2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

තරු 7යි එක රැයයි

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 293

හෙලෝ වෙල්කම්, නමෂ්කාර් ආජ් බොහොත් ඛූබ් සූරත් රාත් හේ. ෂෝදාගාර් කෝ නමස්තේ. ඝර් බෙටේ දර්ශකෝංකෝ සාදර් ප‍්‍රණාම්, ඉස් භාග්‍යවර් බංදේ කා නාම් සංජු.

ආයුබෝවන්. අද බොහොම සුන්දර රාත‍්‍රියක්. ඔන්න සහභාගීවෙලා ඉන්න අයට වගේම ගෙදර ඉඳන් බලාගෙන ඉන්න අයටත් ආයුබෝවන් කියලා සාදර ප‍්‍රණාමය පුද කරනවා. මේ භාග්‍යවන්ත මගේ නම සංජු.

දවස හරියටම කියනවනම් ගිය සෙනසුරාදා. ඒ රත්රන් පාට රාත්‍රියේ මට හිතුණේ මම journalist කෙනෙක් නෙවෙයි මයික් එක අතට ගත්තු නිවේදිකාවක් කියලා. මම හිටියේ මහා විශාල දැවැන්ත වේදිකාවක් මත. Hiru golden awards 2018, ඒ තමා මම හිටිය වේදිකාව.එහෙම දිලිසෙන තරු දකිද්දි මටත් නිකම් තරු විසික් වෙන හීන පේන්න ගත්තා. මගේ ඉස්සරහ තියෙන දහස් ගාණක් පුටුවල වාඩිවෙලා හිටියේ ප්‍රේක්ෂකයෝ විතරක් නෙවෙයි, අපේ තරු වගේම බොලිවුඩ් අහස එකළු කළ තරු හතකුත් ඈත මෑත පායලා තිබුණා. කිව්වනේ ඔන්න මමයි මයික් එක අතට අරගෙන නිවේදන කටයුතු කරන්නේ. කොහොමද ඒක. ආ ඔය මම එකපාරට දැක්කේ මෙන්න මේ සින්දුවට නටන, එකපාරක් දැක්කම ආපහු හැරිලා බලන්න හිතෙන ලස්සන කෙල්ලෙක්ව. සින්දුවෙන් කියවුණේ මෙහෙම තේරුමක්. 

ඕහ් ලෝකය යන්නේ බලයෙන්.. ඒ හින්දා මමත් එසේ මෙසේ බලන් ඉන්නේ නැහැ... හැම සෙල්ලමක්ම මමත් දන්නවා. මමත් හොඳ ක‍්‍රීඩකයෙක්.. ඔය හැම කෙනෙක්ටම මමත් කියා දෙන්නම්. ඒ මොකක්ද දන්නවද? ජ සින්ද්‍රා චින්තා තා අචිත චිත චින්තා තා තා

ඕ හෝ දුනියා චලේ පිචාඩී 
තෝ මේ චලූ අගාදී
සබ් ඛේල් ජාන්තා හූං 
මේං හූං බඩා ඛිලාඩී 
සිම්තී මේ ලේකේ ජාඌං
ඕර් සබ් කෝ මේං සිඛාඌං 
ක්‍යා ?

චින්තා තා චිතා චිතා චින්තා තා තා...

මම එයත් එක්ක ටිකක් කතා කෙරැවා. 

මෙන්න මේකයි එයාගේ Bio-graphy එක.

1987 ජූනි 02 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවල ඉපදිලා මුම්බායිවලම ජීවත්වෙන ඇය එස්.එන්.ඩී.ටී වුමන්ස් යුනිවර්සිටියෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. ඇය නිළියක් වගේම ගායිකාවක් විදියට තමයි ඉන්දියාවේ හැමෝම දන්නේ. 2010 වර්ෂයේ පටන් හින්දී සිනමාවේ දකින්න ලැබෙන ඇය උස අඩි 05යි අඟල් පහමාරක්. මුලින්ම කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් විදියට රැකියාවක් කරන්න පටන්ගත්ත ඇය වෙන කවුරුවත් නෙවෙයි, හින්දී සිනමාවේ ජනප‍්‍රිය නළුවෙක් වුණු දැනට ඉන්දියාවේ දේශපාලකයෙක් විදියට කටයුතු කරන ශත්ශෘගන් සිංහා, පූනම් සිංහාගේ දියණිය වන ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා සම්මාන රාශියක් තමන්ගේ නමින් ලියාගෙන සිටින සෝනක්ෂී සිංහා. සෝනක්ෂිට වැඩිමල් අයියලා දෙන්නෙක් ඉන්නවා ලව් සිංහා සහ ඛුෂ් සිංහා නමින්. ඒ දෙන්නම නිවුන් සහෝදරයන්. ඒ වගේම සෝනක්ෂිගේ පියා භාරතීය ජනතා පක්ෂය තමයි නියෝජනය කරන්නේ. සෝනක්ෂිට කිස් එකක් දීලා සුබ පතලා අනිත් පැත්ත බැලුවා විතරයි, මට මතක වුණේ බාසීගර් හින්දී සිනමාපටයයි‍. 

මේ රා දිල් තා අකේලා... තූනේ ඛේල් ඒසා ඛේල්.. තේරී යාද් මේ ජාගූං රාත් භර්.. බාසීගර් ඕ බාසිගර් තූ හේ බඩා ජාදූගර්..

මගේ හදවත හුදෙකලා වී ඇත... ඔබ සෙල්ලම් කරන්න එසේ සෙල්ලම් කරන්න.. ඒ ඔබගේ මතකයන් මුළු රාත්‍රියම නිදිවර්ජිත කරන්න... ඔබනම් මහා මායාකාරයෙක්... කිය කියා හින්දී සිනමාවේ කිං ඛාන් ශාරුක් ඛාන් සහ කාජල් එක්ක බාසීගර් සිනමාපටයේ සුන්දර රමණීය රංගනයක යෙදෙන 1975 ජූනි 08 වැනිදා ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේ බැන්ගලෝර්වලදී ඉපදිලා තියෙන ඇය මේ වෙනකොට මුම්බායිවල ජීවත්වෙන සිනමා නිළියක්, නිෂ්පාදකවරියක්, නිරුපණ ශිල්පිනියක් වගේම ව්‍යාපාරික කාන්තාවක්. 1993 වසරේ පටන් හින්දී සිනමාව හා ඇය යා වුණා. 2009 දී ඉන්දියාවේ ඉන්න අංක එකේ ව්‍යාපාරිකයෙක් වන රාජ් කුන්දර් එක්ක විවාහවෙලා ඉන්න ඇය වෙන කවුරුවත් නෙවෙයි, සුරෑපී හැඩකාරිය ශිල්පා ෂෙට්ටියි. ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා සම්මාන රාශියක් තමන්ගේ නමට වෙන්කරගන්නට සමත්කම් දක්වලා තියෙන ශිල්පා ෂෙට්ටිගේ පියා, සුරේන්දර් කියන්නෙ ව්‍යාපාරිකයෙක්. මුම්බායිවල සෙන්ත් ඇන්තනීස් ගර්ල්ස් ස්කූල් එකෙන් අධ්‍යාපන ලබලා තියෙන ශිල්පා ටික කලකින් මතුන්ගාවල තියෙන පොඩර් කොලේජ් එකට ඇතුළත් වුණා. එහිදී භරත නාට්‍යයම් ගැන ඇය ඉගෙන ගන්නවා. ඒ වගේම වොලිබෝල් ටීම් එකේ නායිකාවත් වෙනවා. 1991 දී 10 වසර විභාගයට පෙනී ඉන්න ශිල්පා, ලිම්කා ටෙලිවිෂන් එකේ කොමර්ෂල් එකකට නිරූපිකාවක් විදියට පෙනී ඉන්නවා. අන්න ඊටපස්සේ 1993 ගාට රහේ මේරා දිල් කියන සිනමාපටයෙන් අපි හමුවට එන ඇය මෙන්න මගේ ගාවම හිටගෙන සුන්දර හිනාවකින් මුහුණ සරසාගෙන මාත් එක්ක කතාබහ කරමින් ඉන්නකොට එයා ගාවම හිටියා පිනිජම්බු ගෙඩියක් වගේ රතුවුණු මුහුණක් තියෙන ලස්සන කෙල්ලෙක්. එයා ඉපදිලා තියෙන්නේ 1987 මැයි 14 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප්‍රාන්තයේ මුම්බායිවලදී කියන ගමන් මාත් එක්ක කතාබහ පටන් ගත්තා. 

දිගටි දිලිසෙන ඇස් තියෙන සුන්දරිය, දැනෙනවා නුඹගේ ඇස්වලින් බොහොම ගැඹුරු නින්ද පවා නොව සිහිනයනුත් උදුරා ගන්නා බව. මගේ සිහින වලින් බැහැරව මිහිකතට පැමිණ කොහේදී හෝ හමුවෙන්න...

සුරිලි ආඛියෝන් වාලේ... සුනා හේ තේරී ආඛියෝන් සේ බෙහතරී හේ නිංදේන් ඕර් නීංදෝන් මේං සප්නේ කභී තෝ කිනාරෝපේ... උතර් මේරේ සප්නෝ සේ ආජා සමීන් පේ ඕර් මිල් ජා කහිනෙ පේ මිල්ජා කහීන්..

වීර් හින්දී සිනමාපටයෙන් මුල්ම වරට මේ කියන්න හදන සුන්දරිය හින්දී සිනමාවට හඳුන්වලා දුන්නේ හින්දී සිනමාවේ සිහින කුමාරයා නම් විරුදාවලියෙන් හඳුන්වන සල්මාන් ඛාන්. 2010 දී හින්දී සිනමාවට ආ ඇය නමින් සරීන් ඛාන්. ඇය නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. සරීන් මුස්ලිම් පෂ්තුන් ජාතිකයෙක් වන අතර ඇයට හින්දී, උර්දූ, ඉංග‍්‍රීසි වගේම මරාතී භාෂාවත්, එයට අමතරව පෂ්ටෝ භාෂාවත් කතා කරන්න හැකියාව තියෙනවා. ඇය මුම්බායිවල රිෂ්වී කෝලේජ් එකෙන් විද්‍යා විෂයන් තමයි හදාරලා තියෙන්නේ. ඇය තමන්ගේ පළමු සිනමාපටය වන වීර් සිනමාපටය වෙනුවෙන් නැඟී එන සිනමා නිළියට හිමි සම්මානයටත්, ස්ක‍්‍රීන් අවෝර්ඩ් සම්මානත් හිමිකරගෙන තියෙන බව කියනකොටම, මෙන්න මහත මැදිවියේ කෙනෙක් විහිළුවකුත් කරගෙන මගේ ගාව හිනාවේවී ඉන්නවා. එයා දැක්ක ගමන් මට බය හිතුණා. ඇයි දන්නවද? එයා සිනමාපට රෑපගත කිරීම් කරද්දී තමන් එක්ක සටන් කරන කෙනෙක්ට ඇත්තටම පහර දෙනවලු. මම හිතුවා එයා මටත් පහරක් දුන්නොත් එහෙම නේද? මෙන්න එයා කියනවා එයා අහුජාලු. ඉපදුණේ 1963 දෙසැම්බර් 21 වැනිදා කියලා. ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රාවල මුම්බායි නගරයේ ඉපදිලා, එහෙම හැදිලා වැඩිලා තියෙන ඔහු ඉන්දියන් නැෂනල් කොංග‍්‍රස් එක නියෝජනය කරන දේශපාලකයෙක්. ඒත් 1986 වසරේ පටන් ඔහු හින්දී සිනමා නළුවෙක්, නිෂ්පාදකයෙක් වගේම නර්තන ශිල්පියෙක් විදියටත් කටයුතු කරනවා. ඒ වගේම ඔහු හාස්‍ය ජවනිකා ඉදිරිපත් කරන්නෙක්ද වෙනවා. බොහොම සම්මාන ප‍්‍රමාණයක් තමන්ගේ නමට ලියාගන්නට සමත්වෙලා තියෙන මේ කියන පුද්ගලයා මගේ ගාවට ආවේ නිකම් නෙවෙයි, මෙන්න මේ සින්දුවත් මුමුණන ගමන්. 

ටන් ටනා ටන් ටනා... පේසා කමානා ටන් ටනා ටන් ටනා

මාවුජ් මනානා ටන් ටනා ටන් ටනා සාරේ ජහාන් භෝජ් උටානා.. මෙහෙනත් මේරේ ජීවන්.. කූලී නම්බර් වන් මේ මූලී නම්බර වන්...

මුදල් හම්බකරන්න ඕන වගකීම් ඉටුකරන්න... මහන්සිවෙලා වැඩ කරන එක තමයි මගේ ජීවිතේ. මම නොම්මර එකේ කුලීකාරයා...

එහෙම කියමින් හිනාවීගෙන මගේ ගාවට ආවෙ වෙන කවුරුවත් නෙවෙයි, ගෝවින්දා අහුජා. හැමෝම වගේ ආදරේට ඔහුට කියන්නෙ චිචී භායී කියලයි. ගෝවින්දා කියන්නේ නළුවෙක් වුණු අරුන් කුමාර් අහුජා සහ ගායිකාවක් වගේම නිළියක්ද වුණු නිර්මලා දේවීගේ පුතණුවන් වන අතර ඔවුන් පන්ජාබයේ අයයි. ගෝවින්දාගේ අම්මා උත්තර ප‍්‍රදේශයේ වාරානාසීවල කෙනෙක්. හයදෙනෙක් ඉන්න පවුලේ බාලයා ගෝවින්දා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. 1987 වසරේ දී සුනීතා එක්ක විවාහ වුණු ගෝවින්දා අහුජාට ටීනා අහුජා සහ යශ්වර්ධන් අහුජා නමින් දරුවන් දෙදෙනෙක්ද සිටිනවා. හැම වෙලාවෙම හිනා මුහුණින් ඉන්න ගෝවින්දත් එක්ක කතබහ නතර කරලා මම ඔහු ගාවම හිටියා. මුහුණ රවුම්, විවාහ දෙකක් මේ වෙද්දී කරගෙන ඉන්න ඔහුත් එක්ක කතාබහ පටන්ගන්නයි හැදුවේ. ඒත් ඊට කලින් හයියෙන් හිනාවෙමින් හිනාවෙද්දී කම්මුල් වළ ගැහෙන සුන්දර ලළනාවක් මගේ ගාවට ආවා.

ඒ මෙරේ හම් සෆර්... එක සරා ඉන්තසාර්... සුන් සදායේ දේ රහි හේ... මන්සිල් ප්යාර් කී... 

මගේ ගමන් සගයාණෙනි, එක මොහොතක් මොහොතක් පාසා මම දෑස් දල්වාගෙන බලාපොරොත්තුවෙන් සිටිනුයේ අපගේ ආදරයේ අවසාන ඉලක්කය වෙත ළඟාවීමේ බලාපොරොත්තුවෙන්ය. 

ක්යාමත් සේ ක්යාමත් තක් හින්දී සිනමාපටයේ තියෙන මේ ගීතයට සුන්දර නර්තනයක් කරමින් මගේ ඉදිරියට ආවේ හුරතල් පෙනුමක් තියෙන කෙළිලොල් සුරූපිනියක්. 1967 නොවැම්බර් 13 වැනිදා ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ අම්බාලාවල ඉපදිලා තියෙන ඇය හින්දී සිනමාවේ නිළියක්, නිෂ්පාදිකාවක් නිරූපණ ශිල්පිනියක් වගේම ගායිකාවක්ද වෙනවා. 1984 ක්යාමත් සේ ක්යාමත් තක් හින්දී සිනමාපටයේ රංගනයට එක්වෙමින් සිනමාවට පිවිසි ඇය උස අඩි 5යි අඟල් 03ක් උස වන  අතර 1995 දී ජායි මෙහෙතා සමඟින් විවාහ වුණා කිව්වම ඇය ජූහී චාවුලා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ නේද? දැනට දෙදරු මවක් වන ජූහිත් එක්ක ටිකක් කතාබහ කරමින් ඉන්නකොට මෙන්න විවාහ දෙකක්ම කරගෙන ඉන්න, තාමත් නව යොවුන් පෙනුමක් තියෙන කෙනෙක් මගේ ගාවට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තා. කතා කරන්න ආවේ මෙන්න මේ ගීයත් කිය කියා නර්තනයකුත් දාන ගමනුයි.

ජබ් භී කෝයී ලඩ්කී දේකූ... මේරා දිල් දීවානා බෝලේ ඕලේ ඕලේ ඕලේ ඔලේ ඔලේ ඔලේ... ගාඌං තරානා යාරා ජූම ජූම කේ හොලේ හොලේ ඔලේ ඔලේ ඔලේ ඔලේ ඔලේ...

 යම් විටෙක මම යුවතියක් දකිනවද අන්න ඒ වෙලාවට මගේ හදවත ඔලේ ඔලේ ගානවා කියමින් මගේ ගාවට නටමින් ආවේ ඉන්දියාවේ සිවිල් වැසියෙක්ට ලැබෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබලා ඉන්න 1970 අගෝස්තු 16 වැනිදා ඉන්දියාවේ නවදිල්ලියේදී ඉපදුණු දැනට ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවල ජීවත්වෙන නළුවෙක් වගේම නිෂ්පාදකයෙක්. 1992 ඉඳලා සිනමා නළුවෙක් විදියට හින්දී සිනමාවට සම්බන්ධවෙලා ඉන්න ඔහු 1991 දී ජනප‍්‍රිය හින්දී සිනමා නිළියක් වන අම්රිතා සිං එක්ක විවාහවෙලා ඇයගෙන් 2004 දී දික්කසාද වෙලා 2012 දී කරීනා කපූර්ව විවාහ කරගන්නවා. ඔහු නමින් සයිෆ් අලී ඛාන්. දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වුණු මන්සූර් අලී ඛාන් පටවුදුඊ සහ හින්දී සිනමා නිළියක් වුණු ශර්මිලා තාගෝර්ගේ පුතණුවන් සයිෆ් අලී ඛාන්. නමුත් ඔහුගේ උපන් නාමය සජීද් අලී ඛාන් කියලා වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඔහු හැම වෙලාවෙම සැහැල්ලුවෙන් විහිළු කරමින් ඉන්න නළුවෙක් හින්දා විහිළු තහළුවෙන් කතාබහ කළ සයිෆ් යන්න හදනකොටම ටිකක් ආඩම්බරයෙන් ඉන්න තරුණ කඩවසම් තරුණයෙක් මෙන්න මේ අන්කිත් තිවාරී ඒක් විලන් සිනමාපටයට ගායනා කළ ගීතයත් මුමුණ මුමුණා මගේ ගාවට ආවා.

 තේරී ගලියාන් ගලියාන් තේරී ගලියාන් මුජ්කෝ භාවේන් ගලියාන් තේරී ගලියාන්..

 මේ කියන්න හදන්නේ කවුද කියලනම් ඔබ දැනටමත් දන්නවා ඇති. 1985 ජනවාරි 16 වැනිදා ඉන්දියාවේ දිල්ලිවල ඉපදුණු ඔහු සිනමා නළුවෙක් වගේම සහාය අධ්‍යක්ෂවරයෙක්ද වෙනවා. 2012 වසරේ පටන් හින්දී සිනමාව හා සම්බන්ධවෙලා ඉන්න ඔහු ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් සිනමාපටය සඳහා නැඟී එන හොඳම සම්මානයත් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හිමිකරගන්නවා. ඔහු නමින් සිද්ධාර්ත් මල්හෝත‍්‍රා. නළුවෙක් විදිහට මිනිසුන් අතරට ආවේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් කියන කරන් ජොහාර්ගේ සිනමාපටයෙන්. ඒත් ඊට කලින් ඔහු කරන් ජොහාර්ගේ ශාරුක් ඛාන් සහ කාජල් රංගනයෙන් දායක වුණු මයි නේම් ඊස් ඛාන් සිනමාපටයේ සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කළා.

ඉතින් හිරැ Golden awords ඒ රාත්‍රිය කොහොමත් සුන්දරයි. අපේ ලොකු අයියා මහේන්ද්‍ර ධනාත් එක්ක... ධනා කීවේ ධනංජය සිරිවර්ධන... රෑ එකත් පහුවෙනකම් දුන්නා ගේමක් වේදිකාව run කරන්න... තැනින් තැන පොඩ්ඩක් වැරදුණා පැටලුණා... ලොකු ලොකු වැඩ කරද්දී පොඩි පොඩි වැරදීම් වෙනවා තමයි වෙලාවකට... ඒවා එහෙම තමයි... 

එදා රූ සම්මාන වැස්සක්... සමාවෙන්න ඒ හැම සම්මානයක් ගැනම ලියන්න තරම්නම් නෑ ඉඩක්...

ඒත් හරි ආදරයෙන් හිරුට මෙහෙම කියන්න මට හිතෙනවා... එක රාත්‍රියක් වෙනුවෙන්.. තුන් වතාවක් තිස්සේ බොලිවුඩ් සුපිරි තරු වෙනුවෙන් වැයකළ මේ ලංකාවේ රුපියල්.. හිරු නමින් film city එකක් හදන්න.. රංග කලාව ගැන උගන්වන ජාත්‍යන්තර මට්ටමේ රංග පාසලක් හදන්න... හිරු production නමින් ලාංකික සිනමාකෘති නිර්මාණය කරන්න... වතුර ටිකක් බොන්න ටැප් එකක්වත් නැති ලංකාවේ දුප්පත් පාසල් වෙනුවෙන් ගම්මාන වෙනුවෙන් සමාජ මෙහෙවරක් කරන්න යොදවන්න පුළුවන්නම්. හිරු සමාජ සත්කාර පෙළහරක් වෙනුවෙන් යොදවන්න පුළුවන්නම් අද සියක් දහසක් මිනිසුන් ආදරය කරන හිරුට හෙට කෝටි සංඛ්‍යාත හදවත් ආදරය කරයි නේද... 

කීවේ ආදරයෙන්...

කියන්නෙත් ආදරයෙන්...

ඒ හින්දා ආදරයෙන්ම ඇහුවොත් ඔයාගෙයි මගෙයි දෙන්නගෙම හිතට සනීපයි... එහෙම නේද?

Text – Sanju  /  Pic – Sumudu