2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

පෙම්වතියක් විකිණීමට ඇත!

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

eBay කියන්නෙ අන්තර්ජාලයේ තියෙන වෙළෙඳපොළක්. ලෝකෙ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවර දක්වා ඕනම තැනකට, ඕනම දෙයක් විකුණන්න, මිලදීගන්න මේ හරහා පුළුවන්. ඇඳුම් පැළඳුම්, ලැප්ටොප්, මොබයිල් ෆෝන් වගේ හැමදේම විකිණෙන eBay එකේ පහුගියදාක හරි අපූරු දැන්වීමක් පළකරලා තිබුණා. 

‍‘පෙම්වතියක් විකිණීමට ඇත’ කියන මේ දැන්වීමේ හිටියේ කෙලී ග්‍රීව්ස් කියන එංගලන්ත ජාතික කාන්තාවක්. පුදුමෙ කියන්නෙ මේ දැන්වීම පළකරලා තිබුණේ ඇගේ පෙම්වතා, ඩේල්. 
ඩේල් මේ වැඩේ කරලා තිබුණේ විහිළුවටයි. කෙලීගේ පින්තූරෙකුත් එක්ක මේ දැන්වීම පළකරලා තිබුණේ මිලක් සඳහන් කරන්නෙ නැතිව. එතකොට කැමති අයට ලන්සු ඉදිරිපත් කරන්න පුළුවන්. 
ඩේල් මෙහෙම වැඩක් කරලා කියලා දැනගත්ත එයාගේ යාළුවෝ මුලින්ම කෙලී වෙනුවෙන් ලන්සු තියන්න පටන් අරන්. කෙලීටත් පස්සෙ මේ වැඩේ ගැන දැනගන්න ලැබුණා. හැබැයි එයා ඒ ගැන කලබල වුණේවත් උනන්දු වුණේවත් නෑ. ඩේල්ගේ මෝඩ වැඩක් කියලා එයා ඒක අමතක කරලා දාලා. 

හැබැයි පැය කීපයක් යද්දී කෙලී වෙනුවෙන් ලෝකෙ එක එක රටවලින් මිනිස්සු ලන්සු තියන්න පටන් අරන්. එහෙම දෙයක් වෙයි කියලා ඩේල් නිකමටවත් හිතලා තිබුණේ නෑ. 
අන්තිමේදී පවුම් 70,000ක් දක්වා (රුපියල් කෝටි එකහමාරක්) ලන්සු ඉදිරිපත් වෙලා තිබුණා. ඒ වගේම පැය විසිහතරක් ඇතුළත ලෝකෙ පුරා 81,000ක් මේ දැන්වීම නරඹලා තිබුණා. 
“දිගට හරහට මිනිස්සු ලන්සු දාන්න පටන් ගත්තා. කොටින්ම මට කිසිම පාලනයක් කරගන්න බැරුව ගියා. එකදිගට මිනිස්සු මට පණිවිඩ එවන්න ගත්තා. මම මේ මොකක්ද කරගත්තෙ කියලා කල්පනා වුණේ එතකොටයි” ඩේල් එහෙම කියනවා. 
ගැනුම්කරුවෝ ඩේල්ට එවා තිබුණේ අපූරු පණිවුඩය. “ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න බැරිද?” කෙනෙක් අසා තිබුණා. 

“මෙයාට කලින් අයිතිකරුවන් කී දෙනෙක් හිටියද? මෙයාගේ නඩත්තු ඉතිහාසෙ එහෙම කොහොමද?” ඒ තවත් ලන්සුකරුවෙකුගේ ප්‍රශ්නයක්.  
කොහොම වුණත් පැය විසිහතරක් ගතවෙන තැන මේ දැන්වීම ඉවත් කරන්න eBay බලධාරීන් කටයුතු කරලා තිබුණා. ඒකට හේතුව තමයි eBay හරහා මිනිසුන් සහ මිනිස් අවයව විකුණන්න තහනම් වීම. 
“එයාලා දැන්වීම අයින් නොකරන්න කෙලීගේ මිල පවුම් මිලියන ගාණක් වෙනකල් ඇදෙනවා. අපරාදෙ!” ඩේල් දැන් එහෙම කියනවා. කොහොම වුණත් කෙලීත් පස්සෙ පස්සෙ මේ වැඩේට බොහොම උනන්දු වුණා. එයාට තියෙන ඉල්ලුම විනාඩියෙන් විනාඩිය උඩ යන එක ගැන එයත් බලාහිටියේ විනෝදයෙන්. 

“ඩේල් මාව කීයකට විකුණන්නද දන්නෑ ප්ලෑන් කළේ? හැබැයි අන්තිමට කවුරුහරි මාව සල්ලිවලට ගත්තනම් එයා මොකද කරන්නෙ?” කෙලී කියන්නෙ නෝක්කාඩු ස්වරයකින්. 

“මොනව වෙන්නද? මට අනිවාර්යෙන්ම දුක හිතෙයි. ‍ඇඬෙයි. ඒත් එතකොට මම අඬන්නෙ එක්කෝ ලැම්බෝගිනියක, නැත්නම් ෆෙරාරි එකකට වෙලා. ඉතින් දුක ටිකක් තුනීවේවි” ඩේල් කියන්නෙ හිනාවෙමින්. 
“ඔව් ඉතින් මිලියන ගාණක් දීලා මාව සල්ලිවලට ගන්න තරම් පෝසත් කෙනෙක් ළඟ මාත් හොඳට සැපට ඉඳීවි” කෙලීත් ඩේල්ගේ කතාවට නොදෙවෙනි විදිහේ කතාවක් හිනැහෙමින් කියනවා. 

 

► Text — Suranga