2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

අනේ මගේ පැටියෝ කියලා මගේ කම්මුලට ගහගෙන ගහගෙන ගියා

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 523

නදීශානි... මුලින්ම අපිට ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියන්න..?
මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මමයි විතරයි. මගේ අම්මගේ නම පී.එල්. රංජනී. තාත්තගේ නම හෙන්ඩසන්. නංගි සදීපා හෙන්ඩසන්. මගේ අම්මයි තාත්තයි දෙන්නත් හොඳට ක්‍රීඩා කරපු දෙන්නෙක්. නංගිත් ක්‍රීඩා කරනවා.

පුංචි කාලේ ඔබ හීන දැක්කෙ කවුරැ වෙන්නද..?
ඇත්තම කිව්වොත් මට එහෙම ලොකු හීන තිබුණේ නැහැ. හැබැයි මොකක්දෝ මන්දා හේතුවකට මම නීතිඥවරියක් වෙන්න ආසා කළා. ඔය අතරේදී තමයි අහම්බෙන් වගේ මම ක්‍රීඩාව පැත්තට යොමුවුණේ.

ඔබට ක්‍රීඩාවට යොමුවෙන්න ආසාව ඇතිවුණේ පාසලෙන් වෙන්න ඇති...?
ඔව්.. මම මුලින්ම ඉගෙනගත්තෙ දූනගහ රණසිංහ මහ විද්‍යාලයෙ. ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා තරග තියෙන කාලෙදී පන්ති කාමරයට වෙලා ඉන්න බැහැනෙ. ඒ කාලෙදී මට දුවන්න ඕනකමක් තිබුණෙත් නැහැ. හැබැයි ක්ලාස් එකේ වාඩිවෙලා ඉන්න බැරි නිසා මම මළල ක්‍රීඩා තරගවලට සහභාගී වුණා. නිවාසාන්තර තරගවලින් මම ජයග්‍රහණය කළා. ඊටපස්සෙ තමයි මට දුවන්න ආසාව ඇතිවුණේ. මගේ මුල්ම ක්‍රීඩා උපදේශිකාව වුණේ මගේ අම්මා. ඊටපස්සෙ මම බස්නාහිර පළාත් ක්‍රීඩා තරගවලින් පවා ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණ නිසාම මට මීගමුවේ ආවේ මරියා බාලිකාවේ අධ්‍යාපනය ලබන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ වනතුරු මාව පුහුණු කළේ මගේ අම්මා. පාසලේදී මට පිලිප් ගුණවර්ධන ගුරුතුමා යටතේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. ඊටපස්සෙ ගේට්වේ ජාත්‍යන්තර පාසලෙන් මට ශිෂ්‍යත්වයක් ලැබුණා. විදෙස් තරග බොහොමයකට මම සහභාගි වුණා. ඒවායින් ජයග්‍රහණ පවා ලැබුවා.

පිට්ටනියේ ක්‍රීඩා කරපු ඒ ක්‍රීඩිකාව කැමරාවක් ඉස්සරහ උදුම්බරා වුණේ කොහොමද..?
ඇත්තම කියනවානම් ඒකත් අහම්බයෙන් සිද්ධවුණු සිදුවීමක්. මගේ ජීවිතේ බොහෝ දේවල් සිද්ධවුණේ හරිම අහම්බයෙන්. ඒ කාලෙදී මම මගේ කාලය වැඩිපුරම ක්‍රීඩාවටයි අධ්‍යාපන කටයුතුවලටයි තමයි යොමුකළේ. හදිසියේම සුසන්තිකා ජයසිංහ මිස් මට කතා කරලා ඉන්දියාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුගේ සිංහල ෆිල්ම් එකකට ක්‍රීඩිකාවක් හොයනවා. ඔයා කැමතිද? කියලා ඇහුවා. ඇත්තටම ඒක මට පුදුමයක් වුණා. රඟපාන්න පුළුවන්ද කියලවත් කිසිම අදහසක් මගේ හිතේ තිබුණේ නැහැ. හැබැයි මම ඒකට කැමති වුණා. ජීවිතේ අභියෝගවලට මුහුණදෙන්න මම හරි කැමතියි. ඒ නිසා ඒකට කැමති වුණා. ඊටපස්සෙ උදුම්බරා චිත්‍රපටයේ අධ්‍යක්ෂක කේ.එස්. චමන්ත්රාජ් සර් මාව මුණගැහුණා. එහෙම තමයි මාව මේකට තෝරාගත්තෙ.

මුලින්ම කැමරාවක් ඉදිරියෙදී රඟපාන්න ලැබුණාම මොකද හිතුණෙ..?
ඇත්තටම මට ඒක හිතාගන්න බැරිවුණා. ක්‍රීඩිකාවක් විදිහට හිටපු මම රංගන ශිල්පිනියක් වෙලා කැමරාව ඉදිරියේ වෙනත් කෙනෙක් විදිහට රඟපාද්දී මට ටිකක් නුහුරු වුණා. මට මුලින්ම කරන්න තිබුණේ මට ශිෂ්‍යත්වයක් ලැබිලා ඒ ගැන එම ආයතනයේ කෙනෙක් ඇවිත් කියද්දී මගේ අම්මට රඟපාන ජයනි අක්කයි මායි ඒකට සතුට පළකරන දර්ශනයක්. ඇත්තටම මුල්ම වතාවේ සතුට මුහුණෙන් පළකරනවාට වඩා මට කිහිප වතාවක්ම හිනා ගියා. කොහොම හරි ඉතින් ඒක රූපගත කළා.

ජයනි සේනානායක කම්මුලට කීපාරක් ගැහුවද..?
ජයනි අක්කා කියන්නෙ ඉතාම ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇත්තටම අක්කගේ රංගනයනම් මාරම මාරයි. ඒ වෙලාවේදී ඒ සතුටට ජයනි අක්කා අනේ මගේ පැටියෝ කියලා කම්මුලට ගහගෙන ගහගෙන යන දර්ශනයකුත් තියෙනවා. කම්මුලට ගහන සද්දෙ වෙනම ගන්න බැහැනෙ. ඉතින් ජයනි අක්කා මගේ කම්මුලට ඇත්තටම ගැහුවා. ඒ වෙලාවෙනම් මට රිදුණා. හැබැයි නිර්මාණයකදී කොච්චර දුරකට ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනෙද කියලා මම ඒ වෙලාවේ තේරැම් ගත්තා.

ආධුනික රංගන ශිල්පිනියක් වන නදීශානිට රඟපාන්න ලැබෙන්න ජැක්සන්, ජයනි, සරත් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්කයි..?
අම්මෝ... ඔව්.. ඒක ගැන නම් කියන්නම ඕනෙ. මේ ෆිල්ම් එක රූපගත කිරීම් කරන්න පටන්ගන්න කලින් ජැක්සන් සර්, ජයනි අක්කා, සරත් අයියා සහ චමන්ත්රාජ් සර් එකතුවෙලා මේ ගැන කතාබහ කළා. ඊටපස්සෙ මගේ මුල්ම රූපගත කිරීම් කරන තැනටත් ජැක්සන් සර් ඇවිත් මට බොහෝ දේ කියලා දුන්නා. අපි මේක හොඳට කරමු. බයවෙන්න එපා. මේ හැමෝම ඔයාට උදව් කරයි කියලා කිව්වා. ඒ නිසාම මට ලොකු ශක්තියක් හිතට ආවා. ඊටපස්සෙ හැමෝම මට කියලා දුන්නා. ජයනි අක්කා මට මගේම සහෝදරියක් වගේ හැමදේම කියලා දුන්නා. මම දෙයක් කරද්දී මගේ වැරදි තියෙන තැන් කිව්වා. ජැක්සන් සර් පුතා.. ඔයා මෙහෙම කළොත් හොඳට තියේවි. ඔයාට පුළුවන්* කියලා මට කියලා දුන්නා.   මුහුණ චරිතයේ තැනට ගැලපෙන විදිහට වෙනස් කරන හැටි මම ජැක්සන් සර්ගෙන් ඉගෙන ගත්තා.

ප්‍රවීණයන්ගෙ රංගනය තුළින් එහෙම ඉගෙන ගනිද්දී අභ්‍යාසයක් විදිහට නදීශානි  රංගනය ගැන හැදෑරීමක් කළේ නැද්ද..?
කළා. මේ නිර්මාණයට මාව තෝරාගත්තට පස්සෙ ඔවුන් මාව අනෝජා මිස්ගේ අභින වැඩමුළුවකටත් යොමුකළා. අනෝජා මිස්ගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. හිත පුදුමාකාර විදිහට සැහැල්ලු කරගෙන නිර්මාණයට පිවිසෙන්න මට කියලා දුන්නෙ අනෝජා මිස්. මගේ පිටපත පවා බලලා මට ඒ චරිතයටම යොමුවෙන හැටි අනෝජා මිස් කියලා දුන්නා. එකෙන් ඇත්තටම ලොකු පන්නරයක් මට ලැබුණා. ඊට අමතරව ප්‍රසන්නජිත් අබේසූරිය සර් යටතේත් මම දින කිහිපයක් ඉගෙන ගත්තා.

උදුම්බරා ගැන මොකද හිතන්නෙ..?
උදුම්බරා මගේ ප්‍රථම සිනමා නිර්මාණයයි. ඒ නිසාම අඩුපාඩු ඇති. හැබැයි උදුම්බරා චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඇතුළු හැමෝම මට උදව් කළා. ක්‍රීඩිකාවක් විදිහට හිටපු මාව සිනමා නිර්මාණයක් තුළින් උදුම්බරා කියන ක්‍රිඩිකාව කරපු හැමෝටම ගොඩක් ස්තූති කරන්න ඕනෙ.

 

► Text - Jayamali  /   Pic - Sumudu