු සද්ධා (සද්ධා මංගල සූරියබණ්ඩාර) කියන්නේ නම් කරපු හොඳම චරිතයක් තමයි “නින්ජා කියන්නේ කියලයි. ඒක සද්ධා අයියට හිතෙන විදිහටයි. සද්ධා අයියා පිටපතක් ලියද්දී ඒකට චරිත ලියද්දීත් හරියට හිතනවා. ඉතින් “නින්ජා කියන්නේ වෙනස්ම විදිහේ චරිතයක්. ඒක කොහොමද කරන්නේ කියලා මගේ ඔළුවෙවත් තිබ්බේ නැහැ. නමුත් පෙනුමේ ඉඳන් අපි අලුතින් “නින්ජා කෙනෙක් හැදුවා. කොණ්ඩේ වගේම වීදුරු දෙකක් නැති කණ්ණාඩි දෙකක් දැමීම තුළින්ම මේ චරිතය වෙනස් චරිතයක් විදිහට අපි හැදුවා. ඒවගේම මේක සීරියස් කොමඩි එකක් විදිහට තමයි හඳුන්වන්නේ. කොමඩි කියන්නේ දුවලා පැනලා නටලා කරන එකක්ම නොවේ. මේ සීරියස් කොමඩි කරන්න හරි අමාරුයි. ඒක මට ලොකු අභියෝගයක්. ඒ අභියෝගයක් බොහෝම සාර්ථකයි කියලා මම හිතනවා. සිල්ලර සමනල්ලු ටෙලිනාට්‍යයේ “නින්ජා ඇතුළු කණ්ඩායම මිනිසුන් අතරට ගිහිල්ලා ඉවරයි. සංජය නිර්මාල්, සද්ධා මංගල සහ මම එකතුවෙලා හදපු “නින්ජා දැන් වැඩ පෙන්නනවා කියලා මම හිතනවා.

නින්ජා දැන් හරි වැඩ්ඩා

ධනංජය සහ බිරිඳ එකතුවෙලා ඇයගේ මියුසික් වීඩියෝවක් ප්‍රචාරය කළේ මේ වසරේ... එහෙම නේද...?
ඔව්... මට හොඳටම කරන්න බැරි දෙයක් ශශිනිට හොඳටම කරන්න පුළුවන්. ඒ තමයි නටන එක සහ ගීත ගායනය. ඉතින් එයාට තෑග්ගක් දෙන්න මට ඕන වුණා. එයා වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරපු කෙනෙක්. උදය   ශ්‍රී  අපේ පවුලේ හිතවතෙක්. ඉතින් උදයගේ “දෑස මානේ කියන ගීතයට ශශිනිට ගැලපෙන විදිහේ ඩාන්සින් වීඩියෝ එකක් කරගන්න අපිට ඕන වුණා. ඉතින් මේක ලංකාවේ ලොකු වියදමක් දරලා කරපු මියුසික් වීඩියෝ එකක්. ඒක මගේ ශශිනිට මම තෑග්ගක් විදිහට ලබලා දුන්නා. එයාගේ උපන්දින කාලේදීම තමයි ඒක මම දුන්නේ. හැබැයි උපන් දින තෑග්ගටත් වඩා ඒකේ ඇතුළේ ලොකු ආදරයක් තිබුණා. ශශිනිට ලොකු හැකියාවක් තියනවා. සමහර තැන්වලදී ඇය මටත් වඩා දක්ෂ කලාකාරියක්. ඉතින් ඒ කලාකාරියට දුන්න තෑග්ගක් විදිහට තමයි මේ මියුසික් වීඩියෝ එක කළේ.

ශශිනි ගුවන් සේවිකාවක්. නමුත් ඔබ නිසා ඇය ඇගේ රැකියාව පවා කැපකළා නේද...?
ඔව්... ඒක බොහෝම හොඳ රස්සාවක්. නමුත් හැමදේටම වඩා ජීවිතේ මුල් තැන දියයුත්තේ පවුල් ජීවිතේ කියලා අපි දෙන්නම විශ්වාස කරනවා. එයා තමයි ඒ ජීවිතේ වටිනාකම මට කියලා දුන්නේ. අපි දෙන්නා වෙනුවෙන් ඒ රස්සාව අතහරින්න එයා අකමැති වුණේ නැහැ. හොඳ බිරිඳක්. එයා ලොකු කැපකිරීමක් කරපු කෙනෙක්. ලොකේ රටවල් බොහෝමයක ගියපු කෙනෙක්. ඒ හැම දෙයක්ම එයා පවුල් ජීවිතේ වෙනුවෙන් කැප කළා. ඒ කැපකිරීම සාර්ථක එකක් කියලා අපි දෙන්නම  විශ්වාස කරනවා.

ශශිනි දැන් මොනවාද කරන්නේ...?
එයා ගෙදර ඉඳන් නිකම් ඉන්නේ නැහැ. එයා නිකම් කම්මැලිකමේ ඉන්න කැමති කෙනෙක් නෙමේ. තව ගීතයක් ගැන එයා හිතනවා. මේ වනවිටත් එයාට ගීත දෙකක් ලැබිලයි තියෙන්නේ. ඊට අමතරව එයාම කරපු ගීතයකුත් තියනවා. ඉතින් මම මේ දේවල් කරන්නේ එයාට ප්‍රසංගවලට යවන්න නෙමේ. එයාගේ තෘප්තිය සඳහා තමයි මේ දේවල් කරන්නේ. එයා ආර්ට් වෙනුවෙන් ආර්ට් කරන කෙනෙක්. එයා ජීවත් වෙන්න ආර්ට් කරන කෙනෙක් නෙමේ. ගොඩාක් අය ජීවත් වෙන්නේ ආර්ට් කරන්නේ. මමත් සමහර වෙලාවට කරන්නේ ඒකමයි. ඒ නිසා මම එයාව ඒ තත්ත්වයට ඇදලා දාන්න කැමති නැහැ. 

ධනංජයයි ශශිනියි අලුතින් ගෙයක් හදලා පදිංචිත් වුණා...?
ඔව්... ඒ කිසිම දෙයක් හැමෝටම කියලා ෆොටෝ දාලා පෙන්නන්න මට ඕන වුණේ නැහැ. පෞද්ගලික ජීවිතේ දවසින් දවස අරමුණු ඉටුකරගන්න ඕනේ. මේක අපි දෙන්නම එකතුවෙලා හදපු ගෙයයි. ඒකට අපි පදිංචියට ගියා. ඒක පොඩි ගෙයක්. ඒ ගෙදර ඇතුළේ අපි සතුටින් අපේ පාඩුවේ නිදහසේ ජීවත් වෙනවා. අද අපිට අපේම තැනක් තියනවා. ඒ ගැන සතුටුයි.

2019 දී තියෙන බලාපොරොත්තු මොනවාද...?
ලොකු ටාගට් එකක් තියෙනවා. ඒ තමයි ඔය චිත්‍රපටය. මම ලියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් තියනවා. අවුරුද්දක් තිස්සේ මම මේ පිටපත ලිව්වා. මම හිතනවා ඒක හොඳ නිර්මාණයක් වේවී කියලා. ඒ වෙනුවෙන් අපේ praana acting studio එකට අලුතින පිරිසක් එකතු කරගන්නවා. ඉතින් රඟපාන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක් වේවී. මෙම නිර්මාණය ටිකක් වෙනස් විදිහේ නිර්මාණයක්. අපි ඒ හැම දෙයක් ගැනම 2019 දීම කියමු නේද...?

 

► Text - Dishani   /   Pic - Sumudu