2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

දැහැන

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

ජීවිතයේ අහන්න ආසම කටහඬත් එක්ක ඇස් හරින්න තියෙනවනම් හැම දවසකම... ඒ දවස දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් එක්ක මගේ ළඟට එන ආදරණීයම දවසක් වෙයි... එහෙම කලාතුරකින් හරි ඔයා ළඟට එන හැම දවසක්ම දෙවියන් වහන්සේට ස්තූති කරලා පිළිගන්න...

මගේ හොඳම කවි සඳහා අත්දැකීම් ලබාගැනීමේදී ජීවිතයෙන් බොහෝ සේ වන්දි ගෙව්වෙමි... ටී. එස්. එලියට් කියන කවියා දවසක් ඒ විදිහට කිව්වා. තෝමස් ස්ටියර්න්ස් එලියට් කියන්නේ විසිවැනි සියවසේ සිටි කාව්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්.. ඔහු කවි ලීවේ ඉංග්‍රීසියෙන්. ඒත් භාෂාව මොකක් වුණත් මිනිස්සු මේ ලෝකයෙන්, මිනිස් හදවත්වලින් ඉල්ලා හිඳින හැඟීීම් එකයි කියලා මට වෙලාවකට හිතෙනවා. එලියට් කීවා වගේ ජීවිතයේ එක දෙයක් වෙනුවෙන් සමහරවිට අපට මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒත් ඒ ගෙවන හැම වන්දියකටම වඩා, අත්හරින හැම දේකටම වඩා, අහිමි කරගන්න හැම දේකටම වඩා සියල්ල කැපකර අපි ලබාගන්න හදන එක දෙයක් සමහරවිට අපි මේ සංසාරය පුරා හොයපු දෙයක් තරමට වටිනවා කියලා මට හිතෙනවා. ජීවිතය කියන්නේ සියල්ල කියලා කෙනෙක් තර්ක කරද්දී මම කියන්නේ නෑ ජීවිතය කියන්නේ එකම එක දෙයක්... අනිත් සියල්ල අයිති මම කියන භෞතිකයට මිසක් ජීවිතයට නෙවෙයි.. මම කියන්නේ නාම රූප දෙකේ සංකලනයට. ජීවිතය කියන්නේ ඒ නාම රූප සංකලනයට නෙවෙයි. ඒ නාම රූප සංකලනයට හුස්මක් දෙන කවර හෝ සාධකය තමයි ජීවිතය. මම කියන භෞතිකය ප්‍රාණයක් බවට පත්කරන්නේ ජීවිතය. එතන එකම එක සාධකයක් මිස සාධක දෙකක් හෝ ඊටත් වැඩි ගණනක් තියෙන්න බෑ. කෙනකුට ජීවිතය කියන්නේ සල්ලි වෙන්න පුළුවන්. තව කෙනකුට ජීවිතය කියන්නේ වෙනත් භෞතික සාධකයක් වෙන්න පුළුවන්. තව කෙනකුට ජීවිතය කියන්නේ ආදරය වෙන්න පුළුවන්.

ආදරයෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන්ද? නෑ ජීවිත්වීම කියන සාධකය සම්පූර්ණ කරන අංශ දෙකක් තියෙනවා. එකක් භෞතික සාධක. අනිත් එක අධ්‍යාත්මික සාධක. ජීවත් වීම තුළ කෙනකුට තම පැවැත්ම උදෙසා යහපත් ආර්ථිකයක් වගේම නිසි ආර්ථික කළමනාකරණයක් තිබීමත් අත්‍යවශ්‍ය දෙයක්. එහෙත් ජීවත් වීම කියන ක්‍රියාවලියේ සමස්තය රුපියල් තුළ පමණක් ලඝු කරන්න බෑ. ආර්ථිකය විසින් ගොඩනගන ජීවත් වීමේ ශක්තිමත් පදනමට තෙතමනයක් එක් කරන්නේ අධ්‍යාත්මික සොඳුරැතාවයන්. ආදරණීය තත්ත්පරයන්. ජීවත් වීම වෙනුවෙන් අස්වනු නෙලා ගන්න ඕන ඒ ආදරණීයන් හා සැනසෙන්න ගෙවන්න තත්ත්පර වෙන් කරගන්න ගමන්.

සියල්ල අවසානයේ අපි ඉල්ලා හිඳින්නේ සතුට හා සැනසිල්ල. ඔබ අපරාජිතයෙක් නොවෙන්නේ ඒ දෙයට ඔබ හිමිකාරයෙක් නම් පමණයි.
ඔබ තෝරාගන්නා ජීවිතය ඔබට අවසානයේ ප්‍රදානය කරන සතුට හා සැනසිල්ල තමයි ඔබ ජීවත්වීමේ අවසානයේ ලබන පැසුණු ඵලය.

ආදරය ජීවිතය කරගන්න තරම් ආදරයක් ඔබට කෙනෙක්ගෙන් ලැබෙනවානම් ජීවත් වීම තුළ ඔයාට කවදාවත් හිස්තැනක් දැනෙන එකක් නෑ.. ඒ ආදරය ළඟ නොසැලෙන විශ්වාසයක් රැඳෙනවානම් මේ ලෝකයේ සතුටින්ම ඉන්න කෙනා ඔයා වෙයි.. ආදරය කියන්නේ තිතක්, කොමාවක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් මඟ නොහැර තවත් කෙනෙක් කියවීමට.. ආදරය මට මගේ හුස්ම කියලා කියන්න පුළුවන්නම් ඒ හුස්මේ සාරයෙන් ඔයාගේ ඇස් දිලිසෙන්න පටන් ගනියි... ආදරය කියන්නේ දෙවියන් වහන්සේ.. සදාකාලික ජීවනය.. සදාකාලික ප්‍රේමය.. එතන...

මම.. මම.. සහ මම 
ඒ සමීකරණය පුළුවන්නම් විසඳන්න.
ඒ විසඳපු දවසට ඔයා හරි ජීවිතයක් තෝරා ගනියි...
මම සුවපත් කරනු පිණිස!