2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

කෙසෙල් කකා මහ මුහුදේ මාස 5ක්

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

රොස්ගේ මේ වික්‍රමයේ අපූර්වත්වය වන්නේ මේ දින 157 තුළ එක් වතාවක් හෝ ඔහු ගොඩබිමට නොපැමිණීමයි. ඒකත් වාර්තාවක්. දිනකට පැය 12ක් පිහිනූ ඔහු ඉතිරි පැය 12ක කාලය ගත කළේ මුහුදේ ඔහුට සමගාමීව යාත්‍රා කළ කැටමාරන් (සංචාරක රැෆල් යාත්‍රාවක්) එක්කයි. මේ කාලය පුරාවට ඔහුගේ ප්‍රධාන ආහාර වුණේ කෙසෙල්. ඔහු මේ දවස් 157ට කෙසෙල් ගෙඩි 640ක් කාලා. 

ඔහු චාරිකාව පටන්අරගෙන තිබුණේ ගිය ජූනි මාසයේ පළමුවැනිදායි. ඔහුගේ වැඩේට ගොඩක් දෙනෙක්ගෙන් සහායත් හමුවෙලා තිබුණා. මේ ආකාරයේ වික්‍රමාන්විත වැඩවලට කැමති අය රොස්ගේ චාරිකාව දවසින් දවස රූපවාහිනියෙන් නරඹලාත් තිබුණා. ඒ අයගෙන් කොච්චර සහායක් ලැබුණාද කියතොත් එක පාරක් රොස් තමන්ගේ වෙරළ අසලින් ඇදෙන වෙලාවක ඔහුගේ රසිකාවියක් බෝට්ටුවකින් ඇවිත් රොස්ට කේක් එකකුත් දීලා ගිහින්. 

“ඒක හරිම සුහදශීලී අවස්ථාවක්. ඈ බෝට්ටුවකින් ඇවිත් මට කේක් එකක් දීලා සුභ පතලා ගියා. ඒක උණු උණු කේක් එකක්. ඒ හින්දා ඒක ඉතුරු වෙලා තිබුණේ විනාඩි කිහිපයයි.”
මහ මුහුදේ ගෙවූ මේ කාලය අතරතුරදී ඔහු අකරතැබ්බ බොහෝමයකටත් මුහුණ දී තිබුණා. වරක් බටහිර ස්කොට්ලන්ත වෙරළ ආසන්නයෙන් පිහිනා යන විට ඔහු ජෙලිෆිෂ් කෙනෙකුගේ පහරදීමටත් ලක්ව තිබුණා. 
“මට මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරි වුණා. මගේ ගොග්ල්ස්වලට මුකුත් පේන්නෙ නැතිව ගියා. මම ඔළුව උස්සලා බලද්දී ඌ මගේ මුහුණට හයියෙන් පහර දුන්නා. ඒක හරිම භයංකර අත්දැකීමක්. මට එතකොට තේරුණා මේ ජෙලිෆිෂ් කෙනෙක් තමයි කියලා. මම වැර යොදලා ඌව මූණෙන් අයින් කළා.” ඔහු පසුව ප්‍රකාශ කර තිබුණා. 

ඒ වගේම නොයෙක් වතාවලදී සැඩපහරවලටත් ඔහුව හසුවී තිබුණා. ඒවාට මුහුණ දීම නිසා තමන්ට අමතර දින ගණනක් වැය වූ බව රොස්ගේ අදහසයි. 
ඔහු මුලින් සැලසුම් කර තිබුණේ දින 100කින් ඉංග්‍රීසි මුහුද වටා තම චාරිකාව අවසන් කිරීමටයි. ඒත් දින 57ක් වැඩිපුර මුහුදේ ගතකරන්න රොස්ට සිද්ධ වුණා. චාරිකාව අවසන් කරමින් තමන් පිහිනීම පටන්ගත්තු තැනට ආපු රොස් එතැනදී තමන්ගේ මිතුරන්වයි පෙම්වතියවයි හමුවුණා. 

“මට සමාවෙන්න. මම එන්න ටිකක් පරක්කු වුණා.” දින සීයකට පසු පෙම්වතා මුණගැහෙන්න බලාගෙන සිටි ඔහුගේ පෙම්වතියට රොස් කීවේ හැමෝම හිනස්සමින්. 
මාස ගාණක් මුහුදේ ගෙවලා තිබුණත් පිහිනීමට තියෙන ආසාව රොස්ගෙන් ගිලිහිලා ගිහින් තිබුණේ නැහැ. “ මම දැන් යන හෝටලේ පිහිනුම් තටාකයක් තිබ්බොත් ඒකට බහින්න මට දෙපාරක් හිතන්නෙ නෑ.” චාරිකාව හමාර කරමින් ලන්ඩනයට යන්න පිටත් වෙද්දී රොස් කිව්වේ එහෙමයි. 

ඩේලීමේල් ඇසුරෙන් 

► Text — Suranga