2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

කෙල්ල ඇහුවා පට්ට ප්‍රශ්නයක්

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 215

චිලී හරි ජොලී... ඒ මම දකින චිලී. සමහරු නම් කියනවා චිලියා නාහෙට නාහන හිතුවක්කාරයෙක් කියලත්. මම නම් කියන්නේ තාරුණ්‍යය කියන අහස ලස්සනට පාට කරන්නේ සොඳුරු හිතුවක්කාරකම් කියන වළාකුළු තමයි...  Chiliie’s Style හරි අමුතුයි.... ඇහැ වහන කොණ්ඩෙ.... ඇද කරන කට... ඒවා මේවා අස්සේ චිලී Ree chillie වුණාට පස්සේ චිලී හරි busy.... ඒත් අපි කතා කළාම කැරුට්ටුවේ කතාබහට චිලී එක පයින් OK. 

උස කඩවසම් මේ හාදයාව මට මුණගැසුණෙ විහාර මහාදේවි උද්‍යානයේදී. උණු උණුවේ දුම්දාන නූඩ්ල්ස් දෙකකුත් අරගෙන ළඟ තිබ්බ ගල් බංකුව උඩින් ඉඳගත්තා අපි. පොඩ්ඩ පොඩ්ඩ කන ගමන්ම එයා මාත් එකක් කතාවට වැටුණා... 

කොහොමද ජීවිතේ...?

පහුගිය දවස්වල මගේ අලුත්ම මියුසික් වීඩියෝ එක අවුට් කරා.. ඒකට හොඳ ප්‍රතිචාර හම්බවුණා... චිත්‍රපට කිහිපයකම වැඩකළා... ඒවත් ඉස්සරහට එන්න තියෙනවා.. බිස්නස් වැඩත් ටිකත් කරගෙන ෂේප් එකේ පාඩුවේ ඉන්නවා...

ගීතයක් නැතුව චිලීට ගොඩක්ම දැනිච්ච නිර්මාණයක් එහෙම තියෙනවාද... ඔයා ගොඩක් ආදරය කරන මතකයෙන් ගිලිහී නොයන වගේ එකක්... හැබැයි ඔයා රඟපාපු එකක් වෙන්නත් බෑ ඒක...?

ඒ වගේ නිර්මාණ ගොඩක් මගේ ජීවිතයේ තියෙනවා.. ඔයා ඔය ප්‍රශ්නෙ අහපුගමන්ම මගේ ඔළුවට ආවේ හොලිවුඩ් චිත්‍රපටයක් රෙකෝ හොවාඩ් අධ්‍යක්ෂණය කරපු බියුටිෆුල් මයින්ඩ් තමයි ඒකෙ නම.. 

මෙච්චර හොලිවුඩ් චිත්‍රපට අතරින් බියුටිෆුල් මයින්ඩ් කියන නිර්මාණයට මෙච්චරම ඔබ ඇළුම් කරන්නෙ ඇයි?

ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.. එකක් මම ඒ කතා තේමාවට ගොඩක් කැමතියි.. ආදරය ගැන ගැඹුරු කියවීමක් ඒ තිර පිටපතේ ගැබ්වෙලා තියෙනවා.. අනිත් කාරණාව තමා රසල් ක්‍රෝ... කියන නළුවට මගේ හිතේ තියෙන කැමැත්ත.. ඒ කාරණා තමයි මම මේ චිත්‍රපටයට ඇඩික්ට් වෙන්න බලපෑවේ... 

මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ 

ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානලාභී   සහ ගණිතය පිළිබඳ අති විශිෂ්ඨ දැනුමක් තිබුණ ජෝන් නෑෂ්ගේ ජීවිත කතාව. රසල් ක්‍රෝ තමයි ජෝන් නෑෂ් ගේ චරිතය නිරූපණය කරන්නේ. නෑෂ් කියන්නෙ හොඳ බුද්ධියක් තියෙන කෙනෙක්... ඒත් ඔහු කියන සමහර දේවල් ඒ පවතින සමාජය විසින් පිළිගත්තේ නෑ... සමහර පුද්ගලයන්ට කොච්චර තේරුම් කළත්  සමහර දේවල් තේරෙන්නෙත් නෑනෙ... කාලයක් ගිහිල්ලා තමයි තේරුම් ගන්නෙ අර මනුස්සය කියපුදේ හරියි කියලා.. අන්න ඒ වගේ තමයි.  අන්තිමට ඔහුව පිස්සෙකුගෙ ගාණටම ඒ පවතින සමාජය විසින් තල්ලු කරනවා. 

සමාජය විසින් මානසිකව පුදුම විදියට ඒ මනුස්සයට වද දෙනවා. නමුත් එයා ගාවට ඉගෙන ගන්න ආපු තරුණියක් හිටියා.. එයා නෑෂ්ට ගොඩක් ආදරය කළා.. නෑෂ්ගේ හිතෙත් ඇයට ලොකු ඇල්මක් කැමැත්තක් තිබුණත් ඇය කෙරෙහි ලොකු අවධානයක් යොමුවෙන්නේ නෑ. මොකද මෙයා විද්‍යාඥයෙක් නිසා ඒ වගේ මනුෂික හැඟීම් වැඩිය ගණන් ගන්නෙ නෑ. ඔහු ආදරය ගැන හිතන්නේ හරිම තාර්කික විදියට. හැමදේටම හේතු හොයනවා. කොහොම හරි මේ දෙන්නාගේ සම්බන්ධතාවය වැඩිවෙද්දී... හරි ලස්සන වැඩක් වෙනවා... එක දවසක් මේ දෙන්න අතර සංවාදයක් යනවා එතනදි තරුණිය අහන ප්‍රශ්නයකට නෑෂ්ට පිළිතුරු දෙන්න බැරිවෙනවා. මෙහෙමයි සංවාදය ඇතිවෙන්නේ නෑෂ් අහනවා තරුණියගේන් ඔයා මට ආදරය කරන්න හේතුව මොකක්ද කියලා? ඒ ගැහැනු ළමයා කියනවා ඒකට උත්තර දෙන්න බෑ කියලා. උත්තරයක් නැත්නම් ඒ ආදරය මට පිළිගන්න බෑ කියලා නෑෂ් කියනවා..  එතකොට පෙරළා අර ගෑනු ළමයා ප්‍රශ්න කරනවා මේ තරු මන්දාකිනි, මේ ග්‍රහලෝක ඔයා දකිනවනේ..  ඒ මොනවාද  කියලා. නෑෂ් උත්තර දෙනවා මේ තමයි විශ්වය කියලා.. ආයි මේ ගැනු ළමයා නෑෂ්ගෙන් අහනවා ඔයා කොහොමද කියන්න මේක විශ්වයමයි කියලා.. ඔයා එහෙ ගිහින් තියෙනවද? කියලා.. නෑෂ් උත්තර දෙනවා නෑ මට ඒක විශ්වය කියලා දැනෙනවා කියලා. එතකොට ගෑනු ළමයත් කියනවා ආදරය කියන්නෙත් ඒවගේ දැනෙන දෙයක්. ඒකට උත්තරයක් නෑ කියලා.. විද්‍යාවටත් හොයාගන්න බැරි ගැඹුරු දේවල් මේ ලෝකයේ තියෙනවා.. මේ චිත්‍රපටය හරහා ඒ දේවල් ගැන කතා කරනවා. ආදරය ගැන කතා කරන හරි ලස්සන ෆිල්ම් එකක් මේක. මම මාරම ආසයි ඒකයි. 

චිලී මේ චිත්‍රපටයේ කැමතිම චරිතය කවුද?

මම ගොඩක්ම කැමති රසල් ක්‍රෝ රඟපාන නෑෂ්ගේ චරිතයට තමයි. ඔහුගේ පෙම්වතියගේ චරිතයටත් ගොඩක් කැමතියි.. තාත්වික විදියට ඔවුන් රඟපාන විදිය හරිම අපූරුයි. 

මේ චිත්‍රපටය චිලීට හම්බවෙන්නෙ කොහොමද?

මේක ගොඩක් සම්මාන ගත්ත ෆිල්ම් එකක්. මේක මම මුලින්ම දකින්නෙ ඉන්ටර්නෙට් එකෙන් ඊට පස්සෙ වීඩියෝ සෙන්ටර් එකෙන් අරගෙන බැලුවේ.

කී වතාවක් ඔබ මේ නිර්මාණය රසවින්දද?

හයහත්පාරක් මම මේක බැලුවා... අදටත් මට නිවාඩුවක් ලැබුණම මම මේක බලනවා...

මේ නිර්මාණය අවසානයේ චිලීට ඇත්තටම මොන වගේ දෙයක්ද හිතුණේ?

ඒක මාර අමුතු හැඟීමක්... මට සමහර වෙලාවට හිතාගන්න බැරි ප්‍රශ්නවලට උත්තර මේ චිත්‍රපටයේ අවසානයේ හම්බවුණා... ආදරය ගැන නිර්වචනයක් විස්තරාත්මකව කරන්න මම දැනගෙන හිටියේ නෑ... ආදරය කියන්නෙ විස්තරාත්මකව තේරුම් කරන්න අමාරු දෙයක් කියලා මට එදා මේ ෆිල්ම් එක බලද්දි තේරුණා.  

මේ චිත්‍රපටය බලන කෙනෙකුට චිලී හිතන්නේ මොනවගේ ප්‍රයෝජනයක් තියෙයි කියලාද?

අපේ සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් තරගකාරී ජීවිතයකට වැටිලා.. ඒක මේ සිස්ටම් එකේ හැටි.  ඒත් මේ ජීවිතය කියන්නෙ හරිම කෙටි තාවකාලික එකක්.. මේක විඳින්න ඕනෙ කොහොමද කියන එක ගැන ගොඩක් දෙනෙකුට ලොකු අවබෝධයක් නෑ. තමන් කොච්චර ලොකු තද පොරක් වුණත් ඒ ලොකුකම් පාවිච්චි කරලා කරගන්න බැරි දේවල් ඕන තරම් තියෙනවා. අපි සොබාදහමට අවනත වෙලා ජීවත් වෙන්න ඕනෙ... ජීවිතය පිළිබඳ ලොකු අත්දැකීමක් මේ චිත්‍රපටය බලලා ඉගෙන ගන්න පුළුවන්..  

ජීවිතය කියන්නේ පොතක්. කියවමින් ඉන්න අංකය විතරක් දන්න... අවසාන අංකය නොදන්න පොතක්. කියවන පිටුව ඡේදය, තිත් කොමා පද අලංකරණ ඇතුව ලස්සනට කියවමු. ඒ පිටුවෙන් එක කොම්බුවක් හරි අරුතකින් බර කරමු... 
එහෙම වුණොත් නොදන්න මොහොතක... නොහිතන තැනකදී... ඔයාට හමුවෙයි සතුට..... ඔව් සතුට.

Pic - Sumudu