පුතුන් නොදී මගේ කුසට
රැහැනින් මිඳුනානම්
යෙහෙකැයි සිද්ධාර්ථ නුඹ
රජ පැටියෙක් වුණත් මපුතු
තාත්තා නැති දරුවෙක් අද
අකම්පාව දරා උන්න
සංසාරේ දුක් කන්දම
කඳුළු කළේ හිමියනි මම
සොවින් නොවේ මා හැර ගිය
බෝධිසත්ත්ව හිතකටවත්
ස්නේහයේ මහා අරුත
නොවැටහිච්ච මහා දුකට
සෙවණැල්ලක් වී ආවේ
සංසාරේ අතනෑරම
පාරමිතා සපුරන්නට
බෑ හිමියනි බෝ සතුන්ට
මහපොළවක් සේ දරන්න
ගෑනු හිතක් ළඟ නැතිකොට
මඟ වැරදෙයි කියන බයට
මං ආවේ අතනෑරම
කියාදෙන්න හිමියනි මට
පාරමිතා පුරන හිතක්
පතන්නෙ බුදු බව විතරද
මන්ද්‍රි දෙවි හා පැටවුන්
දන්දෙද්දී සුව පිණිසම
මනුස්සකම කොහෙද තිබුණෙ
බෝධිසත්ත්ව හද මඬලක
බුදුන් වුණත් හිමියනි ඔබ
තවත් පිරිමියෙක් විතරද
පසෙක තබා විමසද්දී
බුද්ධත්වයෙ රන් ලෝගුව
පුතුන් අසයි පිය වත ගොත
කෝ උත්තර මට දෙන්නට
හැර ගියාට කම් නෑ මට
සාක්ෂාත් කරනු පිණිස
සංසාරෙක ලද විවරණ
බව කතරක දුක් නිවන්න
පුතුන් නොදී කුස යහනට