2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

දැන් මට ලංකාවෙන් යන්න ලෝබයි....

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:31 254

අමන්දා... මුලින්ම කියමුකො.. දිමුතුව මුණගැහුණේ කොහොමද..?
දිමුතුගේ ගෙදර අයයි අපේ ගෙදර අයයි හඳුනනවා. මගේ මාමාගේ (ප්‍රියන්ත විජේකෝන්) යාළුවෙක් තමයි දිමුතුගේ තාත්තා. ඉතින්.. ඒ මාර්ගයෙන් දිමුතු මම ගැන අහලා තිබුණා. ඉතින් මගේ මාමා මට කිව්වා අපි මුකුත් කියන්නෙ නැහැ.. ඔයාලා දෙන්නා කතාබහ කරලා ආශ්‍රය කරලා ඔය දෙන්නා තීරණයක් ගන්න කියලා. ඒ මීට අවුරුදු තුනකට විතර කලින්. දිමුතු පදිංචිවෙලා ඉන්නෙ අමෙරිකාවේ. ඉතින්.. ඊටපස්සෙ අපි දෙන්නා fb එකෙන් chat කළා. මට මෙයා හොඳයි කියලා හිතුණු නිසා මම මේ ගැන මගේ තාත්තිට කිව්වා. ඒ අයගේ ගෙදර අයගේ ෆොටෝ පවා මම තාත්තිට පෙන්නුවා. මගේ තාත්ති කිසිම දෙයකට එකපාර කැමැත්තක් දෙන කෙනෙක් නෙමේ. හැබැයි මගේ ජීවිතේ පළවැනි වතාවට මගේ තාත්ති දිමුතුව මුණගැහෙන්නත් කලින්ම දිමුතුට කැමැත්ත දුන්නා. දිමුතුගේ අම්මා තාත්තා නංගි ආච්චි මුළු පවුලම ඉන්නෙ අමෙරිකාවෙ. හැබැයි ඒ අය කිසිම ආඩම්බරයක් නැති බොහොම හොඳ මිනිස්සු කියලා තාත්තිට තේරුණා.

මුලින්ම ස්කයිප් එකෙන් කතා කළේ යාළුවෝ විදිහටද.. නැත්නම් පෙම්වතුන් විදිහටද..?
අපි දෙන්නා යාළු වුණාට පස්සෙ තමයි වීඩියෝ කෝල්වලින් කතා කරන්න පටන් ගත්තෙ. එතකම් අපි වීඩියෝ කෝල් ගත්තෙ නැහැ. ඇත්තටම දිමුතුට ආදරය කරන්න පටන් ගනිද්දී මම ගැන හැමවෙලේම හොයලා බැලුවා. ඒ ගතිගුණයට මම හරියට කැමති වුණා. ඒ කැමැත්ත ලබාදෙන්න අපි දෙන්නටම සෑහෙන කාලයක් ගියා. හැබැයි හිත යන්න ගතවුණේ බොහොම පොඩි කාලයයි. හැබැයි මම ඒක කිව්වේ නැහැ. මම බොරු සෝබන දාන අයට පොඩ්ඩක්වත් කැමති නැහැ. මම නිරූපණය කරන්නෙ ඒ තරගය හෝ ඒ අවස්ථාව විතරයි. සැබෑ ජීවිතයෙදී මම හරිම සාමාන්‍ය කෙනෙක්. ඒ නිසා මට ඕනවුණේ බොහොම සාමාන්‍ය කෙනෙක්. දිමුතු කියන්නෙ ඇත්තටම හරිම හොඳ සාමාන්‍ය කෙනෙක්.

එයා මොනවගේ කෙනෙක්ද..?
දිමුතු කවුරු එක්කවත් රණ්ඩු කරන්න කැමති කෙනෙක් නෙමේ. නිකම් හරි රණ්ඩු කරන කෙනෙක් එයාව ඒකට සම්බන්ධ කරගන්න හැදුවොත් එහෙම එයා ඒක ඇහුණෙ නැහැ වගේ පැත්තකට වෙලා ඉන්නවා. එයා හරිම හොඳයි. පොඩි එකෙක් වගේ හරිම දඟයි. දැන් ගෙදර අය එයාට හැමවෙලේම බණිනවා මොකද ඔහොම දඟලන්නෙ.. ඔයා දැන් බැඳපු කෙනෙක් කියලා. ඇත්තටම එයා හරිම ෂෝක්. මම ගෙදර හැදුණු විදිහටම තමයි එයා ගෙදර හැදිලා තියෙන්නෙ. ඒකට මම හරි කැමතියි.

දිමුතු වැඩිපුරම කැමති මොනවගේ දේවල්වලටද..?
එයා හරි ආසයි ගේම් ගහන්න. සමහර ගේම් එකදිගටම එයා ප්ලේ කර කර ඉන්නවා. පොත් කියවන්න හරි ආසයි. ඒ වගේම දිමුතු කොත්තු කන්න හරි ආසයි. එහේ වැඩිය කොත්තු නැහැ. ඒ නිසා මුලින්ම මාව බලන්න මුළු පවුලම ආපු දවසේ මම එයාට කොත්තුවක් අරගෙන දුන්නා. එදා කොත්තුව අවුල්වෙලා පොඩ්ඩක් අප්සෙට් ගියා. කාපු ටික වැරදුණා.

ඔයා හදලා දීපු කොත්තුවක් නෙමෙයි නේද දිමුතු කෑවෙ..?
නැහැ.. නැහැ.. මම හදපු එකක් නෙමේ. මගේ කෑම හොඳයි. ඉතින්.. පස්සෙ දවසකත් කාපු කොත්තුවක් එයාට අප්සෙට් ගියා. ඒ නිසා මම එයාට කියන්නෙ &කරැණාකරලා කොත්තු කන්නනම් හිතන්න එපා.. ඔයාගේ බඩට ඒක හරියන්නෙ නැහැ* කියලා. දැන් එයාටත් කොත්තු දැක්කාම පොඩ්ඩක් ඇලජික් වගේ.

ස්කයිප් එකෙන් දැකපු දිමුතුව සැබෑවටම දකිද්දී මොකද හිතුණේ..?
අපි කතාබහ කළාට පස්සෙ දිමුතු එයාගේ මුළු පවුලේම අයත් එක්ක මාව බලන්න ලංකාවට ආවා. අපි දෙන්නා යාළුවෙලා මාස හයකට පස්සෙ තමයි එයා ලංකාවට ආවෙ. ඒ වෙද්දීත් දිමුතුගේ මුළු පවුලෙම අයත් එක්ක මම ස්කයිප් හරහා කතා කරලයි තිබුණෙ. ඇත්තටම දිමුතු වගේම එයාගේ අම්මා තාත්තා වගේම හැමෝම හරිම හොඳයි. එවැනි පිරිසක් ජීවිතයට ලැබීමත් මගේ වාසනාවක්. ඒ පවුලේ කවුරැවත් පොඩ්ඩක්වත් ආඩම්බර නැහැ. ඉතින්.. දිමුතුව බලන්න මම එදා එයාර්පෝට් එකට ගියා.

මොකද හිතුණේ..?
ඒ වෙද්දී අපි හැමෝම ගොඩක් සමීපයි. තාත්තා පවා ස්කයිප් ඔස්සෙ දිමුතුගේ පවුලේ අයත් එක්ක කතාබහ කරලයි තිබුණෙ. ඉතින්.. අපි දෙන්නා හම්බවෙලා තීරණය කරනවා කියලා නෙමෙයි අපි හිතාගෙන හිටියෙ. ඒ වෙනකොට අපි දෙන්නම හිතාගෙන හිටියෙ &මොන බාධක ආවත් අපි බඳිනවා කියලා. ඇත්තටම පින්තූරවලින් දකිද්දී මට හිතුණෙම දිමුතු මට වඩා මිටිද කියලා. මොනවා වුණත් පොඩි බයක් තිබුණා. මට කවදාවත් පෙනුම වැදගත් වුණේ නැහැ. වැඩිපුර ලස්සන වුණොත් මට පරිස්සම් කරගන්න බැරිවෙයි කියලයි හිතුවෙ. හැබැයි ඒ හැමදෙයක්ම වෙනස්වෙලා හොඳම කෙනා මට ලැබුණා. මම හිතන්නෙ ඒ ලැබීමට බෝනස් එකක් විදිහට එයාගේ පෙනුමත් මට ලැබුණා. ලස්සන මත මිනිසුන් මනින්න බැහැ. හැබැයි ඒ ලස්සන බෝනස් එකක් විදිහට මට ලැබුණා. එයාව එයාර්පෝට් එකේදී මුලින්ම දකිද්දී මට මගේ තෝරාගැනීම ගැන ආඩම්බරයක් හිතට ආවා.

මතකද දිමුතු මුලින්ම දීපු තෑග්ග..?
හොඳට මතකයි. එයා ඇත්තටම හැමෝටම පෙන්නලා තෑගි දෙන්න දඟලන කෙනෙක් නෙමේ. මමත් එහෙම කට්ටියට තෑගි පෙන්නගෙන දඟලන්නෙ නැහැ. එයා මගේ කාමරයෙදී එයාගේ අම්මයි තාත්තයි එයයි ඉන්න තැනදී විතරක් ඒ තෑග්ග මට දුන්නා. එදා ගෙදර කට්ටිය පිරිලා. ඒ හැමෝම ඉස්සරහ ඒ තෑග්ග මට දෙන්න එයාට තිබුණා. හැබැයි කැපීපෙනෙන්න එයාට ඕනවුණේ නැහැ. එයා මට ලස්සන මුද්දකුයි ඇපල් 6+ ෆෝන් එකකුයි (ඒ කාලේ තිබුණු අලුත්ම ෆෝන් එක) දුන්නා. ඊට අමතරව වෙනම ලොකු බෑග් එකක මට වෙනම තෑගි ගොඩක් ගෙනාවා. මගේ ජීවිතේ ලැබුණු ලොකුම බර්ත් ඩේ ප්‍රසන්ට් ටික තිබුණේ ඒ බෑග් එකේ. මම ආසා කරන ඇඳුම් ගොඩක්, ෆර්ෆියුම් වගේම තව බොහෝ දේවල් දීලා එයා මාව සතුටු කළා.

රටවල් දෙකක ඉන්න දෙන්නගෙ වෙඩින් එක ප්ලෑන් කළේ කොහොමද..?
අපි හැමවෙලේම හැමදෙයක් ගැනම කතා කළා. එයා මාව මුලින්ම බලන්න ආපු වෙලාවෙ අපේ විවාහය ලියාපදිංචිවීම ගැන අපි කතා කළා. ඒ අයට හැම තිස්සෙම අමෙරිකාවෙ ඉඳන් ලංකාවට එන්න බැහැනෙ. අපි දෙන්නටම ඕනවුණේ ලස්සන චාම් උත්සවයක් විතරයි. වෙඩින් එක ෂෝ එකක් කරගන්න අපිට ඕනවුණේ නැහැ. අපි දෙන්නා සතුටින් ගෙදර අය සතුටින් වගේම අපි දෙන්නට හැමදාමත් බලන්න පුළුවන් ලස්සන ඇල්බම් එකක් තිබ්බනම් ඒ ඇති. ඉතින්.. විවාහය ලියාපදිංචි කළාට පස්සෙ අපි වෙඩින් එක ප්ලෑන් කළා. ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල තමයි අපේ රෙජිස්ටේෂන් එක තිබුණෙ. ඉතින්.. අපි දෙපැත්තෙන්ම එකතුවෙලා ලස්සන සිම්පල් වෙඩින් එකක් ගත්තා. මෙහේ ඉඳන්ම ඒ හැමදෙයක්ම හොයලා බලලා කළේ කැළුම් අංකල් (කැළුම් විජේසූරිය) එයා තමයි හැමදෙයක්ම හොයලා බලලා අපේ වෙඩින් එක ලස්සනට ගන්න උදව් කළේ. 

අමන්දා ළඟදීම අමෙරිකාවට යයිද..?
දැන්ම නැහැ. ඒකට පොඩි වැඩ ටිකක් තියෙනවා. හැබැයි කොයි වෙලාවෙද කියන්න බැහැ. සමහරවිට ඒ යන ගමන මාස දෙකකින් වෙන්නත් පුළුවන්. හතරකින් වෙන්නත් පුළුවන්. දිමුතු දෙසැම්බර් විතර යන්න බලාගෙන තමයි ලංකාවට ආවෙ. දැන් තව පොඩි කාලයක් අරගෙන තියෙනවා. දැන් මට යවන්න ලෝබයි. එයාට දැන් යන්න ලෝබයි.

ඔන්න ඔහොමයි අමන්දා දිමුතු ගැන කිව්වෙ. අපි බලමුද දිමුතු මොනවද අමන්දා ගැන කියන්නෙ කියලා. ඒ නිසාම දිමුතු එක්කත් පොඩ්ඩක් කතා කරන්න අපි අමතක කළේ නැහැ.

දිමුතු... අමන්දා එක්ක ස්කයිප් හරහා කතා කරද්දී මොකද හිතුණෙ. අමන්දා මොනවගේ චරිතයක්ද..?
අමන්දා කියන්නෙ මම හිතුවටත් වඩා ගොඩක් හොඳ කෙනෙක්. ඒ වගේම එයා ගොඩක් වෙනස්. හරිම හොඳ කෙනෙක්. හරිම අවංකයි. ඒ වගේ කෙනෙක් මට කවදාවත් මුණගැහිලා නැහැ. එයාට මම ගොඩක් ආදරෙයි.

ඔයාගෙ පවුලේ අයට අමන්දා ගැන කියද්දී ඒ අය මොකද කිව්වෙ..?
එයා ගැන කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. එයා මගේ ෆැමිලි එකේ අයත් එක්ක කතාබහ කළා. ඒ අයට හරිම සමීපයි. අපේ පවුලට එකතුවෙන්නත් කලින්ම අමන්දා අපේ පවුලේ කෙනෙක් වුණා. එයාගේ ෆොටෝ එහෙම බලලා එයා එක්ක කතාබහ කළාට පස්සෙ අපේ පවුලේ හැමෝම අමන්දාට කැමති වුණා. ඊටපස්සෙ අපි කට්ටියම ලංකාවට ආවා. ඊටපස්සෙ අමන්දාව මුණගැහුණට පස්සෙ අමන්දා වගේ හොඳ කෙනෙක් මට ලැබීම ගැන ඒ හැමෝම ගොඩක් සතුටු වුණා.

දිමුතුට මතකද අමන්දා දීපු මුල්ම තෑග්ග..?
ඔව්.. අපි මුලින්ම ලංකාවට එද්දී අමන්දා එයාර්පෝට් එකට ඇවිත් හිටියෙ ලොකුම ලොකු ටෙඩිබෙයාර් කෙනෙකුත් උස්සගෙන. ඒ ටෙඩිබෙයාර් මටත් වඩා ලොකුයි. ලොකු ටෙඩියවත් උස්සගෙන අමන්දාව මුලින්ම දකිද්දී මටත් හිනා ගියා. මෙයා මට මොනවා දුන්නත් මම ආසයි. දැන්නම් මම ඒ ටෙඩියට මාර ආසයි. දැන් ඒ ටෙඩියා ඉන්නෙ අමෙරිකාවෙ. ටෙඩියා මාර fun එකේ ඉන්නවා.

අලුත් ජීවිතේ ගැන දිමුතු මොකද හිතන්නෙ..?
අමන්දා එක්ක ගතකරන ජීවිතේට මම දැන් හරි කැමතියි. දැන්නම් ලංකාවෙන් යන්න ලෝබයි. දැන් මගේ හිත හිරවෙලා වගෙයි මට දැනෙන්නෙ. ඉතා ඉක්මනින් මම අමන්දාව අමෙරිකාවට ගන්නවා. දැන් මගේ ජීවිතේම සම්පූර්ණ වුණා වගෙයි මට දැනෙන්නෙ. ජීවිතේ කියන්නෙ සල්ලිවත් සුඛෝපභෝගීකමවත් නෙමේ. ජීවිතේ කියන්නෙ ආදරයයි සතුටයි නිරෝගිකමයි එකතු වුණු තැනටයි. මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි. දැන් මට පට්ට හැපි.
 

► Text – Dishani  /   Pic – Internet