2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

බුෂ් වෙනුවෙන් අඬපු සුලී

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

සීනියර් බුෂ්, එහෙමත් නැතිනම් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පියා වන එච්.ඩබ්ලිව්. බුෂ්ගේ මරණය ගැන පසුගිය සතිය පුරාම ලොකු කතාබහක් පැවතුණා. ජෝර්ජ් බුෂ් වගේම කාලයක් අමෙරිකාවේ පළවැනි පුරවැසියා විදිහට රාජකාරි කරපු සීනියර් බුෂ් වෙනුවෙන් ලෝකය පුරා නායකයන්ගේ ශෝක පණිවුඩ ගලා ආවා. අනූ හතර හැවිරිදි වියේදී මේ විදිහට ජීවිතෙන් සමුගත්ත සීනියර් බුෂ් ගැන කම්පාවෙච්ච ඔහුගේ ළඟින්ම සිටි කෙනෙක් ගැනත් මේ අතරේදී ගොඩක් දෙනෙක්ගෙ අවධානය යොමුවෙලා. ඒ තමයි සුලී කියන සුරතල් සුනඛයා. 

පසුගිය ජූනි මාසෙදී තමා සීනියර් බුෂ්ගේ බිරිය වුණු බාබරා බුෂ් නැතිවුණේ. ඇගේ අභාවයත් එක්ක බුෂ් පවුලට VetDogs කියන පුණ්‍යාධාර ආයතනයෙන් සුලීව පිරිනැමුණේ තිළිණයක් විදිහටයි. ලැබ්‍රඩෝ වර්ගයේ මේ සුනඛයාට සුලී යනුවෙන් නම් තබා තිබුණේ සීනියර් බුෂ් විසිනුයි. 2009 අවුරුද්දෙදී ගුවන් මගීන් 150 ගණනක ජීවිත බේරාගත් අමෙරිකානු ගුවන් නියමු සුලීගේ නම තමයි ඔහු මේ සුනඛයාට තබා තිබුණේ. 

කොහොම වුණත් සුලීටත් සීනියර් බුෂ්ටත් එකට ගත කරන්න ලැබුණේ මාස කිහිපයක කෙටි කාලයක් පමණයි. නමුත් ඒ කාලසීමාව තුළ සුලී බුෂ් පවුලට, විශේෂයෙන්ම සීනියර් බුෂ්ට ගොඩක් ළෙන්ගතු වූ බව සඳහන්. 
අමෙරිකාවේ තවත් හිටපු ජනාධිපතිවරයෙක් වන බිල් ක්ලින්ටන් මාස කිහිපයකට ඉහතදී සීනියර් බුෂ්ව බලන්න ආපු වෙලාවේදී හිටපු ජනාධිපතිවරු දෙදෙනාත් සුලීත් එකට හිඳිමින් ගත් ඡායාරූපයකුත් මේ සමඟම අන්තර්ජාලයට මුදාහැරලා තිබුණා. 
සුලී තමන්ගේ ස්වාමියා වුණු සීනියර් බුෂ්ට කොච්චර ආදරේද කියන එක හැමෝටම පැහැදිලි වුණේ ඔහුගේ මරණයත් සමඟයි. අමෙරිකානු ධජයෙන් ආවරණය කරලා තිබුණු සීනියර් බුෂ්ගේ මිනීපෙට්ටිය ඉස්සරහින් වැතිරගෙන සුලී අවසාන මොහොත දක්වාම තමන්ගේ ස්වාමියා එක්ක හිටියා. ඒ වගේම තවදුරටත් තමන්ගේ ස්වාමියාව මුණනොගැහෙන බව ඉවෙන් වටහාගෙන සිටියාක් වගේ දුක්බර පෙනුමකින් සුලීගේ මූණ වැහිලා තිබුණා. මිනිසාගේ හොඳම මිතුරා සුනඛයා බව සුලීත් ඔප්පු කරන්න සමත් වුණේ එහෙමයි. 

මේ නිසා ටෙක්සාස්වල බුෂ් පවුලේ නිවස්නයේ තිබුණු සීනියර් බුෂ්ගේ දේහය වොෂිංටනයට රැගෙන යන අවස්ථාවේදී සුලීටත් එහි යාමට අවස්ථාව සලසා දී තිබුණා. 

“සුලීට කරන්න බැරි දෙයක් නැති තරම්. උදාහරණෙකට අපිට මාටිනී එකක් හදලා දෙන්න එයාට බැරිවුණත් මාටිනී හදන්න පුළුවන් කෙනෙක් ළඟට ගෙනත් දෙන්න එයාට පුළුවන්” බුෂ් පවුලේම කෙනෙක් මාධ්‍යයට එහෙම කියලා තිබුණා. 
VetDogs නිලධාරීන් සඳහන් කරන ආකාරයට හිටපු ජනාධිපති එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවමංගල කටයුතුවලින් අනතුරුව සුලී නැවතත් ඔවුන්ගේ මූලස්ථානය වෙත ගෙන යාමට නියමිතයි. සුලී මෙවර නත්තල සමරන්නේ එහි සිටයි. 

 

► Text — Suranga