2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

පැල ඉනි වැටට ඇයි අද ඇන කොටා ගෙන

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 365

වෙරළු ගෙඩිය හරි අඩකට කපා ගෙන 
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන 
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන 
පැල ඉනි වැටට ඇයි අද ඇන කොටා ගෙන 

පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන 
හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසාගෙන 
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන 
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන 

තිරිසන් වුණෝතින් කිසි හව්හරණ නැති 
ලන්දක කකා ලන්දක කල් යල් හරිති 
එක මිහි සයන කාටත් නිදි සුවය දෙති 
බිම් පංගුවට ලොල් වී මළගම් නොයති 

පද රචනය - වසන්ත කුමාර කොබවක 
සංගීතය     - වික්ටර් රත්නායක 
ගායනය     - සුනිල් එදිරිසිංහ
 

කුරුල්ලො අඹලා 
සත පනහේ කුලිය ගන්ට 
මලේ මලේ නින්දට පෙර 
ඩිංගක් මේ ගැන හිතපන් 
මේ සේරම තෑගි ලැබුණේ ලොවින් නුඹට 
මොනවද මල්ලියෙ දෙන්නේ නුඹෙන් ලොවට 
එක පාරට 
ටකේ ගසන්නෙපා මලේ 
කුරුල්ලන්ට 
ඉඩක් දියන් 
එක කරලක් ඇදන් යන්ට 

පරාක්‍රම කොඩිතුවක්කු කවියාණන් ලියූ පොඩි මල්ලියේ කාව්‍ය සංග්‍රහයේ එන පොඩි මල්ලියේ කවි පංතිය මම කියෙව්වෙමි. තම මලණුවන්ට අකම්පිතව ස්නේහයෙන් ජීවිතය වැළඳගන්නට අයියණ්ඩියක දෙන දිරිය ආයාචනාත්මක ස්වරූපයකින් වදන් වියමනකට ගොනු කළ නිර්මාණාත්මක වෑයමක් ලෙස මම පොඩි මල්ලියේ කියවමි.

ජීවිතයේ පාරවල් සොයා ඇවිදින ගමන් මගේදී ඇවිස්සෙන නෙක දූවිලි ඇස් බොඳ කරන්නට පෙර.. හදවතේ නිල් දියවර සේ පිරි ප්‍රේමණීය ඉසව්වන් කලතන්නට පෙර විඳි නිර්මල ස්නේහයන්, ඒ ස්නේහයන් තුළ වෙළී ගිය බන්ධනයන් කොතෙක් නම් සුපිරිසුදු වුණේදැයි.. සුසම්පූර්ණ වුණේදැයි කියන්නට මගේ ශබ්ද කෝෂයේත් වචන දුප්පත් වැඩියයි සිතෙන තරම්ය මට... ඒ මගේකම් ඒ තමන්ගේකම්, ඈත දුරක හිටියත් ළඟට එන ඉසව්වකදී ලේ සුවඳ හදවතට උරාගෙන දැනෙන කැක්කුමට සිප ගත් තත්පරයන් කොතෙක්නම් ආදරණීය වීදැයි කියන්නටත් නොදැනෙන තරම්ය. මට...

මඩෙහි උපන්නත් මඩ ඇබින්ඳක්වත් නොගෑවී දියෙහි උඩට එසවුණු සියපතක් සේය ඒ සිතුවිලි... ලෝකයේ නන් දෙසින් එන දූවිලි වරැසාවන්ගෙන් කිළිටි වෙන්නට පෙරාතුව...
පොඩි මල්ලිට අයියණ්ඩියගේ සිතේ ගොඩනගුණු ඒ සහෝදරත්වයේ ලේ බැම්ම පතුරු නොගැලවී ගරා නොවැටී තිබුණිනම් මේ ලෝකයට යන්නම් කියා යන තෙක්ම දවසක..
සුනිල් එදිරිසිංහ ගයන වෙරළු ගෙඩිය හරි අඩකට කපාගෙන ගීතය අසන හැම වාරයකම මගේ හිතේ දැවටෙන්නේ ඒ සිතුවිලිය.
පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටාගෙන 

මේ මහපොළොවේ බිම් අඟලටත් ලේ හලන මිනිස් කුලකයක සාමාජිකත්වය ලද උන් බොහෝය. මිනිස් වේශයෙන් සිටින මිනිස්කම දුරකට වීසිකර යක්ෂයන්ගෙන්, ප්‍රේතයන්ගෙන්, කුම්භාණ්ඩයන්ගෙන් විවරණ ලද, උන්ගේ ගති සිරිත් ආරෝපණය කර ගත් උන් බොහෝය. සහෝදරකම්.. බැඳීම්.. පපුව පලාගෙන එන ස්නේහයන් අමු සොහොන් තුළ වළලා බිම් අඟලට, කොස් ගහට, දෙල් ගහට, කොස් ගෙඩියට, දෙල් ගෙඩියට එක බඩ වැල කඩාගෙන ආ සහෝදරයා මරා දමන්නට තරම් සැහැසි වෙන වියරු වැටෙන උන් අපමණය. දවසින් දවස යාවත්කාලීන වන එවන් ශෝචනීය සමාජ සංසිද්ධීන් ඔස්සේ පිළිඹිබු කරන සෝදාපාළු වූ සමාජ යථාර්ථය කුමක්ද? පාරිභෝගිකවාදී වූ අති ධාවනකාරී සමාජයකින් ඉල්ලා හිඳිනට හැකි මනුස්සකම් සහෝදරකම් භාෂ්මාවශේෂයක් තරම්වත් ඉතිරිව තිබේද? ඒ සියලු ප්‍රශ්න කිරීම් පැල ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන යන ගී පදය තුළ ගැබ්වී ඇතැයි මම හඟිමි.

එහෙත් ඒ පැල ඉනි වැටට ඇන කොටා ගන්නා උන් පසුකර ආ ගමන් මගේ සොඳුරු සෙනෙහෙබර කඩ ඉම් කොතෙකුත්ද? සංවේදී මතක දහරා කොතෙකුත්ද? හදවත මරා ජීවත් වෙන්නට තතනන අද දවසේත් කල් යල් බලා ඒ ළෙන්ගතු ඉස්සර මතක හදවතට එබෙන සඳ දිග හැරෙන්නේ මේ සිතුවිලිය. 

වෙරළු ගෙඩිය හරි අඩකට කපාගෙන 
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන 
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන 

වෙරළු ගෙඩිය හරි අඩකට කපාගෙන - එය කදිම සංකේත රූපයකි. එකමුතුව.. පරිත්‍යාගය.. බෙදා හදා ගැනීම පිළිබඳව සංකේත රූපයකි.
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන - වැඩිහිටියන් කෙරේ දැක්වූ ගෞරවය, යුතුකම්, වගකීම් හා බෙදා හදා ගැනීම සාදු ගුණ ධර්ම ඒ සිතුවිලි ඔස්සේ ගම්‍ය කරයි.
උන් අපි එදා සත් කුළු පවු විලාසෙන - මගේ සිත නතර වෙන්නේ පන්සිය පනස් ජාතක පොත ළඟය. වට්ඨක ජාතකය මට සිහිපත් වෙයි. වටු කුරුල්ලන්ට වැද්දකු එලූ දැල වටු කුරුල්ලන් එක්වී උස්සාගෙන ගොස් සමගිය බලය වේ යන්න සත්‍යයක් කරමින් උන් එදා එකමුතුකමේ බලයෙන් බේරුණහ. එදා වෙරළු ගෙඩියත් බෙදා ගෙන කන්නට තරම් මහා බැඳීමක් අපේ හදවත් පවුරු තුළ ලියලමින් වැඩුණේය දවසින් දවස. අපේ හදවත් තුළ මහා බැඳීමක් සමගියක් තිබුණි. මහා පර්වතයක් සේ සවිමත් නොසැලෙන නොසෙල්විය හැකි... එක බත්පත පවා.. එක කහට කෝප්පය පවා බෙදාගෙන කා බී ජීවිත දුක සතුට බෙදා ගත් ඒ අතීත ජීවන පිටු අකා මකා මෙවන් ඛේදවාචකයක් නිර්මාණය කළේ කවුරුන්ද?
ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ඒ හදවත් මරාදැමූ දවසක... ඒ සොඳුරුතා හොරු අරන් ගිය දවසක මෙවන් ඉරණමක් මිස බලාපොරොත්තු විය හැකි සුපෙම් හැඟුම් පිරි හෙටක් කොයින්ද?

පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන 
හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසාගෙන 

ඉලාස්ටිය ලිහී ගිය ජංගි කොටය එක අතකින් උස්සාගෙන අම්මගේ ඉඳුල් දැලි සුවඳ දැවටුණු චීත්තය වටේ එතුණු.. බත් හැලිය ඉදෙනා තුරුආප්පයක්, ඉඳි ආප්පයක් තැම්බෙන තුරු රොටියක් පිච්චෙන තුරු ළිප වටේ ඉඳගෙන එක පිඟානෙන් අම්මාගේ ආදරයත් සමඟ ඉදුණු අහරක රස වින්ද, එකට පේළි ගැසී නියර දිගේ ගුරු පාර දිගේ ඉස්කෝලේ ගිය.. වැහිදාට මඩ වතුරේ නටමින් ගුටි කෑ මල්ලිගේ හිත අතගා ස්නේහයෙන් සැනසූ ඒ අතීත දවස් කෝ අද... ඈතට ඈතට ඈතටම ගියේ මතක සුවඳක්වත් තිබේදැයි ඉඹ බලන්නට.

හොඳ හිත ගහින් උඩු හුළඟට ගසාගෙන
ඉඳින් ඒ හිත නැවත දෙඅතින් අල්ලා පපුවට සිරකර ගනු කෙළෙසද?

මහගෙයි බිමට තනි උරුමය කියාගෙන 
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන 

ජීවිතයට සාර සම්පත් අවැසිය.. කා බී නිදියමින් වර්ගයා බෝ කරමින් පමණක් තිරිසන් සතුන් මෙන් මියෙන්නට නොවේ අප මෙලොවට පැමිණියේ.
භෞතිකව අප ජීවිතය වටිනාකම්වලින් සරුකර ගත යුතුය. නිසි ආර්ථික ක්‍රමවේදයක් ඔස්සේ අප ධනය හරි හම්බ කළ යුතුය. එහෙත් සමස්ත ජීවිතයම භෞතික සැප සම්පත් සහ හුදෙක් මුදල්වලට පමණක් අප ලඝු කරන්නේනම් එතන නිර්මාණය වෙන්නේ අසංවේදී, හදවතකින් වියුක්ත නරැම මිනිසෙක් මිස අන් කවරෙක්ද? තම හිත සුව පිණිසත් අන් හිත සුව පිණිසත් ජීවිතය භෞතික සහ අධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම සමබර කර ගත යුතුය. ජීවත් වීම පිණිස භෞතික පොහොසත්කමත් ජීවිතය විඳිනු පිණිස අධ්‍යාත්මික පොහොසත්කමත් අවැසි බැවිනි ඒ.. ඒ මගේ දැක්මයි.. ඒ මගේ චින්තනයයි.. අවසන අප ජීවිතය වෙනුවෙන් හරි හම්බ කරන සියලු භෞතික හා අධ්‍යාත්මික සියල්ලේ වටිනාම ශේෂය සතුට නොවේනම් කිම ඇති ඵල? 
ඒ මගේ ප්‍රශ්නයයි...

එදා එකට හැදුණු වැඩුණු මහ ගෙදර ඉදලට කොස්සටත් කුලල් කා ගන්නා තැනට පත් වූ විට මැකී සේදී බොඳව යන සහෝදරත්වයේ සුසුවඳ උඩු හුළඟේ නොදන්නා අනන්තයකට නිකම් ගොස්ය.

තිරිසන් වුණෝතින් කිසි හව්හරණ නැති 
ලන්දක කකා ලන්දක කල් යල් හරිති 

කර්ම විපාකය ගැන ගීත රචකයා කියන්නට උත්සාහ කරතැයි මට සිතේ.
ඔබ මේ ලද මිනිස් භවයෙන් නිසි ඵල ප්‍රයෝජන නෙලා නොගත්තොත් කුසල් හා පින් නොකර පවු අකුසල් කළොත් ඔබ මතු මතු තිරිසන් භවයක ඉපදී දුක් විඳින්නට පුළුවන.. ඇයි ඔබ එසේ වන්නේ.. දුක මිසක කිසිත් උරුම නැති සංසාර දුක්ඛිත භව වෙනුවෙන් ඇයි ඔබ අකුසල් සිත් වඩන්නේ.. ගීත රචකයා එවන් ගැඹුරක් සොයා කිමිදෙතැයි මට සිතේ. 

එක මිහි සයන කාටත් නිදි සුවය දෙති 
බිම් පංගුවට ලොල් වී මළගම් නොයති 

ආවොතින් යා යුතුය. නොගොසින් යළි එන්නට බැරිය. ලොව ඇත්තේ යාම් ඊම් පමණි.. එසේ කීවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රය. මරණය සියල්ලන්ටම පොදු ජීවන ධර්මතාවයකි. ඊට පිටුපෑ හැකි බලයක් ලොවම අතැඹුලක් සේ සාක්ෂාත් කළ බුදුවරයකුටවත් නොතිබුණි. කවදා හෝ සියල්ලකගෙන් සහ සියල්ලෙන් සමුගත යුතුය. එහෙත් අප යන්නේ හිස් දෑතින් නොවේ. පවු පින් කුසල් අකුසල් අපි මේ භව යාත්‍රාවේ නවාතැනින් නවාතැනට ගෙන යන්නෙමු. ඉඳින් අප මේ මහා පොළොව මත දිනෙක මිහිදන් වන්නේ සමානයන් ලෙසය. කුණු කොටස් තිස් දෙකකින් සැදී අප කාටත් උරුම මේ අස්ථීර ශරීරයට දිනෙක අත්වන්නේ පොදු ඉරණමකි. 
ඉඳින් නොමැරෙන මිනිසුන් ලෙස ක්ලේශයන් ආත්මය කරගෙන ජීවත් වන්නේ ඇයි?
හදවත මරා දමා වටිනාකම් උඩු සුළඟේ පා කර සියක් ආයු ලද්දත් කිම ඵල..
අගනේය... ඒ සියක් ආයු ලැබීමට වඩා එක් දවසක් මේ මිහිමත මිනිසකු ලෙස ජීවත් වීම.

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර