2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

ගෙවල් කුලිය ගෙවාගන්න අතේ සල්ලි නැහැ

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:31 551

මේ දවස්වල මොනවද කරන්නෙ..?
මේ දවස්වල දෙවෙනි ඉනිමේ ගුරුවරියගේ චරිතය තමයි කරගෙන යන්නෙ. ඒත් පහුගිය කාලේ ටිකක් අසනීප වුණු නිසා ඒකට සහභාගි වෙන්නත් බැරිවුණා. දැන්නම් මට හොඳටම හොඳයි. ඊට අමතරව චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක එකතුවෙලා කරන අලුත් ටෙලිනාට්‍යයකත් මම වැඩ කළා. දෙවෙනි ඉනිමේ ගුරැවරියගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

දෙවෙනි ඉනිමේ ගුරුවරියගේ චරිතයට ආරාධනා ලැබුණාම මොකද හිතුණේ..?
ඇත්ත වශයෙන්ම දෙවෙනි ඉනිමේ ඒ චරිතයට මට කතා කරද්දී මම මුලින්ම අකමැති වුණා. රංගනයට ඇවිත් මම මේ ගෙවන්නෙ පනස් වැනි අවුරුද්දයි. මේ අවුරුදු ගණනාවටම ඒ වගේ නපුරු චරිතයක් කරලම නැහැ. 1960 ගණන්වල ඉඳලම මාව වැඩිපුරම ප්‍රසිද්ධවෙලා තිබුණේ කොමඩි චරිතවලටයි. ඒ හැමදෙයක්ම මම හරිම සතුටින් කළා. අවුරුදු ගණනාවක් කරපු ඒ චරිතවලින් මිදිලා චරිතාංග නිළියක් වෙන්න මට අවස්ථාව ලැබුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවරගිර වැනි නිර්මාණ තුළින් මාව වෙනස් චරිතවලින් දකින්න අවස්ථාව ලැබුණා.

ඔබේ ළමා කාලය ගෙවුණේ කොහොමද..?
මගේ තාත්තා වතු පාලකවරයෙක්. දරුවෝ පස්දෙනෙක් ඉන්න පවුලක මම දෙවැනියා විදිහට තමයි ඉපදුණේ. මම පුංචි කාලේ පාසල් තුනක අධ්‍යාපනය ලැබුවා. මුලින්ම වලහපිටිය බාලිකා විද්‍යාලයෙත්, ඉන් පසුව නාත්තණ්ඩිය රෝමානු කතෝලික විද්‍යාලයෙත්, වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙත් ඉගෙනීම් කටයුතු කළා.

පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද..?
මගේ පවුලේ අනිත් අයට වැඩිය මම මගේ ආගමට ළැදියි. මම කතෝලික. ඉතින්.. පුංචි කාලේ ඉඳන් මම හරිම ආසාවෙන් හිටියෙ කන්‍යා සොයුරියක් වෙන්න. ශුද්ධ වූ කන්‍යාරාමයට දැම්මට පස්සෙ ඒක තවත් වැඩිවුණා. හැබැයි ඒ ආසාව ගැන මට ටික දවසයි බලාපොරොත්තු තියාගෙන ඉන්න ලැබුණේ. මගේ තාත්තා ආච්චිලා සීයලා මම කන්‍යා සොයුරියක් වෙනවට කැමති වුණේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම මම හැමදේටම හරි දක්ෂයි.

කන්‍යා සොයුරියක් වෙන්න හීන දැකපු ඔබ කලාකාරියක් වුණේ කොහොමද..?
මම හොඳට ඉගෙන ගත්තා. ඊටපස්සෙ මම ළදරු පාසල් ඩිප්ලෝමාව හැදෑරුවා. ඊටපස්සෙ මම පාසල් දෙකක ඉගැන්වුවා. ඒ ඉන්න අතරේ මගේ අක්කගේ බලකිරීමට මම අවුරුදු කුමරිය තරගයකට ඉදිරිපත් වුණා. ඒ 1966 වසරේ. මාදම්පේ සහ නාත්තණ්ඩිය අවුරුදු කුමරිය වුණේ මමයි. තාත්තා නම් ඒකට කැමති වුණේම නැහැ. මගේ තාත්තගේ ව්‍යාපාර කටයුතුවලට එක එක නිෂ්පාදකවරු ගෙදරට එනවා. ඒ කාලෙදී නිෂ්පාදකවරු දෙතුන් දෙනෙක්ම තාත්තගෙන් මාව චිත්‍රපටවලට ඉල්ලලා තිබුණා. ඒ හැමවෙලේම තාත්තා කියලා තිබුණේ ඕන දෙයක් ඉල්ලන්න.. හැබැයි දරුවා නම් ඕවට මගෙන් ඉල්ලන්න එපා කියලා.්‍

තාත්තා අකමැති වුණාට සමන්තිගේ ආසාව තිබුණේ රංගනයට එකතුවෙන්න නේද..?
ඔව්.. ඔව්.. ඒ කාලේ අපේ ගෙදරට කලා පත්තරයක් ගන්නවාමයි. ඉතින් ඒ පත්තරේ හරි අපූරු දැන්වීමක් තිබුණා කොල්ලන්ගෙ කතාවක්.. කෙල්ලන්ගෙ කතාවක්.. තරුණ තරුණියන්ගෙ කතාවක්... හන්තානේ කතාවක් කියලා. ඉතින් මේ දැන්වීමට මගෙයි මගේ නංගිලා දෙන්නගෙයි හිත ගිහිල්ලා අපි තුන්දෙනා තාත්තටත් හොරෙන් මගේ ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ.

මුලදී හන්තානේ කතාවට ඔබව තෝරාගත්තෙ ප්‍රධාන චරිතයකට නෙමෙයි..?
නැහැ. ඒ සම්මුඛ පරීක්ෂණයට හයසිය අසූවක් විතර කට්ටිය ඇවිත් හිටියා. මම ගියේ මගේ පුංචිඅම්මා කෙනෙක් එක්කයි. ඒ 1966 දී. ඉන්ටර්විව් එකට ඇවිත් හිටපු සෙනඟ දැක්කාම මට පුදුම හිතුණා. එදා විජය කුමාරණතුංග, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන් වගේ බොහෝ පිරිසක් හිටියා. එදා මගෙනුත් ප්‍රශ්න දෙක තුනක් අහලා අවශ්‍ය වුණොත් දන්වන්නම් කියලා කිව්වා. එදා මම හිතුවෙම නැහැ මාව ගනීවි කියලා. කොහොම හරි සුමාන දෙක තුනකට පස්සෙ දෙවැනි ඉන්ටර්විව් එක තිබුණා. ඉතින්.. ඒ වෙනකොට තාත්තා දැනගෙන. මගේ පුංචිත් එක්ක මම දෙවැනි ඉන්ටර්විව් එකටත් ගියා. ඔන්න ඉතින් හන්තානේ කතාවේ මුලින්ම මාව ගත්තෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ සාමාන්‍ය චරිතයකට විතරයි. පොත් ටිකත් උස්සගෙන පාර දිගේ යන්න හරි, ගහක් යට ඉන්න හරි විතරයි මට තිබුණේ. එතැනදීත් මම පසුබට වුණේ නැහැ. හිටගෙන ඉන්න හරි මාව චිත්‍රපටයට ගත්තනෙ කියලා හිතලා මම ඒකට සහභාගි වුණේ. කොහොම හරි පේරාදෙණියේ ෂූටින් කරන්න ගිය වෙලාවක සහාය නිළියට අරගෙන හිටපු ළමයා කැමරා කරන්න පටන් ගනිද්දීම වෙව්ලන්න පටන් ගත්තා. ඒ නිසා ඒ ෂූටින් එක කරන්න බැරි නිසා මාව ඒ චරිතයට තෝරාගත්තා. එදා මම ඒ චරිතය කළා. ඒ අනුව තමයි හන්තානේ කතාවේ විනීතා කියන අනුචරිතය විදිහට මට රඟපාන්න අවස්ථාව ලැබුණේ.

රංගන ජීවිතයේදී තමයි ඔබට ඔබේ ආදරණීය සැමියා මුණගැහෙන්නෙ. එහෙම නේද...?
මගේ සැමියා සෝමපාල ලැනරෝල්. හන්තානේ කතාවක් චිත්‍රපටයෙන්ම තමයි මට ඔහුව මුණගැහුණේ. ඒක දෛවෝපගත සිදුවීමක් වගේ. මුලින්ම එයා කැමති වුණාට මම කැමති වුණේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව වුණේ මම කතෝලික. එයා බුද්ධාගමේ. පස්සෙ මම කැමති වුණත් මගේ තාත්තා කොහෙත්ම කැමති වුණේ නැහැ. තාත්තගේ අකමැත්තෙන් තමයි අපි දෙන්නා විවාහ වුණේ. ඔහු තමයි හන්තානේ කතාවක් චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක. මම සෝමපාල එක්ක විවාහවෙලා දුක් විඳීවි කියලා තාත්තා බය වුණා.

සමන්ති ගතකරපු විවාහ ජීවිතේ සතුටින් ගතවුණාද..?
ඔව්.. මගේ අම්මා තාත්තා වගේම සැමියාගේ තාත්තයි අම්මයි දෙන්නම අපේ විවාහයට විරැද්ධ වුණා. ඉතින්.. සියලු දෙනාගේම අකමැත්තෙන් අපි මේ ජීවිතය පටන් ගත්ත නිසා හොඳ ගමනක් යනවා කියලා අධිෂ්ඨාන කරගෙන අපි දෙන්නා ඒ ජීවිතේ පටන් ගත්තා. ඔය කාලෙදී එයාටත් චිත්‍රපට කරන්න ලැබුණා. මටත් චිත්‍රපටවල රඟපාන්න ලැබුණා. ඒ නිසාම අපේ ඉලක්කවලට යන්න අපි දෙන්නටම පුළුවන් වුණා. තාත්තා වතු පාලකයෙක් නිසා ඒ කාලේ හොඳට සල්ලි තිබුණා. මෙහෙකාරියන් මැද ගෙවුණු ජීවිතේ මට නොලැබේවි කියලා තාත්තා ගොඩක් දුක් වුණා. මට පල්ලි යන්න නොදේවි කියලා තාත්තා බය වුණා. ඒ වුණාට මගේ මහත්තයා පල්ලියේ ෆාදර්ට පොරොන්දු වුණා ඒ කිසිම දෙයකට බාධාවක් කරන්නෙ නැහැ කියලා. ඒ විදිහට අපි දෙන්නා හරි ලස්සනට ජීවත් වුණා. හොඳ ආදායම් මාර්ගයක් සකස් කරගන්න පුළුවන් වුණා. අපි දෙන්නා කවදාවත් අනවශ්‍ය වියදම්වලට බරවුණේ නැහැ. මගේ තාත්තා අමතර ව්‍යාපාරයක් විදිහට මුතුබෙල්ලෝ ව්‍යාපාරය කළා. ඒ නිසා මුතුබෙල්ලෝ අපේම අතේ තියාගෙන අපි මුතු අරගෙන තියෙනවා. අපි තෝරගත්ත මුතුවලින් අපි කැමති ආභරණ හදලා අපේ තාත්තා අපිට පළඳවලා තියෙනවා. ඒ වගේ ආභරණ පළඳපු අපිට ආභරණ ගැන කිසිම ආසාවක් තිබුණේ නැහැ. ඒ නිසා විවාහ වුණාට පස්සෙ රත්තරන් බඩු අරගෙන පළඳින ආසාවක් මට තිබුණේ නැහැ. මගේ මහත්තයා කොච්චර හොඳද කියනවනම් අපි විවාහවෙලා අවුරුද්දක් යන්නත් කලින් දෙපැත්තෙ මව්පියො අපිට ආශිර්වාද කළා. මහත්තයගේ හොඳකම මගේ තාත්තා අවුරුද්දක් ඇතුළත දැනගත්තා. තාත්තගේ අවසන් කාලයෙදී තාත්තා ජීවිතේ හැමදාටම අතේ තිබුණු මුද්ද පවා ගලවලා මගේ මහත්තයට දුන්නා. ඒ තරම් මගේ මහත්තයා හරිම කරැණාවන්ත ගුණයහපත් කෙනෙක් වුණා.

හන්තානේ කතාවෙන් රංගනයට පිවිසුණු ඔබ බොහෝ නිර්මාණවලට දායක වුණා. මතකද ඒ නිර්මාණ...?
ඔව්.. මතකයි. මගේ මුල්ම රංගනය හන්තානේ කතාවයි. ඊටපස්සෙ රජගෙදර පරවියෝ, දුහුළු මලක්, ආදර රත්නේ, බඹා කෙටූ හැටි, රන්මිණිමුතු, පෙම්බර මධූ, අම්මේ මට සමාවෙන්න, පෙරළිකාරයෝ, ජය සිකුරුයි, කිරිකවඩි, හිත හොඳ චණ්ඩියා, තැන්ක් යූ බර්ටි, ආලෝකෝ උදපාදි, පරපුර වගේම චිත්‍රපට පනස් පහකට අධික ප්‍රමාණයකට දායක වුණා. ටෙලිනාට්‍ය රංගනයෙන් මම මුලින්ම දායක වුණේ ලොකු අයියා සහ චාරුලතා ටෙලිනාට්‍යයට. එතැනින් ඇරඹුණු ගමනෙදී ටෙලිනාට්‍ය පනහකට වැඩි ප්‍රමාණයකත් වේදිකා නාට්‍ය හතකත් මම රඟපෑවා.

සමන්තිටත් සෝමපාලටත් ටොරින්ටන්වලින් නිවසක් ලැබුණනෙ. ඒකට මොකද වුණේ...?
ඔව්.. සෝමපාලට ටොරින්ටන්වලින් නිවසක් ලැබුණා. කැමතිනම් අපිට ඒ නිවස ගෙවීමේ ක්‍රමයට නිවාස අධිකාරියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. ඒ නිසා අපි ගෙවීමේ ක්‍රමයට නිවාස අධිකාරියට ඒ මුදල ගෙවලා ඒ නිවස ගත්තා. අපි දෙන්නා පුළුවන් හැකි ඉක්මනින් ගෙවලා ඉවර කළා. නමුත් ඒ කාලෙදී නිවාස අධිකාරියෙන් අපිට ඔප්පුව අතට දුන්නෙ නැහැ. ඒ අතරේ අපි දෙන්නා ටෙලිනාට්‍යයකුත් චිත්‍රපටයකුත් නිෂ්පාදනය කළා. එතැනදී තමයි අපේ ජීවිතේ යම් කඩාවැටීමක් සිදුවුණේ. පිවිතුරු පැතුම චිත්‍රපටය නිසා අපිට ලක්ෂ ගාණක් වියදම් කරන්න සිද්ධ වුණා. අන්තිම කාලෙදී පොඩි මුදල් හිරවීමක් නිසා මහත්තයාගේ යාළුවෙක් අපිට මුදලින් උදව් කළා. අන්තිමට ඒ යාළුකම නිසා අපිව ටොරින්ටන් නිවස අහිමිවෙලා පාරට වැටුණා.

බොහෝ දෙනා එක එක කතා කියනවා. ඇත්තටම ටොරින්ටන් නිවසට මොකද වුණේ..?
ඇත්ත.. සමහරු මේ දේවල් නිසා අපි දෙන්නට එක එක දේවල් කිව්වා. කරන්න බැරි දේවල් කරන්න ගිහින් අපි අමාරුවේ වැටුණා කිව්වා. අපි කලාවට ආසා නිසාමයි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හිතුවේ. සමහරැ කිව්වා අපි අපේ ගේ උගස් තියලා ඒක සින්න වුණා කියලා. ඒ කතා හැම එකක්ම බොරු. මහත්තයාගේ අර යාළුවා තමයි මහත්තයට යෝජනා කරලා තිබුණේ ඒ යාළුවාගේ තවත් යාළුවෙක්ගෙ දරුවෝ දෙන්නා කොළඹ ඉස්කෝලෙට දාගන්න ඕන නිසා පාසල්වලට පෙන්නන්න ඕන නිසා තාවකාලිකව ටොරින්ටන් නිවස ඒ යාළුවට දෙන්න කියලා. ටොරින්ටන් ඉඳන් රාජකීය විද්‍යාලයට හොඳටම ළඟයි. ඒ අය ළමයි දෙන්නා වෙනුවෙන් ලක්ෂ පනහක් වුණත් වියදම් කරන්න ලෑස්තියි. ඔයාට දීපු සල්ලි මම ඒ යාළුවගෙන් ගන්නම්. ගේ පොඩ්ඩක් මාස ගාණකට හිස් කරලා දෙන්න කියලා මහත්තයාගේ යාළුවා කිව්වා. එහෙම කියලා ඒ යාළුවා මහත්තයව රැවැට්ටුවා. හැබැයි ඇත්ත දන්නෙ නැති බොහෝ දෙනා අපිට එක එක කතා කිව්වා. අපි ගේ විකුණගත්තා කියලා කිව්වා. විකුණගත්තනම් අද මට ගේකට කුලිය ගෙවාගන්නවත් බැරි තත්ත්වයක් උදාවෙන්නෙ නැහැ. අද ඒ ගේ ඒ අය කෝටි පහමාරකට විකුණගන්න හදනවා කියලයි අපිට ආරංචි. මට හරි දුකයි. ඒ අය දේශපාලනයට උදව් කරන අයයි. ඒ නිසා ඒ කාලේ හිටපු ග්‍රාමසේවකවත් අල්ලගෙන අපේ නම් පවා ග්‍රාමසේවක ලැයිස්තුවෙන් කැපුවා. අපිට නොදුන්න ඔප්පු පවා ඒ අය හදවාගත්තා.

ඔය කාලෙදීම ඔබේ ආදරණීය සැමියත් ජීවිතයෙන් සමුගත්තා. එහෙම නේද..?
ඔව්.. 2005 දී තමයි මගේ සැමියා මියගියේ. කකුලේ තුවාලයකින් විෂබීජයක් ගිහින් සැමියා නැතිවුණා. අසනීප තත්ත්වයේ ඉඳිද්දීත් මගේ සැමියා ගොඩක් දුක් වුණා මමයි මගේ දුවයි තනිවෙයි කියලා. ඇත්තටම මමයි මගේ දුවයි තනිවුණා. දේශපාලන හිතවත්කම් මත බලපුළුවන්කාරකම් මත ඒ අය අපිව පාරට දැම්මා. අපි ගේ විකිණුවානම් ලක්ෂ ගාණක් අතට අරගෙන එක පනස්දාහක් පොතක දාන්නෙ නැද්ද.. අඩුම ගාණේ එකම දුවගේ නමට කීයක්වත් දාගන්නෙ නැද්ද.. එහෙම කිසිම දෙයක් කළේ නැහැ. අපිට එහෙම කිසිම මුදලක් ලැබුණේ නැහැ. අපිව ඒ මිනිස්සු දරුණු විදිහට අසරණ කළා. අද අපිට ගෙයක් කුලියට ගන්නවත් රුපියල් පන්දාහක් හොයාගන්න බැරි විදිහට අසරණ වෙලා. යන්තමට හරි ගෙවල් කුලිය ගෙවාගෙන තමයි අද අපි ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙන්නෙ. මට එක දුවෙක් ඉන්නවා. දුව හොඳට ඉගෙන ගත්තා. හැමදේම ඉගෙන ගත්තා. බැලේවලින් දක්ෂතම දරුවා වුණා. දුව එයාර් ලංකා ගුවන් සමාගමේ සේවය කළා. රැකියාව කරන අතරතුරේදී සිදුවුණු අනතුරකින් දුව ගොඩක් අසරණ වුණා. තවමත් එයාට හරියට ඇවිදින්න බැහැ. දැන් එයාට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්නත් හොඳට ඉගෙන ගත්තා.

නිෂ්පාදනයට අතගහපු පිවිතුරු පැතුමක් චිත්‍රපටය ලංකාවේ තිරගත කරන්න බැරිවුණා නේද..?
ඇත්තටම ඒක හරිම අවාසනාවක්. චිත්‍රපටයේ මංගල දර්ශනය අපි පෙන්නුවේ ප්‍රංශයේ. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ජෝ අබේවික්‍රම මහතා. ප්‍රංශයේ ජෝ අයියට උපහාර උත්සවයක් පවත්වද්දී පැරැණි චිත්‍රපට හතරකුයි තිරගත නොවුණු චිත්‍රපටයකුයි ප්‍රංශයේ පෙන්නුවා. ඒකෙදී අපේ චිත්‍රපටයත් එහේ පෙන්නුවා. ඒ උත්සවය ලස්සනට තිබුණා. අපේ චිත්‍රපටය හොඳට අගය කළා. ඇත්තටම ඒක හරි ලස්සන කොමඩි චිත්‍රපටයක්. හැබැයි අවාසනාවකට ඒකවත් අපිට ලංකාවේ තිරගත කරන්න බැහැ. නෙගටිව් එක තාම හොයාගන්න බැරිවුණා. ඒ නිසා ඒක ලංකාවේ පෙන්නගන්න අපිට බැරිවුණා. ඒ ෆිල්ම් එක පෙන්නුවනම් අපි ගොඩ. අපේ ගේ අපිට නැතිවුණාට අඩුම ගාණේ වෙන කොහේ හරි ගෙයක් ගන්නවත් අපිට තිබුණා. ඒකවත් අපිට නැතිවුණා. ඒ චිත්‍රපටය නිසා අපිට ගේත් නැතිවුණා. අඩුම ගාණේ ගේ තිබුණානම් ගේ ඇතුළට වෙලාවත් සද්ද නැතිව තියෙන හැටියට කාලා ඉන්න තිබුණා. අද මම ගොඩක් දුක් වෙනවා. ඒත්.. ඉතින් මොනව කරන්නද.. අපිව පාරට දාපු මිනිස්සුන්ගෙ හිත් දන්නවා ඇත්තටම අපිට වුණේ ලොකු අසාධාරණයක් කියලා.

 

► Text - Dishani   /   Pic -Sumudu