2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

මම අරවින්ද තරම් වටින මිනිහෙක් නෙවෙයි

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 401

Art එකේ කැරට්ටුව..
Bandula සමඟ Danushka 

ගාලු කොටු පවුරට ඉහළ අහසේ ඉඳන් පොළව හොයාගෙන ආව වැහිබිංදු කීයක් නම් මේ පොළොවේ පැලවෙලා ඇද්ද.... ගිනිදන දාහය සුළං රැල්ලකට උරාගෙන දුරින් දුරටම අරන් යද්දී... මගේ හිතේ ඈත මෑත ඇඳුන මැකුණ මැවුණ සිතුවිලි කොච්චරක්ද.....

මමම මිසක් දන්නෙ වෙන කවුද ඉතින් ඒ වගක්...?
හුළඟ අහගෙන හිටපු කතා... කොච්චරක් ඇත්ද.....?
මේ ගාලු කොටුවට ඇවිත් යන්න ගිය පෙම්වතුන් අහුමුළුවල ඉඳන් දොඩවපු හැමදේම... හුළඟ හංඟන් ඉන්නත් ඇති එයාගේ පපුවේ හරිමැද මට එහෙමත් හිතුණා...

අහසයි ඔබ මට නිම්හිම් නොපෙනෙන හිනිමන් බඳිනු බැරි....
මං ඉන්න තැන ඉඳන් ඔබ ඉන්න තැන හිතුවම මට මතකයට ආවේ ඒ ගී පද....
එහෙම ලිව්ව ඔහු ළඟ, ඔහුගේ ප්‍රතිභාව ළඟ මම පුංචි දරුවෙකුටත් වඩා පුංචි දරුවෙක් කියලා මට හිතෙන නිසයි ඒ...
හිතසුව පිණිස මා විඳින වාර අනන්තයි ඔහුගේ පන්හිඳෙන් උපන් ගීයක මහරුත්. මේ කීවේ ඇත්තමයි... 
බන්ධුල නානායක්කාරවසම් ඒ වෙන කවුරුත්ම නෙමෙයි...
ඔව් ඒ බන්ධුල නානායක්කාරවසම්....

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි කතා කියමින් ඇරඹෙන මතකය... විරාග රාගය හමුවේ තනිවූ ආලයේ අතරමං වෙන තැනටම දුර ඈතක ගිහින්... 
ඒ කාරණා එහෙමම පැත්තකට කරලා.... මුලින්ම බන්ධුල නානායක්කාරවසම්ගේ ජීවිතයට පොඩ්ඩක් එබිකම් කරලා මේ දවස්වල මොනවද වෙන්නෙ කියලා අහන්න හිතුවා...

හොඳින් ඉන්නවා ඉතින්... මේ දවස්වල අලුත් ටී.වී. වැඩසටහනක් පටන්න ගන්න ලෑස්ති වෙනවා. ඒක වෙනස් විදියේ වැඩසටහනක් නිසා. ඒකට වැඩි අවධානය යොමුකරලා තියෙනවා. ඒත් එක්කම විරාග රාගය කියන ගීතය චිත්‍රපටයක් කරන්න ඉන්නෙ. ඒකෙ පිටපත ලියන්නෙත් මම. සමහරවිට සමඅධ්‍යක්ෂණය කරන්නත් වෙයි. ඒවා තමයි මේ දවස්වල වෙන්නෙ.

බන්ධුල නානායක්කාරවසම් කියන ප්‍රතිභාපූර්ණ කලාකරුවාගේ නිර්මාණ අපි අහලා බලලා දැකලා තියෙනවා. ඒවා නැතුව ඔබගේ හදවත සියුම්ව ස්පර්ශ කරපු, පරිකල්පනයේ අතරමං කරපු කැමති නිර්මාණයක් මතකයට නගමුද...?
එහෙම නිර්මාණයක් කියන්න කියපුවාම. හරි අමාරැයි එක නිර්මාණයක් තෝරගන්න.
ගීත පැත්තෙන්, නවකතා පැත්තෙන්, චිත්‍රපට පැත්තෙන් මට වෙන වෙනම කැමති නිර්මාණ ගොන්නක් තියෙනවා. ඒ අතරින් මම අද කතාකරන්න කියලා හිතුවේ නවකතා මාධ්‍යයෙන් මම ආස කරනම නවකතාව ගැන. මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය තරම් හදවතට දැනිච්ච, මම ඇළුම් කරන, මගේ නිර්මාණවලට පවා ඇතැම්විට උල්පත් සපයපු ලෝකයේ වෙනත් කෘතියක් නැති තරම්.

ලෝකයේ ඕනතරම් නවකතා බිහිවෙලා තියෙනවා. අදටත් බිහිවෙනවා. ලංකාවෙත් ඒක එහෙමමයි. මෙච්චර කෘති බිහිවෙන වකවානුවක ඉඳලත් ඇයි මාර්ටින් වික්‍රමසිංහගේ විරාගයේම ඔබේ හිත නැවතුනේ...?
ඒකට හේතුව තමයි පුංචිකාලෙ ඉඳන්ම මොනව හරි දෙයක් කියවන්න මට තිබ්බ කුතුහලය. ගුරුවරු සහ මවුපියන් තමයි ඒ තැනට අපිව යොමු කළේ..  මූලිකම දේ තමයි අපේ ගෙදර නිතරම අතට අහුවෙන්න පොතපත තිබුණා. විජයබා කොල්ලය, චාරුමුඛ, වරදත්ත, හිඟනකොල්ලා, ඩබ්ලිව්.ඒ. සිල්වාගේ පොත් ගොඩක් තිබුණා. ඉලංගරත්නගේ ළමා කෘති සෑහෙන ආසාවෙන් කියවන කාලේ තමයි මට විරාගය කියන පොත කියවන්න හම්බවෙන්නෙ. එතකොට මට අවුරුදු 14ක් 15 විතර ඇති. ඊටත් ඉස්සර මම ගොළුහදවත කියවලයි තිබුණේ. ගොළුහදවත ආකර්ෂණීය විදියට මා ඇතුළු මගේ වයසේ පාඨකයන්ගේ හිත දිනාගත්තත්. ඒ කැමැත්ත පරයා මගේ හිත ළංවෙන්නෙ විරාගයට. ජීවිතයේදී කෙනෙකුට පරිණත කියවීම සඳහා යොමුකරවන හැමදෙයක්ම විරාගය කියන කෘතිය ඇතුළේ තිබුණා. 

බන්ධුලගේ ජීවිතයට මෙච්චරම ළංවෙච්ච විරාගය කෘතියේ ඔබ ආදරය කරන චරිතයකුත් ඇති නේද?
පැහැදිලිවම අරවින්දගේ චරිතයට තමයි මම ගොඩක් ආදරය කරන්නෙ. අරවින්ද වගේ යහපත් මිනිහෙකුට මුළු ලෝකෙන්ම ගැරහුම් තමයි ලැබුණේ. විචාරකයන් අතරවත් හිටියේ නෑ ඔහුව අගය කළ කෙනෙක්. මොකද ඔහු පරාජිතයෙක් විදියට වැරදියට අරුත්ගන්වා තිබුණේ. හැබෑ විදියට අරවින්දගේ චරිතය දිහා විශ්ලේෂණය කරලා බලනකොට ලෝක සාහිත්‍යයේ විතරයි අරවින්ද වගේ චරිත අපිට හමුවෙන්නෙ. ඇන්ටන් චෙකොෆ්ගේ කතාවල, දොස්තොව්ස්කිගේ කතාවල, ඇතැම්විට තුර්ගිනිෆ්ගේ කතාවල සරලව කිව්වොත් රුසියන් පොත්වල අපිට අරවින්ද වගේ අය දකින්නට ලැබෙනවා.  ඒක නිසා මේ චරිතය විශ්වීය චරිතයක්.  අරවින්ද ලංකාවට විතරක් අයිති නෑ. හැබැයි බොහෝඅය අරවින්දගේ චරිතය හරිහැටි ග්‍රහණය කරගත්තෙ නෑ..  මම අරවින්ද ගැන හදාරණකොට මට දැනගන්න ලැබුණ දේ තමයි මම ඉපදෙන්නත් ඉස්සර මාර්ටින් වික්‍රමසිංහට පවා ඔහු සම්බන්ධයෙන් විශාල ඇනුම්පද, විචාරවලට මුහුණ දෙන්න වුණ බව. ඒවට පිළිතුරු දෙන්න මාර්ටින් වික්‍රමසිංහ ආයෙත් ලියනව පොතක් ඒකෙ නම තමයි නවකතාංග සහ විරාගය කියන්නෙ. ඊටපස්සෙ ඇයි මම අරවින්ද ලීවේ? ඇයි අනිත් අයට අරවින්දව නොතේරෙන්නෙ කියලා කියන්න ජපන් කාමකතා හෙවණැල්ල සහ සිංහල නවකතාව ගැන වෙනම තව පොතක් ලිව්වා.. ඒ වගේ විශාල පොත් පවා ලියන්න වුණා ඔහුගේ මතය ගොඩනගන්න. අරවින්දව හරියටම තේරුම් අරගෙන තියෙන්නෙ මාර්ටින් වික්‍රමසිංහ විතරක්ද කියලා මට එක වෙලාවකට හිතෙනවා. මොකද මම ඇසුරු කරන, මම කතාබහේ යෙදුනු විද්වත් සහ අනිත් අයගෙන් මට දැනුණු, තේරුණු කරුණු අනුව මට අරවින්ද ගැන දැනෙන විදියට ගැන ඒ අයගෙන් ඊට සමාන ස්ථාවරයක්, උත්තරයක් ලැබුණෙ නෑ. ඒක හින්දා තමයි මගේ සිනාතොටක් බඳු, එක් පෙතිමලක් බඳු, නිර්මාණවලට අඩු වැඩි වශයෙන් මම හිටිය මතය බලපෑවේ. මට ඕන වුණා ඒ මතය ඒත්තු ගන්වන්න. මට පුදුම විරාගයේ අරවින්දගේ චරිතයට මම කැමති වෙච්ච එක නෙමේ...., අතිශය සියුම් මනෝභාවයන් තුළින් අරවින්ද කියලා චරිතය ගොඩනගපු මාර්ටින් වික්‍රමසිංහගේ මනස මොනවගේ සියුම් එකක්ද කියන එක ගැන... අරවින්ද නිසාම තමයි මට මාර්ටින් වික්‍රමසිංහ ලෝකයේ ඉන්න හොඳම ලේඛකයා වෙන්නෙ.

මම මෙහෙම ඇහුවොත් අරවින්දගේ ජීවිතයයි බන්ධුලගේ ජීවිතයයි සමානද කියලා?
එකපාරටම... සිහින් සිනාරැල්ලක් බන්දුලගේ මුවඟට ආවා.

අපෝ නෑ.... අවින්දගේ චරිතය වගේ පසුගාමී චරිතයක් නෙමේ මගේ චරිතය. ඇතැම් විට.. අරවින්දගේ චරිතයේ තිබුණු ලොකු අඩුපාඩුවක් තමයි පසුගාමීත්වය. ප්‍රේමයෙන් පරාජය වෙනවා, ජීවිතයෙන් පරාජය වෙනවා. ඒ සියල්ල අතරේ අරවින්දගේ හදවත හඳක් වගේ බැබළෙනවා. අධ්‍යාත්මය නෙළුමක් වගේ සුවඳ ගහනවා. ඒක කිසිකෙනෙකුට පෙණුනේ නෑ. මගේ ජීවිතයෙත් අරවින්දගේ යම් යම් ලක්ෂණ සියයට හතළිහක් පමණ ළා පැහැයෙන් තිබුණත් මම අරවින්ද තරම් වටිනා කෙනෙක් නම් නෙමේ. හැබැයි අරවින්දගේ දුර්වලකම් සියයට හැටක් පමණක් තිබුණත්. ඒ එකක්වත් මා තුළ නෑ. ඒත් මම කැමැතිම චරිතය අරවින්ද තමයි. 

අරවින්ද ජීවිතයේදී මුහුණ දෙන අත්දැකීම්වලට බන්ධුලට මුහුණ දෙන්න වුණා නම්?
එක් විනාඩියක්වත් හිතන්නෙ නැතිව. මම සරෝජිනීව කසාඳ බඳිනවා. ඒක තමයි මම කිව්වෙ අරවින්ද ළඟ තිබුණු පසුගාමී ගුණාංග මා ගාව නෑ කියලා.

විරාගය ඇතුළේ ඔබව සංවේදී කරපු තැනක් දෙකක් මතක් කරමුද?
එකක් තමයි අරවින්ද අසනීපවෙලා ඉන්නකොට සරෝජිනී අරවින්දව බලන්න එන සිද්ධිය. අරවින්ද ඒ වෙලාවෙ ඇඳේ වැතිරිලා ඉන්නකොට සරෝජිනි කියන දේවල් හරිම සංවේදියි. අරවින්දට පුළුවන්නෙ හොඳ විවාහයක් කරගෙන හොඳින් පවුල් ජීවිතයක් ගතකරන්න... කියලා සරෝජිනි කියනවා..  එහෙම කියද්දි අරවින්දගේ බැල්ම පවා...  විස්තර කරන විදිය හදවත පාරනවා...  ඇස්වලට කඳුළු පවා එන මොහොතක් තමයි ඒක.  තවත් සිද්ධියක් තමයි අරවින්ද බතීට උගන්වන්න සෑහෙන්න මහන්සි උණානෙ තමන්ගෙ දරුවෙකුට වගේ. ඒ කෙල්ල ටැක්සිකාරයෙක් එකක් පැනලා ගිහිල්ලා අරවින්දගේ ලෝකෙන් අයින්වෙලා වෙනම ඉඳලත් අවසානයේ අරවින්ද බලන්න කොග්ගල ඇවිත් ඈ ලඟට ගෙන ගිහිත් 
උවටැන් කිරීම මට සෑහෙන්න දැනිච්ච දෙයක්. විරාගය කෘතියේ එන කුලසූරිය කියන චරිතය හරි වැදගත් චරිතයක්. කුලසූරිය කියන්නෙ ඉර නම්, ඒ එළියෙන් අරවින්ද කියන හඳට එළිය වැටෙන බව ජෝශප් නීඩ්හැම් වගේ බ්‍රිතාන්‍ය විචාරකයන් පවා කියලා තියෙනවා... කුලසූරිය  තමාගේ ජීවිතය තකන්නෙ නැතිකම, ඔහුගේ සැහැල්ලුවත් හරියට මගේ ජීවිතයට පවා බලපෑවා...  

ඔබ කී වරක් මේ පොත බැලුවද?
එක්තරා යුගවලදී කීපවතාවක්ම මම මේ පොත බලලා තියෙනවා. අන්තිමට කියෙව්වේ ගිය අවුරුද්දෙ... යම් යම් මම කැමති තැන්... ආවර්ජනය කරගන්න තැනින් තැන හිඳ හිට කියවනවා.

මේ කෘතියෙන් ඔබේ ජීවිතයට එකතුවුණේ මොනවගේ දෙයක්ද?
මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කියන්නා වගේ ජීවිතය දිහා පහන් සංවේගයෙන් බැලීම සහ අටලෝ දහමින් නොසැලී සිටිය යුතු ජීවිතය ගැන පාඩම් මාලාවක්ම මේ කෘතියෙන් අපිට දීලා තියෙනවා. ජීවිතයේදී මට හම්බවෙන පරාජයකදී මගේ හිත හදාගන්න උදව්වෙන්නේ මේ කෘතියෙන් ලැබුණු පාඩම් තමයි. මේ ජීවිතය කොච්චර නිසරුද කියන එක මාර්ටින් වික්‍රමසිංහ මහතා සියුම්ව මේ කෘතියෙන් ගෙනහැර පානවා.. හරියට ඒක නාමලක් නැත්නම් නෙළුම් මලකින් එන පිවිතුරු සුවඳ වගේ....