2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

අනේ හෙමින් ගොරවන්නකො

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

කොළඹින් බැහැර නගරයක එක්තරා ටෙලිනාට්‍යක රූපගත කිරීමක් මාසයක පමණ කාලයක් පුරා සිදුවුණා.
ටෙලිනාට්‍යයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් නවාතැන් ගෙන තිබුණෙ නගරයේ හෝටලයක.

නවක නිළියක් තවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් සමඟ එක කාමරයක නවාතැන් ගත්තා. නවක නිළියටනම් දවස් 4ක ෂූටින් තිබිලා තියෙන්නෙ. ඒ දවස් හතරෙම කෙල්ල පැය 4ක්වත් නිදාගෙන නැතුව ඇති.

ඇය සමඟ කාමරේ නතරවී සිටි මැදිවියේ නිළිය ඇඳට වැටුණු ගමන් ක්ෂණිකව නින්ද යන කෙනෙක්ලු. ඒත් විනාඩි 10ක් යන්නත් කලින් පටන් ගන්නවලු ගොරවන්න. මේ සද්දෙට කෙල්ලට නින්ද යන්නෙ නැහැ.

තුන්වැනි දවසෙනම් කෙල්ලට හරිම අමාරුයිලු. හයියෙන් ගොරවමින් නිදාගෙන සිටි අර ශිල්පිනියව කූද්දලා කිව්වලු අනේ අක්කේ මට තවනම් ඉවසන්න බැහැ. ප්ලීස් හෙමින් ගොරවන්නකො. කියලා.

 

තුවාල ත්‍රීවිල් එකටලු

වෙනත් රැකියාවක් කළත් විනෝදාංශයක් හැටියට රංගනයේ යෙදෙන මේ නළුවාට ත්‍රීවිලරයකුත් තියෙනවා.

දවසක් හදිසියේ ගමනක් ගිහින් එන අතරතුර එයාගෙ ත්‍රීවිලරයට මනුස්සයෙක් හැප්පිලා. ඒ හැඩිදැඩි මනුස්සයා ගාලු පාරෙ කහ ඉරක් නැති තැනකින් පාර පැනලා තියෙන්නෙ. කොහොම හරි අපේ පාට් ටයිම් නළුවා දන්න වැඩ ටික සේරම දාලා ත්‍රීවිලරය බ්‍රේක් ගහලා නැවැත්තුවා. මිනිහගෙ කකුලට වැදිලා ත්‍රීවිලරේ එක පැත්තක් ඩැමේජ් වෙලා. ඒත් අර මිනිහට ගාණක්වත් නැහැ. එයා හිනාවෙලා යන්න ගියාලු.

දැන් මේ මනුස්සයා ඩැමේජ් වුණු ත්‍රීවිලරේ අරන් වැල්ලවත්ත පොලීසියට ගියාලු පැමිණිල්ලක් දාන්න රක්ෂණ ක්ලේම් ගන්න. පොලීසියට කතාව කියපු ගමන් කිව්වලු අයිසෙ මේක කරන්න ඉස්සෙල්ලා අර තුවාලකාරයාව ඉස්පිරිතාලෙකට ගෙනියනවා කියලා.

මෙයා කිව්වලු තුවාල වුණේ එයාගෙ ත්‍රීවිලරේ මිසක් අර මනුස්සයා නෙවෙයි කියලා.

 

මිනිය ළඟ බොරුවට රඟන්න එපා

ඔහු ප්‍රවීණ ගී පද රචකයෙක්. බොහෝ ගායක ගායිකාවන්ට ඔහු ජනප්‍රිය ගීත ලියා තිබෙනවා. බොහෝ නළු නිළියන්ටත් ඔහු ජනප්‍රිය ගීත ලියා තිබෙනවා.
පසුගිය දවසක ඔහු ගීත රචනා කළ ගායක ගායිකාවන් හා කලාකරැවන් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් කොළඹදී පැවැත්වුණා.

එහෙත් එදා ඔහුගේ හිතවත්ම තරුවක් එදා ප්‍රසංගයේ සින්දු කියන්න නාවෙ කාගෙත් බලාපොරොත්තු සුන් කරමින්. ඒ ජනප්‍රිය තරුවගේ ජනප්‍රියම ගීතය ලියා තිබුණේ මොහුයි.
ඔහුගේ නොපැමිණීම නිසා ඔහු කොතරම් කම්පාවට පත්වුණාද කියලා කවුරුත් දැනගත්තෙ පහුවදා උදේ මුහුණු පොතේ අර ගී පද රචකයා දැමූ පෝස්ට්ටුවකින්.
මං මළත් මගේ මිනිය ළඟට ඇවිත් බොරුවට රඟන්න එපා කියා ඒ තරුවගේ නම සඳහන් කරමින් ඔහු fb post එක දමා තිබුණා.

 

► Text - Mithra