2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

තාමත් ඒ පිස්සුව එහෙමමයි....

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:30 122

කෙටි කාල පරාසයක් තුළ චිත්‍රපට, ටෙලි හා වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස තම දස්කම් පිළිබිඹු කළ ලක්මිණි කරුණාආරච්චි මේ දිනවල වින්දන හා කල්පන ආරියවංශගේ රූකඩ පැංචි අලුත්ම චිත්‍රපටයේ ද සැලකිට යුතු භූමිකාවක් නිරූපණය කරනවා.

රංගනයට පමණක් නොව ලක්මිණි ගායනයට ද හපන්කම් දක්වන්නීය. ඇගේ අලුත්ම ගීතය ආදරයයි සඳහා ඇයට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළ බවයි ආරංචිය.

ලක්මිණි උපන්නේ බණ්ඩාරවෙල. ඉගෙන ගත්තේ බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා මහා විදුහලේ. කොහොමද කොළඹට සේන්දු වුණේ?
දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන්ම අපි රූපවාහිනියට ලොල් වෙලා හිටපු නිසාද මන්දා මට ලොක් ආසාවක් තිබුණා ලොකු වුණාම මෝස්තර නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒත් ඒක පුංචි හීනයක් විතරයි. කොහොම හරි උසස් පෙළ කළාට පස්සේ මට කොළඹ ටෙලිකොම් එකේ රැකියාවක් ලැබුණා. ඒ ආයතනයේ මෝස්තර නිරූපණ වැඩසටහනකට මට අහඹු ලෙස සහභාගී වෙන්න ලැබුණා. මගේ හීනය අලුත් වුණු නිසා මම ප්‍රවීණ ශිල්පී නික් ජේසන් යටතේ මෝස්තර නිරූපණය හැදෑරුවා. පියාගේ අභාවයෙන් පස්සේ අපි හැමෝම කොළඹ පදිංචියට ආවා. ඒ අතරතුර තමයි මට චිත්‍රපටයක රඟපාන්න ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ ආරාධනා කළේ. ඔහුගේ නැගණිය ලෙස මම එයා තමයි මෙයා චිත්‍රපටයේ රඟපෑවා. මගේ රංගන ජීවිතය ආරම්භ වුණේ ඔන්න ඔය විදිහට.

අද වන විට ඔබ චිත්‍රපට, ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය නිළියක ලෙසත් ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.
මුලින්ම කියන්න ඕනේ රංගනයේ යෙදෙන්නේ වෙනත් රැකියාවක් කරන ගමන්. මම නැව් සම්බන්ධ සමාගමක සේවය කරනවා. රඟපෑම කරන්නේ විනෝදාංශයක් හැටියට විතරයි. මොකද ලංකාව වගේ රටක රංගනය වෘත්තියක් හැටියට කරන්න බැහැ කියලයි මට හිතෙන්නේ. අවුරුදු දෙකකට වැඩි කාලයක් මම ආටක නාටක ටෙලි මාලාවේ රඟපෑවා. මිනිස්සු අතරට යන්න ඒක ගොඩක් ඉවහල් වුණා.

ඔබ රඟපෑ චිත්‍රපට ගැන කතා කළොත්?
චිත්‍රපට 10කට වැඩි ප්‍රමාණයක රඟපාලා තියෙනවා. විශේෂයෙන් වී. සිවදාසන් මහතාගේ පාටක් නැති ආදරයක්^ හා දෙවැනි යුද්ධය වගේම සෝමරත්න දිසානායක මහතාගේ සුනාමි චිත්‍රපටයේත් මම රංගනයෙන් දායක වුණා. මේ දිනවල වින්දන හා කල්පන ආරියවංශගේ රූකඩ පැංචි චිත්‍රපටයේ රඟපානවා. මේ චිත්‍රපට කීපය ඉදිරියේදී ප්‍රදර්ශනය වේවි. තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. කාලය ලැබෙන විදිහට ඒවාට සම්බන්ධ වෙනවා. මේ වෙනුවෙන් මගේ රැකියා ස්ථානයෙන් ලැබෙන නිදහස ගැන මම ස්තූතිවන්ත වෙනවා.

ටෙලි නාට්‍ය...?
රැකියාවත් එක්ක ගොඩක් වැඩ බදාගෙන කරන්න බැරි නිසා යම් ටෙලි නාට්‍ය ප්‍රමාණයකට සහභාගී වෙලා තියෙනවා. මංසල, ඉලන්දාරි හැන්දෑව හා රන්හිරු වැස්ස ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. මා රඟපෑ සඳමාලි, දේදුණු පාලම වගේ නිර්මාණ ඉදිරියේදී විකාශය වේවි.

ඔබ වේදිකා නාට්‍යයකත් රඟපානවා නේද?
ඔව්. සරත් දික්කුඹුරගේ සිකුරා වේදිකා නාට්‍යයේ මම රඟපානවා. ජයලාල් රෝහණ, කුමාර වඳුරැස්ස, රිචඩ් මහමුදලි වගේ ප්‍රවීණ ශිල්පීන් එක්ක මේ නිර්මාණයේ වැඩ කරන්නට ලැබීම භාග්‍යයක් හැටියටයි මම සලකන්නේ.

ඒ වගේම ඔබ ගායිකාවක්?
මම පුංචි කාලේ ඉඳලම සංගීතයට ආසයි. සින්දු කියන පිස්සුවක් තිබුණා. තාමත් ඒ පිස්සුව හොඳ වෙලා නැහැ. මම ආදරයයි කියලා මගේම සින්දුවක් ළඟදි එළිදැක්වුවා. මියුසික් වීඩියෝවකුත් කළා. ලැබෙන ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. සින්දුව ලිව්වේ උදය රුවන් හේරත්. සංගීතවත් කළේ සඳරුවන් ජයසිංහ. තවත් සින්දුවක් කරන්න මගේ පොඩි අදහසක් තියෙනවා. ඉඩකඩ ලැබෙන විදිහට හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

 

TEXT – Ramesh Uvais