2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

කැපිලි කෙටිලි නිසයි මම ගොඩගියේ

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 385

විනූ... මේ දවස්වල මොකද කරන්නෙ..?
මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයක රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මේ දිනවල විකාශනය වන ධනුෂ්ක රත්නායකගෙ වෙස් ටෙලිනාට්‍යයෙත්, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයෙත්, සංහිඳ පාමුල ටෙලිනාට්‍යයේ වගේම තවත් අලුත් ටෙලිනාට්‍ය දෙකකත් මේ දවස්වල වැඩ කරනවා.

ඒ කියන්නෙ මේ දවස්වල කාර්යබහුලයි.. එහෙම නේද..?
ඔව්.. සුපුරැදු පරිදි ඒ කාර්යබහුලකමනම් තියෙනවා. හැබැයි ඒ කාර්යබහුලකමට මම හරි ආසයි.

රංගන ශිල්පිනියක් විදිහට අද ඔබ කාර්යබහුල වුණාට පුංචි කාලෙනම් එහෙම කලාවට එන්න ආසාවක් තිබුණේ නැහැ...?
ඔව්.. ඇත්තෙන්ම එහෙම කලාවට එන්න ආසාවක් තිබුණෙම නැහැ. මේක මගේ හීන අතරේ තිබුණු දෙයක්නම් නෙමේ. නොතේරෙන කාලේ වගේම තේරෙන මුල් කාලෙදී මගේ හීනය වෙලා තිබුණේ වෛද්‍යවරියක් වෙන්නයි. ඊටපස්සෙ උසස් පෙළ විෂයන් හදාරද්දී මගේ ලොකුම හීනය වෙලා තිබුණේ බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධ විෂයන් තමයි උසස් පෙළට වුණත් මම කළේ.

බැංකු ක්ෂේත්‍රයේ රුකියාවක් කරන්න ඉගෙනගත්ත විනූ කලාවට යොමුවුණේ කොහොමද..?
ඒක වුණෙත් හරිම අහම්බයෙන්. 2012 අවුරුද්දෙ මිස් ශ්‍රී ලංකා කිරුළත් එක්ක තමයි මගේ ජීවිතේ හැමදෙයක්ම හොඳ විදියට වෙනස් වුණේ. කලාවට සම්බන්ධ වෙන්න කිසිම බලාපොරොත්තුවක් නොතිබුණු මම මේ ආපු ගමන ගැන ඇත්තටම සතුටු වෙනවා.

ඔය ආපු ගමනෙදී කැපිලි කෙටිලි, හිත් රිදීම් තිබුණේ නැද්ද..?
ඒක ඉතින් ඕනෑම ක්ෂේත්‍රයක තියෙන බොහොම සාමාන්‍ය දෙයක්නෙ. මගේ ජීවිතේ හොඳම අභියෝගයට මම 2012 දී මුහුණ දුන්නා. ඒ වගේ ලොකු අභියෝගයකුත් එක්ක තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නෙ. ඒකෙ සමකිරුළ අරගෙන මම ජයග්‍රහණය කළා. ඉතින් ඒකත් එක්ක රංගන ක්ෂේත්‍රයේ මට හොඳ තැනක් ලැබුණා. රංගන ශිල්පිනියන් අතරේ හොඳම සම්මානවලට මම නිර්දේශවෙලා තියෙනවා. හොඳම සහාය නිළියට මාව නිර්දේශවෙලා තියෙනවා. ඉතින්.. ඒ හැමදෙයක් එක්කම ඉතාම සාර්ථක ගමනක් එන්න මට හැකිවෙලා තියෙනවා. මේ පොඩි කාලයට මේ ආපු ගමන ගැන මම සතුටු වෙනවා.

කලා ක්ෂේත්‍රයට එද්දී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද..?
මගේ මව්පියන්ගේ සහයෝගය මට හැමවෙලේම තිබුණා. එයාලගේ ශක්තියත් එක්ක තමයි මෙච්චර කාලයක් මේ තරම් දුරක් එන්න මට අවස්ථාව ලැබුණෙ. අම්මා මට හැමවෙලේම කියන්නෙ මගේ උසස් අධ්‍යාපනය තවත් වැඩිදියුණු කරගන්න කියලයි. මේ වෙනකොටත් මම ජනමාධ්‍ය කළමනාකරණ උපාධිධාරිණියක් බවට පත්වෙලා තියෙනවා. ඒ හරහා තවදුරටත් අධ්‍යාපනය හදාරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ හැමදෙයක් එක්කම රංගන ක්ෂේත්‍රයේ හොඳ ගමනක් ආපු නිසා මගේ මව්පියන්ගෙ ආශිර්වාදය මට හැමදාම තියෙනවා. ඔවුන් මගේ මේ ගමනට ලොකු සහයෝගයක් ලබාදෙනවා.

මේ දිනවල වෙස් ටෙලිනාට්‍ය නිසා ඔබ හරි ජනප්‍රියයිනෙ.. ඒ වගේම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයෙත් ඔබ රඟපානවා. මේ චරිත එකිනෙකට වෙනස් චරිත. ඒ ගැන මොකද හිතන්නෙ..?
මම නිරන්තරයෙන්ම දායක වුණේ එකිනෙකට වෙනස් නිර්මාණවලට. ඒ හැම චරිතයකටම මට පුළුවන් උපරිම සාධාරණයක් ඉටුකළා. ඒ අතරින් ඉතිහාසය සම්බන්ධ ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටවලට දායකවෙන්න මම ඉතාම කැමතියි. සාමාන්‍යයෙන් අපි දකින දීර්ඝ ටෙලිනාට්‍යවලට වඩා ලොකු කැපකිරීමක් ඉතිහාසය සම්බන්ධ නිර්මාණවලට ලබාදෙන්න සිද්ධවෙනවා. මේ දිනවලත් එකිනෙකට වෙනස් වුණු චරිත තුනක් තමයි මම නිරූපණය කරන්නෙ. වෙස් ටෙලිනාට්‍යයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

අද වෙනකොට විනූ සැබෑ ජීවිතේ පෙම්වතියක්.. එහෙම නේද..?
ඔව්.. අද වෙනකොට පෙම්වතියක්නම් තමයි. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි.

නිළියක් විදිහට ඔබ විවිධ චරිත රඟපාන්න කැමතියිනෙ.. මෙතෙක් ඔබට නොලැබුණු, රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද..?
මම බලාපොරොත්තු නොවුණු ආකාරයේ ඉතාමත් උසස් අපූරැ චරිත මට ලැබුණා. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ යශෝධරාගේ මව වගේම පත්තිනි චිත්‍රපටයේ තවුස්දම් වඩන උපාසිකාවකගේ චරිතයක් රඟපාන්න ලැබුණා. ඉතින්.. මම හිතන්නෙ මට චරිත සොයාගෙන යන්න ඕනවුණේ නැහැ. මට ගැලපෙන චරිත මාව සොයාගෙන ආවා.

කවදා විතර බිරියගේ වගකීම් බාරගනීවිද..?
ම්.. දියණියගේ වගකීම් මම හොඳටම ඉටුකරනවා. ඉතින් බිරියගේ වගකීම් දරන්න තව අවුරුදු දෙක තුනක කාලයක් යාවි.

 

► Text - Jayamali  /   Pic - Sumudu