2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

අපේම රහක් තිබුණ හින්දා හදපතුලටම දැනුණා...

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 117

Art එකේ කැරට්ටුව..
Rohana සමඟ Danushka 

ඔබට දේදුන්නක් අවශ්‍ය නම් වැස්සක් එක්ක ගනුදෙනුවක් කරන්නම වෙනවා... 
එහෙම ගනුදෙනුවකින් පස්සේ හිස් අහසට මැවුණු දේදුන්නක් ඒ අහස මොනතරම් අලංකාර කරනවාද?  ඒත් හෝරා කිහිපයකින් ඒ දේදුන්න මැකී ගියොත්...  අපි කැමති වුණත් අකමැති වුණත් ඒ තමයි සොබාදහම...   

නුඹ අරං ගියේ 
නුඹ ගෙනත් දුන් සතුට.. 
ඉතින්,
ඇයි මං තරහා වෙන්නෙ....

අහසට එහෙම හිතන්න පුළුවන්නම් ඒක මාරයි.....
සෙංකඩගල නගරයත් ඉඳහිට ආදර මල් වරුසාවලින් නැහැවෙනවා තමයි... වරැසාව මොනතරම් ආදරණීය වුණත් දියසීරාව දරාගන්න බැරිව දෝරෙ ගලාගෙන ගිය ආදර කතා කීයක් නම් නුවර නගරය මැද තියෙන වැව් දියේ සැඟවෙන්න ඇද්ද?  
නෑ හිත රිදුනේ... අදත් එදා සිහිවී... 

අපේ සබඳකම් නෑ රිය සක දන්නේ....
ජීවිතේ වැරදෙන තැන්වල ජීවිතය කියාදුන්න වචන... මේ සංගීතය මොනතරම් සැනසිල්ලක්ද?
ඒ මිහිරි සංගීතයයි.... සංගීතයටම ගැලපෙන කටහඬේ හිමිකාරයා හොයාගෙනයි අපි ආවේ... 

එයාගේ හඬ මුසුවුණු ගීත නම් ස්වල්පයක් තමයි... ඒත් නිර්මාණය කරපු තනු නම් ගණන් කරන්න බැරිතරමට විශාලයි. ඒ සංගීතය මොන රහට ඇහුවත් මොන විදියට වින්දත් ඒක වෙනස් විදියක වෙනස්ම ගැස්මක්... රිද්මයක්...
ඒ තමයි අපිට හමුවෙන රෝහණ ලකුණ... ඔහුටම ආවේණික ළයාන්විත ගැඹුරු රිද්මය...
රෝහණ කිව්වේ රෝහණ වීරසිංහයන්ට... 

රෝහණගේ ආ ගිය තොරතුරු මේ දවස්වල වැඩකටයුතු ගැන අහලම අපේ කතාව පටන් ගන්න හිතුවා... ඉතින් කියන්නකො ඔබේ තොරතුරු ටිකක්?
මේ දවස්වල ටිකක් විතර කාර්යබහුලයි... මොකද අලුත් චිත්‍රපට කිහිපයකම සංගීත අධ්‍යක්ෂණය කරන නිසා... මගේ වයස හැත්තෑව පිරෙනවා ලබන අවුරුද්දට... මම චිත්‍රපට සංගීතය කරන්න අරගෙනත් දැන් අවුරුදු තිහකට වැඩියි... ඒ කාරණා දෙකම නිමිති කරගෙන මේ වෙනකම් මම කරපු නිර්මාණ අතරින් ප්‍රේක්ෂකයන් වඩා ආකර්ෂණයෙන් වැළඳගත්ත නිර්මාණ එකතුවකින් ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා... ඒකට මම කරපු සංගීතමය නිර්මාණත් ඇතුළත් කරන්න හිතාගෙන ඉන්නවා... ඒ ප්‍රසංගයේ නම තමයි සුදුමුදු රළපෙළ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තමා මේක පැවැත්වෙන්නෙ... ඒකෙ වැඩකටයුතු ලහි ලහියේම සිද්ධවෙනවා...  ඕවා තමයි ඉතින් වෙන්නෙ.. 
එහෙම තමයි එයාගෙ වැඩක් එයාම කිව්වෙ... 

හරි දැන් අපි කාරණාවකට බහිමුකෝ... පුංචි කොන්දේසියක් නම් තියෙනවා... 

රෝහණ වීරසිංහයන්ගේ සංගීතය, ගායනය අපි දන්නවා... ඒව අපිට හොඳට හුරුපුරුදුයි... ඒවා ගැන නැතුව... රෝහණ වීරසිංහ කියන නිර්මාණ රසවිඳින්නාට දැනුණු නිර්මාණයක් ගැන වචන කිහිපයක් කතා කරමුද? හැබැයි ඒක ගීතයක් වෙන්න බෑ...
එකඟද?
හරි එකඟයි? 
නිර්මාණ නම් ගොඩක් තියෙනවා... ඒත් ඔබ ඔය කියන විදියේ හදවතට දැනුණු නිර්මාණයක් ගැන හිතද්දී මගේ මතකයේ ඇදිච්ච, හිතේ ධාරණය වෙච්ච නිර්මාණයක් හැටියට මට මතක් වෙන්නෙ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිංහල අවුරුද්ද සන්ධ්වනිය... ඒක තමයි මුල්වරට සංගීතමය අර්ථකතනයක් ලෙස බිහිවුණ නිර්මාණය. 

ආචාර්ය කේමදාසයන්ගේ සන්ධ්වනි කීපයක්ම තිබුණනේ.. අවුරුද්ද සන්ධ්වනියට මෙච්චරම ඇලුම් කරන්න රෝහණට ලොකු හේතුවක් ඇති නේද?
ඔව් ඒකට හේතු කීපයක්ම තියෙනවා... මොකද ආචාර්ය කේමදාසයන් ජනශ්‍රැතිය අධ්‍යනය කරලා හරි පරිස්ස ෙමන් තමයි මේ නිර්මාණය කරන්නෙ... සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ අපිට හරියට දැනෙන කාලයක්... මුළු පරිසරයම අවුරුද්ද පිළිගන්න ලෑස්තිවෙනවා... ඒක අමුතුම හැඟීමක්...  කේමදාසයන්ගේ මේ සංගීත සන්ධ්වනිය ඇස්දෙක පියාගෙන අහගෙන හිටියොත් ඒ මිහිර හරි රහට විඳගන්න පුළුවන්... 

සිංහල අවුරුද්දක තියෙන ආගමික පසුබිම, නොයෙකුත් ජනක්‍රීඩා, අවුරුදු චාරිත්‍රය, අවුරුද්දෙ අපි විනෝද වෙන හැටි... සියුම්ව ස්පර්ශ කරලා ප්‍රේක්ෂකයාගේ හදවතේ  තැන්පත් කරනවා. 
සිංහල අලුත් අවුරුද්දක වෙන සියලුම සිද්ධීන් සංගීතමය භාවයකින් ප්‍රෙක්ෂකයා ඉදිරිපත් කරන්න එක ලේසි පහසු දෙයක් නෙමේ. ඒත් කේමදාසයන් හරි ශූර විදියට ඒක කළා... කේමදාසයන්ගේ ඉතාම නිර්මාණශීලී වෙනත් සන්ධ්වනි කීපයක් තිබුණා. ඒවා ඇත්තට නිර්මාණාත්මකයි.. ඒත් ඒ සන්ධ්වනි ළා පැහැයෙන් බටහිර මුහුණවරක් ගත්ත නිසාදෝ කොහෙද සිංහල අවුරුද්ද සන්ධ්වනියට වැඩිපුර මගේ හිත ගියේ... බටහිර හැඩ සියුම්ව යෙදවීම වැරුද්දක් නෙමේ.. මොකද අපි ජාත්‍යන්තරයත් එකක් මුසුවෙන්න ඕනෙ... තමන්ට කැමති ආරකට නිර්මාණය කිරීම නිර්මාණවේදීයාගේ නිදහස අපි ඒකට ගරුකරන්න ඕනෙ.  බටහිර සංගීතයේ තියන සන්ධ්වනි පිළිබඳ අත්දැකීමක් අඩු රටක්නේ අපේ රට... අපේ ගමේ ගොඩේ ඉන්න මනුස්සයන්ට මේවා මොනවාද කියලවත් තේරෙන්නෙ නෑ... සංගීතය ටිකක් ගැඹුරට හදාරපු කෙනෙකුට හරි බටහිර සංස්කෘතිය කැමැති අයට තමයි යම්තාක් දුරකට මේවා රසවිඳින්න දැනුම තියෙන්නේ. ඒත් මේ සිංහල අවුරුද්ද කියන නිර්මාණය පොදුවේ ඕනම කෙනෙකුට රසවිඳින්න පුළුවන් කියලා මට හිතෙනවා. මම ගමක ඉපදිලා ගමේ හැදුණු වැඩුනු ගමේ මිනිහා හින්දා වෙන්න ඇති මේ තරම්ම සිංහල අවුරුද්දට ලංවෙන්න හේතුවෙන්න ඇත්තේ... සංගීතාත්මකව මම දැකපු හොඳම නිර්මාණයක් තමයි සිංහල අවුරුද්ද කියන සන්ධ්වනිය.  

කේමදාසයන්ගේ මේ නිර්මාණය කොහොමද බලපෑවේ ඔබේ නිර්මාණවලට...?
සිංහල අවුරුද්ද මුල්වරට මම දකින්නෙ පාසල් යන කාලේ.... ඒක දැකලා මට පුදුම විදියට ආස හිතෙනවා. පසුකාලෙක දෛවෝපගත විදියට එතුමාගේ වෙනත් නිර්මාණවලට සම්බන්ධවෙන්න මම වාසනාවන්ත වෙනවා... වාද්‍ය ශිල්පියෙක් හැටියට එකතුවෙලා මම බොහෝ කාලයක් එතුමා යටතේ සිතාරය වාදනය කළා. එතනදී තමයි මම එතුමාගේ නිර්මාණ හැදෑරුවේ. එතුමාගෙන් ගත්ත ගුරුහරුකම් දැන් මම නිර්මාණකරණයේ යෙදෙද්දී  නිරායාසයෙන්ම උපයෝගී කරගන්නවා. 

ඔබට මේ නිර්මාණය මුලින්ම බලන්න හම්බවෙන්න කොහොමද? කී වතාවක් ඔබ මේ නිර්මාණය නැරඹුවද?
මුල්වරට මේ සංදර්ශනය තිබුණේ බෞද්ධ කාන්තා විද්‍යාලයේ රංගශාලාවේ. මම ප්‍රේක්ෂකයෙක් විදියට ගිහින් තමයි ඒක බැලුවේ. එකවතාවයි මම මේ ප්‍රසංගය බැලුවේ මොක වැඩිපුර දර්ශනවාර තිබුණේ නෑ. හරි අමාරුවෙන් තමයි කේමදාසයන් මේ ප්‍රසංග පැවැත් වුණේ... මෙවැනි නිර්මාණ නුහුරු නුපුරුදු සමාජයක්නෙ ඒ කාලෙ තිබුණෙ. හරියට උඩුගම් බලා පිහිනනවා වාගේ වැඩක් තමයි මාස්ටර් කළේ. අතින් වියදම් කරගෙන, කාලය මිඩංගුකරගෙන බොහොම කැපවීමෙන් තමයි මේ දේවල් කළේ. ඒ උත්සාහය හැටියට ප්‍රතිඵලයක් තිබ්බද කියලා නම් සැකයි. හරි අමාරුයි ඒ වකවානුවේ මේ මෙවැනි නිර්මාණ සමාජගත කරන්න.. 

මෙවැනි නිර්මාණ තුළින් සමාජ මොන වගේ බලපෑමක් කරන්න පුළුවන් කියලද රෝහණ හිතන්නෙ?
ඇත්තට මෙවැනි නිර්මාණ තුළින් ලැබෙන්නේ උසස් රසවින්දනයක්. හික්මුණු සමාජයක් ඇතුළේ අපිට හම්බවෙන්න විනයගරැකභාවය, සත්පුරුෂ ගුණාංග.. ආගමින් කරන මෙහෙවර මෙවැනි නිර්මාණ තුළිනුත් සමාජයට ලැබෙනවා. 
රෝහණ කතාව නැවැත්තුවා.....