2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

දැහැන

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

ටයිටැනික් ආදරවන්තයා ඔයාට මතකද? ආදරය කළ ගැහැනියගේ ජීවිතය වෙනුවෙන් සීතල දිය කඳකට ජීවිතයම දිය කර හැරිය උත්තරීතර ආදරවන්තයා ඔයාට මතකද? එහෙම ආදරය කරන්න පුළුවන්ද? ඒ තරම් පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්ද? තමන්ගේ ආදරණීය ප්‍රේමිය වෙනුවෙන් තමන්ගේ හුස්ම දන්දෙන්න පිරිමියෙකුට පුළුවන්ද? ඔයා හොයන්න මහන්සි වෙන්නේ මනුස්සකම් තියෙන පිරිමියෙක්නම් මම ඔයාට කියන්නේ මනුෂ්‍ය කියන කුලකයේ  වැඩිහරියක් උපදින්නේ මනුස්සකම් තියෙන මිනිස්සු තමයි.. මනුස්සකම් කියන්නෙ මනුෂ්‍ය ස්වභාවයන්ට... හැබැයි මනුස්ස කුලකයේ උපදිනවා මනුස්සකම් වෙනුවට තිරිසන්කම් ලේවලින් ජාන උරුමයෙන් අරන් එන මිනිස්සු. අන්න එහෙම මිනිස්සු නිසා තමයි මනුස්සකම්වලට අපි නොහිම් වටිනාකමක් දෙන්නෙ... ඔයාට හමුවෙලා තියෙනවද දෙවියන්ටත් වඩා ඉහළින් හිඳුවන්න පුළුවන් මිනිස්සු... කෝටියකට එක්කනෙක්වත් එහෙම මිනිස්සු ලෝකෙ නෑ.. එතකොට කෝටි ගණනකට එක්කෙනෙක් වෙන එහෙම කෙනෙක් කොහොම කෙනෙක්ද කියලා මම ඔයාට කියන්න ඕනද? මට හිතෙන්නේ මගේ වචන දුප්පත් එහෙම හදවතක් නිර්වචනය කරන්න... සමාවෙන්න.... MY STORY ලීවේ කවුද කියලා මට මතක නෑ... MY STORY... ඔයා කියවලා තියෙනවද? MY STORY ඇතුළෙ ඉන්නවා එහෙම කෙනෙක්... එයාට එයාව මුළු ජීවිතයම කරගෙන ආදරය කරන ගැහැනියක් ඉන්නවා... මට හිතෙන්නෙ ඇය ඇයටත් වඩා ඔහුට ආදරෙයි.. ඇය ඇගේ හුදෙකලා වෙච්ච මුළු ජීවිතය පුරාම අහන එකම ආදර සංධ්වනිය ඔහුගෙ කට හඬ... ඒ කට හඬ අහන්න හැම උදෑසනකම හැම රාත්‍රියකම නෑ ඊටත් එහා ජීවිතේ හැම තත්ත්පරයකම ඇය බලාගෙන ඉන්නවා.. ඒ හඬ ඇයට දැනෙන්නේ දෙවියන් වහන්සේගේ ගීතිකාවකටත් වඩා මිහිරි සරින්.. ඇගේ ආත්මයට හුස්මක් දෙන්නේ ඒ කටහඬ... ඇගේ ජීවිතය කියන හුදෙකලා ආරණ්‍යයේ හාත්පස ආත්ම කළුවර දුරලන්න ඇය අපමණක් භක්තියෙන් දල්වාලූ එකම පහන ඔහුගෙන් ඈ ලද අකලංක ස්නේහය.. ඇය විශ්වාස කරනවා ඔහු ඇයට දෙන ආදරය මේ ලෝකේ තවත් කිසිම පිරිමියෙක් ළඟ නෑ දෙවියන් වහන්සේ ළඟ ඇරෙන්න කියලා... ඔහු ඇයත් ඇය ඔහුත් කියවන්නෙ සංසාරයේ පුරුදු කළ අවබෝධයකින් ආදරයකින් හුරු පුරුදුකමකින්.. දෙවියන් වෙනුවෙන් එක්කරන අත් දෙක එකතු කරලා ඔහු මුණගැසෙන හැම දවසකම අවසන් තත්ත්පරයේ ඇය ඔහුගේ දෙපාමුල වැඳ වැටෙනවා.. ඒ නමස්කාරය ඇගේ අනන්ත ආදරය භක්තිය වෙනුවෙන් ඔහු පාමුල ඈ ශේෂ කරන සාක්ෂිය... ඔහු රාත්‍රියේ නිවෙසට යනකම් ඇය රූ පහන් වෙන තුරු හෝ ඇස් නොපියවා බලාගෙන ඉන්නවා.. ඇය දෙවියන්ගෙන් ඉල්ලනවා ඒ රාත්‍රියේ හැම අන්ධකාරයකින්ම ඔහු රැකදෙන්න ඔහු ළඟින් ඔබ වහන්සේ රැඳෙන්න කියලා...

ඔහු හමුවෙන හැම දවසකම ඇය රෝස පැහැ ගෙත්තමක් සහිත රන්වන් කූඩය ඇය අතින් පිළියෙළ කළ කෑම බීමවලින් පුරවගෙන යනවා... ඔහු ආස කරන හැම කෑමක්ම දවසින් දවස ඔහු වෙනුවෙන් හදනවා. ඇගේ ආදරය තුළ ආදරණීය ගැහැනියක් වගේම සියල්ල ඔහු වෙනුවෙන් දන්දිය හැකි අම්මා කෙනකුත් ජීවත් වෙනවා... හදවතේ ගැඹුරකින්ම ඈ කියවද්දී මට ඇය ගැන හිතෙන්නේ එහෙම...

ඇය ඇය වෙනුවෙන් දෙවියන් නොයැද ඔහු වෙනුවෙන් දෙවියන් යදිනවා... ඇය ඇය වෙනුවෙන් සතුට නොඉල්ලමින් ඔහු වෙනුවෙන් සතුට අයදිනවා... ඇය ඔහුගේ අතීතය පුරා ඇවිද යනවා... ඒ අතීතයේ මල් නොපිපුණු කටු ගස් බොහෝමයි... මහ පොළොව ඔහුට නුහුරු නෑ... අද රෝස පාටට දිලිසෙන ඒ අත් මත නැගුණු කරගැට ඇය අප්‍රමාණ ස්නේහයකින් ස්පර්ශ කරනවා.. ඒත් ඒ හැම දුක් කන්දක්ම දරාගෙන ඔහු මහා වනස්පතියක් බවට පත්වෙනවා.. හැබැයි ඔහු හැමදාමත් ජීවත් වෙන්නේ ජීවිතයේ සාරය පෙරාගන්න පාර කියපු මහපොළවත් එක්ක.. කවදාවත් පොළොවේ ඉඳන් අහසට පයින් ගහන්න නොහදපු ඒ සරල ආදරණීය මිනිසාට ඇයගේ හදවත පුරා ඉපදෙන ආදරයේ මුදුන් මුල විහිදිලා තියෙන්නේ සංසාරේ කොච්ච‍ර දුරක ඉඳන්ද කියන්න ඇය දන්නෙ නෑ... මගේ... නෑ මගේමයි... දුවකගේ තාත්තා කෙනෙක් එච්චර හොඳ වෙන්න ඕන... ඇය දවසක් ඔහුට එහෙම කියනවා.

ඔහු ගෙනැවිත් දෙන හැම ලොකු දෙයක්ම, පුංචි දෙයක්ම,කෑමක් බීමක්ම  ඇයට මහා වස්තුවක්... ජීවිතය විඳින්න හොයාගෙන යන හැම තත්ත්පරයක්ම ඇයට කල්පයක්. ජීවිතය කියන්නේ අපි අන්තිම පිටුවෙ අංකය නොදන්න පොතක්.. එක එක විදිහේ කතන්දරවලින් පිරුණු පිටු ගොඩක්.. හැබැයි හැම පිටුවක්ම එක කොම්බුවක් හරි අනික් පිටුවත් එක්ක ඇමිණෙනවා...
ඇයි මම ඔයාට කියන්නේ ඔයා දෙවියන් වහන්සේටත් වඩා ඉහළින් ඉන්න කෙනෙක් කියලා.. දවසක් ඇය විමසනවා..
ඇයම උත්තර දෙනවා.

ඔයා අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් ඔයාගේ සතුට මරලා දාන්න ලෑස්තියි.
සාමය වෙනුවෙන් ඕනෑම කන්කරච්චලයක් ළඟ නිහඬත්වයේ සොඳුරු ගීතයක් වෙන්න ඔයා ලෑස්තියි..
දෙවියන් වුණත් දෙයක් දෙන්නේ තුටු පඬුරක් වෙනුවෙන්.

ඔයා කිසි දෙයක් නොඉල්ලා හදවතම තෑගි කරන ආදරවන්තයෙක්.
ඔයා ඇහුම්කන් දෙනවා.. අප්‍රමාණ ඉවසිල්ලකින් ජීවිතය කියලා දෙනවා. 
ආදරෙන් නැගිට්ටුවන්න ඔයාගේ පුංචි ඇඟිල්ල දෙනවා..

ඔයා මුළු ලෝකයටම ආදරය කරනවා....ඔයාගේ හදවතේ වාංදමන මනුෂ්‍යත්වයේ සුවඳින් ඔයා ගරාවැටුණු මනුෂ්‍ය හදවත් සුවපත් කරන්න..... මහා වෘකෂයක් වගේ මිනිස්සුන්ගේ දාහය නිවන්න සිහිලසක් වෙන්න ඔයා ජීවිතයේ ඉඩහසර හොයනවා.  
දුකක් දැනුණම මම අඬ අඬා දුක කියන හැමදවසකම ඔයා මාව අහගෙන ඉන්නවා. ඒ හැම දවසකටම පස්සේ ඔයා මාව බලන්න එනවා. මගේ හිත නිවලා ආදරයෙන් මාව සිප සනසන්න ඔබ එනවා.
හුස්ම හිරකරගෙන ඉන්න පුළුවන් අන්තිම තත්ත්පරය වෙනුවෙන් හුස්ම හිරකරගෙන මගේ නළල සිඹිනවා.
ඒ හාදුව මට කියලා දෙන ලොකු කතාවක් තියෙනවා.

ඇගේ උත්තරය තාම ඉවර නෑ.. මම ඇගේ ජීවිතය කියවලා ඉවරත් නෑ.
ඒත් මට ඇගෙන් අහන්න එක ප්‍රශ්නයක් තියෙනවා.

කවදාවත් අයිති කරගන්න බැරි කෙනෙකුට මෙච්චර ආදරය කරන්නෙ කොහොමද?
ආදරය කියන්නේ අයිතියට නෙවෙයි... මට හිතෙන්නේ ඒ ඇගේ උත්තරය ඒක.